සමාජ සංවේදි පත්තරකාරයා – සුනිල් මාධව ප්‍රෙමතිලක

- කපිල එම්. ගමගේ
පුද්ගල චරිතවල පෞරුෂය ගොඩ නැගෙන්නේ කාලයට සාපේක්ෂ ව. ඒ ඒ යුග විසින් එන්නත් කරනු ලබන අත්දැකීම් එම පෞරුෂයේ නිරෝගි බවට හේතු වනවා සේ ම ඔහු හෝ ඇය හෝ අතින් පෙරළා සමාජ දේහයට ද එක් කරන්නේ නිරෝගි දේ පමණක් ම. මෙය අතිශය දේශපාලනික, ආර්ථික, අධ්‍යාපනික හා සමාජ විද්‍යාත්මක කාරණයක්. වහල් යුගයට සාපේක්ෂ ව ‘ස්පාටකස්’ බිහි වන්නේත් ඔහු වීරයකු ලෙස වරනැගෙන්නේත් ඒ අර්ථයෙන්. එහෙත් ඔහු වහල් බැම්මෙන් නිදහස් කරගන්නා වහලූන් ඊළඟ සමාජ අවධියේදී ඉඩමට බැඳ තබන ප්රවේණිදාසයන් වන්නේ ඔහු යුගයට සාපේක්ෂ වීරයකු පමණක් වන නිසා.
1988/89 වීරයන් ඝාතනයට ලක්වූ යුගයක් ලෙස ඉතිහාසයට එක්වන්නේ දැවැන්ත ලේ පැල්ලම් ශ්‍රී ලාංකික පොත්පිටු අතරට එකතු කරමින්. දකුණේ තරුණයන් පසුපස නාඳුනන තුවක්කුකරුවන් හඹායන්නේ හුදෙක් තරුණකම ම මරණය සඳහා කොන්දේසියක් ලෙස ගනිමින්. තැන තැන ඇවිළෙන තරුණ සිරුරු මතින් නැගි පුළුටු දුමාරය මැකී යමින් පැවැති මොහොතක සුනිල් මාධව පේ‍්‍රමතිලක නම් පත්තරකාරයා මතුවන්නේ ඒ අසීමිත ව සිදුවුණු තරුණ ඝාතන ප්‍රශ්න කරමින් එයට එරෙහි වන්නෙක් ලෙසින්. ඔහු සිය විරෝධය පෑම සඳහා භාවිත කළේ තුවක්කු පතරොම් නොව ඩිමයි කොළ සහ අකුරු. ඔහුගේ ලියවිලි සපුරා ඝාතනයට විරුද්ධ වන විට අනෙක් පසින් එය තරුණ දේශපාලනයට පක්ෂ වුණා. මේ නිසා ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය හා එක් ව සිට එහෙත් දැඩි මර්දනයට හසුනොවූ පිරිස් රහසිගත ව සුනිල් මාධව නම් වූ පත්තරකරුවා වටා එක් රොක්වන්නට පටන්ගත්තා. දිනපතා දිවයින පුවත්පතේ ‘08 වැනි පිටුව’ වෙනත් නිර්මාණ පිටුවලට වඩා සාකල්‍යයෙන් ම වෙනස්, තරුණ නිර්මාණකරුවන් සඳහා ඇරුණු ඉඩ අවකාශයක් ලෙසට ඔහු නිර්මාණය කළා. මෙහි ලියූ බොහෝ දෙනෙක් ජවිපෙ දේශපාලනය හා ඍජු ව ම බැඳුණු හෝ එයට ආශිර්වාද කළ වූවන්. ‘08 වැනි පිටුවෙන්’ සමාජය වෙත සිදු වූ සන්නිවේදනයට අනුව බාහිර සමාජයේ බොහෝ පාඨකයන් සිතුවේ සුනිල් මාධව පේ‍්‍රමතිලක හොඳ ජේවීපීකාරයකු ලෙසින්. එහෙත් ඔහු කිසිලෙසකින් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු හෝ ක්‍රියාකාරිකයකු හෝ වුණේ නැහැ. ‘08 වැනි පිටුවෙන්’ එකල ආවේගශීලී ලියන්නන් ලද ආස්වාදය ප්‍රවීන නිර්මාණ ශිල්පියකු වන හෙන්රි වර්ණකුලසූරිය සිය ‘නොකී කතා’ තීරුලිපි සංග්‍රහයේ පවසන්නේ මෙලෙසින්. ”මේ කවර පුවත්පතක නිර්මාණ පළ වුවත් සුනිල් මාධව පේ‍්‍රමතිලක සංස්කරණය කළ දිනපතා දිවයිනේ 08 වැනි පිටුවේ නම පළ වී තිබෙනු දකින්නට ලැබීම තරම් තවත් ජයග්‍රහණයක් අප එකල භුක්ති වින්දේ නැහැ. ජවාධික පෑන් තුඩගින් ගලා එන වෙඩි උණ්ඩ වගේ අකුරු පේළිවලට 08 වැනි පිටුව ඉඩ සලසා දුන්නා. මේ නිර්මාණවල කිසියම් ආවේගශීලීත්වයක් තැවරී තිබුණා. හරියට සුනිල් මාධවගේ මාධ්‍ය භාවිතය වගේ.” (නොකී කතා – පිටුව 43)
සුනිල් මාධව යනු ඕපපාතික පත්තරකරුවකු නොව ලිවීම උපතින් රැගෙන ආ පත්තරකරුවෙක්. මීමන පේ‍්‍රමතිලක නම්වූ කවියාගේ හා පත්තරකරුවාගේ පුතකු ලෙස සමාජ පිළිගැනීම ද ඒ හා සමපාත වුණා. එහෙත් ඔහු එය සිවිල් බලයක් ලෙස භාවිත කළ බවක් දක්නට ලැබුණේ නැහැ. සමාජය විසින් ඔහු වෙන්කොට හඳුනා ගැනීමට එය භාවිත කරනු ලැබුවා. මේ නිසා ඔහුට සමාජයේ ‘ආරෝපිත සිවිල් බලයක්’ නොතිබුණායැයි සම්පූර්ණයෙන් බැහැර කළ නොහැකියි. ඉංග්‍රීසී භාෂාව පිළිබඳ ඔහුට තිබූ ප්‍රාමාණික දැනුම නිසා ඔහු පුවත්පත් ලෝකයේ තීරණාත්මක විදෙස් පුවත්පත් ලේඛකයන් පිළිබඳ ව හොඳින් කියවා තිබුණා. ඔහුගේ ආවේගකාරී පුවත්පත් ලේඛනයට අවශ්‍ය ඉන්ධන සැපයුණේ ජූලියස් ෆුචික්, ඩොනල්ඞ් වූඞ්ස් වැනි පත්රකලාකරුවන්ගේ ජීවන වෘත්තාන්තයෙන් බව ඔහු බොහෝ තැන්වලදී පවසන්නේ එබැවින්.

මාධ්‍යකරුවකු සැමවිට ම සමාජය දෙසට හැරුණු පුද්ගලයකු ලෙස සිටිය යුතුයි. ඒ, අනෙකක් නිසා නොව ඔහු හෝ ඇය හෝ වග කියන්නේ තමන් නියෝජනය කරන ජන සමාජයට. කිසියම් මොහොතක ජනමාධ්‍යකරුවකු ඊට ප්රතිපක්ෂ ව පාලකයන්ට පකෂපාතිත්වයක් පෙන්වන්නේ නම් හෝ එයින් පෞද්ගලික සුභ සාධනය සිදුකර ගන්නේ නම් ඔහු හෝ ඇය සැබෑ යන ජනමාධ්‍යකරුවකු වන්නේ නැහැ. ඒ ගැන සුනිල් මාධව දැරූ අදහස වන්නේ ”පුවත්පත් කලාවේදියා යනු පුවත්පතකට ම සිරවූ, සෑම මොහොතක ම පුවත්පත ගැන සිතමින් සිටින පුද්ගලයකු නොවේ. ඔහු ලෝකයට ම පේ‍්‍රම කරන්නකු විය යුතු ය. මනුෂ්‍යත්වය හා පරිසරයට ආදරය කරන මිනිසකු විය යුතු ය. ඔහුට ඍජු කොන්දක් තිබිය යුතු ය. එඩිතර මිනිසකු විය යුතු ය. ඔහු සුන්දර මිනිසෙකි. මේ ගුණාංගය නැතිනම් ඔහු පුවත්පත් කලාවේදියකු යැයි මම නොසිතමි.” (නොනිමි ජීවිත කතාව – පිටුව 01)
සුනිල් මාධව අනෙක් පුවත්පත් කලාවේදින්ට වඩා වෙනස් වූයේ ඔහුට තිබූ අයුක්තිය නොඉවසන ගති ලක්ෂණ නිසා. එබැවින් ඔහුට රැකියාව අහිමිවීම් ගණනාවක් ද සිදුවුණා. ඔහු නිතර ම සිටගත්තේ ද පීඩිතයාගේ පාර්ශ්වයේ. මුල් යුගයේදී ඔහු සියලූ සමාජ භේදවලට විරුද්ධ වුව ද අවසාන කාලයේදී ජනවාර්ගික ගැටලූව ගැන දැරූ මතය විවාදයට තුඩුදෙන දෙන්නක්. වාමාංශිකයකු ලෙස සිටිමින් ම සිංහල ජාතිවාදයට හා යුද ජයග්‍රහණයට අනුග්‍රහය දැක්වීම විවාදපන්නයි. එයින් විද්‍යමාන වන්නේ ඔහු සමාජ සංවේදී පුද්ගලයකු වුව ද නිවැරදි දේශපාලන දෘෂ්ටිවාදයක පිහිටා නොසිටි බව. සමාජය ද ඔහු උත්කර්ෂයට නැංවූයේ ඔහුට තිබූ සමාජ සංවේදී බව නිසා. එය ම ඔහුගේ චංචල දේශපාලන දෘෂ්ටිවාදයට හේතු වුණා. ඔහු කාලයට සාපේක්ෂ ව යම් සමාජ දේශපාලන කාර්යභාරයක් සිය වෘත්තියෙන් ඉටු කිරීමට උත්සාහ කළ බව අමතක කරන්නට බැහැ. ඔහු ඉතා හොඳ පරිවර්තකයෙක්. ඔහු කළ පරිවර්තනයක් ලංකා සමාජයේ දේශපාලන විඥානයට කළ බලපෑම අතිමහත්. ‘හඬනු මැන නිදහස’, ‘ඇමරිකා ඇමරිකා’, ‘කැරොලිනාගේ දිනපොත’ වැනි කෘති මෙන් ම ස්වතන්ත්‍ර තීරුලිපි සටහන් එකතුවක් වූ ‘සත්‍යවාදියාගේ දිනපොත’ අදත් පාඨක ගරුබුහුමනට ලක්වනවා.
සුනිල් මාධව වෙනුවෙන් පැවති උපහාර උත්සවයක් සම්බන්ධයෙන් පුවත්පත් කලාවේදී චන්දන සිරිමල්වත්ත සහෝදරයා ලියා තිබූ මේ සටහන ඔහු සිය ජීවිතයේ අවසාන භාගයේදී මුහුණපෑ අර්බුදයේ ස්වරූපය කියාපාන්නක්. ”සුනිල් මාධව නම් මිනිසා ස්වකීය ජීවිතකාලයෙන් වැඩි කාලයක් යෙදවූයේ පීඩිතයා වෙනුවෙන් හඬ නගන්නට ය. පීඩිතයන්ට විමුක්තිය අත්පත් කරදෙන දේශපාලන ව්‍යාපාරයක් පැන නැගිය යුතු බවත් එය සමස්ත ජනයාගේ ජයග්‍රාහී අවසානයක් කරා එනම් විප්ලවයක් කරා යායුතු බවත් සුනිල් අයියා අවංක ව විශ්වාස කළේ ය. ඒ වෙනුවෙන් ලියුවේ ය. කතා පැවැත්වී ය. සාහිත්‍යකරණයේ යෙදුණේ ය. ඔහු තවදුරටත් එවැනි කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි ය. ඔහු ශාරීරිකවත් ආධ්‍යාත්මිකවත් දුර්වල වී හමාර ය. එය අප වටහාගත යුතු ව ඇත. එහෙත් සුනිල් මාධව පේ‍්‍රමතිලක අමරණීය කාර්යභාරයක ජීවමාන හිමිකරුවෙකි. ඔහුගේ භූමිකාව මින් ඉදිරියට ප්‍රාණවත් කර සජීවි කළ හැක්කේ එම කාර්යභාරය ඉදිරියට ගෙන යාමෙනි.” (චන්දන සිරිමල්වත්ත)
කිනම් තත්ත්ව යටතේ වුව ද සුනිල් මාධව පේ‍්‍රමතිලක නම් පුවත්පත් කලාවේදියා කාලයට සාපේක්ෂ ව සිය පෑන මෙහෙයවමින් ඉටුකළ කාර්යභාරය ලංකා ඉතිහාසයේ මාධ්‍ය කලාවේ වෙන ම පරිච්ෙඡ්දයක් බෙදා වෙන් කරදෙන බව අවසාන වශයෙන් සටහන් කළ යුත්තක්.