#පොත්පත්

සිනේ, ටෙලි, වේදිකාවේ පරාක්‍රමය

  • ටී එම් ජී චන්ද්‍රසේකර

පරාක්‍රම නිරිඇල්ල යනු මෙරට සිනේ ටෙලි වේදිකාවේ අවියෝජනීය පෞරුෂයකි. ඔහුගේ කලා, සමාජ, සංස්කෘතික දායකත්වය පිළිබඳ අක්මුල් සොයායාම දුෂ්කර වන්නේ ඔහු නිසඟයෙන් ම උරුම කරගත් මුනිවර චර්යාව නිසයි. ඔහු නිහඬ ය, නිර්මාණාවේශයෙන් යුක්ත ය. පසු නොබසියි. බොහෝ දෑවලදී පුර්වගාමියා වේ. උසස් මානව අපේක්ෂාවලින් යුක්ත ය. කලාවේ බොහෝ නව ඇරඹුම්වල මෙන් ම බෝහෝ චරිතාංග නළුවන් පසුපස සිටි අදෘෂ්‍ය චරිතය ඔහු ය. අමිත්ත ම ප්‍රකාශ කරන පරිදි පරාක්‍රම ඔහුගේ ජිවිතේ ද ගාමක බලවේගයකි. එහෙත් ඔහු කිසිවිටෙකත් කිසිදාක තමා පසසා හෝ කිසිවිටෙක දොස් පවරා නැත. මේ උත්තුංග දේහදාරී මුනිවර චරිතය ගැන සොයාබැලීම මෙරට මෑතකාලීන සිනමා කලා ඉතිහාස කතාවක් ද වනු ඇත.

ඒ භාරදුර කර්තව්‍යයට අත ගසන්නේ අමිත්ත වීරසිංහ නම් රංගනවේදියායි. චරිතාංග නළුවකු ලෙස ඔහු ගොඩනගාගත් ප්‍රතිභාවට අමතර ව නිර්මාණශීලී ලේඛකයකු ලෙස ද ග්‍රන්ථ ගණනාවක් රචනා කර ඇත. පාසල් අවදියේ සිට ම පරාක්‍රමගේ නිර්මාණ කාර්යයට දායකවීමට වරම් ලබමින් ඔහු සිය රංගන ජීවිතය ප්‍රභාමත් කර ගත්තෙකි. අමිත්ත මෙහි චරිත කතාකරුවා වූ පරාක්‍රම නිරිඇල්ල සමග ඇසුරේ ලැබූ අත්දැකීම් හා ජිවිතානුසාරයෙන් ලබාගත් සවිඥාන බවින් ආසක්ත නොවී ඒ දෙස වඩාත් විවෘත ව බැලීමට උත්සාහ දරා ඇත. අමිත්ත සහජයෙන් ම සූර කතාකාරයෙකි. ඔහුගේ කතා රසවත් ය. තාර්කික ය. ඒ සෑම කතාවකට ම ඔහුගේ ම අර්ථකථනයක් ඇත. ‘‍පරාක්‍රමය’‍ ජිවන කතාව හුදු ජිවන අන්දරයකට වඩා මෙරට සිනමාව, රුපවාහිය, වේදිකාව, තිරය පිටුපස වැළලී යා යුතු නොවන කතාන්දරයක් වන්නේ මේ නිසයි. විටෙක එය ශෝකාන්තයකි. තවත් විටෙක එය වීර කාව්‍යයකි. පරාක්‍රමගේ පරමාදර්ශී චර්යා හා ඔහු මුහුණදෙන අභියෝග මෙරට සුන්දර කලාවක් පිටුපස ඇති අඳුරු පැතිකඩ පිළිබඳ ඉගි ද සපයයි.

ඒ කතාන්දරයෙහි මෙරට වීදිනාට්‍ය කලාවේ ආරම්භය හා විකාශ කතාව තිබේ. ඒ අතර සිදුවන පෙරළිකාර වෙනස්කම් හඳුනාගත හැකියි. වීදිවල, අගුපිල්වල වැරහැලි අඳිමින් ගිය දුෂ්කර රංගන චාරිකාවේ සන්තුෂ්ටිය තිබේ. කෙසේ හෝ නාට්‍යකරුවකු වීමේ තිර අදිටනින් අනේකවිධ දුක්ඛදෝමනස්ස සමග යන ගමනේ ගාමිණි හත්තොටුව ප්‍රමුඛ වීදිනාට්‍ය කණ්ඩායම මුණගැසෙයි. ජි. ඩී. එල් පෙරේරාගේ ‘කලා පෙළ’, ධම්ම ජාගොඩගේ රංග ශිල්ප ශාලිකාව, ජාතික රුපවාහිනියේ ආරම්භය, ඒකාංක හා ශ්‍රී ලාංකික අනන්‍යතා ඇති ටෙලිනාට්‍ය කලාවක් වැනි බොහෝ ආරම්භක පුරෝගාමී මෙහෙවර හමුවෙයි. දකුණේ වීදි නාට්‍යයේ කෙසග නළුවා එච්. ඒ. පෙරේරා ගැලිලියෝ ලෙස මහා වේදිකාවට නංවයි. උතුරේ කුලන්දෙයි සන්මුගලිංගම්, ස්වාමි විපුලානන්ද වැනි මානව හිතවාදී කලාකරුවන් සමග අත්වැල් බැඳ ගනියි. ජාතික හා අන්තර්ජාතික ඇගයුම් සමග පරාක්‍රමගේ දේශීය විදේශීය නාට්‍ය පර්යේෂණ, නො-කබුකි වැනි විදේශීය අත්දැකීම් අත්හදාබැලීම් ගෙනහැරපෑමට අමින්ද ගන්නා උත්සාහය නිසා මේ ජිවනාන්දරය මහගු පර්යේෂණ මූලාශ්‍රයක් වී ඇත.
සිනමාවේ, වේදිකාවේ, රුපවාහිනියේ පරාක්‍රම තැබූ අමරණිය සටහන්හි තිරය පිටුපස ඇති බොහෝ කතා ප්‍රේක්ෂකයකුට වැදගත් නොවන්නක් විය හැකියි. එහෙත් පරාක්‍රම සම්බන්ධයෙන් අමිත්ත ඉදිරිපත් කරන සැබෑ කතාවල ඇති දේ ලෙහෙසියෙන් අමතක කළ හැකි නොවනු ඇත.

මහා වේදිකාවේ පුළුල් තිරයේ ඔහුගේ නිර්මාණ, සම්මාන පිට සම්මාන ලබයි. විටෙක එක ම සෙනසුරාදාවක ඔහුගේ ‘සිරිමැදුර’ සිනමාපටය සිනමාශාලාවලත් ‘යශෝරාවය’ රූපවාහිනි තිරයේත් ‘උත්තමාවී’ නාට්‍ය වේදිකාවේත් ප්‍රදර්ශනය වෙමින් ලෝක වාර්තාවක් තබයි. එසේ වුවත් පරාක්‍රමගේ හිත වඩාත් සන්තුෂ්ටියට පත් කළේ ‘ජනකරළිය’ බව අමිත්ත හේතු ඇති ව පවසයි.

“පරාක්‍රම මුල් වකවානුවේ සිට ම ජිවිතයේ යම් අරමුණක් කරා සෙමින් නමුදු තිර ව පියමන් කරමින් සිටියේ ය. සමාජයේ දැවෙන ප්‍රශ්න නිසා සසල වූ සිතින් ඔහු නිරතුරු ව ම පසුවන්නට වුයේ ය. ඔහුගේ නාට්‍ය නිර්මාණවල ද චිත්‍රපටවල ද ටෙලිනාට්‍යවල මෙන් ම වෙළෙඳ දැන්වීම්වල පවා මේ පිළිබඳ කතිකාවක නිරත ව සිටියේ ය.” ‍(පිට 197)
‘ජනකරළිය’ ඔහුගේ සැබෑ වූ සිහිනයයි. එය ගොඩ නැගීමට ඔහු ගත් අනේකමය වෙහෙස අමිත්ත වෙසෙසින් ගෙනහැර පායි. එහිදී ඔහුට සීමා මායිම් නැත. වැටකඩොලු‍ නැත. දකුණේ නගරයෙන් නගරයට යන ඔහු උතුරේත් නැගෙනහිරත් යුද ගිනිදැල් අතරත් විසල් නළු නිළි නඩයක් සමග බියෙන් සැකෙන් තොර ව ගමන් කරයි.

“එතැන් සිට ඉච්චලම් පත්තු. සාම්පුර් ආදී ප්‍රදේශවලත් වෙරුගල් ඔය අවට පාසල් ආදියේත් වැඩමුළු කිරීමට, ගුරු පුහුණු වැඩසටහන් කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණි. ඒ සෑම ස්ථානයක ම එල්ටිටිඊ කොඩි දමා සරසා තිබුණි. තෙවැනි දිනයේදී එල්ටීටීඊ නැගෙනහිර පළාත් දේශපාලන නායකයා එලිලන් ඔවුන් හමුවට පැමිණියේ ය. ඔහු ජනකරළිය කණ්ඩායාමට මහත් පිළිගැනීමක් ලබා දුන්නේ ය. රාත්‍රී ආහාරය සඳහා ඔහුගේ නවාතැන වෙත කැඳවනු ලැබ නාට්‍ය කණ්ඩායම හමුවේ ඔහු කතාවක් කළේ ය. ඔහු කිවේ තමන් අපේක්ෂා කරන සමාජය මෙවැනි සමාජයක් බවයි. ඔවුන්ගේ සිහිනය වන්නේත් සිංහල, දෙමළ ජාතීන් මේ නාට්‍ය කණ්ඩායමේ එක් ව සිටින ආකාරයට එකමුතු ව වැඩ කිරීම බවයි. (පිට 273)

තැනින් තැන ගෙන යා හැකි ජංගම කූඩාරම, කමත, පිටිය රඟහලක් බවට පත්කර ගනිමින් සෑම තරාතිරමක කෙනකුට ම ළඟා විය හැකි සිංහල, දෙමළ නළු නිළියන්ගෙන් සැදුණු පරාක්‍රමගේ මේ ජනකරළිය විවිධ රටවල පවා ඇගයුමට ලක් වීය. වරක් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බහුරූපි වාර්ෂික නාට්‍ය උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පිදුම් ලැබූ අවස්ථාවේ හේතු පාඨයේ මෙසේ සඳහන් ව තිබුණි.

“පරාක්‍රම නිරිඇල්ල වනාහි චතුර්දශකයක් පුරා සාධාරණ හා සංස්කෘතික සමාජයක් නිර්මාණය කිරීමේ දැක්ම සහ පරමාර්ථය ඇති ව කටයුතු කළ මහා පුරුෂයෙකි.”‍

“ජනවාර්ගික ගැටුමේ සන්දර්භය තුළ මෙම ප්‍රවීන කලාකරුවා ක්‍රියා කළ ආකාරය ශ්‍රී ලංකාවේ අනාගත කලාකරුවන්ට පූර්වාදර්ශයක් මෙන් ම අප රටේ සියලු‍ ජනතාවට ද විශිෂ්ට ප්‍රතිරූපයක් ලබා දී තිබේ“

මෙවැනි හේතු මෙන් ම ඔහුගේ නිර්ව්‍යාජ ගමන අන්තර්ජාතික ව ඇගයුමට ලක් විය. යුනෙස්කෝවේ අන්තර්ජාතික නාට්‍ය ආයතනයේ සමාජ වෙනසක් සඳහා වූ රංග භාවිතාව නමැති ව්‍යාපෘතියේ ලේකම් ධුරය හිමිවුයේ පරාක්‍රමටයි. යුනෙස්කෝව ජනකරළියේ පහසුකම් සපයන්නකු බවට ද පත්විය. 2013 වසරේ ලෝකයේ සංස්කෘතික ක්‍රියාදාමයන් පිළිබඳ ඇගයුම් තරගයේදී අසියා පැසිපික් කලාපයේ හොඳම රංග කණ්ඩායම් 10 අතරට ජනකරළිය එක් ව තිබුණි. 2016 වසරේ කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙලේදී ජිවිතයට එක්වරක් පමණක් හිමිවන ජනාධිපති සම්මානය ඔහුට හිමි විය. ශ්‍රි ලංකාවේ ජාතික සමගිය සහ එකාබද්ධතාව වෙනුවෙන් ඔහු කළ කැපවීම මේ ඇගයුමට හේතුපාදක වි තිබුණි.

රත්නපුර පළාතේ නිරිඇල්ල ප්‍රභූ පවුලක ඉපිද ඒවා පසෙකලා, වීදියෙන් සිය කලා ජිවිතය අරඹා සිනමාව, වේදිකාව, රූපවාහිනිය ජයගත් පරාක්‍රම නිරිඇල්ල නම් කලාකරුවාගේ මේ ජීවන අන්දරය නව පරපුරට බොහෝ දේ කියා දෙයි. එය අනාගත විද්‍යාර්ථීන්ට උත්ප්‍රේරකයක් මෙන් ම පර්යේෂකයන්ට කෝෂ්ඨ ග්‍රන්ථයක් කරගැනීමට අවශ්‍ය බොහෝ දේ එක්රැස් කර රසවත් ලෙස ඉදිරිපත් කිරීමට අමිත්ත වීරසිංහ ගෙන ඇති ප්‍රයත්නය පැසසිය යුතු ය. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා සිය දයාබර පුත්‍රයාගේ මුල් ගුරුවරයාට යවන ලද ලෝකප්‍රකට ලිපියේ සඳහන් කියමන පරාක්‍රම සිය ඔහුගේ ජිවිතයෙන් ක්‍රියාවට නගා ඇති බැවින්, අමිත්ත වීරසිංහ විසින් රචිත සිනේ ටෙලි වේදිකාවේ-පරාක්‍රම නිරිඇල්ල තීර්ථාවලෝකනය -‘පරාක්‍රමය’‍ නම් චරිතාපදානයට පසුවදනක් ලෙස මෙසේ සටහන් කර තබමි.

පරාජය විඳ දරා ගැනීමටත් ජයග්‍රහණය නිහතමානී ව සතුටින් භුක්ති විඳීමටත් මගේ පුතාට උගන්වන්න. ඇතැම් උදවිය ඊර්ෂ්‍යාකාරී ව ඔහු යටපත් කරන්නට ක්‍රියා කරනවිට, ඒවා ගැන කලකිරීමෙන් තොර ව සිටිමින්, යටි සිතින් සිනාසෙන්නට හැකි ශක්තිය, රහස ගැන ඔහුට උගන්වන්න. තමන්ගේ හයිහත්තිය පෙන්වා මිනිසුන් බිය ගන්වන්නට එන අය මේ ලොව පරාජය කිරීමට පහසු ම අය බව ඔහුට අවබෝධ කර දෙන්න. (නොහඳුනන ලින්කන්-ගාමිණි කුමාර විතාන)