සන්නිවේදන ප්‍රතිපත්ති හා මාධ්‍ය නියාමනය කෙසේ විය යුතු ද?
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය යනු හුදු විෂයයක් පමණක් නොවේ. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්රමයක සිසු සිසුවියන් බොහෝ දෙනෙකු ඉහළ ම ප්‍රතිඵල අපේක්ෂාවෙන් විභාගයේදී පිළිතුරු ලිවීම සඳහා සූදානම් වීම අහම්බයක් නොවුව ද මෙය එදිනෙදා ජීවිතයට සහසම්බන්ධ ප්‍රායෝගික විෂයකි. දවසේ ඕනෑ ම මොහොතක අප තීන්දු තීරණ ලබාගන්නා ක්‍රියාවලියට දායක වන වෙනත් විෂයක් නොමැති තරම් බැව් විමසුම් ඇසින් බලන්නෙකුට නොපෙනෙන්නේ ද නොවේ.
පළමු ව අප විසින් අවධානය යොමු කරනු ලබන්නේ ‘සන්නිවේදන ප්‍රතිපත්ති’ කෙරෙහි ය. සන්නිවේදනය හා මාධ්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳ රාජ්‍ය බලධාරීන්ගේ තීරණ යොමු කෙරෙන පොදු මූලධර්මවලට අදාළ ව ‘සන්නිවේදන ප්‍රතිපත්ති’ යන යෙදුම භාවිත වේ. සිවිල් නිදහස හා මානව අයිතිවාසිකම් කෙරෙහි බලපෑම් ඇති වන විට සන්නිවේදන ප්‍රතිපත්ති පුරවැසි ප්‍රතිපත්තියේ කොටසක් බවට නිතැතින් පත් වේ. සන්නිවේදනය වඩාත් ඵලදායක වන්නේ එහි ශක්තිය සමාජ සාධකවලින් සහ සංදේශ විසරණය මගින් මහජන මතය හා ඊට අදාළ සාධක එළිදරව් වුවහොත් ය. මෙහිදී සන්නිවේදකයා මෙන් ම ග්රාහකයා ද නිර්මාණශීලී හා වඩා සක්‍රිය ව සහසම්බන්ධවීම අපේක්ෂා කෙරෙයි.
සන්නිවේදන ප්‍රතිපත්ති (Communication P o l i c y) සම්පාදකයන් හා සැලසුම්කරුවන්ගේ වෘත්තීය මට්ටමේ වගකීම වන්නේ සමාජ ධර්මතා විකෘති නොවන පරිදි සන්නිවේදන ප්‍රතිපත්තිය සකස් කිරීමයි. එහෙත් මෙහිදී අප අමතක නොකළ යුතු වන්නේ ‘සමාජ ධර්මතා’ හෝ ‘වටිනාකම්’ හෝ යනු ඒකමිතික ව සෑම කල්හි ම ස්ථිතික ව පවත්නා දේ නොවන බව ය. කාලය සමඟ වෙනස්වීමේ විභවතාව සමාජයකට හිමිවන්නේනම් එකී සමාජයේ සන්නිවේදන හෝ මාධ්‍ය ප්‍රතිපත්තිය හෝ වෙනස් නොවී පැවතීමේ හැකියාවක් කිසිසේත් ම නැත.
සන්නිවේදන ප්‍රතිපත්ති හැදෑරීමේ මුඛ්‍ය අරමුණ වන්නේ අන්තර්ගතය පිළිබඳ අවබෝධය, මාධ්‍ය කර්මාන්තයේ හිමිකාරිත්වය, තාක්ෂණික යටිතල පහසුකම් හා තාක්ෂණික සංවර්ධනය, මාධ්‍ය සම්බන්ධතා අධිකාරි හා බැඳි සම්බන්ධතා යනාදිය කෙරෙහි අවධානය යොමු කිරීම. විශේෂයෙන් ම අප වැනි කුඩා මාධ්‍ය වෙළෙඳ පොළක් හිමි රටක ලාභ ඉපැයීම අරමුණුකොටගත් මාධ්‍ය කර්මාන්තයේ ස්වරූපය සමීප ව නිරීක්ෂණය කළ යුතු ම ය. මෙහිදී සන්නිවේදන ප්‍රතිපත්තිවලට බලපාන මග හැරිය නොහැකි හෝ වැළැක්විය නොහැකි හෝ වෙනත් සමාජ සාධක රැසක් ද දැක ගත හැකි ය. (උදා: වර්ණභේදවාදය, වාර්ගිකත්වය වැනි) සන්නිවේදන ප්‍රතිපත්ති රටාව සකස් කෙරෙන්නේ තත් සමාජයේ පවත්නා සම්මත දේශපාලන හා සමාජීය තත්ත්වයට අනුකුල ව ය.
1927 වර්ෂයේදී බී.බී.සී. ආයතනය පිළිබඳ බ්රිරතාන්ය රාජකීය ප්රඥප්තිය (Royal Charter) මඟින් මහා බි්රතාන්යය සහ යටත්විජිතවල ගුවන්විදුලි මාධ්‍ය හැසිරවීම පිළිබද ප්‍රතිපත්ති හඳුන්වා දී තිබේ. මෙහි පදනම වූයේ මහජන සේවා (Public service) ගුවන්විදුලි සංකල්පය ස්ථාපිත කිරීමයි. පසුකාලීන ව මේ ප්‍රතිපත්ති රූපවාහිනි කෙරෙහි ද ආදේශ කෙරිණි.
එහෙත් 2003 වර්ෂයේදී හඳුන්වා දුන් සන්නිවේදන පනතින් වත්මන්හි ‘සන්නිවේදනය පිළිබඳ කාර්යාලය’ යන අරුත ඇති ව Ofcom (Office Of Communication) ලෙසින් සන්නිවේදන නියාමනයක් ක්‍රියාත්මක ය. මෙයින් රූපවාහිනි සේවා, ගුවන්විදුලි අංශ, ස්ථාවර දුරකතන, ජංගම දුරකතන, තැපැල් සේවා සහ රැහැන් රහිත සන්නිවේදන උපාංග ක්‍රියාත්මක වන ගුවන් තරංග නියාමනය කෙරෙයි. එහි භූමිකාව වන්නේ පුරවැසියන්ගේ සහ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා තවදුරටත් වර්ධනය කිරීම විය යුතු බව පනතේ සඳහන් වන අතර එය වග කියන්නේ එරට පාර්ලිමේන්තුවට ය. විකාශන සහ සන්නිවේදන ජාල නියාමනය සඳහා කර්මාන්තයෙන් ලැබෙන ගාස්තු සහ රජයෙන් ලැබෙන ආධාරවලින් එය නඩත්තු වෙයි.
1934 වර්ෂයේ ඇමරිකා එක්සත් ජනපදයේ සම්මත කළ සන්නිවේදන පනතින් (Communication Act) ඇමරිකාවේ ගුවන්විදුලිය, රූපවාහිනිය, විදුලි සංදේශ හා විදේශ සන්නිවේදන සඳහා පෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව ඇති කෙරිණි. එය ජනමාධ්‍ය ආයතන අතර තාක්ෂණික ගැටලු නියාමනය කර තිබේ. සන්නිවේදන ප්‍රතිපත්ති සැලසුම් කිරීම සඳහා පවත්වන ලද ප්‍රථම සම්මන්ත්‍රණය 1976 වර්ෂයේ කොස්තාරිකාවේ සැන්ජෝස්හිදී පැවැත්විණි. නව ජාතික හා ජාත්‍යන්තර සන්නිවේදන මණ්ඩලයක් පිහිටුවා ගැනීම කෙරෙහි එහිදී අවධානය යොමු විය. සෑම රටක ම ජාතික විඥානයට අමතර ව අන්තර්ජාතික සම්බන්ධතා තහවුරු කරන ආකාරයෙන් සන්නිවේදන ප්‍රතිපත්ති සකස් කර ගත යුතු බව දැක්විණි. එතැන් පටන් රටවල් තම සන්නිවේදන ප්‍රතිපත්ති මාලාව විධිමත් කිරීමේ කාර්යය ආරම්භ කළේ ය.
1970 දශකය අගභාගයේදී නොබෙල් සාම ත්‍යාගලාභී ශෝන් මැක්බ්රයඩ්ගේ සහභාගිත්වයෙන් යුනෙස්කෝ සංවිධානය විසින් ගෝලීය මාධ්‍ය නිරුපණය වඩාත් සාධාරණියකරණය කිරීමට මැක්බ්රයඩ් කොමිසම ආරම්භ කරන ලදී. ගෝලීය සන්නිවේදන අසමතුලිතතා සම්බන්ධ මූලික ම ගැටලු එවක සන්නිවේදන විශාරදයන්ගේ අවධානයට ලක් විය. 1964 වර්ෂයේදී විල්බර් ශ්රාම්, ජාතින් අතර ප්රවෘත්ති ගලනය පිළිබඳ අදහස් දක්වමින් සංවර්ධනය වෙමින් පවතින රටවල ප්රවෘත්ති අඩු අවධානයක් හා යථාර්ථය විකෘති කිරීමක් කරන බව ප්‍රකාශ කරයි. එහෙත් ජාත්‍යන්තර ප්රවණතා සැලකිල්ලට ගැනීමේදී එය ලෝකයේ බොහෝ රටවලට අඩු වැඩි වශයෙන් පොදු තත්ත්වයක් බැව් පිළිගන්නට සිදුවේ.
1969 වර්ෂයේදී හර්බට් ශෙලර්, ගුවන්විදුලි සංඛ්‍යාත වෙනස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයකොට චන්ද්‍රිකා සම්බන්ධතා මත යුදමය අවශ්‍යතා සඳහා එය වැඩි වශයෙන් යොදවන බව පෙන්වා දුන්නේ ය. මේ අදහස් 1970 දශකයේ නොබැඳි රටවල් අතර ප්රවෘත්ති හුවමාරු ක්‍රමවේද ගොඩ නැඟීමට පසුකාලීන ව හේතු විය.
යුනෙස්කෝ සංවිධානය විසින් නිකුත් කරනු ලැබූ ‘ඵ්බහ ඪදසජැ ධබැ උදරකා ‘Many Voice One World’ නම් මැක්බ්‍රයිඩ් වාර්තාව දක්වන ආකාරයට රටක සන්නිවේදන ප්‍රතිපත්ති සකස් විය යුත්තේ අසමානතා දුරු කිරීමටයි. එසේ නොවී සුළුතරයක ප්රජාතන්ත්රවාදී ව අදහස් ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව අහිමි කළහොත් වෙනත් ආකාරයට ඒ පීිඩනය පුපුරා යාමට හැකි ය. යුනෙස්කෝ සංවිධානය පෙන්වා දෙන්නේ ඕනෑ ම පුද්ගලයෙකුට යහපත් ජිවිතයක් ගත කිරීමට අයිතියක් ඇති බවයි. ඒ සඳහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා සන්නිවේදන ප්‍රතිපත්ති මාලාවක් සකස් කළ යුතු ය. එමගින් සමාජ දුරස්ථභාවය අවම කරයි. සාමය හා සමානාත්මතාව ඇති කරයි.
මේ අනුව සෑම පුද්ගලයෙකුගේ ම ආත්මශක්තිය සලකා බලන සන්නිවේදන ප්‍රතිපත්ති මාලාවක් තිබිය යුතු ය. පුද්ගල ජිවිතයේ සෑම අංශුවක් හා සමඟ ම සන්නිවේදනය බැඳී පවතින බැවින් සන්නිවේදන පරතරය තුරන් කිරීම හෝ අවම කිරීම හෝ සඳහා රටක සන්නිවේදන ප්‍රතිපත්ති සකස් කළ යුතු වේ.
රටක මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් වන්නේ පුළුල් වශයෙන් සන්නිවේදන ප්‍රතිපත්ති ඇසුරිනි. මාධ්‍ය ප්‍රතිපත්ති කිසියම් රටක මහජනතාවගේ පොදු සුභ සිද්ධිය සලකා සම්පාදනය කරයි. මාධ්‍ය ප්රතිපත්තිවල පහත කරුණු ප්‍රධාන වශයෙන් අන්තර්ගත වනු ඇත.
- මාධ්‍ය කර්මාන්තයේ හිමිකාරිත්වය
- තාක්ෂණික යටිතල පහසුකම් හා තාක්ෂණික සංවර්ධනය
- මහජනතාව සමඟ පැවතිය යුතු මාධ්‍ය සම්බන්ධතාව
- මාධ්‍ය අධිකාරි හා වෙළෙඳ පොළ නියාමනය
අප වැනි බහුවාර්ගික, බහුආගමික රටක බහුතර ප්රජාවකගෙන් සුළුතර ප්රජාවකට අත්විය හැකි අකටයුතුකම් වළකාලීම ද මෙවැනි ප්රතිපත්තියක අන්තර්ගත වීම සාධනීය වනු ඇත. කෙසේ වෙතත් මේ වන විට ලාංකේය මාධ්‍ය කර්මාන්තයට අදාළ ව ‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක්’ සකස් වෙමින් පවතින අතර එය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමෙහිලා අවසන් අදියරේ පවතී.






