විශාලතම එක්දින සංකීර්ණ මැතිවරණය
- නිහාල් පීරිස්
ලෝකයේ මැතිවරණ අතර විශේෂත්වයක් ගන්නා මැතිවරණයක් 2024 පෙබරවාරි මාසයේ පැවැත්විණි. ඒ, අග්නිදිග ආසියානු රටක් වන ඉන්දුනීසියාවේ මැතිවරණයයි. ලොව විශාලතම මැතිවරණය ලෙස සැලකෙන්නේ ඉන්දියාවේ මහා මැතිවරණය වුවත් එය එක් දිනක අවසන් වන්නක් නොවේ. දින ගණනක්, අදියර කිහිපයක් යටතේ පැවැත්වෙන්නකි.
මේ නිසා ඉන්දුනීසියාවේ මැතිවරණය ලොව විශාලතම එක් දින මැතිවරණය ලෙස සැලකේ. ඊට එක් හේතුවක් වන්නේ එහිදී ඡන්දය ලබාදෙන සංඛ්‍යාවයි. මෙවර මැතිවරණයේදී මිලියන 205කට ආසන්න සංඛ්‍යාවක් ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබා සිටියහ. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ඡන්දදායකයන් ගණන මිලියන 17ක් පමණ වේ. ඉන්දියාවේ ද අප්‍රේල්- මැයි මාසවල මහා මැතිවරණය පැවැත්වෙන අතර එහිදී මිලියන 900කට වැඩි පිරිසක් ඡන්දය දීම සඳහා ලියාපදිංචි වී සිටිති.
ඉන්දුනීසියාවේ මැතිවරණය ලොව විශාලතම එක් දින මැතිවරණය මෙන් ම සංකීර්ණ ම මැතිවරණය ලෙස ද සැලකේ. එයට හේතුව ආයතන රැසක් වෙනුවෙන් නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්ද විමසීම් මෙහිදී එක වර පැවැත්වීමයි. ජනාධිපතිවරයා මෙන් ම උප ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම් ද පාර්ලිමේන්තු මැතිවරණය ද ප්‍රාදේශීය ආයතන සඳහා නියෝජිතයන් තෝරා ගැනීමේ මැතිවරණ ද මේ ආකාරයෙන් එකවර පැවැත් වේ.
පෙබරවාරි 14 දින පැවැති මැතිවරණයේදී මෙම සියලු ආයතන වෙනුවෙන් අපේක්‍ෂකයන් 10,000කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් ව සිටි බව සඳහන් වේ. ජනතාවට ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්දපොළ ලක්‍ෂ 08කට වැඩි සංඛ්‍යාවක් පිහිටුවා තිබිණි. ඉන්දුනීසියාවට අයත් දූපත් විශාල සංඛ්‍යාවක් පවතින අතර ඒ අතරින් 6,000ක පමණ ජනතාව ජීවත් වෙති. මේ දූපත් ඉතා විශාල ප්‍රදේශයක පැතිර පවතින නිසා ඒවා සියල්ලක ම ඡන්දය පැවැත්වීම ඉතා සංකීර්ණ කාර්යයක් බවට පත් වේ.
මෙවැනි දැවැන්ත සහ සංකීර්ණ මැතිවරණයක් පැවැත්වීම ඉතා වෙහෙසකර කටයුත්තක් වන අතර 2019 වසරේ මැතිවරණය අවස්ථාවේ ඡන්ද ගණන් කිරීමේ කටයුතුවල නිරත වී සිටි නිලධාරීහු 270කට ආසන්න සංඛ්‍යාවක් අධික වෙහෙස නිසා ඇති වූ විවිධ සංකූලතා හේතුවෙන් මරණයට පත් වූහ. දින ගණනක් නිදි වරාගෙන එක දිගට වැඩ කිරීමට එරට ඡන්ද ගණන් කිරීමේ නිලධාරීන්ට සිදු ව තිබූ බව සඳහන් විය.
මෙවර මැතිවරණය පැවැත්වුණේ පෙබරවාරි 14 දින වුවත් අවසන් නිල ප්‍රතිඵල නිකුත් වීමට නියමිත ව ඇත්තේ මාර්තු මාසයේ ය. නිල නොවන මූලික ප්‍රතිඵල නිකුත් වී තිබේ. මේ ප්‍රතිඵල නිකුත් කරනු ලබන්නේ ද රජයේ අනුමැතියලත් ආයතන විසිනි. මේ නිසා අවසන් ප්‍රතිඵල පිළිබඳ නිවැරදි අදහසක් ඇති කර ගැනීමට මූලික ප්‍රතිඵලවලින් හැකිවන බව විශ්වාස කෙරේ.
ඉන්දුනීසියාවේ ආයතන රැසක් සඳහා එකවර මැතිවරණ පැවැත්වුණත් ඒ අතරින් වඩාත් ම අවධානයක් දිනාගන්නේ ජනාධිපතිවරණයයි. මෙවර ද එය ඒ ආකාරයෙන් ම විය. ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයෝ තිදෙනෙක් තරග කළහ. ඒ, ප්‍රබෝවෝ සුබියන්තෝ, ගන්ජාර් ප්‍රනෝවෝ, අනීස් බස්වේදාන් යන තිදෙනායි. ඉන්දුනීසියාවේ බලයේ සිටින්නේ ජනතාව අතර අතිශයින් ජනප්‍රිය ජනාධිපතිවරයෙකි. 62 වැනි වියෙහි පසුවන ජෝකෝ විfදාා්දෝ මේ වන විට ධුර කාල 02ක්, වසර 10ක් රට පාලනය කර තිබේ. එහෙත් තවමත් ජනතාව ඔහුට දැඩි ලෙස ආදරය කරන බව සඳහන් වේ. මෙවර ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් නොවුණේ ඉන්දුනීසියානු ව්‍යවස්ථාවට අනුව දෙවරකට වඩා ජනාධිපති ධුරයට දැරීමට හැකියාවක් නැති බැවිනි. එහෙත් ඔහුගේ සහය ලැබූ සහ ඔහුගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන බවට පොරොන්දු වූ අපේක්‍ෂකයෙක් මෙවර ඉදිරිපත් ව සිටියේ ය. ඒ, ප්‍රබෝවෝ සුබියන්තෝ ය. 72 හැවිරිදි ප්‍රබෝවෝ එරට ආරක්‍ෂක ඇමැතිවරයා ලෙස ද ක්‍රියා කරයි.
ජනාධිපතිවරණයෙන් පසු නිකුත් ව ඇති මූලික ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටින්නේ ද ප්‍රබෝවෝ සුබියන්තෝයි. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 53%-59%ත් අතර ඡන්ද සංඛ්‍යාවක් ඔහු දිනාගෙන සිටින බව අනාවරණය වේ. ඔහු සමග තරග කළ අනීස් බස්වේදාන් 23%-26% අතර ඡන්ද සංඛ්‍යාවක් ද ගන්ජාර් ප්‍රනෝවෝ 16%-17% අතර ඡන්ද සංඛ්‍යාවක් ද හිමි කරගෙන සිටිති. ප්‍රබෝවෝ ජයගනු ඇති බව මැතිවරණයට පෙර සිට ම ජනමත සමීක්‍ෂණවලින් ප්‍රකාශ වී තිබුණත් මෙතරම් විශාල පරතරයකින් ජය ගනු ඇති බවක් කිසිවකුත් බලාපොරොත්තු වූයේ නැත.
ප්‍රබෝවෝගේ මේ ජයග්‍රහණයත් සමග ඇතැම් පාර්ශ්ව තුළ යම් අවිනිශ්චිතතාවක් සහ බියක් මතු වී ඇති බවක් ද දැකිය හැකි වේ. ඒ, ඔහුගේ පාලනය යටතේ ඉන්දුනීසියාව නැවත ඒකාධිපතිවාදයක් කරා ගමන් කරනු ඇත් ද යන සැකය නිසා ය. මෙවැනි සැකයක් ඇති වීමට හේතු වී ඇත්තේ ප්‍රබෝවෝගේ අතීත ක්‍රියාකාරකම් ය.
ඔහු කලක් හමුදාවේ උසස් නිලයක් දැරූ කෙනෙකි. ප්‍රබෝවෝ හමුදාවේ සේවය කළේ ඒකාධිපතියකු ලෙස සැලකුණු සුහර්තෝගේ කාලයේයි. මේ කාලයේ සුහර්තෝගේ පාලනයට එරෙහි ව පැන නැගුණු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාර මර්දනය කිරීමේදී ප්‍රබෝවෝ ද විශාල කාර්යභාරයක් ඉටු කළ බව පිළි ගැනේ. මේ ව්‍යාපාරවලට සම්බන්ධ ක්‍රියාකාරිකයන් පැහැරගෙන යාම සහ ඔවුන්ට වධ හිංසා කිරීම වැනි ක්‍රියාවලට ඔහු සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබිණි. නවසිය අනූව දශකයේ මේ ආකාරයෙන් ක්‍රියාකාරිකයන් 23 දෙනකු පැහැරගෙන යාමේ සිද්ධියක් මහත් ආන්දෝලනයක් ඇති කළේ ය. එම 23 දෙනාගෙන් 13 දෙනකු තවමත් ආගිය අතක් නැත.
මෙයට අමතර ව තවත් මානව හිමිකම් උල්ලංඝන ගැන ප්‍රබෝවෝට චෝදනා එල්ල වී තිබූ අතර මේ චෝදනා නිසා මෑතක් වනතුරු ම ඔහුට ඇතැම් රටවලට ඇතුළුවීම පවා තහනම් කර තිබිණි. දරදඬු පුද්ගලයකු ලෙස තමා පිළිබඳ පැවැති ප්‍රතිරූපය මකා දැමීම සඳහා මෙවර මැතිවරණ ව්‍යාපාරයේදී ප්‍රබෝවෝ දැඩි උත්සාහයක් ගනු දැකිය හැකි විය. තමා ප්‍රිය මනාප, විනෝදශීලි සීයා කෙනකු ලෙස පෙන්වීමට ඔහු වෑයම් කළේ ය. ප්‍රබෝවෝ නර්තනයේ යෙදෙන ආකාරය දැක්වෙන විඩියෝ පවා සමාජ මාධ්‍යයට එක් කර තිබූ අතර ඒවා තරුණ පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය විය. අද ඉන්දුනීසියාවේ සිටින තරුණ පරපුර ප්‍රබෝවෝට අතීතයේ එල්ල වූ චෝදනා ගැන වැඩි අවබෝධයක් නැති පිරිසක් වීම මැතිවරණයේදී ඔහුට වාසියක් විය.
ජනාධිපතිවරණයෙන් ප්‍රබොවෝට ජය හිමි වීමට ප්‍රධාන හේතුවක් වූයේ ඔහු වත්මන් ජනාධිපති විfදාදෝගේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවට පොරොන්දු වීමයි. විදෝදෝගේ එක් ඉලක්කයක් වූයේ 2045 වන විට ඉන්දුනීසියාව ලෝකයේ ශක්තිමත් ම ආර්ථික පහෙන් එකක් බවට පත් කිරීම ය. තමා මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බව ප්‍රබෝවෝ පවසා තිබේ.
විදෝදෝගේ යටිතල පහසුකම් ව්‍යාපෘති ද බෙහෙවින් ආකර්ෂණීය විය. එරට අගනුවර වෙනත් තැනකට රැගෙන යාමේ සැලැස්මක් ද විදෝදෝ යෝජනා කර තිබිණි. එයට හේතුව වත්මන් අගනුවර වන ජකර්තාව ගැටලු ගණනාවකට මුහුණ දී තිබීමයි. එම නගරයේ ජනගහනය විශාල වශයෙන් ඉහළ යාම නිසා ඇති ව තිබෙන ගැටලු ද නගරය කෙමෙන් ගිලා බසිමින් තිබීම ද ඒ අතරින් ප්‍රධාන වේ. නාගරික ඉදි කිරීම් නිසා භූමිය මත ඇති වන පීඩනය ද අභ්‍යන්තර භූ තලවල ඇති වන තත්ත්වයන් ද මේ ගිලා බැසීමට හේතු වී තිබේ. ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ භූමිකම්පා බහුල කලාපයක ය.
නගරය ගිලා බසිමින් තිබීම නිසා මුහුදු ජලය ඒ තුළට ගලා ඒමේ ගැටලුවක් ද මතු ව තිබේ. නව අගනුවර ඉදි කෙරෙන්නේ බෝනියෝ නැමැති දූපතේයි. තමා මේ වැඩපිළිවෙළ ද ඉදිරියට ගෙන යන බවට ප්‍රබෝවෝ පොරොන්දු වී තිබේ.