#ක්‍රීඩා

සප්ත ලෝක වාර්තා

  • වර්නන් ගුණසේකර

පෙබරවාරි මාසයේ දින අටක කාලයක් ඇතුළත පමණක් මලල ක්‍රීඩාවේ ලෝක වාර්තා හතක් බිඳ වැටුණා. මේ වික්‍රමාන්විත ක්‍රීඩාවේ යෙදුණේ වෙනස් මහාද්වීප හතරකින් පැමිණෙන ක්‍රීඩකයන් පස් දෙනෙක්. ඔවුන් මේ නව ලෝක වාර්තා පිහිටුවූයේ ඔලිම්පික් ක්‍රීඩා උලෙළක, ලෝක ශූරතාවලියක හෝ මහාද්වීප හෝ ගෝලීය මට්ටමේ තරගාවලියක නෙවෙයි.

2024 පැරිස් ඔලිම්පික් සහ ටෝකියෝහි පැවැත්වීමට නියමිත 2025 ලෝක ශූරතාවලිය අතර සම දුරස්ථ ව තිබෙන පෙබරවාරි මස මැදදී මේ ක්‍රීඩකයන් පස් දෙනා මීටර් 1500 සිට ඉහළට අර්ධ මැරතන් දක්වා වන පරාසයක ලෝක වාර්තාගත දස්කම් ප්‍රදර්ශනය කිරීමට සමත් වුණා.

ඔලිම්පික් ක්‍රීඩා උලෙළෙන් පසුව ලෝක මලල ක්‍රීඩාවේ යළි පිබිදීම සිදු ව තිබෙන්නේ ආකර්ෂණීය අයුරින්. ගෘහස්ථ සැතැපුම දිවීමේ ලෝක වාර්තාව දින පහක් ඇතුළත දෙවතාවක් බිඳ දැමුණා. පළමු ව එම වාර්තාව මකා දැමුවේ ඔලිම්පික් මීටර් 1500 ලෝකඩ පදක්කම්ලාභී ඇමරිකාවේ යොරේඩ් නෙගස් (Yared Nuguse). ඒ, නිව්යෝක් නුවර වාර්ෂික මිල්රෝස් ක්‍රීඩා උලෙළේ. එහිදී ඔහු මිනිත්තු 3:46.63ක කාලයක් සටහන් කරමින් මකා දැමුවේ 2019 වසරේ බොස්ටන්හිදී ඉතියෝපියාවේ
යොමිෆ් කොජෙල්චා (Yomif Kejelcha) බිහි කළ මිනිත්තු 3;47.01ක වාර්තාව.

දෙවැනි ව නෝවේජියානු ජාතික යාකොබ් ඉන්යබි්‍රට්සන් (Jakob Ingebrigtsen) උතුරු ප්‍රංශයේ ලියිවා නුවරදී එම වාර්තාව

තත්පර එකහමාරකට ආසන්න කාලයකින් අඩු කරමින් මිනිත්තු 3:45.14ක කාලයක් සටහන් කළේ ඒ අතරතුර මිනිත්තු 3:29.63ක මීටර් 1500 ලෝක වාර්තාවක් ද පිහිටුවමින්. මෙහිදී ඔහු මකා දැමුවේ ඔහු විසින් ම 2022 වසරේ මේ නුවරදී ම පිහිටුවූ මිනිත්තු 3:30.60ක වාර්තාව. ඉන්යබි්‍රට්සන් මේ නව ලෝක වාර්තා ද්විත්වය පිහිටුවූයේ ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ගෝල්ඩ් තරගාවලියේ. මේ අනුව ඔහු 1954 වසරේ ඕස්ට්‍රේලියාවේ ජෝන් ලැන්ඩිගෙන් පසුව එක ම තරගයේ සැතැපුම හා මීටර් 1500 ලෝක වාර්තා පිහිටුවීමට සමත් වූ පළමු ක්‍රීඩකයා බවට පත්වුණා.

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 5000 ඉසව්වේ රන් පදක්කම දිනා ගත් මේ 24 හැවිරිදි ක්‍රීඩකයා කෙටි ධාවන මීටර් 1500, කෙටි ධාවන සැතැපුම, මීටර් 2000සහ මීටර් 3000 ඉසව්වල වර්තමාන ලෝක වාර්තාලාභියා. පසුගිය වසරේ ඔලිම්පික් මීටර් 5000 සහ 10000 ඉසව්වල ලෝකඩ පදක්කම් හිමිකර ගත් ඇමරිකාවේ 27 හැවිරිදි ග්‍රාන්ට් ෆිෂර් (Grant Fisher) නිව්යෝක් නුවරදී මිනිත්තු 7:22.91ක කාලයකින් මීටර් 3000, ගෘහස්ථ ඉසව්වේ නව ලෝක වාර්තාගත ධාවනයක යෙදුණේ නෙගස් සැතපුමේ ලෝක වාර්තාව බිහිකළ දිනයේ ම. එදා ෆිෂර් බිඳ දැමුවේ 2023 වසරේ ඉතියෝපියාවේ
ලමීචා ගර්මා (Lamecha Girma) විසින් ලියිවා නගරයේදී සටහන් කර තිබූ මිනිත්තු 7:23.81ක වාර්තාව.

ඊට දින හයකට පසුව, මේ ඇමරිකානුවා තත්පර පහකට වැඩි කාලයකින් ඉතියෝපියාවේ කනනිසා බකලේ (Kenenisa Bekele) ගේ මීටර් 5000 වාර්තාව මකා දැමුවා. 2004 වසරේ එංගලන්තයෙ ්බර්මිංහැම් නගරයේදී ඔහු තබා තිබූ මිනිත්තු 12:49.60 ලෝක වාර්තාව ඇමරිකාවේ බොස්ටන් නුවරදී බිඳ දැමුවේ ෆිෂර්. ඔහුගේ නව ලෝක වාර්තාව මිනිත්තු 12:44.01ක්.

මේ ලෝක වාර්තා සමූහය සම්පූර්ණ කරමින් තවත් ලෝක වාර්තා දෙකක් එක ම දිනයේදී බිඳ වැටුණා. උගන්ඩාවේ ජේකබ් කප්ලීමෝ (න්‍්ජදඉ ණසචකසපද) මිනිත්තු 56:42කින් බාසිලෝනා අර්ධ මැරතන් තරගය ධාවනය කරමින් නව ලෝක අර්ධ මැරතන් වාර්තාවක් බිහි කළේ එම ඉසව්වේ කළින් තිබූ වාර්තාව තත්පර 48කින් මකා දමමින්. මෙහි කළින් තිබූ වාර්තාව වූයේ ඉතියෝපියාවේ යොමිෆ් කෙජෙල්චාගේ 57.30. ඒ අනුව මෙය අර්ධ මැරතන් ලෝක වාර්තාවේ විශාල ම දියුණුව වුණා. මේ ජයග්‍රහණයත් සමග කප්ලීමෝ කිලෝමීටර් 21.1කින් යුත් අර්ධ මැරතන් තරග ධාවනය මිනිත්තු 57ට අඩු කාලයකින් සම්පූර්ණ කළ එදා මෙදා තුර පළමු පුද්ගලයා බවට ඉතිහාසගත වුණා.

පෙර තිබූ ලෝක වාර්තාව බිඳ දැමීම කරා යෙදුණු ධාවනයේදී කප්ලීමෝ පැයට කිලෝමීටර් 22.3ක සාමාන්‍ය වේගයක් පවත්වා ගෙන ගියා. ඔහු තරගය අවසන් කළේ දෙවැනි ස්ථානයට පත් කෙන්යාවේ ජෙෆ්රී කැම්වොරෝට මිනිත්තු දෙකකටත් වඩා වැඩි කාලයකට පෙර වීම විශේෂත්වයක්. ඊට තවත් තත්පර 56කට පසුව තෙවැනියට තරගය අවසන් කළේ ද කෙන්යාවේ ම තරගකරුවකු වන සැම්වල් මයිලු. කප්ලීමෝ අර්ධ මැරතන් ලෝක වාර්තාව බිඳ දැමූ දිනයේ ම ජපානයේ ටොෂිකාසු යමානිශි (Toshikazu Yamanishi) කිලෝමීටර් 20 තරග ඇවිදීම ඉසව්වේ වාර්තාව පැය1:16.10ක් දක්වා පහළට ගෙන ආවා. ඔහු විසින් බිඳ හෙළනු ලැබුවේ ජපානයේ ම යුසුකේ සුසුකි (Yusuke Suzuki) විසින් 2015 වසරේ පිහිටුවා තිබූ වාර්තාව.

කාබන් තහඩු සහ ක්‍රීඩා පාවහන් හා ස්පයික්ස් වල තිබෙන ‘අති අවධි’ ෆෝම්වලින් යුත් අධි නවීන තාක්ෂණය නිසා ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය වී තිබෙනවා. මේ පාවහන් වෙළෙඳපොළට පැමිණි 2017 වසර ආරම්භයෙන් පසුව කිලෝමීටර් 5, කිමී 10ට වැඩි, අර්ධ හෝ පූර්ණ මැරතන් තරග බිමේ බිහිවූ පිරිමි හෝ කාන්තා 40 වැනි ලෝක වාර්තාව වනුයේ කප්ලීමෝගේ අර්ධ මැරතන් හපන්කම. මේ පාවහන්වලින් සාමාන්‍ය වශයෙන් සෑම මාස දෙකකට වරක් මාර්ග ධාවන ලෝක වාර්තාවක් බිහිවනවා. වසර 2000 සිට 2016 අවසානය දක්වා වකවානුවේ මේ සියලු දුර ප්‍රමාණවල ලෝක වාර්තා තිබුණේ 44ක් පමණයි. එය වසරකට වාර්තා තුනකටත් අඩුයි. මේ ‘සුපර් පාවහන්’ පළමු වරට දක්නට ලැබුණේ රියෝ ඩි ජනේරෝ නුවර පැවති 2016 ඔලිම්පික් මැරතන් තරගයේ. එහිදී ‘නයික්’ ලාංජනයේ ක්‍රීඩකයන් පදක්කම් ප්‍රදානය කෙරෙන වේදිකාවේ ඔවුන්ගේ අණසක පැතිරවූවා.