සැමට ධනවාදය
දක්ෂිණාංශික ප්‍රතිසංස්කරණවාදියෙකු ලෙස සැලකෙන සෙනෙට් සභික රොඩ්රිගෝ පාස් පෙරෙයිරා (Rodrigo
Paz Pereira) 2025 අගෝස්තු මහ මැතිවරණයෙන් බොලීවියාවේ නව ජනාධිපතිවරයා ලෙස පත් වුණා. ඒ, මාස් (MAS) පක්ෂයේ (සමාජවාදය සඳහා වූ පක්ෂය) දශක දෙකකට ආසන්න පාලනය අවසන් කරමින්. මහ මැතිවරණයේ ජනාධිපති තෝරාපත් කර ගැනීමේ පළමු වටයේදී මුළු ඡන්ද ප්‍රමාණයෙන් 32.06%ක් ලබාගන්නා පාස් දෙවැනි වටයේ ඡන්ද විමසීමේදී ඡන්ද 54.96%ක් ලබා ගත්තා. 1989 සිට 1993 වර්ෂය දක්වා බොලීවියාව පාලනය කළ ජේම් පාස් සැමෝරාගේ පුත්‍රයා වන රොඩ්රිගෝ පාස් දශක දෙකකට වැඩි කාලයක් නීති සම්පාදකයෙකු හා නගරාධිපතිවරයෙකු ලෙස දේශපාලනයට සම්බන්ධ වී සිටියා. පාස්ගේ මැතිවරණයේ සටන් පාඨය වූයේ ‘සැමට ධනවාදය’ යන්න.
ලතින් ඇමරිකානු රටක් වන බොලීවියාවේ විශාලත්වය වර්ග කිලෝ මීටර මිලියන 1.044ක්. ජනගහනය මිලියන 12.41ක් ඉක්මවන අතර වැඩි දෙනෙකුගේ භාෂාව වන්නේ ස්පාඤ්ඤ භාෂාව. ප්‍රධාන ආගම ක්‍රිස්තියානි ආගම. ලොව විශාලතම ලිතියම් නිධිය පවතින්නේ ද බොලීවියාවේ.
වාමාංශික ජනතාවාදය නිතර ගලා යන කලාපයක් වන ලතින් ඇමරිකාවේ රටවල් රැසක ම වාමාංශික ආණ්ඩු බිහි වුණා. බොලීවියාව ද ඉන් එක් රටක්. බොලීවියාව ගැන කතා කරන විට ඊවෝ මොරාලෙස් (Evo Morales) කිසිවිටෙකත් අමතක කළ නොහැකියි. ඒ, මාස් පක්ෂයේ දශක දෙකකට ආසන්න පාලනයෙන් වසර 14කට ආසන්න කාලයක් එරට පාලනය කළේ මොරාලෙස්. 2006 සිට 2019 වර්ෂය දක්වා පැවැති මොරාලෙස්ගේ පාලන කාලයේ ශක්තිමත් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට හැකි වූ අතර සමාජ අසමානතාව අඩුකර ගැනීමට ද හැකි වුණා. බලශක්ති සම්පත් ජන සතු කිරීම සිදුවන්නේ ද ඊවෝ මොරාලෙස්ගේ පාලන කාලයේ. කෙසේ වුවත් මොරාලෙස්ගේ දෙවැනි පාලන සමයේ අවසාන භාගය වන විට රටේ ආර්ථික තත්ත්වයේ ඇති වුණේ යම් පිරිහීමක්. එයට ප්‍රධාන වශයෙන් බලපෑවේ ලෝක වෙළෙඳ පොළේ පෙට්‍රෝලියම් හා ස්වාභාවික ගෑස් මිල පහළ යාම. බොලීවියන් මූලික ව ආර්ථිකය රඳා පැවතියේ ස්වාභාවික ගෑස් මත වීම නිසා එහි මිල පහළ යාම ප්‍රබල ව දැනුණා. ආර්ථිකයේ ඇති වූ මේ අර්බුදය හේතුවෙන් මොරාලෙස් පාලනය කෙරෙහි ජනතා කලකිරීමක් වැඩෙන්නට වූ අතර දක්ෂිණාංශික බලවේග මතුවන තත්ත්වයක් පෙන්නුම් කළා. 2019 මහ මැතිවරණය පැවැත්වෙන්නේ මෙවැනි පසුබිමක (බොලීවියාවේ ජනාධිපති තෝරන්නේ ද මහ මැතිවරණයෙන්).
පැවති මැතිවරණ නීති අනුව මොරාලෙස්ට නැවත ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් විය නොහැකි වුවත් ජනමත විචාරණයකින් ඒ වාරණය ඉවත් කර ගැනීමට මොරාලෙස් ජනමත විචාරණයක් පවත්වනවා. එහෙත් ජනමත විචාරණයෙන් 51-49 වශයෙන් මොරාලෙස් පරදිනවා. ජනමත තීන්දුවට එරෙහි ව ව්‍යවස්ථා අධිකරණයට යන මොරාලෙස් ඉන් ජය ගන්නා අතර ශ්‍රේෂ්ඨාධිකරණය ද එම තීන්දුව අනුමත කිරීමෙන් මොරාලෙස්ට සිව් වැනි වරටත් ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමට ඉඩ සැලසුණා. ඒ අනුව 2019 පැවති මහ මැතිවරණයේදී මොරාලෙස් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වෙනවා. එහෙත් ඒ වන විට මොරලෙස්ට එරෙහි ව තරමක ජනමතයක් ගොඩ නැගෙමින් තිබුණා. මැතිවරණයෙන් මොරාලෙස් ජයග්‍රහණය කළ බව ප්‍රකාශයට පත් කෙරුණ ද එය ප්‍රශ්නකාරී වුණා. බොලීවියාවේ මැතිවරණ නීතියට අනුව පළමු වටයෙන් ම ජය ගැනීමටනම් පළමු තැනට පත් වන්නා වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%කට වැඩියෙන් හෝ 50% අඩුනම් දෙවැන්නාට වඩා 10%කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් සහිත ව අවම වශයෙන් 40%ක් හෝ ලබා ගත යුතුයි. ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළේ 80%ක් පමණ ඡන්ද ගණන් කිරීමෙන් පසු ගණන් කිරීම නවතා පැය කිහිපයකට පසුව. ප්‍රතිඵලය වුණේ මොරාලෙස්ට 47.08%ක් ද ප්‍රතිවාදී ප්‍රධාන අපේක්ෂකයා වූ කාලෝස් මෙසාට 36.51%ක් ද වශයෙන්. ඒ අනුව දෙවැනි වටයකට යාම අවශ්‍ය වුණේ නැහැ. එහෙත් මෙහිදී මොරාලෙස්ට වාසිදායක ලෙස ඡන්ද මගඩියක් වූ බවට සැක සාංකා මතු වූ නිසා ප්‍රතිඵලයට එරෙහි ව විරෝධතා නැගෙන්නට වුණා. විරුද්ධ පක්ෂය පමණක් නොව මධ්‍යස්ථ බලවේග ද විරෝධතා නගන්නට වූයේ ඡන්දයේ දෙවැනි වටයකට යා යුතු බවට ඉල්ලමින්.
කෙසේ වුවත් හමුදාව හා පොලිසිය ද බොලීවියානු කම්කරු මධ්‍යස්ථානය ද (බොලීවියානු කම්කරු මධ්‍යස්ථානය බොලීයාවේ ප්‍රධාන වෘත්තීය සමිති මධ්‍යස්ථානය වන අතර එහි සාමාජිකත්වය 20 ලක්ෂයකට වැඩියි) මොරාලෙස්ට ඉල්ලා අස්වන ලෙස කියා සිටියා. තත්ත්වය උත්සන්න වන විට මෙක්සිකෝව මොරාලෙස්ට දේශපාලන රැකවරණය ලබා දීමට ඉදිරිපත් වූ අතර ඔහු ඉල්ලා අස්වී මෙක්සිකෝවට ගියා.
අනතුරු ව පාර්ලිමේන්තුව විසින් විරුද්ධ පාක්ෂික සෙනෙට් සභිකාවක් වූ ජෙනී ආනියස් වැඩ බලන ජනාධිපති වශයෙන් පත් කරනු ලැබුවා. 2019 මැතිවරණ ප්‍රතිඵලය අවලංගු කර නව මහ මැතිවරණයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවට ගෙනෙන ලද යෝජනාවට මාස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සහය පළ කළ හෙයින් එය අනුමත වූ අතර අලුතෙන් පනවන ලද නීතියකින් මොරාලෙස්ට නැවත ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමේ වරම අහිමි වුණා. 2020 ඔක්තෝබර් මැතිවරණයට මාස් පක්ෂයෙන් ඉදිරිපත් කළේ මොරාලෙස් පාලනයේ මුදල් ඇමතිවරයා වූ ලුවී ආර්සි. මොරාලෙස් මෙක්සිකෝවේ සිට මැතිවරණ සටන මෙහෙය වූවා. මැතිවරණයෙන් ලුවී ආර්සි ඡන්ද 55%ක් ජයග්‍රහණය කළ අතර මොරාලෙස් ආපසු බොලීවියාවට පැමිණියා.
එහෙත් පක්ෂයේ අධිකාරය සම්බන්ධයෙන් ප්‍රධාන නායකයන් තිදෙනා වූ මොරාලෙස්, ලුවී ආර්සි හා ඇන්ඩ්‍රොනිකෝ රොඩි්‍රගෙස් අතර මතභේද පැන නැගුණා. පක්ෂයේ ඇති වූ ගැටුම් හේතුකොටගෙන රටේ පාලනය අස්ථාවර වූ අතර දේශපාලන හා ආර්ථික වියවුල්තාවක් හට ගත්තා.
මොරාලෙස් පාක්ෂිකයන් හා ආර්සි ආධාරකරුවන් අතර බරපතළ ගැටුම් ඇවිළී ගිය අතර මොරාලෙස් හා ආර්සි එකිනෙකාට චෝදනා කර ගත්තේ එකිනෙකා ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කළ බවට. පක්ෂයේ පැන නැගි සමහන් කළ නොහැකි ගැටුම් හේතුකොටගෙන 2025 වර්ෂය වන විට පක්ෂය ඉතා දුර්වල වුණා.
මෙහි එක් ප්‍රතිඵලයක් වූයේ ඇන්ඩ්‍රොනිකෝ රොඩි්‍රගෙස් පක්ෂයෙන් ඉල්ලා අස්වී 2025 මැතිවරණයේදී වෙන ම අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීම. මැතිවරණයේ පළමු වටයේදී 8.5%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට ඔහු සමත් වන අතර මාස් පක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා වූ එඩුවාඩෝ ඩෙල් කැස්ටිලෝට ලබා ගත හැකි වූයේ 3.17%ක ඡන්ද සංඛ්‍යාවක් පමණයි. එහි ප්‍රතිඵලය වූයේ මැතිවරණයේ පළමු වටයෙන් ම දෙදෙනාට ම ඉවත්වීමට සිදු වීම.
පාලන පක්ෂයේ හටගත් බරපතළ ගැටුම් නිසා රටේ පාලනය අස්ථාවර වූ අතර දේශපාලන හා ආර්ථික වියවුල් හටගත්තා. විදේශ විනිමය සංචිත පිරිහෙන්නට වුණා. උද්ධමනය ශීඝ්‍ර ව වැඩී ගිය අතර ඉන්ධන පෝලිම්වල පැය ගණන් රස්තියාදු වන්නට ජනතාවට සිදුවුණා. විදේශ සංචිත පිරිහුණා. ස්වාභාවික ගෑස් අපනයනය කඩා වැටුණා. මේ වැටෙන ආර්ථික අර්බුදයට චෝදනාව එල්ල වූයේ ජනාධිපති ලුවී ආර්සිට.
මේ ආර්ථික අර්බුදයත් පක්ෂයේ මොරාලෙස් හා ආර්සි ආධාරකරුවන් අතර ඇවිළී ගිය බරපතළ ගැටුම් නිසාත් මාස් පාක්ෂිකයන් සැලකිය යුතු පිරිසක් දක්ෂිණාංශික අපේක්ෂක රොඩි්‍රරිගෝ පාස් පෙරෙයිරා පිලට එක්වුණා. එහි ප්‍රතිඵලය වූයේ 2020 ජනාධිපතිවරණයේදී මාස් පක්ෂ අපේක්ෂකයා වූ ලුවී ආර්සි 55%ක ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත්තත් 2025 ජනාධිපතිවරණයේදී මාස් පක්ෂයෙන් ඉදිරිපත් වූ එඩුවාඩෝ කැස්ටිලෝට 5%කවත් ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකිවීම. මෙවැනි තත්ත්වයකයි පාස් ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ.
දැනට රටේ මතු වී ඇති ආර්ථික අර්බුදය හමුවේ උද්ධමනය පාලනය, විදේශ සංචිත ස්ථාවර කිරීම, දෛනික ජීවිතයට බලපෑම් එල්ල කරන තෙල් හිඟය නැති කිරීම වැනි කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට ජනාධිපති පාස්ට සිදු වී තිබෙනවා. දැනටමත් ජනාධිපති පාස් ඇන්ඩියන් සංවර්ධන සංස්ථාව සමඟ ඩොලර් බිලියන 3.1ක ණයක් සඳහා ගිවිසුමකට එළඹී තිබෙනවා.
ආර්ථික ස්ථාවරත්වය ඇති කරන අතර ම සමාජ වැඩසටහන් ද පවත්වාගෙන යාමට පාස් පොරොන්දු වී ඇතත් මේ කාර්ය දෙක ම එකවර කළ නොහැකි බවයි ආර්ථික විද්‍යාඥයන්ගේ මතය.
පාස්ගේ ක්‍රිස්තියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ව්‍යවස්ථාදායක සභාවේ ආසන 116න් 39%ක පමණක් බලයක් පවතින හෙයින් ඔහුට පාලනය ඉදිරියට ගෙන යාම සඳහා වෙනත් දේශපාලන කණ්ඩායම් සමග ශක්තිමත් සන්ධානයක් ගොඩනැගීමට සිදුවනු ඇති.






