සකුරා දේශයේසුපිපි මල
ජපාන ජාතික ‘සනායේ තකායිචි’ (Sanae Takaichi) පසුගිය දිනවල ලෝක දේශපාලන කරළියේ වැඩි අවධානයක් දිනාගත් චරිතයක්. ඇය ජපාන ඉතිහාසයේ වෙන කිසිදු කාන්තාවකට කළ නොහැකි වූ දස්කමක් දැක්වීමට සමත් වුණා. 2025 ඔක්තෝබර් 21 දින ජපානයේ අගමැති ධුරයට සනායේ පත් වූයේ කාන්තාවක ජපානයේ අගමැති ධුරයට පත් වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින්.
ජපානයේ පළමු වරට අගමැතිවරයකු පත් වූයේ 1885 වසරේ. ඔහු ඉතෝ හිරොබුමි (Itō Hirobumi) එදාමෙදාතුර ගත වී ඇති වසර 145ක කාලයේ ජපානයේ අගමැති පදවියට පත් සියලු දෙනා පිරිමින්.
64 හැවිරිදි සනායේ තරුණ කාලයේ එක්තරා සංගීත කණ්ඩායමක ඩ‍්‍රම්ස් සහ ගිටාර් වාදන ශිල්පිනියක ව සිට ඇති බව මාධ්‍ය අනාවරණය කරනවා. ඇය සංගීත වාදනයට මොනතරම් කැමැත්තක් දක්වනවාද යත් පාර්ලිමේන්තුව ආශ‍්‍රිත ව ඇති ඇගේ නිවසේ ද ඩ‍්‍රම්ස් කට්ටලයක් ඇති බව සඳහන්. මානසික වෙහෙස නැති කර ගැනීම සඳහා ඇය එය වාදනය කරන බවයි පැවසෙන්නේ. 1990 ගණන්වල ඇය තවත් අපූරු වෘත්තියක නිරත ව තිබුණා. ඒ, රූපවාහිනි නිවේදිකාවක වශයෙන්. සනායේ ශාස්ත‍්‍රීය පොතපත ද ලියා තිබෙනවා. මේ අනුව ඇය විවිධ ඉසව්වල සිය කුසලතා පෙන්වා ඇති සුවිශේෂ චරිතයක්.
සනායේ විවාහ වී සිටින්නේ ද දේශපාලනඥයකු සමඟ. තාකු යමාමොටෝ (Taku Yamamoto) නමැති ඔහු කලක් ජපාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියා කළා. ඔවුන් දෙදෙනා මුලින් ම විවාහ වූයේ 2004 වසරේ. එහෙත් 2017 වසරේ ඔවුන් දික්කසාද වුණා. එහිදී සනායේ පවසා තිබුණේ තමන් දෙදෙනාගේ දේශපාලන අදහස් සහ අරමුණු අතර ඇති වෙනස්කම් නිසා මේ ආකාරයෙන් දික්කසාද වන බව. එහෙත් ඔවුන්ට වැඩි කාලයක් මෙසේ වෙන් වී සිටීමට හැකි වී නැහැ. 2021 වසරේ සනායේ සහ තාකු නැවතත් විවාහ දිවියට එළඹුණා.
මේ වනවිට ඇයගේ සැමියා සිටින්නේ අසනීපයෙන්. ඔහුට පුරස්ථි ග‍්‍රන්ථි පිළිකාවක් වැළඳී ඇති බව 2024 වසරේ සොයාගෙන තිබුණා. මේ අතර මාස කිහිපයකට පෙර ඇති වූ ආඝාත තත්ත්වයක් නිසා ඔහුගේ සිරුරේ දකුණු අංශය අප‍්‍රාණික ව ඇති බවක් ද සඳහන්. විවිධ අභියෝග මැදින් ජීවිතයේ ඉදිරියට ආ සනායේට දැන් තිබෙන්නේ රට හමුවේ මෙන් ම ඇගේ පක්‍ෂය හමුවේ ද ඇති අභියෝග ජය ගැනීමේ අභියෝගය.
පසුගිය වසර 5ක කාලයේ ජපානයේ අගමැතිවරුන් සිව් දෙනෙකු මාරු වී තිබෙනවා. සනායේට කලින් අගමැති ධුරය දැරූ ෂිගේරු ඉෂිබා (Shigeru Ishiba) එම ධුරයේ සිටියේ වසරක් වැනි කෙටි කාලයක්. රටේ සහ ආණ්ඩු පක්‍ෂය වන ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ පවතින අස්ථාවර තත්ත්වයයි මෙයින් මොනවට පැහැදිලි වන්නේ.
ජපානය ආර්ථික වශයෙන් ද බොහෝ අභියෝගවලට මුහුණ දී සිටින රටක්. විශ්ලේෂකයන් පෙන්වා දෙන ආකාරයට ජපානයේ ආර්ථික වර්ධනය බොහෝදුරට මන්දගාමී වී ඇත්තේ කාලයක සිට ම එරට උපත් අනුපාතය පහත වැටෙමින් තිබීම නිසා. එබැවින් ජපානයේ නිෂ්පාදන කි‍්‍රයාවලියට දායක විය හැකි තරුණ ජනගහනයේ දක්නට ලැබෙන්නේ අඩුවීමක්. එරට මහලු ජනගහනය වැඩි වීම ද ආර්ථිකයට අමතර බරක් එක් කර තිබෙන්නේ ඔවුන් රැකබලා ගැනීම සඳහා දරන්නට වන වියදම් ද ඉහළ යමින් පවතින නිසා. ජපානය යනු ඉතා දීර්ඝායුෂ භුක්ති විඳින උදවිය වැඩි ම රටක් බව නොරහසක්.
රටේ ආර්ථික වර්ධනය අඩාල වීම සහ රාජ්‍ය වියදම් ඉහළ යාම මත මේ වනවිට රාජ්‍ය ණය ප‍්‍රමාණය ද ඉහළ යමින් තිබෙනවා. ජපානය දියුණු රටවල් අතර වැඩි ම රාජ්‍ය ණය ප‍්‍රමාණයක් ඇති රටක් ලෙසයි සැලකෙන්නේ. එහි රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 235ක් පමණ වන බව සඳහන්. ඉහළ යන ජීවන වියදම නිසා ජනතාව දැඩි පීඩාවට පත් ව සිටීම ද එරට තවත් බරපතළ ප‍්‍රශ්නයක්. ජීවන වියදම් වැඩිවන ප‍්‍රමාණයට සාපේක්‍ෂ ව වැටුප් වැඩි නොවීම නිසා ජනතාව මහත් අපහසුතාවට පත් ව තිබෙනවා. මේ තත්ත්වය මත භාණ්ඩ සහ සේවා සඳහා වන ඉල්ලුම අඩුවෙමින් ඇති අතර එය එරට ව්‍යාපාර ආදියට බලපාන්නේ අවාසිසහගත ලෙස. ජපානයේ අපනයන සඳහා වන ඉල්ලුම අඩු වෙමින් තිබීම ද රටේ ආර්ථික ගැටලු තීව‍්‍ර කිරීමට හේතු වී තිබෙනවා.
ජපාන ඉතිහාසයේ පළමු කාන්තා අගමැතිනියට දැන් භාර වී ඇත්තේ මෙවැනි රටක්. රටේ ප‍්‍රශ්න විසඳනවාට අමතර ව සනායේට ඇයගේ පක්‍ෂය වන ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය ද ගොඩ ගැනීමට සිදු වී තිබෙනවා. පසුගිය වසර 70කට ආසන්න කාලයක් ජපානය පාලනය කළේ මේ පක්‍ෂය. කෙසේ වෙතත් මේ වනවිට එහි ජනපි‍්‍රයත්වය බෙහෙවින් පිරිහී තිබෙනවා. සනායේට කලින් එහි නායකත්වය සහ අගමැති ධුරය දැරූ ෂිගේරු ඉෂිබාට එම ධුරවලින් ඉල්ලා අස්වීමට සිදු වූයේ ද එම තත්ත්වය හේතුවෙන්. සනායේ එම තනතුරුවලට පත් වූයේ ඉෂිබා ඉල්ලා අස්වීමෙන් පසුව.
ඉෂිබාගේ නායකත්වය යටතේ පක්‍ෂය මුහුණ දුන් මැතිවරණ දෙකකින් ම එය විශාල පසුබෑමකට ලක් වුණා. වසර 15කට පමණ පසු පළමු වතාවට එම පක්‍ෂයට ජපාන පාර්ලිමේන්තුවේ නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේ බහුතරය ද අහිමි වී තිබෙනවා. පක්‍ෂයේ ඇතැම් අයට එරෙහි ව මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ලවීමත් පක්‍ෂය කෙරේ ජනතාවගේ විශ්වාසය බිඳ වැටීමට ප‍්‍රබල හේතුවක්.
2028 වසරේ ජපානයේ මීළඟ මහා මැතිවරණය පැවැත්වීමට නියමිත ව තිබෙනවා. එහිදී තවදුරටත් පසුබෑමට ලක්වීමෙන් බේරීමටනම් ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය කෙරේ ජනතා ආකර්ෂණය නැවත දිනා ගත හැකි වැඩපිළිවෙළක් දියත් කිරීමට සිදුවීම අනිවාර්ය කරුණක්. මේ වගකීම ද දැන් පැටවී ඇත්තේ නව අගමැතිනිය මෙන් ම පක්‍ෂ නායිකාව ද වන සනායේගේ කරපිට.






