#තාක්ෂණ

සයිබර් අවකාශයේ මානව ආක්‍රමණය

-චන්දන මාරසිංහ-

අන්තර්ජාලය ඔස්සේ සිදු වන අසත්‍ය තොරතුරු ප්‍රචාරය හා ද්වේශසහගත හැසිරීම්වලින් වන හානිවලින් පොදු සමාජය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රජය විසින් සකස් කරනු ලැබූ ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත’ මේ වන විට දැඩි කතාබහකට මුලපුරා තිබෙනවා. ඊට පක්ෂ ව හා විපක්ෂ ව මත ඉදිරිපත් වන පසුබිමක මෙවර දෙසතිය කතාබහ සිදු වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන යහපත් හා අයහපත් බලපෑම සහ සමාජ මාධ්‍ය සඳහා නියාමන පසුබිමක් ගොඩනැගීම අත්‍යවශ්‍ය ද? යන්න විමසා බැලීමේ අරමුණින්.

ජනමාධ්‍යවලට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ජනජීවිතයට ද විවිධ අංශවලින් දැඩි බලපෑමක් එල්ල කිරීමට සමාජ මාධ්‍යවලට හැකි වී තිබෙනවා. ඒ හේතුවෙන් ම බොහෝ රටවල ජනමාධ්‍ය පත් ව ඇත්තේ සාම්ප්‍රදායික මාධ්‍ය බවට. 2000 වසරින් පසු බිහි වූ ‘සමාජ මාධ්‍ය’, විවිධ ක්‍රමවේද ඔස්සේ ග්‍රාහක පිරිස් ආකර්ෂණය කරගෙන ඇති අතර එහිදී වැඩි බලපෑමක් එල්ල වන්නේ තරුණ කණ්ඩායම්වලට.

Merriam Webster ශබ්ද කෝෂය පෙන්වා දෙන ආකාරයට සමාජ මාධ්‍ය යනු පරිශීලකයන් විසින් තොරතුරු, අදහස්, පෞද්ගලික පණිවිඩ සහ වෙනත් අන්තර්ගත බෙදාහදා ගැනීමට සබැඳි ප්‍රජා නිර්මාණය කරන මාධ්‍යයක්. 21 වැනි සියවසේ සමාජ මාධ්‍ය අලෙවිකරණ මෙවලමක් බවට ද පත් ව තිබෙනවා

සමාජ මාධ්‍ය වේදිකා (social media platforms) ඔස්සේ කෙරෙන තොරතුරු, අදහස් හා රූප හුවමාරු වෙබ් අඩවිවලට වඩා වෙනස්. සමාජ මාධ්‍ය යනු මහජන සන්නිවේදන අවකාශ (public communication spaces) මිස ආයතනගත ව හෝ වෘත්තීය මට්ටමින් හෝ කෙරෙන ජනමාධ්‍ය නොවන බව විද්‍යා ලේඛක/මාධ්‍යවේදී නාලක ගුණවර්ධන පෙන්වා දෙනවා. බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය සමග කාලය ගත කළත් මේ වෙනස පැහැදිලි ව හඳුනාගෙන නැහැ. ඒ පිළිබඳ අදහස් දක්වන නාලක ගුණවර්ධන;

“සමාජ මාධ්‍ය (social media) පුළුල් ව අර්ථ දැක්විය හැක්කේ නොමිලේ ගිණුමක් විවෘත කොට පිවිසි පසු, එහි තිබෙන වචන, රූප, හඬ, වීඩියෝ සහ බහුමාධ්‍ය අන්තර්ගතය පරිශීලනයටත් ඒ ඕනෑ ම ආකාරයක අන්තර්ගතයක් අප විසින් ජනනය කොට ලෙහෙසියෙන් බෙදා ගැනීමටත් හැකියාව සලසා දෙන සේවා ලෙස. ඕනෑ ම කෙනකුට අන්තර්ගතය ජනනය කිරීමට හෝ බෙදා ගැනීමට හැකි නිසා සමාජ මාධ්‍ය අන්තර්ගතය, ‘පරිශීලකයන් ජනනය කරන අන්තර්ගතය’ (user-generated content) ලෙස හැඳින්වෙනවා.

තෝරා ගත් (මිතුරු) පිරිසකට සීමා වූ අන්තර් පුද්ගල සන්නිවේදන (inter-personal communications) මෙන් ම කිසි සීමා කිරීමකින් තොර ව ඕනෑ ම අයකුට පරිශීලනය කළ හැකි පොදු සන්නිවේදන (public communications) යන දෙක ම සමාජ මාධ්‍ය තුළ එක සමාන්තර ව සිදු වනවා. නිශ්චිත පිරිසකට පමණක් කියවිය හැකි පෞද්ගලික සන්නිවේදන මෙන් ම ඕනෑ ම අයකුට දිස්වන පොදු සන්නිවේදන යන දෙවර්ගය ම සමාජ මාධ්‍යවල තිබෙනවා. මේ ඉහළ විවිධත්වය නිසා වෙබ්ගත ජනමාධ්‍යවලින් සමාජ මාධ්‍ය පැහැදිලි ව ම වෙනස්.

සමාජ මාධ්‍ය සහ ක්ෂණික පණිවිඩ හුවමාරු වේදිකා හෙවත් චැට් සේවා (instant messaging service) එකිනෙකින් වෙන්කර තේරුම් ගැනීම ද ප්‍රයෝජනවත්. සමාජ මාධ්‍ය මෙන් නොව මුළුමනින් ම සංවෘත අවකාශයක් තුළ එකිනෙකා සමග පණිවිඩ හුවමාරු කර ගත හැකි චැට් සේවා මෑත වසරවල ජනප්‍රිය වී තිබෙනවා. Whats App, Viber, Imo, Facebook Messenger, Signal සහ Telegram චැට් සේවා මේ අතරින් කැපී පෙනෙනවා.”

සමාජ මාධ්‍ය බිහිවීම හා ව්‍යාප්තිය
1969 වසරේදී ඇමරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උසස් පර්යේෂණ ව්‍යාපෘති නියෝජිත ආයතනය සිදු කළ අත්හදා බැලීම්වල ප්‍රතිඵලයක් වූ මුල් ම ඩිජිටල් ජාලය විශ්වවිද්‍යාල 4ක දත්ත හුවමාරුවට පහසුකම් සැලසූ බව Maryville විශ්වවිද්‍යාලය පෙන්වා දෙනවා. 1987දී ඇමරිකාවේ ජාතික විද්‍යා පදනම එරට ව්‍යාප්ත කර තිබෙනවා NSҒNET ලෙස හැඳින්වෙන වඩාත් ශක්තිමත් ඩිජිටල් ජාලයක්. එය 1997දී සමාජ මාධ්‍ය වේදිකා කරළියට පැමිණීමට ඉටු කර තිබෙන්නේ පුරෝගාමී මෙහෙවරක්. 2003 වසරේදී ආරම්භ කළ My space වෙබ් අඩවිය 2006 විට ලෝකයේ වඩාත් ආකර්ෂණීය ඩිජිටල් ජාලය බවට පත්වුණා. වර්තමානයේ එම ස්ථානය හිමිකර ගෙන සිටින්නේ ෆේස්බුක් සමාජ ජාලය.
2023 ජුනි මාසය වන විට ලොව අන්තර්ජාලය භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව බිලියන 5.19 දක්වා වර්ධනය වී ඇති බව Datareportal වෙබ් අඩවිය සඳහන් කරනවා. එය ලෝක ජනගහනයෙන් 64.5%ක්. 2023 වසරේ ජූලි මාසය වන විට බිලියන 8.05 ඉක්මවා ඇති ලෝක ජනගහනයෙන් ජංගම දුරකතන ග්‍රාහක සංඛ්‍යාව බිලියන 5.56ක් වන අතර එය ලෝක ජනගහනයෙන් 69.1%ක්. මේ නිල දත්තවලට වඩා එහි යථාර්ථය ඊට වඩා වැඩි වන්නට පුළුවන්. 2023 ජූලි මාසය අවසානයේ සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ සංඛ්‍යාව බිලියන 4.88 දක්වා වර්ධනය වී ඇත්තේ ලෝක ජනගහනයෙන් 60.6%ක් ලෙස වාර්තා වෙමින්.

Worldometer දක්වන ආකාරයට 2023 ඔක්තෝබර් 26 වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21.91ක් වන අතර ඉන් මිලියන 14.58ක් අන්තර්ජාලය භාවිත කරන බව DATA REPORTAL වාර්තා සඳහන් කරනවා. එය මෙරට සමස්ත ජනගහනයෙන් 66.7%ක්. 2023 ජනවාරි මාසය වන විට මෙරට දුරකතන සබඳතා සංඛ්‍යාව මිලියන 36.18ක්. සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 7.20ක්. සමාජ මාධ්‍ය භාවිත කරන අවුරුදු 18 සහ ඊට වැඩි පරිශීලකයන්ගේ සංඛ්‍යාව මිලියන 6.85ක් බව හෙළි වී තිබෙනවා. සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගෙන් සියයට 37.3ක් කාන්තාවන් වන අතර 62.7%ක් පිරිමි. මෙටා ආයතනයේ වෙළෙඳ ප්‍රචාරණ දත්ත අනුව 2023 මුල් භාගයේදී මෙරට ෆේස්බුක් පරිශීලකයන්ගේ සංඛ්‍යාව මිලියන 6.55ක්. යූටියුබ් පරිශීලකයන්ගේ සංඛ්‍යාව මිලියන 7.04ක්.

අන්තර්ජාල ප්‍රවේශයේදී අසමානතා පවතින බව ද තහවුරු වූ කාරණයක්. GSM Association බුද්ධි වාර්තාවක් පෙන්වා දෙන ආකාරයට අඩු සහ මධ්‍ය ආදායම් ලබන රටවල කාන්තාවන් මිලියන 900ක් තවමත් අන්තර්ජාලය භාවිත කරන්නේ නැහැ. එයින් 2/3ක් නියෝජනය කරන්නේ දකුණු ආසියා සහ උප සහරා අප්‍රිකා රටවල. ගෝලීය වශයෙන් ද කාන්තාවන්ගේ අන්තර්ජාල භාවිතය පිරිමින්ට වඩා 19%කින් අඩු බවයි එම බුද්ධි තොරතුරු වාර්තාවේ සඳහන් වන්නේ. මීට හේතු වී තිබෙන්නේ ජංගම දුරකතනවල මිල ඉහළ යාම, සාක්ෂරතාව හා ඩිජිටල් කුසලතා අවම වීම, ආරක්ෂාව වැනි කාරණා. ලොව වයස අවුරුදු 18ට වැඩි අන්තර්ජාලය භාවිත කරන්නන් පස් දෙනකුගෙන් හතර දෙනෙක් ප්‍රකාශ කරන්නේ ප්‍රවෘත්ති පරිශීලනය සඳහා අන්තර්ජාලයට යොමු වන බව. වැඩි ම පිරිසක් එනම් 41%ක් මේ සඳහා භාවිත කරන්නේ ෆේස්බුක් සමාජ ජාලය. තොරතුරු සඳහා යූටියුබ් භාවිත කරන පිරිස 30%ක් බවයි ෘ්ඒරුචදරඒක වාර්තා පෙන්වා දෙන්නේ. ප්‍රවෘත්ති සහ තොරතුරු සඳහා වට්ස්ඇප් සමාජ ජාලය භාවිත කරන පිරිස 21%ක්.

ලොව විශාල පිරිසකගේ ආකර්ෂණය දිනා ගැනීමට Threads සමාජ ජාලයට හැකි වී තිබෙනවා. එය හඳුන්වා දී සතියක් ඇතුළත එහි බාගත කිරීම් මිලියන 150කට ළඟා වී ඇති අතර ඒ සඳහා වැඩි ම දායකත්වය ලබා දී තිබෙන්නේ ඉන්දියාව. බාගත කිරීම්වලින් 1/3ක් වාර්තා වන්නේ එහි දෙවැනි ස්ථානයට පත් වුණේ බ්‍රසීලයෙන්. ඇමරිකාව එහි 3 වැනි ස්ථානයට පත් ව තිබෙනවා. 2022 වසර වන විටත් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගෙන් වැඩි පිරිසක් ප්‍රකාශ කළේ පවුලේ සාමාජිකයන් හා හිතමිතුරන් සමග සම්බන්ධ වීමට සමාජ මාධ්‍ය භාවිත කරන බව. නයිජීරියාව, තායිලන්තය මැලේසියාව හා දකුණු අප්‍රිකාව යන රටවල වැඩිහිටියන්ගෙන් 70%කට වැඩි පිරිසක් ප්‍රවෘත්ති දැන ගැනීමට සමාජ මාධ්‍ය භාවිත කරන Statista.com වෙබ් අඩවිය සිදු කළ පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. 2023 වසරේ ලොව පුද්ගලයන් සාමාන්‍යයෙන් දිනකට විනාඩි 151ක පමණ කාලයක් සමාජ මාධ්‍ය අවකාශයේ ගත කර තිබෙනවා. එහිදී පළමු කාර්තුව ඇතුළත ෆේස්බුක් ක්‍රියාශීලි පරිශීලකයන් සංඛ්‍යාව බිලියන 03කට ආසන්න වුණා. Instagram භාවිත පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් විනෝදය උදෙසා එය භාවිත කර ඇති බවයි Statista.com වෙබ් අඩවිය අනාවරණය කරන්නේ. 2023 වසරේ මුල් භාගය වන විට Tik Tok සක්‍රීය පරිශීලකයන්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබෙනවා. එය වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ අවුරුදු 18-24ත් අතර වයස් කාණ්ඩය අතර පසුවන්නන්ගෙන්. 2023 මාර්තු වන විටTik Tok වැඩි ම අනුගාමිකයන් පිරිසක් ඉතාලියේ විකට නළුවකු වන Khabane Khaby සමග සම්බන්ධ වී තිබෙනවා. ඔහුගේ අනුගාමිකයන්ගේ සංඛ්‍යාව ඉක්මවා තිබෙන්නේ මිලියන 155.
සමාජ මාධ්‍ය වෙළෙඳ ප්‍රචාරණය සඳහා ලොව ප්‍රමුඛතම වෙළෙඳපොළ අයත් වන්නේ ඇමරිකාවට. 2023 වසරේ මාස 10කදී එහි මුළු වියදම ඇමරිකානු ඩොලර් බිලියන 72.3ක්. ගෝලීය අලෙවිකරුවන්ගෙන් 89%ක් පරිශීලනය කර තිබෙන්නේ ෆේස්බුක් සමාජ මාධ්‍ය. සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයන් බහුතරය අයත් වන්නේ චීනයට. එම සංඛ්‍යාව බිලියන 1.02ක්. 2027 වසර වනවිට එය බිලියන 1.21 දක්වා ළඟා විය හැකි බවට පුරෝකතනය කර තිබෙනවා. දෙවැනි ස්ථානයට පත් ව තිබෙන්නේ ඉන්දියාව. වර්තමානයේ ඉන්දීය ජාතිකයන් මිලියන 755ක් එය භාවිත කරන අතර 2027 වනවිට බිලියන 1.17 දක්වා සමාජ මාධ්‍ය භාවිත කරන පිරිස වැඩිවිය හැකි බව සදහන්. Cyberspace Administration දක්වන ආකාරයට වයස අවුරුදු 18ට අඩු ළමයින් ස්මාර්ට් ජංගම දුරකතනය භාවිතය දිනකට පැය දෙකකට සීමා කළ යුතු වනවා. වයස අවුරුදු 08 සිට 16 දක්වා ළමයින්ට ඒ සඳහා හිමිවන්නේ දිනකට පැයක්.

සමාජ මාධ්‍ය බලපෑම සහ ආරක්ෂිත පියවර
බොහෝ අවශ්‍යතා සපුරා ගැනීමේදී ආයතනිකවත් පෞද්ගලිකවත් සමාජ මාධ්‍ය පරිශීලනය ඉහළ ගොස් ඇති බව ලෝක සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ සංඛ්‍යාව බිලියන 4.88ක් වීමත් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ සංඛ්‍යාව මිලියන 7.20ක් වීමත් මත පෙනී යනවා. මෙය යහපතට මෙන් ම අයහපතට හේතු වන්නේ යොදා ගැනෙන ආකාරය අනුව.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශ ප්‍රධානී ජ්‍යේෂඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ පවසන පරිදි සමාජ මාධ්‍යවලින් ලබාදෙන පණිවිඩ විවිධ පුද්ගලයන් ග්‍රහණය කර ගන්නේ විවිධාකාර ලෙස. ඔහු; “වසර 2000න් පසු තරුණ වයසේ පසු වන පිරිස ෆේස්බුක් සමාජ මාධ්‍යය සමග වැඩිදුර රැඳෙනවාට වඩා ක්ෂණික ව වෙනස් මාධ්‍යවලට යොමු වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. අධ්‍යාපනයට, විනෝදයට විවිධ මාධ්‍ය භාවිත කරන ඔවුන් යූටියුබ් වැනි නාලිකා මෙන් ම Tik Tok ඇසුරු කරන්නේ ගීතයක් වුව ද කුඩා කොටසක් භාවිත කළ හැකි ආකාරයෙන්.”

මෙරට සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් සංඛ්‍යාත්මක ව ඉහළ ගොස් ඇත්තේ ආර්ථික, දේශපාලන, පරිසර වැනි විවිධ ක්ෂේත්‍රගත ව සහ ගොසිප් ප්‍රචාරණය ද මුල් කර ගනිමින්. විශේෂයෙන් මේ සඳහා පවත්වාගෙන යන ඇතැම් යූටියුබ් නාලිකා අධ්‍යාපනික අරමුණු ඉටු කරන අතර ම විටෙක වෙළෙඳ අරමුණු ප්‍රමුඛ කොට ගන්නේ සැලකිය යුතු ආදායමක් ඉපැයීමට ද එයින් අවකාශ සැලසෙන නිසා. සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන Life Traveller යූටියුබ් නාලිකාවේ සංස්කාරක මනෝජ් රත්නායක පවසන්නේ සමාජ මාධ්‍ය නියාමනයට අණපනත් ගෙන ඒමේ පසුබිම රජයට සකසා දෙන්නේ සමාජ මාධ්‍ය පරිශීලකයන් ම බව. අදහස් දක්වන ඔහු; “අලුත් පරම්පරාව, එනම් මාධ්‍ය ලෝකයේ දශක දෙකක අතර සිටින පිරිස ජනමාධ්‍ය විෂය හදාරා ජනමාධ්‍යකරණයේ පවතින තත්ත්වය වෙනස් කිරීමට සමාජයට පැමිණි පිරිසක්. දූෂිත ජනමාධ්‍ය මාෆියාව නැති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය ‘කොළඹ ප්‍රකාශය’ සකස් කළා ජනාධිපතිවරයාගේ උපදෙස් ද ඇති ව. එහෙත් එය සාර්ථක වුණේ නැහැ. මේ නිසා සත්‍ය තොරතුරු ජනතාව අතරට ගෙන යන එක ම මාධ්‍ය සමාජ මාධ්‍ය. ප්‍රධාන ප්‍රවෘත්ති කාමරය අතහැර යන පිරිසක් සමාජ මාධ්‍යයේ තමන්ගේ ම මාධ්‍ය ආයතන පවත්වාගෙන යනවා. මේවා ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවලට සැබවින් ම අභියෝගයක්.

දහස් ගණනක් පිරිස අතර සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වෙනවා. ඒවාට ගූගල් සමාගමෙන් වෙළෙඳ දැන්වීම් දෙනවා වගේ ම ඉහළ ආදායමක් උපයා ගැනීමටත් ඉන් හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති ආයතන යූටියුබ් නාලිකාවක් මසකට නැරඹුම් (views) මිලියන 5 සිට 15 දක්වා අගයක් ගන්න පුළුවන්. කෙසේ වෙතත් අප වගකීමෙන් සියල්ල ප්‍රචාරණය කළ යුතු වෙනවා.

තමන්ට නාලිකාවක් (යූටියුබ්) තිබූ පමණින් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන්නේ නැහැ. පිහියක් වගේ යහපතටත් අයහපතටත් එය යොදා ගන්න පුළුවන්. පසුගිය කාලයේ එක්තරා යුටියුබ් නාලිකාවක් ජැක්සක් ඇන්තනි රංගවේදියා පිළිබඳ අසත්‍ය පුවත් ප්‍රචාරය කළේ ද්වේශ සහගත ව. ඇතැම් විට ඒ දේශපාලන වාසි තකා වෙන්නට පුළුවන්. රජයකට වුණත් මෙය පාලනය කරන්නට අණපනත් ගෙන ඒමට සිදු වෙනවා.” මෙයින් පෙනී යන්නේ සමාජ මාධ්‍ය පරිශීලකයා විසින් ම තම ප්‍රකාශන අයිතියට වැට බැඳ ගන්නා බව.

සයිබර් අපරාධ යැයි කියූ විට බොහෝ දෙනකු වරදවා වටහාගෙන ඇත්තේ සමාජ මාධ්‍ය ඊට සම්බන්ධයක් දක්වන බව. එහෙත් එය වරදවා වටහා ගැනීමක්. එය පැහැදිලි කරන විද්‍යා මාධ්‍යවේදී නාලක ගුණවර්ධන; “සයිබර් අපරාධ යන්න පුළුල් යෙදුමක්. තෝරා ගත් වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර එල්ල කිරීම, රාජ්‍ය වෙබ් අඩවිවලට අනවසරයෙන් පිවිස (hacking) දත්ත මකා දැමීම හෝ විකෘති කිරීම සහ බැංකු වෙබ් අඩවිවලට අනවසරයෙන් පිවිස මුදල් සොරකම් කිරීම වැනි අපරාධ දශක දෙකකට වැඩි කලක් තිස්සේ වාර්තා වනවා. ඒවා කරන්නේ තොරතුරු තාක්ෂණය හොඳින් ප්‍රගුණ කළ අය. මෙවැනි සයිබර් අපරාධවලට සමාජ මාධ්‍යවල සම්බන්ධයක් නැහැ. 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතින් මේ වැරදි හඳුනාගෙන දඬුවම් ද දක්වා තිබෙනවා.”

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ විධායක නිලධාරී (වැ.බ) ආචාර්ය කණිෂ්ක කරුණාසේන පවසන්නේ සයිබර් අවකාශයේ සිදු වන මාධ්‍ය අවභාවිතය සම්බන්ධයෙන් පවතින මතය නිවැරදි නොවන බව. ඒ පිළිබඳ අදහස් දක්වන ඔහු; “සයිබර් ප්‍රහාරයක් එල්ල වූ විට බොහෝ දෙනා ඉන් අදහස් කරන්නේ ෆේස්බුක්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ සිදු වන අවභාවිත කිරීම් පමණයි. එහෙත් සයිබර් අවකාශයේ සිදු විය හැකි ජාතික ආරක්ෂාව වැනි කාරණාවලට විය හැකි තර්ජන පිළිබඳ බොහෝ දෙනා දැනුවත් නැහැ. සයිබර් ප්‍රහාරයකදී සිදු වන්නේ තොරතුරුවල රහස්‍යභාවයට (Confidntiality), අඛණ්ඩතාවට (Intergrity) සහ තොරතුරු වෙත ප්‍රවේශවීමට ඇති හැකියාවට (Availability) හානි වීම. සයිබර් ආරක්ෂණයේදී සිදු කරන්නේ මේ ත්‍රිත්වය ආරක්ෂා කර ගැනීම. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සයිබර් ආරක්ෂණය යටතේ එවැනි සිදුවීමකදී මුලින් ම කරන්නේ ඒ පිළිබඳ විමර්ශනයක්. අනෙක් රටවල පරිගණක හදිසි ප්‍රතිචාර සංසද සමග සම්බන්ධිත ජාලයක් අප සතු වෙනවා. මෙවැනි ප්‍රහාරයක් එල්ල වූ විට මේ ජාලය ඔස්සේ විමසා බැලෙනවා එය සිදු වී ඇත්තේ කෙසේ ද යන්න. එහෙත් ඇතැම් රටවල් ඒ පිළිබඳ තොරතුරු ලබා දෙන්නේ නැහැ පවතින තාක්ෂණ ගැටලු‍ නිසා.”

කෙසේ වෙතත් තොරතුරු හා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තිය ඔස්සේ අවධානය යොමු කරමින් ඒ සඳහා පියවර ගන්නා බවයි ආචාර්ය කණිෂ්ක කරුණාසේන පවසන්නේ. 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත යටතේ හඳුන්වා දී ඇති ‘පොදු අධිකාරි’ ලෙස හඳුන්වන රාජ්‍ය ආයතන තොරතුරු හා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තිය 2023 වසරේ සිට ක්‍රියාත්මක විය යුතු වුවත් එය නිසි ලෙස ක්‍රියාත්මක වන බවත් පෙනෙන්නට නැහැ. ඔහු පෙන්වා දෙන ආකාරයට 2024 වසරේ සිට එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් විගණනය වනු ඇති නිසා රාජ්‍ය ආයතනවලට ඒ පිළිබඳ නිසි අවධානය යොදු කිරීමට සිදු වනු ඇති.

කෙසේ වෙතත් අන්තර්ජාලය භාවිතය සම්බන්ධයෙන් ආරක්ෂණ විධිවිධාන යෙදීම පිළිබඳ ඇති වී තිබෙන සංවාදයේදී සියලු සමාජ මාධ්‍ය පරිශීලකයන් ද එයට ඇතුළත් වීම නොවැළැක්විය හැකි කාරණයක්.

මෑතකදී අන්තර්ජාල භාවිතය සහ එදිනෙදා ජීවිතයේදී පරිගණක තාක්ෂණය වර්ධනය විමත් සමග ඒ ආශ්‍රිත ව සිදුවන අපරාධ, වංචා ආදී පැමිණිලි වාර්තා වීම වැඩි වීමත් සමග ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ද පැවරී තිබෙන්නේ විශේෂිත කාර්යභාරයක්.


සයිබර් අපාරාධ වැළැක්වීම සම්බන්ධයෙන් බුඩාපෙස්ට් සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති අතර ඒ අනුව පරිගණක අපරාධවලදී තොරතුරු හුවමාරු කර ගැනීමේ සහ දත්ත ආරක්ෂා කර ගැනීම සඳහා සම්බන්ධ වන පැය 24 පුරා ක්‍රියාත්මක සබඳතා ජාලයක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සම්බන්ධීකරණය කරනවා. ඒ අනුව වාර්තා වී ඇති පැමිණිලි අතර තිබෙන්නේ මුදල් වංචා කිරීම්, අනවසර පිවිසීම්, ලිංගික හිරිහැර, නිරුවත් ඡායාරූප පළ කිරීම් ආදිය. 2023 ඔක්තෝබර් 31 වන විට ඒ සම්බන්ධ ව ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 3,917 ක්.

නියාමනය
සමාජ මාධ්‍ය පරිශීලනයේදී ඇතිවන විවිධ අපහසුතා හේතුවෙන් ඒ සඳහා නියාමනය පිළිබඳ ලෝක අවධානය යොමු ව තිබෙනවා. ඇමරිකාවේ ක්‍රියාත්මක වන්නේ අන්තර්ජාලය සඳහා වඩාත් නවීන රෙගුලාසි. ෆෙඩරල් සන්නිවේදන කොමිසම ඒ සඳහා මූලිකත්වය ගෙන තිබෙනවා. ප්‍රංශය, සිංගප්පූරුව, චීනය, දකුණු කොරියාව වැනි රටවල් ඒ සඳහා ක්‍රියා කර තිබෙන්නේ සමාජ මාධ්‍ය සමාගම් සමග ඇති කරගත් එකඟතා අනුව. යුරෝපා කොමිසම ද අන්තර්ජාල ස්වේච්ඡා ආචාර ධර්ම පද්ධතියක් වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ද අන්තර්ජාලය ඔස්සේ සිදු වන අසත්‍ය තොරතුරු ප්‍රචාරය හා ද්වේශසහගත හැසිරීම්වලින් විය හැකි හානි වළක්වා ගැනීමට නීතිමය පසුබිමක් ගොඩනැගීමේ අවශ්‍යතාව මතු ව තිබෙන්නේ සමාජයට එවැන්නක වැදගත්කම දැනෙන පරිසරයක් නිර්මාණය වී ඇති බැවින්. දිනෙන් දින ඉහළ යන සමාජ මාධ්‍ය අවභාවිත හමුවේ ජාතික ආරක්ෂාවට, ජනවාර්ගික සමගියට එය දැඩි ව බලපා තිබෙනවා.

මෙහිදී නියාමනය සඳහා ඒකීය ආකෘතියක් නොමැති අතර එක් එක් රටවල පවතින වෙළෙඳපොළ තත්ත්වය හා බලපෑම අනුව යමින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි සිදු වන්නේ. සමාජ මාධ්‍යවල පළ වන තොරතුරුවල විශ්වසනීයත්වය වැඩි කිරීම සඳහා මාර්ගෝපදේශ ලබාදීමට යුනෙස්කෝ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඩිජිටල් වේදිකා නියාමනය, වැරදි සහ වෛරී ප්‍රකාශවලට එරෙහි වීම ආදිය ඊට අයත්. ඒ සඳහා විශේෂ සම්මන්ත්‍රණයක් පැරීසියේ පැවැත්වීමටත් යුනෙස්කෝ සංවිධානය පියවර ගත්තා. ජාත්‍යන්තර මානව හිමිකම්වලට අනුකූල වන ලෙස නියාමනය ක්‍රියාත්මක කිරීමයි එහි ඉලක්කය වුණේ. එහිදී ඔවුන්ගේ අවධානය යොමු ව තිබෙනවා ඩිජිටල් වේදිකාවල විනිවිද බව ආරක්ෂා කිරීම පිළිබඳවත්. සමාජ මාධ්‍ය ඵලදායි ලෙස යොදා ගැනීම, වෘත්තීය සන්නිවේදනය, පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සහ නිවැරදි බව ආරක්ෂා කිරීම ඇතුළු කරුණු එහිදී මූලික වී තිබෙනවා.

මාධ්‍ය භාවිතයේදී ඇති විය හැකි ගැටලු සමථයකට පත් කිරීම සඳහා ඩිජිටල් සාක්ෂරතාව සමාජ ගත කළ යුතු බවයි ජ්‍යේෂඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ පවසන්නේ. සියලු‍ පාර්ශ්වවල එකගතාවෙන් ඒ සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ මූලික අවශ්‍යතාව ඔහු අවධාරණය කරනවා. ඕනෑම මාධ්‍යයක් පරිහරණය කිරීමේදී ඒ පිළිබඳ අවබෝධය ඉතා වැදගත්. බොහෝ රටවල් ඒ සඳහා විවිධ නිර්දේශ ඉදිරිපත් කර තිබෙන්නේ එබැවින්.

මෙවැනි පසුබිමක සැබවින් ම අවශ්‍ය වන්නේ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ අවබෝධය ලබා දීමත් ඒවා භාවිතයේදී ඇති විය හැකි ගැටලු පිළිබඳ සංවාදයක් ඇති කිරීමත්.