#විදේශ විත්ති

‘ස්ටාර්ලින්ක්’ ජාලයට ශ්‍රී ලංකාවත්

  • සුගත් පී. කුලතුංග ආරච්චි

අග්නිදිග ආසියාවේ තුන් වැනි රටත් ‘ස්ටාර්ලින්ක්’ (Starlink) නවතම චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවට මෑතකදී එක් විය. ඒ, 17,000ක් තරම් වූ ලොව විශාලතම දූපත් සමූහය අයත් ඉන්දුනීසියාවයි. මේ අවස්ථාවේදී ම ශ්‍රී ලංකාවේ ඈත දුර ගම්මානවල නව ලෝකයේ අවස්ථා නොලැබී හූදෙකලා වී සිටින දරුවන්ට දියුණු ලෝකය වෙත මංපෙත් විවර කර දෙන මේ අනාගත ලෝකයේ චන්ද්‍රිකා සේවය ලබා ගැනිමේ මංගල කතාබහත් සිදු විය. ඒ, ලෝකප්‍රකට ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක් සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ය. තව නොබෝ දිනකින් ම මෙරට දරුවන්ට මේ නවතම අධිවේගී, අඛණ්ඩ සහ අවම මිල අන්තර්ජාලය ඔස්සේ ලෝකයේ නවතම දැනුම, රැකියා සහ ආර්ථික අවස්ථා සඳහා නව මංපෙත් විවර වනු නිසැක ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොබෝදා ඉන්දුනීසියාවේ බාලිහි පැවැති 10 වැනි ලෝක ජල සංසදයේ ඉහළ පෙළේ රැස්වීම අතරදී එලොන් මස්ක් හමුවූ අතර පුනර්ජනනීය බලශක්තිය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ ලෝක දේශපාලනය ඇතුළු මාතෘකා රැසක් සාකච්ඡා කළේ ය. ඒ අතර ශ්‍රී ලාංකික දරුවන්ගේ අධ්‍යාපනය පහසු කිරිම සඳහා ඔහුගේ ‘ස්ටාර්ලින්ක්’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව දියත් කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය එලොන් මස්ක් පිළිගත්තේ ය. ‘ස්ටාර්ලින්ක්’ සේවාව ශ්‍රී ලංකාවේ දියත් කිරීම සඳහා එලෝන් මේ වනවිට ද අයදුම්පතක් එවා ඇති අතර එම ක්‍රියාවලිය කඩිනම් කිරීමට ජනාධිපතිවරයා එකඟ වි තිබේ.

මැයි 28 දින වන විට ‘ස්ටාර්ලින්ක්’ අන්තර්ජාලය ශ්‍රී ලංකාවේ පෙර-ඇණවුම සඳහා විවෘත ව වී තිබූ අතර මහජනතාවට සම්පූර්ණයෙන් ම ආපසු ගෙවන ඇමරිකානු ඩොලර් 9ක තැන්පතුවක් ගෙවා ‘ස්ටාර්ලින්ක්’ වෙන් කරවා ගැනිමේ අවස්ථාව සලසා හමාර ය. එක් එක් ආවරණ ප්‍රදේශයේ ප්‍රථමයෙන් පැමිණෙන්නන්ට ප්‍රථමයෙන් සේවය යන පදනම මත ඇණවුම් ඉටු කිරිමට ඔවුන් සැරසේ.

‘ස්ටාර්ලින්ක්’ යනු වීඩියෝ, ඇමතුම්, මාර්ගගත ක්‍රීඩා සහ අඛණ්ඩ දත්ත ප්‍රවාහ ඇතුළු තවත් බොහෝ දේ සඳහා ඉහළ ම සහයක් ලබා දිය හැකි බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සබඳතා ලබාදීමට පහත් පෘථිවි කක්ෂයක් භාවිත කරන ලොව ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල සේවා චන්ද්‍රිකා සමූහයයි. එනම් ‘ස්ටාර්ලින්ක්’ යනු ලොව ඉතා ම දුෂ්කර දුරස්ථ ස්ථානවලට පවා ඉතාමත් අඩු ම මිලට, වේගවත් ම අන්තර්ජාල සේවා අඛණ්ඩ ව සැපයීමට තැනූ චන්ද්‍රිකා ජාලයයි. අභ්‍යවකාශ යානා සහ කක්ෂයේ මෙහෙයුම් යන අංශ දෙකෙහි ම ගැඹුරු අත්දැකීම් සහිත මේ ආයතනය සතු දියුණු චන්ද්‍රිකා සහ පරිශීලක දෘඪාංග උපයෝගී කරගනිමින් ‘ස්ටාර්ලින්ක්’ ලොව පරිශීලකයන්ට අධිවේගී, අප්‍රමාද සහ අඛණ්ඩ අන්තර්ජාල සබඳතා ලබා දීමට සමත් ව සිටියි.

මේ දියුණු තාක්ෂණය සහිත ‘ස්ටාර්ලින්ක් මංගල සේවාව ඉන්දුනීසියාවේ දූපත් 02ක සෞඛ්‍ය මධ්‍යස්ථාන 03කදී එලෝන් මස්ක්ගේ ප්‍රධානත්වයෙන් නොබෝදා ඇරඹිණි. ඒ, මලු‍කුහි දුරස්ථ දූපතක් වන අරූ සහ බාලි දූපතේ ය. මේ අනුව දුර බැහැර ප්‍රදේශවල හුදෙකලාව සිටි මිලියන 270කට අධික ඉන්දුනීසියානුවන්ට සෙසු ලෝකය හා එක්වීමට ‘ස්ටාර්ලින්ක්’ නවීන ඩිජිටල් පාලමක් තනා දී හමාර ය.

මෙලෙසින් මැලේසියාව 2023 වසරේ ’ස්ටාර්ලින්ක්’ සේවා ලබා ගැනිමට එක් විය. පිලිපීනය පදනම් කරගත් සමාගමක් 2022දී ගිවිසුමක් අත්සන් කළේ ය. යුක්රේනයේ ද ‘ස්ටාර්ලින්ක්’ බහුල ව භාවිත වන ප්‍රමුඛ සේවාවයි. ‘ස්ටාර්ලින්ක්’ එරට හමුදාව, රෝහල්, ව්‍යාපාර සහ ලෝක ආධාර සංවිධාන පවා ප්‍රයොජයට ගනියි. ඊළඟට ආසියාවේ ‘ස්ටාර්ලින්ක්’ ජාලයට එක්වන රට ලෙස ශ්‍රී ලංකාව යෝජනා වී ඇත.

ඇමරිකානු සමාගමක් වන ‘ස්ටාර්ලින්ක්’ මේ වන විට රටවල් 75කට අධික සංඛ්‍යාවකට අන්තර්ජාල සේවා සාර්ථක ව සපයන අතර නාසා ආයතනයටත් සේවා සපයන එය දැනට ඇති ප්‍රබල අභ්‍යවකාශ සේවා සමාගමක් වන SpaceXහි පූර්ණ අනුබද්ධිත ආයතනයකි.

ලෝක ගෝලය ම ආවරණය වන පරිදි චන්ද්‍රිකා 42,000කින් සුසැදි මහා ජාලයක් තැනීම මේ සමාගමේ අරමුණයි. මූලික වටයට අයත් චන්ද්‍රිකා 5,874ක් 2024 අප්‍රේල් වන විට කක්ෂගත ව තිබුණි. ඉන් 5,800ක් ම යහතින් ක්‍රියාත්මක බව තහවුරු ව තිබේ. ‘ස්ටාර්ලින්ක්’ චන්ද්‍රිකාවක ආයුකාලය ආසන්න වශයෙන් වසර 05කි ‘ස්ටාර්ලින්ක්’හි ඉලක්කය ලොව ප්‍රවාහනය දුෂ්කර, අන්තර්ජාල පහසුකම් ලබා දීම පවා අපහසු, එහෙයින් සංවර්ධනයෙන් හුදෙකලා වූ ලෝකයේ බිලියන 4ක පමණ ජනතාව වෙත බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම ඔස්සේ ඩිජිටල් පාලම් තනාදීමයි.

බොහෝ චන්ද්‍රිකා ආශ්‍රිත අන්තර්ජාල සේවා ලබා දෙන්නේ ග්‍රහලෝකය වටා කිලෝමීටර් 35,786ක උසකින් කක්ෂගත ව ඇති තනි භූස්ථායී චන්ද්‍රිකාවකිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පරිශීලකයා සහ චන්ද්‍රිකාව අතර දත්ත හුවමාරුව කෙටිකාලීන කවුළුවකට සීමා වෙයි. චන්ද්‍රිකාව පොළොව වටා ගොස් එන්නට යන විශාල කාලය අතර දත්ත ලැබිමේ ප්‍රමාදයක් සිදු වේ. තනි චන්ද්‍රිකා සබඳතාවකදී මේ කාලය ඉතා ඉහළ වන අතර අඛණ්ඩ දත්ත ප්‍රවාහයක් අවශ්‍ය ක්‍රියාකාරකම් සඳහා ලැබෙන සහය අවම වේ. එහෙත් ‘ස්ටාර්ලින්ක්’ යනු පෘථිවියට වඩා කි.මී. 550ක් පමණ මෑතදුරකින් පෘථිවිය වටා කක්ෂගත වන සහ ලොව ම ආවරණය කරන චන්ද්‍රිකා දහස් ගණනකින් සමන්විත මණ්ඩලයකි. මේ නිසා Starlink චන්ද්‍රිකා ඔස්සේ අඛණ්ඩ සබඳතාවක් ඕනෑ ම තැනකට ලබා දීම පහසු ය.

මේ සමාගම පවසන ආකාරයට ඈත දුෂ්කර ස්ථානවල අතරමංවූවන්ට, යුද බියෙන් අවතැන්වූවන්ට, හදිසි ආපදා සහ ස්වාභාවික විපත් ආදියෙන් හුදෙකලාව අතුරුදන් ව යන්නන්ට ඉතා ඉක්මනින් ම ලෝකය හා එක් ව ආධාර ලබා ගැනිමට මෙය මහඟු‍ සේවාවකි. දැනුම සැණින් ම ලොව ඕනෑ ම කෙළවරකට ක්ෂණික ව ලබා දීම සඳහා විශිෂ්ට ඩිජිටල් අවකාශයකි.
දැනට ‘ස්ටාර්ලින්ක්’ උපරිම බාගත කිරීමේ වේගය 114 Mbps පමණ වේ. එය ඊළඟ පරම්පරාවට අයත් 5G තාක්ෂණයට 20 Gbps දක්වා වේගයක් ලබා දෙයි. මේ නව වේගවත් සම්බන්ධතාවට දොර විවෘත කරදෙන එක ම යතුර ‘ස්ටාර්ලින්ක්’ ඔස්සේ ලබා ගත යුතු Wi-Fi රවුටරය සහ ඇන්ටෙනාව පමණකි. තනි චන්ද්‍රිකාවක කදම්භයකින් ආවරණය වන කලාපය සැතපුම් 15 (කිලෝමීටර් 24.13) කි.

තෝරා ගන්නා තනි සබඳතා සැකසුම සහ ‘ස්ටාර්ලින්ක්’ වින්‍යාසය අනුව උපාංග 128-254 අතර සංඛ්‍යාවක් එක් වරකට සම්බන්ධ කළ හැකි ය. එහෙයින් අන්තර්ජාල උපාංග කිහිපයක් ම තම නිවසේ ඇති පුද්ගලයන් සඳහා ‘ස්ටාර්ලින්ක්’ යනු විශිෂ්ට තේරීමකි. දිගුකාලීන, කෙටිකාලින කොන්ත්‍රාත්තු රහිත විකල්පයක් සොයන්නේ නම් සහ ඕනෑ ම වේලාවක අන්තර්ජාල සේවාව අවලංගු කිරීමට අවශ්‍ය නම්, ‘ස්ටාර්ලින්ක්’ යනු හොඳම තේරීමයි. දැනට ‘ස්ටාර්ලින්ක්’ සම්මත නේවාසික සේවාවකට මසකට ඩොලර් 120ක් පමණ වැය වේ.

එය දැනට ඇති Hughesnet සහ Viasat වැනි තරගකාරි සමාගම්වලට සාපෙක්ෂ ව විස්මිත වේගයකින් අසීමිත දත්ත පහසුකම (unlimited data) ලබා දෙයි. ඊටත් වඩා වේගවත් අන්තර්ජාල සේවාවක් අවශ්‍ය හෝ ව්‍යාපාර හිමි පුද්ගලයන් සඳහා Starlink Priority යනු ඔවුන් සකසා ඇති සැලැස්මයි.

ශ්‍රී ලංකාවට මේ සේවාව ලැබුණහොත් එය රටේ මහඟු‍ සංවර්ධනයකට මඟ විවර කිරිමක් වනු නියත ය. අවම මිල, වේගවත් සබඳතාව සහ කඩිනම් සේවාව නිසා එය අනාගත ලෝකයේ නැතුව ම බැරි ජාල සේවා පොදු ආයතනය බවට දැනටමත් පත් ව හමාර ය.