#දේශ විත්ති

ස්ට්‍රෝබෙරි ගම්මානය

  • සමේලා රාජපක්ෂ

නුවරඑළිය ප්‍රදේශයේ ඉදි වන ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ වගා ගම්මානය එම ප්‍රදේශයේ ගොවියන්ට ලැබුණු අනගි අවස්ථාවකි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ සුහුරු කෘෂිකර්මාන්ත (SMART Agriculture) වැඩසටහන යටතේ මේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදෙස් මත ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මිලියන 55ක ප්‍රතිපාදන මත සිදුකරන මේ ව්‍යාපෘතියේ අරමුණු වන්නේ තරුණ ගොවි ප්‍රජාව සවිබලගැන්වීම, තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තය කෙරෙහි දක්වන නැඹුරුතාව වැඩි කිරීම, ගොවී ප්‍රජාවට කුඩා බිම්කඩක වැඩි අස්වැන්නක් ලබා ගැනීමට අවකාශ ලබා දීම, විශේෂයෙන් කාන්තාවන්ට රටේ කෘෂිකර්මාන්තය නැංවීමට දෛනික කාර්ය අතරතුර ඔවුන්ගේ ශ්‍රම දායකත්වය ලබා දීම, විදේශ විනිමය ඉපයීම මෙන් ම ගොවියන්ගේ පෞද්ගලික ජීවන තත්ත්වය නංවාලමින් තිරසර ආදායමක් ලබා ගැනීම ආදියයි.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (ගොවි බැංකු) එස්. එම්. පී. කේ. වීරසේකර මැණිකේ ප්‍රකාශ කරන ආකාරයට දේශගුණික විපර්යාසවලට ලක්වන විට වගාවේ අස්වැන්න අඩුවන බැවින් මේ වැඩසටහන යටතේ දේශගුණික කලාපයක් නිර්මාණය කර එමගින් එම ගැටලුවට විසඳුම් ලබාගැනීමට හැකි වේ. ස්ට්‍රෝබෙරි වගාව සඳහා හොඳ ම දේශගුණික තත්ත්වය පවතින්නේ නුවරඑළිය ප්‍රදේශයේ නිසා නුවරඑළිය ගොවිජන සේවා මධ්‍යස්ථාන බල ප්‍රදේශයේ සීතාඑළිය, පැරකුම්පුර, මීපිළිමාන, පට්ටිපොළ, ටොප්පාස් යන ප්‍රදේශවල මේ ස්ට්‍රෝබෙරි හරිත ගම්මාන වැඩසටහන ආරම්භ කර ඇත්තේ ගොවියන් 40 දෙනකු සඳහා ය.

අදහස් දක්වන සහකාර කොමසාරිස් (ගොවි බැංකු) එස්. එම්. පී. කේ. වීරසේකර මැණිකේ: “මුලින් ම ගොවියන් 40දෙනාගෙන් එක් ගොවියකුට ලබාදුන්නා වර්ග අඩි 1000ක හරිතාගාරයක්. ඒ අනුව නුවරඑළියේ වර්ග අඩි 40000ක හරිතාගාර තිබෙනවා. නුවරඑළියේ ගොවිජන සංවර්ධන නිලධාරී බාලසූරිය සහ ඩී. එච්. ඒ. දිල්හානි නියෝජ්‍ය කොමසාරිස්තුමියගේ මැදිහත්වීමෙන් ඔවුන්ගේ ක්ෂේත්‍ර අධ්‍යයන සහ සංචාරවලින් හඳුනාගෙන තිබෙනවා නුවරඑළියේ ගෙවතු වගාවක් ලෙස ස්ට්‍රෝබෙරි වගාව සිදුකළත් එයින් නියමිත අස්වැන්නක් නොලැබෙන බව. මෙයට හේතු වී ඇත්තේ නුවරඑළියේ ගොවියන්ට උසස් ප්‍රමිතියේ ස්ට්‍රෝබෙරි පැළයක් නොලැබීම. පිටරටින් ස්ට්‍රෝබෙරි පැළ ආනයනය කරන පුද්ගලයන් ඒවා තම නිෂ්පාදන සඳහා යොදාගෙන අපේ රටේ ගොවියන්ට ලබා දෙන්නේ සාර්ථක පැළයක් නොවෙයි. මේ හේතුවෙන් වැඩසටහන සඳහා තෝරා ගත්තේ නුවරඑළියේ දේශගුණයට ඉතා ම සමීප හොඳ ම ගුණාත්මක තත්ත්වයෙන් යුත් ෆෙස්ටිවල් (Festival) යන පැළයයි. මේ ස්ට්‍රෝබෙරි පැළ ආනයනය කරන්නේ ඊජිප්තුවෙන්. අප්‍රේල් 27 දින පැළ 18000ක් ඊජිප්තුවෙන් මෙරටට ආනයනය කළා. අප්‍රේල් 28 දින මේ සියලු‍‍ පැළ හරිතාගාර වැට (Polytunnel) සඳහා මුදා හැරියා.”

දැනට ස්ට්‍රෝබෙරි කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 2500-4000 අතර මිලකට ය. ඇය ප්‍රකාශ කරන ආකාරයට ඒ අනුව මේ වැඩසටහනෙන් නිෂ්පාදනය කරන ස්ට්‍රෝබෙරි කිලෝවක් රුපියල් 6000ක උපරිම මිලකට ලබාදීමට උත්සාහ කරන අතර ස්ට්‍රෝබෙරි හරිතාගාර වැට 40න් මාස 10ක් ඇතුළත මසකට කිලෝ 1800 බැගින් කිලෝ 18000ක් ලබා ගැනීමට හැකි වේ යැයි විශ්වාස කෙරේ. ඒ අනුව ගොවියන් 40 දෙනාට ම මාස 10ට රුපියල් 72,000ක ආදායමක් ලබාගත හැකි වනු ඇත.
නුවරඑළියේ ගොවිජන සේවා මධ්‍යස්ථාන සකස් කර අලෙවිසැල්වලින් අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් දේශීය පරිභෝගිකයා සඳහා අලෙවි කිරීම මෙහිදී මූලික වශයෙන් අපේක්ෂා කෙරේ. විදේශීය වෙළෙඳපොළ අවස්ථා සොයා ගනිමින් ඩුබායි වැනි රටවල වෙළෙඳපොළට යොමු කිරීම ද ඉදිරි බලාපොරොත්තුවකි. ගොවියන් 40 දෙනාගේ සහභාගිත්වයෙන් යුතු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට නිසි බලයක් ඇති ස්ට්‍රෝබෙරි ගොවි සංවිධානයක් පිහිටුවා තිබේ. මෙහිදී ඔවුන් රැස්වී ව්‍යාපෘතිය පිළිබඳ අදහස් හුවමාරු කරගන්නා අතර අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා රාජ්‍ය මෙන් ම පෞද්ගලික අංශවල හවුල්කාරීත්වය ලබා ගැනීම සඳහා අවකාශය තිබේ. සහකාර කොමසාරිස් පවසන්නේ අවසාන නිමාව සාර්ථක ලෙස ළඟා කරගත හැකිවන්නේ ප්‍රමිතිගත හරිතාගාරයක ප්‍රතිරෝධ දැල, පොලිතින්, බිංදු ජල සම්පාදන ක්‍රමය, පොහොර භාවිතය යන මේ සියල්ල සමබර ව සහ උසස් මට්ටමින් සිදු කෙරේ නම් පමණක් බවත් මේ හේතුවෙන් ඊශ්‍රායලය, ඉතාලිය, ඊජිප්තුව වැනි රටවල පවතින තාක්ෂණය සහ වගා ක්‍රමවේද පිළිබද අධ්‍යයනයක යෙදෙමින් අවශ්‍ය අදහස් ලබාගනිමින් පියවරෙන් පියවර මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යා හැකි බවත් ය.

මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වූ වර්ග අඩි 1000ක හරිතාගාරයේ වහලය නිර්මාණය කිරීමට අවශ්‍ය වන UV ප්‍රතිරෝධ දැල්, කෘමි විකර්ශක දැල්, බිංදු ජල සම්පාදන පද්ධතියක්, වතුර ලීටර් 500ක ටැංකියක්, වතුර මෝටරයක්, අවුරුද්දක් සඳහා අවශ්‍ය වන පොහොර සහ කෘමිනාශක, දිලීර නාශක, ආනයනය කරන ලද පැළ සිටුවීම සඳහා කවර (Growing bag) රාජ්‍ය ප්‍රතිපාදන මත ගොවියාට ලබා දී තිබේ. මෙහිදී හරිතාගාර වැටක් (Polytunnel) සඳහා වැය වන සමස්ත වියදම රුපියල් මිලියන 1.35කි. මෙයින් ලක්ෂ 5ක් දරා තිබෙන්නේ ගොවියන් ය. රුපියල් 85,0000ක මුදලක් රජය දරා තිබෙන අතර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අවසානයේ පැළ මිලදී ගැනීම දක්වා සිදුකරන ක්‍රියාවලියේ වියදම දරා ඇත. පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ප්‍රමිතියෙන් උසස් හරිතාගාරයක් නිර්මාණය කර තිබෙන අතර පෞද්ගලික අංශය ලෙස මේ සඳහා යොදාගෙන තිබෙන්නේ ටෙන්ඩර් අනුව තෝරාගත් හොඳම සමාගමකි. ඔවුන්ගේ දායකත්වය ද මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වයට මනා රුකුලකි.

ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් පවසන්නේ කෘමි විකර්ශක දැල ඊශ්‍රායලයෙන් ආනයනය කරන විට විදේශීය රටවලින් ආනයනය කරන කෘෂිකර්මික නිෂ්පාදනය සඳහා බදු පනවා තිබීම හේතුවෙන් එය අභියෝගයක් වූ බව ය. මෙරට තිබූ දැල් එවක සොයා ගැනීමට නොතිබුණු නිසා නිසි ප්‍රමිතියෙන් යුතු දැල් ලබා ගනිමින් එම අභියෝගය ජය ගැනීමට පෞද්ගලික අංශයේ සහය ඊට ලැබී තිබේ.

අදහස් දක්වන ඇය; “මාස 10කින් අස්වනු නෙළුෑ පසු නැවත සිටුවීම සඳහා නව පැළයක් අවශ්‍ය වෙනවා. මෙහිදී මව් ශාක අංකුරවලින් කිසිම ගැටලු‍‍වකුන් තොර ව වගා වාර 3කට, එනම් අවුරුදු 03ක් යනතුරු රෝපණය කර උසස් පැළ නිෂ්පාදනයකට යා හැකියි. වසර 03කින් පසුව නැවත පැළ ආනයනය කිරීමට අවශ්‍ය වන නිසා ඒ සඳහා වැඩපිළිවෙළක් සිදු කරන ආකාරය පිළිබඳවත් දැනටමත් සැලසුමක් ක්‍රියාත්මක කර අවසන්. ස්ට්‍රෝබෙරිවලින් මෙරට ජාතික අවශ්‍යතාව සම්පූර්ණ කරන්න පුළුවන්. ඊට වැඩි ම විභවතාවක් ඇත්තේ නුවරඑළියේ දිස්ත්‍රික්කයේ නිසා මේ ව්‍යාපෘතියේ ආරම්භය ම සාර්ථක වේ යැයි අපේක්ෂා කළ හැකියි. ගොවියන් 40 දෙනාගෙන් යුත් කණ්ඩායම වර්ධනය කිරීමත් ස්ට්‍රෝබෙරි වගාවට කැමැත්තක් දක්වන පිරිසක් ගොවි සංවිධානයෙන් සම්බන්ධ කරගෙන ස්ට්‍රෝබෙරි නිෂ්පාදනය 100%කට වැඩි ප්‍රතිශතයක් සැපයිය හැකි කණ්ඩායම නුවරඑළිය ගොවි කණ්ඩායම බවට පත් කිරීමත් ඉදිරි බලාපොරොත්තුවක්.”

කිලෝ 18000ක පළමු අස්වැන්නෙන් දේශීය සහ විදේශීය වෙළෙඳපොළට යැවූ පසු යැවිය නොහැකි ව ඉතිරි වන ස්ට්‍රෝබෙරි සඳහා අගය එකතු කිරීමක් ද සිදු වේ. ඒ යටතේ ස්ට්‍රෝබෙරි ජෑම් (Strawberry Jam) අතුරු නිෂ්පාදනය ආරම්භ කිරීමට අපේක්ෂා කරන්නේ විදාතා ආයතනය සමග එක් ව ය. ඒ, ස්ටෝබරි වැඩසටහනේ අතුරු නිෂ්පාදන සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම සඳහා ය. කාර්මික තාක්ෂණ ආයතනයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහය ද ඒ සඳහා ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.