ශ්‍රී ලාංකේය සංගීත මෝස්තරය 2034

- නුවන් කුමාර කටුගම්පල
ජන සංගීතය’ යනු යම් ජන කොට්ඨාසයක මිනිසාගේ ආභ්‍යන්තරික මනෝභාව සහ හැඟීම් ස්වාභාවික ව පුපුරා යාමෙන් මතුවූ ප්‍රපංචයක්. ‘ජන නැටුම’ වනාහි එබඳු ම වූ මිනිසාගේ සතුට ප්‍රකාශ කළ ප්‍රාසංගික මාධ්‍යයක්. ‘ජන ගීය’ සතුට, දුක, කම්පනය, බලාපොරොත්තුව, කාන්සිය, තරහව, විරෝධය වැනි හැඟීම් සියුම් ව සහ නිරායාසයෙන් මිනිස් චිත්ත සන්තානයට කිඳාබැස්සවිය හැකි කලාවක්.
“යම් ජන සමාජයක ජන සංගීතය එකී ජන කොට්ඨාසයේ, ගෝත්‍රයේ, ජාතියේ සමස්ත හැඟීම් සහ මනැස් ප්‍රකෘතිය (Temperament) පෙන්නුම් කරනවා. එය කාලය සමග පරිණාමය වනවා” යන නිර්වචනය ඉදිරිපත් කර තිබෙන්නේ බි්‍රතාන්‍ය ජාතික සංගීත නිර්මාණවේදියකු සහ ජනශ්‍රැති පර්යේෂකයකු වූ Jems Shark, ඔහුගේ The English Folk Songs කෘතියේ. “ජන සංගීතය යනු ස්වාභාවික සංගීතයයි (Natural Music). එය නිර්මාණය වීමේදී සම්මත නීති රීති යනාදියෙන් කොටු වී පාලනය වී නොමැත.” යන ප්‍රකාශයත් Shark ගේ Characteristics from English Folk Songs කෘතියේ සටහන් වූවක්. ඒ නිර්වචන ‘ජාතියේ මනැස් ප්‍රකෘතිය සමග තදානුබද්ධ වන නිසා අපේ ජාතියට ආමන්ත්‍රණය කිරීමට සුදුසු ම විදිය නම් ශ්‍රී ලාංකේය ජාතියේ ජන සංගීතයෙන් ඔවුන් ඇමතීම‘ යන ස්වකීය දැක්ම (Vision), ලයනල් රන්වල විශිෂ්ට ලෙස සිය නිර්මාණකරණයට ආදේශ කර ගත්තේ අපූර්වත්වයකින් බවයි ආචාර්ය රවිබන්දු විද්‍යාපති පෙන්වා දෙන්නේ. ඔහු මෙසේ පැවසුවේ නොබෝදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති ලයනල් රන්වල 85 වැනි ජන්ම දින සැමරුම් උලෙළේදී.
2024දී 2034 සංගීත මෝසතරය කෙසේ විය යුතුදැයි පුරෝකතනය කිරීම අනාගතවාදී දැක්මක ආදර්ශයකින් පන්නරය ලද වර්තමානිකයන්ගේ සද්කාර්යයක්. ඒ ආදර්ශය වන්නේ ලයනල් රන්වල. සද්කාර්යය කරට ගත් වර්තමානික පිරිස සිටින්නේ රන්වල පදනමේ. ඔවුන් මේ රටේ ජන සංගීතය ජාතික සංගීතයක් දක්වා ගෙනයාමේ ලයනල් රන්වල මතයට නූතන පරපුර ඈඳා ගැනීමේ අඛණ්ඩ විප්ලවීය උත්සාහය අත්නොහරිමින් යන්නේ ඉදිරියට. ඒ ගමනේ අලුත් ම පියවර වන්නේ ‘දේශීය සංගීත කලා ක්ෂේත්‍රයට නැඹුරු ළමා, යොවුන්, තරුණ සහ වැඩිහිටියන් අතරින් පිරිසක් එක වහළක් යටට කැඳවා රටේ දේශීය සංගීතයේ මෝස්තරය මීළඟ දශකය ඉක්මවන්නට පෙර ලොව ප්‍රචලිත ප්‍රධාන සංගීත ධාරා අතර සිය අනන්‍යතාව තහවුරු කර ගත්තක් බවට පත්කිරීමට අඩිතාලම‘ දැමීම යන්න මෙවර සැමරුමේ තේමාව කර ගැනීම.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ චිත්‍රපට අංශය, ලයනල් රන්වල ජාතික මෙහෙවර අළලා නිෂ්පාදනය කළ ‘රන් පියවර’ චරිතාපදානමය වාර්තා චිත්‍රපටයත් රන්වල බලකාය නිර්මාණය කළ 2034 – ශ්‍රී ලාංකේය සංගීත මෝස්තරයේ දිශානතිය සහ එහි නිර්මාණාත්මක ශෛලීය ලක්ෂණ ඉඟි කෙරෙන නව නිර්මාණ ගීතයත් එහිදී ජනගත කෙරුණා. මේ මෝස්තරය කෙසේ සකස් විය යුතු ද? යන්න විග්‍රහයට බඳුන් කළ සජීවී සංවාදයක් ද එහිදී පැවැත්වුණා.
සිය අදහස් මතුකළ ආචාර්ය රවිබන්දු: “ලයනල් රන්වල දේශීය ජන සංගීතය ආශ්‍රයෙන් නිර්මිත ‘ශ්‍රී ලාංකේය ගීතය’ සහ එය රෝපණය කළ යුතු භූමිය නොහොත් ඉලක්කය (Focal Point) වන්නේ ‘දේශීය තාරුණ්‍යයේ හද ගැහෙන රිද්මය සහ ඉහළ ළය (Rhythm and Up Tempo) බව ප්‍රත්‍යක්ෂ කරගෙන සිටියා. ඔහුගේ උපායමාර්ගය වූයේ ලොව සෑම රටක ම ජනප්‍රිය සංගීතයේ ශෛලිය වූ මධ්‍ය ළය සහ ආසන්න දෘත ළයෙහි පිහිටුවා නව නිර්මාණ ගී බිහි කිරීම. එනයින් බැලූ කල ඔහුගේ නිර්මාණ ජනප්‍රිය සංගීතයේ (Popular Music) ද නියෝජනයක්.’ දේශීය සරල ගීතයේ මුඛ්‍ය මූලාශ්‍රය, දේශීය ජන සංගීත නාද රටා ලෙස ගෙන ඖචිත්‍යපූර්වක ව සිය අභිමතය පරිදි නව නිර්මාණ බිහිකිරීමේ අපූරු හැකියාවක් ඔහුට තිබුණා.

විවිධ රටවල් සිය ජන සංගීතය සජීවී ව පවත්වාගෙන යාමට අනුගමනය කරන ක්‍රමවේද අතර පැහැදිලි ව අවස්ථා හතරක් හඳුනා ගත හැකි බවත් ආචාර්ය රවිබන්දු පෙන්වා දෙනවා. ඒ, සිය රටේ ජන සංගීත ප්‍රකාශන එකතුකිරීම, ලියාතැබීම, පටිගත කර තැබීම/ එසේ සංරක්ෂණය කරන ලද ජන ගී සහ ජනශ්‍රැතිකාංග තවත් පරපුරකට ඉගැන්වීම සහ පුහුණු කරවීම/ එම ජන සංගීතාංග ප්‍රේක්ෂක සමූහයා වෙත ප්‍රාසංගික ව, සංදර්ශනාත්මක ව ප්‍රදර්ශනය කරවීම/ ජන සංගීත මූලාශ්‍ර නව සංගීත නිර්මාණ සඳහා භාවිතයට ගැනීම වශයෙන්. ඊට අමතර ව රන්වල වැඩපිළිවෙළේ ගැබ් ව තිබුණේ ශ්‍රී ලාංකේය දේශීය ජන සංගීතය ලෝකයේ අනෙක් ජන කණ්ඩායම්, ජාතීන් සහ රටවල් අතර ප්‍රචලිත කරවීමේ ජාත්‍යන්තර ඉලක්කය. ඒ සඳහා ඔහු අනුදත් ක්‍රියාමාර්ගය වර්තමාන යාවත්කාලීන වීම් සහිත ව අඛණ්ඩ ව ඉදිරියට කරගෙන යාමෙනුයි නීතිඥ සහන් රන්වල ප්‍රමුඛ රන්වල පදනම අන්තර්ජාතික සම්මාන රැසකට ද හිමිකම් කියන්නට සමත් ව සිටින්නේ. රන්වල පදනමේ විදේශීය ශාඛා පිහිටුවා ජන සංගීතය සහ ජන නර්ථනය පිළිබඳ අධ්‍යාපන කාර්යය ද ලෝක මට්ටමින් සිදු කරන අතරතුරයි, 2034 වන විට ශ්‍රී ලාංකේය සංගීතයේ දේශීය මොස්තරය නිර්මාණය කිරීමේ කාර්යයට ඔවුන් අතගසා ඇත්තේ. මෙබඳු විසල් ක්‍රියාවලියක් හඳුනාගැනීම සහ ක්‍රියාත්මකවීම සිදුවිය යුත්තේ පුද්ගල මට්ටටමින් නොව රාජ්‍ය මට්ටමින්. මෙරට මෙතෙක් එවැන්නක් සිදු නොවීම රටක් ලෙස ලද ඓතිහාසික පාඩුවක්.
දෘඩ සම්භාව්‍යවාදීන් දේශීය ජන සංගීතය අවඥාවෙන් බැහැර කළ කල්හි එහි අගය සහ අවශ්‍යතාව වෙනුවෙන් කොන්දේසි විරහිත ව පෙනී සිටි සටන්කරුවා (Fighter) ලයනල් රන්වල. ඔහු මකුලොළුව ශූරීන්ගේ මාර්ගෝපදේශකත්වය ඇති ව සිය පුද්ගලික කැපවීමෙන් රටේ සංචාරය කරමින් එක් රැස් කර ගත් ජන නාද රටා, ජන ගී, ජන මූලාශ්‍ර සියල්ල තම බූදලයක් සේ ළඟ තබා නොගත් බවත් ඒවා නිසි ක්‍රමවේද අනුගමනය කරමින් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සංරක්ෂණය කළ බවත් ප්‍රායෝගික ව ඒවා භාවිතයට ගනිමින් අන් අය ද ඒ සඳහා පෙළඹවූ බවත් නීතිඥ සහන් සඳහන් කරනවා. තවදුරටත් අදහස් දක්වන ඔහු; “එළිමහන් සංදර්ශන වේදිකාවේත් අවිරාම (Non-stop) ගී එකතුවලත් රාත්‍රී සමාජශාලාවලත් සංගීතය සහ ගීතය භාවිත වන සෑම අවස්ථාවකමත් දේශීය ජන සංගීතය මූලාශ්‍ර කොට ගත් නිර්මාණ ඉදිරිපත් වනු දැකීමට ලයනල් රන්වලයන් කැමති වුණා. ඒ සඳහා ආකල්පමය වෙනස ඇති කිරීමටත් අප උත්සාහ දරනවා.Sri Lankan Dancing, Sri Lankan Drums මෙන් ලොව ඕනෑ ම කලාපයක අයකුට ඇසූ ක්ෂණයෙන් ශ්‍රී ලාංකේය අනන්‍ය ලක්ෂණ විශද වන Sri Lankan Music යන්න ලෝක සංස්කෘතියේ කොටසක් බවට පත් වන තුරු ගමන් කිරීම අපේ අරමුණ.”
දේශීය ජන සංගීතය ඇසුරින් නව නිර්මාණ බිහි කරන විට ග්‍රාමීය ජනයාගේ ව්‍යවහාර භාෂාවේ වදන් හැකිතාක් යොදා ගැනීම, ශ්‍රී ලාංකේය ජන සංගීතය චූල කලාවක් ලෙසත් භාරතීය සහ බටහිර සංගීත ශෛලීන් මහා කලාවන් ලෙසත් සලකා ක්‍රියා කරන පිළිවෙත මෙරට සමාජයෙන් බැහැර කිරීමට ක්‍රියාමාර්ග ගැනීම යනාදිය ශ්‍රී ලාංකේය ජාතික සංගීතයක් සහ අපේ ම ගී ආරක් නිර්මාණය කර ගැනීමේදී අත්‍යවශ්‍ය සාධක බව ප්‍රවීණ ගී පද රචක වසන්ත දුක්ගන්නාරාළ පෙන්වා දෙන කරුණු. ජන සංගීතය දියුණු සහ ප්‍රචලිත (Market) කිරීමට අදාළ ව රාජ්‍ය සහ පෞද්ගලික දෙපාර්ශ්වය ම මීට වඩා වගකීමක් දැරීම සහ අතීතය, සුහුරු (Smart) මෙන් ම යාවත්කාලීන (Updated) ලෙස අනාගතයට උරුම කරදීම ද ඒ සඳහා අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම්.
ප්‍රවීණ බෙර වාද්‍ය ශිල්පී සහ සංගීතවේදී ජනනාත් වරකාගොඩට අනුව බටහිර ඔපෙරා සහ අනෙකුත් සංගීත ධාරාවල ගායකයන්ට වඩා අපේ කොහොඹා කංකාරිය, බලි තොවිල් ආදී ශාන්තිකර්මවල ගායනා කරන ශිල්පීන් බෙර වාද්‍ය ශිල්පීන් සහ නර්ථන ශිල්පීන් අතිදක්ෂයන්. ඔවුන්ට තිබෙන්නේ විදෙස් ශිල්පීන්ට වඩා ජවයක්, ශක්තියක් සහ ශිල්පීයත්වයක්. ඔවුන්ගේ ගැයුම් වැයුම් නද යුක්ත වන්නේ විවෘත පරිසරයේත් පුළුල් පරාසයක විහිදෙන තියුණු ගැඹුරු බවකින්. මේ බව හඳුනාගෙන, වර්තමානයට ගැළපෙන නවීකරණ සහිත ව දේශීය ජන සංගීතය හමස් පෙට්ටියෙන් එළියට ගන්නටයි රන්වල ගමන් මග යන රන්වල බලකාය සූදානම් වන්නේ.
තනි තනි ව නිර්මාණ බිහි කරමින් දේශීය ජන සංගීතයේ පැවැත්ම, ආරක්ෂාව සහ උන්නතිය වෙනුවෙන් දායක වන සියලුදෙනා යථාවබෝධයෙන් ඒකරාශී වී ඉදිරි වසර 10 නිමවන විට ශ්‍රී ලංකාවේ ජන සංගීතය රටේ ‘ජාතික සංගීතය‘ බවටත් ඒ නාදමාලා ඇසුරින් නිර්මිත ගීතය ‘ශ්‍රී ලාංකේය ගීතය’ බවටත් ප්‍රකාශයට පත් කරමින් 2034දී එසේ නිර්මාණය වන ‘ශ්‍රී ලාංකේය සංගීත මෝස්තරය’ ජාත්‍යන්තරය දක්වා ප්‍රචලිත කර ජනප්‍රිය කරවන්නට සියලුදෙනා එක් ව ක්‍රියා කළ යුතු බව මේ අනුව පැහැදිලියි. ඒ සඳහා යෝග්‍ය සමාජ, දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික පරිසරයක් ද රටේ නිර්මාණය වෙමින් පවතින බවයි පෙනී යන්නේ.
