#පරිසර

ශාක සුරක්ෂාව

  • රංගිකා අබේසේකර

අධ්‍යාපනික, පාරිසරික, ආර්ථික හා සාමාජීය වශයෙන් තිරසර ඉලක්ක කරා යන ගමනේදී ශ්‍රී ලංකාවට නව උද්භිද උද්‍යාන සංකල්පය තීරණාත්මක සාධකයකි. ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ මහාචාර්ය සිරිල් විජේසුන්දර සඳහන් කරන පරිදි උද්භිද උද්‍යානයක් යනු විද්‍යාත්මක පර්යේෂණ, සංරක්ෂණය, ප්‍රදර්ශනය හා අධ්‍යාපනය පිණිස උද්‍යාන විද්‍යාත්මක ව නම් කර ඇති ශාක එකතුවකි.

නොබෝදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මෙරට උද්භිද උද්‍යාන 10ක් ගාල්ල අක්මීමන කඩොලාන උද්භිද උද්‍යානය හා වවුනියාව, අම්පාර, පොළොන්නරුව, දෙනියාය යන ප්‍රදේශ ආශ්‍රිත නව උද්භිද උද්‍යාන ආදී වශයෙන් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බවයි. ඒ, වර්තමානය වන විට ඉඳි කර ඇති උද්භිද උද්‍යාන 5ට අමතර ව දේශගුණික කලාප අනුව නව උද්භිද උද්‍යාන 5ක් ස්ථාපිත කිරීමෙනි. මෙරට දේශගුණික කලාප සංඛ්‍යාව 15කි.
විවිධ අවස්ථාවල යටත්විජිත සමයේ ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන ඉදිකර තිබේ. ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ඉදි කර ඇති උද්භිද උද්‍යාන ගණන 5කි. ඒ, පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය (1821), හග්ගල උද්භිද උද්‍යානය (1861), ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය (1976), හම්බන්තොට මිරිජ්ජවිල උද්භිද උද්‍යානය (2013), අවිස්සාවේල්ල ඉලු‍ක්ඕවිට තෙත් කලාපීය උද්භිද උද්‍යානය (2015) ලෙස ය.

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන) එම්. එම්. ඩී. ජේ සේනාරත්න පවසන්නේ නව උද්භිද උද්‍යාන 05 සැකසීම විෂය හා ක්ෂේත්‍ර දැනුම සහිත විද්වතුන්ගෙන් උපදෙස් හා අදහස් ලබාගනිමින් සිදු කරන බව ය. ඒවා ස්ථාපිත වන්නේ වෙරළාරක්ෂිත ව ඇති කඩොලාන සහිත ප්‍රදේශයක, උතුරු හා නැගෙනහිර පළාතට අයත් ප්‍රදේශවල, අතරමැදි කලාපයට හා නකල්ස් ප්‍රදේශය ආශ්‍රිත ව ය. මේ වන විට අක්කර 50කින් යුතු ගාල්ල අක්මීමන කඩොලාන උද්භිද උද්‍යානයේ වැඩ ආරම්භ කර තිබේ.

උද්භිද උද්‍යාන පිහිටුවීමට පෙර ඒ සඳහා සුදුසු ඉඩම් සොයා ගැනීම කළ යුත්තකි. විශේෂයෙන් ඒ සඳහා පෞද්ගලික සහ රජයට අයත් ඉඩම් උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම අවශ්‍ය වේ. මේ පිළිබඳ අදහස් දක්වන එම්. එම්. ඩී. ජේ සේනාරත්න; ‘උද්භිද උද්‍යාන ස්ථාපිත කිරීමට සුදුසු ඉඩම් පිළිබඳ විමසීම් කරන්නේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන්. විශේෂයෙන් එහිදී සලකා බලන්නේ ජලය ලබා ගැනීමේ පහසුව හා ප්‍රධාන මාර්ග ආසන්නයේ පිහිටීම වැනි කරුණු. දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ දැනුවත් කිරීම අනුව එවැනි හඳුනාගත් ස්ථාන 7-8ක් තිබුණත් ඇතැම් ඉඩම් උද්‍යාන ස්ථාපිත කිරීම වෙනුවෙන් නිදහස් කර ගැනීමට ගැටලු‍ මතු ව තිබෙනවා. කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේ, වවුනියාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 100ක ඉඩමක් සම්බන්ධ ව වාර්තා ලැබී තිබෙනවා. ඇතැම් දිත්‍රික්කවල ඉඩම් නිදහස් කර ගැනීම හා පැවරීම් කරමින් තිබෙනවා. පෞද්ගලික වතු සමාගම්වලට අයත් ඉඩම් ද ඒ අතරට අයත්.”

බි්‍රතාන්‍ය පාලකයන් ඔවුන්ගේ යටත්විජිතවල උද්භිද උද්‍යාන පිහිටු වූයේ ආර්ථික භෝග පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට ය. ඒ සඳහා රබර්, සිංකෝනා, කොකෝවා, විවිධ පලතුරු භෝග, දැව වර්ග උද්භිද උද්‍යාන මාර්ගයෙන් ලංකාවට ගෙන්වී ය. එම ශාක වගා කිරීමට ප්‍රථම සියලු‍ පර්යේෂණ සිදු කළේ උද්භිද උද්‍යාන තුළදී ය. මේ වන විට විදේශවලින් මෙරටට ගෙනෙන ලද ශාක විශේෂ 4500ක් පමණ ඇති බව පර්යේෂණ මහාචාර්ය සිරිල් විජේසුන්දර ප්‍රකාශ කරයි.

1970 ගණන්වල සිට බටහිර ජර්මානු ආධාර හා තාක්ෂණ දැනුම ලබාගනිමින් උද්භිද උද්‍යාන මෙරට මල් වගා කර්මාන්තයට මූලික අඩිතාලම දැමී ය. ඒ සඳහා මෙරට ප්‍රථම පටක රෝපණ විද්‍යාගාරය පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ පිහිටුවමින් නව ප්‍රභේද නිෂ්පාදනය, ශෂ්‍ය විද්‍යා, ව්‍යාධි විද්‍යා හා පසුඅස්වනු ක්‍රම ආදිය ගැන පර්යේෂණ මෙන් ම තාක්ෂණ දැනුම ලබාදීම ද උද්භිද උද්‍යානවල සිදු කරයි.

මෙරට සියලු ම ශාක නාමකරණය කර ග්‍රන්ථාරූඪ කිරීම ද උද්භිද උද්‍යානවල සුවිශේෂ කාර්යයකි. ඒ යටතේ ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති විවෘත බීජ, ආවෘත බීජ, මීවන හා පර්ණාංග ශාක සියල්ල ම වෙළුම් 16කින් සමන්විත ශාක සංග්‍රහයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. එමගින් ශාකය පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගත හැකි ය. වර්තමානය වන විට එවැනි ශාක නිදර්ශක 168,000කට අධික සංඛ්‍යාවක් ජාතික ශාඛාගාරයේ තැන්පත් කර තිබේ. මේ ශාක ගවේෂණයට අමතර ව ශ්‍රී ලංකාවේ දේශීය ශාක පිළිබඳ රතු දත්ත පොත සැකසීම ද සිදුවන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ජාතික ශාඛාගාරය කේන්ද්‍ර කරගෙන ය. එයට අනුව ශ්‍රී ලංකාවේ දේශීය සපුෂ්ප ශාක විශේෂ 3,154කි. මේවා ආරක්ෂා කිරීමට ඇති සුදුසුම ක්‍රමය ඒවා දක්නට ලැබෙන ස්වාභාවික පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම හා විතැන් සංරක්ෂණයයි. විතැන් සංරක්ෂණය උද්භිද උද්‍යානවල ප්‍රධාන කාර්යභාරයකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය සිරිල් විජේසුන්දර; ‘ස්වාභාවික පරිසර පද්ධතියෙන් ශාක පිටතට ගෙනැවිත් උද්භිද උද්‍යාන වැනි සුදුසු පරිසරයක ස්ථාපිත කර සංරක්ෂණය කිරීම විතැන් සංරක්ෂණයයි. එය කාලීන අවශ්‍යතාවක්. ඒ ක්‍රියාවලිය නිසා මෙරටට ආවේණික ශාක වර්ග කිහිපයක් අද වන විට මිහිපිට දකින්නට ලැබෙන්නේ පේරාදෙණියේ උද්භිද උද්‍යානයේ පමණයි. විතැන් සංරක්ෂණයෙන් මෙරට ශාක සංරක්ෂණය කිරීමට උද්භිද උද්‍යාන පිහිටුවීම අවශ්‍ය වූවක්. මෙරට විවිධාකාර දේශගුණ කලාපවල විවිධ ශාක වර්ග දක්නට ලැබීමයි ඊට හේතුව. ඉන් අදහස් කරන්නේ නැහැ හම්බන්තොට, අනුරාධපුර ප්‍රදේශවල ඇති ශාක හග්ගල උද්‍යානයේ වැවීමටත් මස්කෙළිය ප්‍රදේශයේ ඇති ශාක ගම්පහ උද්‍යානයේ වැවීමටත් සුදුසු බව. නිදහසින් පසු ආරම්භ කරන ලද ප්‍රථම උද්භිද උද්‍යානය අක්කර 300ක භූමියක් සහිත හම්බන්තොට මිරිජ්ජවිල උද්භිද උද්‍යානයයි. වියළි කලාපයක කුමන ශාක වවන්නේදැයි යන මතය දරනවාට වඩා මෙරට වියළි කලාපයට හා අර්ධ ශුෂ්ක වියළි කලාපයට ආවේණික ශාක රැක ගැනීම අරමුණු කර ගනිමින් එය ස්ථාපිත කිරීම රටකට විශාල වටිනාකමක් එක් කරනවා.”

දෛනික ව උද්භිද උද්‍යාන නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ගණන මිලියන 2කට ආසන්න ය. එයින් පෙනී යන්නේ උද්භිද උද්‍යාන ආර්ථිකයට ඍජු ව ම දායක වන බව ය. උද්භිද උද්‍යාන සමග ම සාකච්ඡාවට යොමු වන කරුණක් වන්නේ රටේ ආර්ථිකය, සංචාරක ආකර්ෂණය හා එයින් උපයාගත හැකි මුදල් ප්‍රමාණ පිළිබඳ ව ය. එහෙත් මහාචාර්ය සිරිල් විජේසුන්දර සඳහන් කරන්නේ ආදායමෙන් පමණක් උද්භිද උද්‍යානයක වැදගත්කම මැනිය නොහැකි බවයි. උද්‍යාන, විද්‍යාත්මක මූලධර්ම අනුව නොයෙකුත් විචිත්‍ර ශාක අලංකාර ව සකසා ඇති නිසාත් ඒවා ස්ථාපිත කර ඇති පරිසරය මනාව නඩත්තු කර ඇති නිසාත් උද්භිද උද්‍යාන අනිවාර්යෙන් ම සුන්දර ස්ථාන බවට පත් වේ. කනගාටුවට කරුණ වන්නේ මෙරට බොහෝ දෙනා මතුපිට සුන්දරත්වය මිස ඒ පිළිබද අවබෝධයක් නොමැති ව ක්‍රියා කිරීම බව මහාචාර්යවරයා අවධාරණය කරන කරුණකි.

නව උද්භිද උද්‍යාන පිහිටුවීම සඳහා වැයවන මුදල සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර පැවතියත් මේවායෙහි ඇති විද්‍යාත්මක වටිනාකම්වලට ඒවා යටත් වන නිසා මහාචාර්ය බුද්ධි මාරඹේ පවසන්නේ බොහෝ රටවල් උද්භිද උද්‍යානවල වටිනාකම් හඳුනාගනිමින් තිබෙන පසුබිමක අප ද ඒ සඳහා වැඩි අවධානයක් යොමු කරමින් සහ නිශ්චිත ඉලක්ක හඳුනා ගනිමින් ඒ සඳහා මූලිකත්වය ලබා දිය යුතු බව ය.

ශාක සුරක්ෂාව

රන්දොර උරුමය