#විදේශ විත්ති

විසෙන් විස නැසීම

  • සුගත්ප්‍රිය කුලතුංග ආරච්චි

වසරක් පාසා ලෝකයේ මිලියන ගණනකගේ පණ නසන රෝගයකට එරෙහි ව ප්‍රතිකාර කරන්නට ලොව පළමු වරට ‘පණ ගැහෙන ඖෂධයක්’ යොදා ගැනිමට ඇමරිකාවේ සෞඛ්‍ය බලධාරීන් අවසර ලබා දුන්නේ ය. 2022 වසරේදී පමණක් ලොව මිලියන 20කට ආසන්න ජනතාවක් ගොදුරු කරගත් බව වාර්තා වන මෙම භයානක රෝගය පිළිකාවයි. මෙම අභ්‍යවකාශතරණ යුගයේත් මිනිසා දැඩි ව අසරණ කර ඇති පිළිකාව නසන්නට තැනූ මෙම අපූරු ඖෂධය පිළිබඳ ආරංචිය අපට මතක් කර දෙන්නේ “විසෙන් විස නැසීම”යන ඉපැරැණි කියමන ය.

2024 වසර මුලදී, එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විසින් Amtagvi නමැති ඖෂධය ඝන පිළිකාමය වර්ධනයට ප්‍රතිකාර කිරීම සඳහා සුදුසු බවට අවසර දීමත් සමග මෙම සුවිශේෂ ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ කතාබහ පැතිර ගියේ ය. මෙය හැඳින්වෙන්නේ පිළිකා සඳහා වූ පළමු T සෛල චිකිත්සාව හැටියට ය.

T සෛල යනු පුද්ගලයකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ම කොටසකි. ඒවා සුදුරුධිරානු වර්ගයක් වන අතර අස්ථි ඇටමිදුළුවල ඇති ප්‍රාථමික සෛලවලින් වර්ධනය වේ. T ලිම්ෆොසයිට් සහ තයිමොසයිට් ලෙස ද මේවා හැඳින්වේ. විවිධ ආසාදනවලින් ශරීරය ආරක්ෂා කිරීමට සහ පිළිකාවලට එරෙහි ව සටන් කිරීමට ද මෙම සෛල උපකාරී වේ.
වර්ධනය වූ සමේ පිළීකාවලට හෙවත් මෙලනෝමා තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා දැන් T සෛලවලින් සාදා ගත් ඖෂධය ප්‍රත්‍යක්ෂ වන බව පිළිගෙන තිබේ. මෙම ප්‍රතිකාර ක්‍රමය අපූරු ය. මෙයට යොදා ගන්නේ රෝගියාගේ පිළිකා සෛල වෙතින් ම පෙරාගත් ප්‍රතිශක්ති සෛලවලින් තනා ගන්නා ඖෂධයකි. එහෙයින් ම විසෙන් විස නැසීමකි. මේ සඳහා වෛද්‍යවරු, පිළිකාවලට ඇතුළු වී තිබූ ලිම්ෆොසයිට් සුදුරුධිරානු වර්ගයක් වන TIL (Tumor Infiltrating lymphocytes) ලෙස හඳුන්වන ඔ සෛල වර්ගයක් රෝගියකුගේ පිළිකාමය වර්ධනයකින් ඉවත් කර ගැනිම මුලින් සිදුකර තිබේ. පසුව මෙම ස්වාභාවික පිළිකා ඝාතකයන් රසායනාගාර තත්ත්ව මත බිලියන ගණනින් වර්ධනය කර ගැනිණි. එලෙස සාදා ගත් ‘පණ ගැහෙන ටී සෛල’ බලඇණිය ඔවුන් රෝගීන්ට එන්නත් කරනු ලැබුවේ පණ නසන පිළිකාව පරාජය කිරීමට ශරීරයේ ඇති හැකියාව වැඩිදියුණු කිරීම සඳහා ය. පසුව මෙබඳු පරික්ෂා දහස් ගණනක් තහවුරු කර තිබුණේ මේ සජිවි ප්‍රතිකාර ක්‍රමය වඩාත් ඵලදායක වන බව ය.

සෑම අඳුරු වළාවක ම රිදී රේඛාවක් ද සැඟ ව ඇතැයි පැරැණි කියමනකි. ලෝකයේ නවතම විද්‍යාත්මක සොයාගැනීම් ගැන හඹා යන්නකුට මෙවැනි රිදී රේඛා බඳු විස්මිත සොයාගැනිම් ගැන අසන්නට ලැබේ. මෙම නව ප්‍රතිකාර ක්‍රමය ද එවැනි හමුවිමකට නිදසුනකි.

මෙම විස්මිත ප්‍රතිකාරය සොයා ගැනිම ද අහම්බකාරක අපූරුවකි. එයට මඟ පෑදුණේ එක්සත් ජනපදයේ ජාතික පිළිකා ආයතනයේ පිළිකා රෝග විශේෂඥ ස්ටීවන් රොසෙන්බර්ග්ට 1968 වසරේදී පිළිකාව ස්වයංසිද්ධ ව අතුරුදහන් වූ රෝගියකු හමුවීමෙන් පසුව ය. වෙනත් හේතුවක් නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය කැළඹිම හේතුවෙන් පිළිකාවට එරෙහි ව සටන් කිරීමට ශරීරයට ඇති හැකියාව වර්ධනය වන බව මෙහිදී ඔහුට ප්‍රත්‍යක්ෂ වූ අතර ඒ ගැන උනන්දු වී සටහන් තබා තිබුණි. එම මූලික නිරීක්ෂණයේ සිට නව TIL චිකිත්සාව වෙත එන්නට දශක ගණනාවක් ගත විය.

Rosenberg ගේ TIL චිකිත්සාව ද එයට බොහෝ කාලයට පෙර ඉදිරිපත් ව තිබූ අදහසකි. වෙනත් ආසාදනයකින් පසු කැළඹීමට ලක්වන ප්‍රතිශක්ති පද්ධතිය හේතුවෙන් හදිසියේ ම සමනය වන පිළිකා පිළිබඳ මුල් වාර්තා පුරාණ ඊජිප්තුව දක්වා පවා දිව යයි. 19 වැනි ශතවර්ෂය වන විට මෙම අදහස දරන විද්‍යාඥයන් රැසක් ම එක් ව තිබුණි. 1891 වසරේදී නිව්යෝර්ක් නගරයේ අස්ථි ශල්‍ය වෛද්‍ය විලියම් බ්‍රැඩ්ලි කෝලි විසින් ස්ට්‍රපේටොකොකස් සහ සෙරේටියා නමැති බැක්ටීරියා යොදා රෝගීන්ගේ පිළිකා ආසාදනය කිරීමෙන් එම අදහස ප්‍රායෝගික ව ම පරීක්ෂාවට ලක් කළ අතර එය සාර්ථක ව ක්‍රියාත්මක වන බව පෙනී ගියේ ය. වාර්තා වන පරිදි රෝගීන් 1,000කට වඩා වැඩි සංඛ්‍යාවකගේ පිළිකා, ප්‍රතිශක්ති පද්ධතියේ මෙම කෘත්‍රිම කැළඹීම් හේතුවෙන් හැකිළීම හෝ අතුරුදහන් වීම සිදුවන බව නිරික්ෂණය කර තිබුණි. මෙහිදි බොහෝ වෛද්‍යවරු අනතුරුදායක බැක්ටීරියාවලින් මිනිසුන් ආසාදනය වීම ගැන කනස්සලූ වූහ. විරෝධය පළ කළහ. තවත් බාධාවක් වූයේ කෝලිගේ ප්‍රතිකාරය එලෙස ක්‍රියාත්මක වූයේ කෙසේද යන්න හෝ ඇයිදැයි යන්න හෝ කිසිවකු විද්‍යාත්මක ව දැන නොසිටීම ය. එබැවින් පිළිකා සඳහා වූ ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාරය එදා ඒතැනින් නතර විය.

එහෙත් 20 වැනි සියවසේ විද්‍යාඥයෝ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ එහි ක්‍රියාකාරිත්වය ගැන එතෙක් පැතිර තිබූ අවිදු අඳුර දුරලන්නට උනන්දු වූහ. ඒ ගැන දැඩි අධ්‍යයන ඇරැඹිණි. නිදසුනක් වශයෙන්, 1967 වසරේදී රොසෙන්බර්ග්ගේ නිරීක්ෂණයට වසරකට පෙර, ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයෝ T සෛලවල පැවැත්ම සහ ප්‍රතිශක්තිකරණයේදී මෙම සෛල සතු භූමිකාව සොයා ගන්නට සමත් වූහ. පසුගිය දශකයේ හෝ ඊට ආසන්න කාලයේ මෙම ක්ෂේත්‍රයේ ඇති වූ දියුණුව අද පිළිකා රෝගීන්ගේ ජයග්‍රහණයක් බවට පරිවර්තනය වී ඇත. 2011 වසරේදී පිළිකා මර්දන ප්‍රතිශක්තිකරණ සෛලවල ප්‍රහාරක මාදිලියේ තබා ගන්නා ආරක්ෂක නිෂේධක ලෙස හඳුන්වන ඖෂධ කාණ්ඩයක් ප්‍රථම වරට ලබා ගත හැකි විය. 2017 වසරේදී, ඇමරිකාවේ අහාර සහ ඖෂධ පාලක මණ්ඩලය වන FDA විසින් CAR T සෛලවල චිකිත්සාව ලෙස හඳුන්වන රෝගීන්ගෙන් ජානමය වශයෙන් නිර්මාණය කරන ලද T සෛල භාවිත කරන පළමු පිළිකා ප්‍රතිකාරය අනුමත කෙරිණි. මෙම ප්‍රතිකාර ක්‍රමය ලියුකේමියාව වැනි රුධිර පිළිකාවලට සාර්ථක ව ප්‍රතිකාරයක් විය. දැන් TIL චිකිත්සාව සමග ඝන පිළිකා නැසීමට ද අවස්ථාව උදාවි තිබේ.

මේ වන විට නව ඖෂධය චර්මීය මෙලනෝමා සඳහා පමණක් අනුමත කර ඇත. එහෙත් අධ්‍යයනවලින් පෙනී යන්නේ TIL චිකිත්සාව වෙනත් ආකාරයේ ඝන පිළිකාවලට ද එරෙහි ව සාර්ථක ව ක්‍රියා කළ හැකි බවයි.

වර්තමානයේ පිළිකාව සැලකිය යුතු ගෝලීය සෞඛ්‍ය අභියෝගයකි. 2022 වසරේ සංඛ්‍යාලේඛන අනුව ලොව මිලියන 20කට ආසන්න ජනතාවක් පිළිකා ආසාදිත වූ බව හඳුනාගෙන තිබුණි. එය ගෝලීය වශයෙන් මරණ සඳහා බලපෑ දෙවැනි ප්‍රධාන හේතුව බවට පත් විය. එම වසරේ පිළිකා හේතුවෙන් මිලියන 9.7ක් මිය ගිය බව ගණන් බලා ඇත.

එහි බලපෑම ශ්‍රී ලංකාව වැනි රටවලට ද වැඩි වැඩියෙන් දැනේ. පියයුරු, ගැබ්ගෙල, මුඛ, පෙනහලු සහ මහා බඩවැලේ පිළිකා ඇතුළු පිළිකා වර්ග රැසක් මෙරට රෝගාබාධ හා මරණ අනුපාතිකයට සැලකිය යුතු ලෙස දායක ව ඇත. 2022 වසරේදී 33,243ක් නව පිළිකා රෝගීන් ලෙස වාර්තා වී තිබුණි. වාර්තා අනතුරු අඟවන්නේ පසුගිය වසර 25 ඇතුළත පිළිකා ආශ්‍රිත මරණ සංඛ්‍යාවේ සමාන්තර වැඩිවීමක් සමග ශ්‍රී ලංකාවේ සමස්ත පිළිකා සිදුවීම් දෙගුණ වී ඇති බවට ය. මේ නිසා ම විසෙන් විස නැසීමේ නව ප්‍රතිකාරය මෙම රෝගයේ ගොදුරු බවට පත් ව සිටින සුවහසක් පිරිසකට සුබ ආරංචියක් වනු නියත ය.