#ක්‍රීඩා

ස්වයං විනයකින් යහපත් ක්‍රීඩා සංස්කෘතියක්

  • වර්නන් ගුණසේකර

සුගත් තිලකරත්න
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය

දේශපාලන ප්‍රවාහයේ මුල් කාලයේ පටන් ම රැඳී සිටි නිසා ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුවත් දේශපාලනයත් සමග මා ක්‍රියාකාරී ව සිටියා. ඒ නිසා මා වෙත පැවරී තිබෙන රාජකාරිය ඉටු කිරීම දුෂ්කර නොවනු ඇතැයි මා විශ්වාස කරනවා. ක්‍රීඩාව යනු රටේ ප්‍රතිරූපය පෙන්වන්නක් නිසා ශ්‍රී ලංකාවේ අභිමානය ජාත්‍යන්තරය වෙත රැගෙන යාම අපගේ යුතුකමක් වගේ ම වගකීමක්.

ලෝකය දිනිය හැකි, සහජ දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපට සිටිනවා. අප ඉතිහාසයේ දුටුවේ ක්‍රීඩකයන් විවිධ අවස්ථාවල ජයග්‍රහණය කර ආපසු පසුබෑමකට ලක්වන කාල රාමුවක්. ඊට හේතුව තවමත් අපට නිවැරදි ක්‍රීඩා ප්‍රතිපත්තියක් නැතිවීම. ජාත්‍යන්තරයට යා හැකි විවිධ ක්‍රීඩා තිබෙනවා. ඒවායේ ගැඹුර හා ඒවාට අදාළ ව අප විසින් කළ යුත්තේ මොනවාද යන්න අප අවබෝධ කරගත යුතුයි. මලල ක්‍රීඩා, බොක්සිං, වොලිබොල්, නෙට්බෝල් වැනි ක්‍රීඩාවලට අදාළ ව ප්‍රතිපත්ති සකස් කර ජාත්‍යන්තරය වෙත යාමේ සැලසුම් අනිවාර්යයෙන් සකස් කළ යුතු වෙනවා. නෙට්බෝල් පාලක සංගමය සමග පැවති සාකච්ඡාවේදී ඔවුන් ක්‍රිඩාව දියුණු කරන්න බොහෝ එකඟතාවලට පැමිණියා. ඒ අනුව ක්‍රියාකළහොත් නෙට්බෝල් ක්‍රීඩාවේ බොහෝ දුර අපට යන්නට හැකි වේවි.

බොහෝ විට ක්‍රීඩකයන්ගේ අඩුපාඩු සහ ඔවුන්ට සිදුවන අසාධාරණකම් දැක තිබෙනවා. ඊට මා මැදිහත් වූ අවස්ථා ද තිබෙනවා. මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති ලෙස මා වසර දෙකක් ක්‍රියා කළා. එවිට තිබුණු දේශපාලන ප්‍රවාහය නිසා ඇතැම් අවස්ථාවලදී අපට නිවැරදි ව එහි කාර්ය ඉටු කරන්න බැරි වුණා. ඒ නිසා ක්‍රීඩාව දවසින් දවස පරිහානියට පත් වන ආකාරයයි මා දුටුවේ. එය නගා සිටුවන්න දැන් අවස්ථාව ලැබී තිබෙනවා.

ක්‍රීඩාවේ දූෂණ, අක්‍රමිකතා වැඩි වී තිබෙන්නේ සියල්ල මුදලට සිදුවන නිසා. මෙතෙක්කල් තිබූ දේශපාලන වාතාවරණයත් සමග ක්‍රීඩා සංගම් හා ඒවායේ නියෝජිතයන් ඇතැම් අවස්ථාවලදී මෙවැනි අක්‍රමිකතාවලට නැඹුරු වන්නට ඇති. නමුත් පවතින ආණ්ඩුව දූෂණයට තිත තබන නිසා ඔවුන්ට බලපෑමක් නොකර ඔවුන් ස්වයං ව දූෂණ, අක්‍රමිකතාවලින් මිදී රටේ යහපතත් ක්‍රීඩාවේ යහපතත් වෙනුවෙන් ඉදිරියේදී ක්‍රියා කරනු ඇතැයි අප සිතනවා. එවිටයි යහපත් ක්‍රීඩා සංස්කෘතියක් රටේ බිහි වන්නේ.

ගැටලු‍ තිබෙන ක්‍රීඩා සංගම් කිහිපයක් තිබෙනවා. මේ ගැටලු‍ ඉතා ඉක්මනින් නිරාකරණය කර ගත යුතුයි. ක්‍රීඩා සංගමයක නිලධාරීන් රැක ගැනීමට නොවෙයි අප මැදිහත් විය යුත්තේ. ක්‍රීඩකයන්, පුහුණුකරුවන් එකතු කරගෙන රටේ ක්‍රීඩාව ඉදිරියට පවත්වාගෙන යාමයි අප කළ යුතු වන්නේ. මේ වන විටත් ක්‍රීඩා සංගම් කිහිපයක් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා. ඉදිරියටත් සාකච්ඡා පවත්වනවා. ඔවුන්ගේ ගැටලු‍ ඔවුන් ම නිරාකරණය කරගෙන ක්‍රීඩාව වෙනුවෙන් ඉදිරියට එන්නැයි අප ඔවුන්ට ආරාධනය කරනවා. මීට යහපත් ප්‍රතිචාරත් ලැබී තිබෙනවා.

ක්‍රීඩකයන්ගේ විදෙස් සංචාරවලදී ඔවුන්ගේ වීසා ඇතුළු සැපයුම් ක්‍රියාවලිය වෙනුවෙන් ජාතික සංගම් විසින් වෙන ම කමිටුවක් හෝ කණ්ඩායමක් හෝ කළමනාකරුවෙක් හෝ පත් කිරීම ගැන මලල ක්‍රීඩා සංගමය සමග සාකච්ඡා කළා. එවැන්නක් පිහිටුවීම ක්‍රීඩකයන්ට මෙන් ම නිලධාරීන්ටත් පහසුයි. අදාළ සංගම් හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත් වීම මත මේ වීසා ලබා ගැනීම විධිමත් කරන්න පුළුවන්නම් එය ඉතා වැදගත්. එවිට අපටත් අවබෝධයක් ලැබෙනවා අදාළ සංචාරයට යන ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා නිලධාරීන් පිළිබඳ ව. ඒ ගැන ඉදිරියේදී අවධානය යොමු කරනවා. අමාත්‍යාංශයෙන් සහ ක්‍රීඩා සංගමයෙන් නිලධාරියෙක් පත් කරගෙන, ඉදිරියේදී ක්‍රීඩකයන් අපහසුතාවට පත්නොවන අයුරින් විධිමත් සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි.

ක්‍රීඩාව නිවැරදි ව ඉදිරියට ගෙන යා හැකි යම් යම් අඩුපාඩු ක්‍රීඩා පනතේ තිබෙනවා. ඒ නිසා ක්‍රීඩා පනත, ක්‍රීඩා සංගම් සහ ඔවුන්ගේ ව්‍යවස්ථා රටට අවශ්‍ය පරිදි සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උන්නතිය වෙනුවෙන් යොදා ගැනීම පිළිබඳවත් රටේ අභිමානය වෙනුවෙන් ක්‍රීඩාව යොදවා ගන්නේ කෙසේද? යන්නත් එහිදී අවධානය යොමු කිරීම වැදගත්. විශේෂයෙන් ක්‍රීඩකයන් නව තාක්ෂණය අනුව පුහුණු කිරීමට දැනුම තිබෙන පුහුණුකරුවන් අවශ්‍ය වෙනවා. ඒ නිසා පුහුණුකරුවන්ගේ දැනුම යාවත්කාලීන කළ යුතුයි. පෝෂණය, ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව, ක්‍රීඩකයෙක් අතුරු ආබාධවලට ලක්නොවී රැකගැනීම, ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආරක්ෂා කිරීම ගැනත් අවධානය යොමු කළ යුතුයි. තහනම් ශරීර උත්තේජනත් සමග ක්‍රීඩා කරන්න බොහෝ ක්‍රීඩකයන් උත්සාහ කරන නිසා එවා භාවිතය පිළිබඳ ව සිතන්නට වෙනවා. මේ සියල්ල නිවැරදි කිරීමයි අපට තිබෙන අභියෝග.

ඒ ඒ ජාතික සංගම් සමග සාකච්ඡා කර ක්‍රීඩාවට මුදල් වෙන් කිරීම ඉතා වැදගත්. එම මුදල් යෙදවිය යුත්තේ විශේෂයෙන් ක්‍රීඩකයාගේ දක්ෂතාව ඉහළට ගෙන ඒම සහ පුහුණුකරුවන්ගේ දැනුම, යටිතල පහසුකම් ආදිය දියුණු කිරීම සඳහා. මෙතෙක්කල් ක්‍රීඩාවට විවිධ ඇමතිවරු සිටියා. විවිධ කාලවකවානුවලදී ඔවුන් ක්‍රීඩාව දියුණු කරන්න උත්සාහ ගත්තා. ඒවා සාර්ථක වූ අවස්ථා ද තිබුණා. ඇතැම් අවස්ථාවල යම් යම් අඩුපාඩු නිසා ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට නොහැකි වූ අවස්ථා ද නැතුවා ම නොවෙයි. ක්‍රීඩාවේ දියුණුව යනු ක්‍රීඩකයන්‌ ගෙන එන පදක්කම් සංඛ්‍යාව හෝ ක්‍රීඩකයන්ට පිරිනමන ත්‍යාග මුදල් හෝ පරිත්‍යාග පමණක් ම නෙවෙයි. සමස්තයක් ලෙස රටේ ම පොදු ජනතාවගේ සෞඛ්‍යය පිළිබඳවත් අප සිතා බැලිය යුතු වෙනවා.

ඔවුන්ගේ රසාස්වාදය සඳහාත් බෝ නොවන රෝගවලින් මිදෙන ආකාරයටත් ක්‍රීඩාව රටේ ප්‍රචලිත කරන්න පුළුවන්. ක්‍රීඩාවේ දියුණුව තිබෙන්නේ එතැන. මේ සෑම ක්ෂේත්‍රයක් පිළිබඳ ව ම ක්‍රීඩා අමාත්‍යාංශයට වගකීමක් තිබෙනවා. සෑම ආණ්ඩුවක් යටතේ ම ක්‍රීඩා අමාත්‍යාංශයට විශේෂ මුදලක් වෙන් කෙරෙනවා. ඒ මුදල වැය කළ ආකාරයේ ගැටලුවක් සමහර විට තිබෙන්න පුළුවන්. ඒ සියල්ල නිවැරදි කර ගනිමින් රටට ආර්ථිකමය වශයෙනුත් වැදගත් වන ආකාරයට ක්‍රීඩාව දියුණු කිරීමයි කළ යුත්තේ. දේශපාලනයේ හෝ ඇමතිවරයාගේ බලය අනිසි ලෙස පාවිච්චි කරන්න කිසි ම අවස්ථාවක උත්සාහ කරන්නේ නැහැ. නීතිය අනුව ක්‍රියා කිරීමටයි හැම විට ම උත්සාහ දරන්නේ. ක්‍රීඩාවෙන් නැවතත් රට ප්‍රබෝධමත් කිරීමයි නව වසරේ මූලික අරමුණ. පාසල් දරුවාගේ සිට ක්‍රීඩාව අතහැර තිබෙන නිසා කුඩා දූ දරුවන් පවා ක්‍රීඩාවට ආදරය කරන තත්ත්වයක් රටේ නිර්මාණය වීමයි වැදගත්.