#දේශපාලන

විප්ලවයට 67 ක්

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයේ විශාලතම දූපත වන කියුබාවට කුඩා දූපත් 4,195ක් පමණ අයත්. මෙහි අසල්වාසී රටවල් වන්නේ එක්සත් ජනපදය (ෆ්ලොරිඩා ප්‍රාන්තය), බහමාස්, ජැමෙයිකාව, හයිටි හා මෙක්සිකෝව යන රටවල්. කියුබාවේ විශාලත්වය වර්ග කිලෝමිටර් 110,860ක් වන අතර ජනගහනය මිලියන 10ක් පමණ වෙනවා.

ස්පාඤ්ඤ යටත් විජිතයක් ව පැවති කියුබාව (1492 සිට 1898 දක්වා) ඇමරිකන්-ස්පාඤ්ඤ යුද්ධයෙන් පසු 1898 වසරේ සිට ඇමරිකන් බලපෑමට යටත් ව තිබූ රටක්. 1902 වසරේදී කියුබාවට නාමික නිදහසක් ප්‍රදානය කෙරුණ ද දිගට ම ඇමරිකානු ආධිපත්‍යයට ඔවුන් යටත් ව තිබුණා. ඒ නිසා ම බලයට පැමිණි පාලකයන් ඇමරිකානු රූකඩ පාලකයන් වූ අතර ඉන් කැපී පෙනෙන පාලකයෙකු වූයේ ෆුල්ජෙන්සියෝ බැටිස්ටා. හමුදා නිලධාරියෙකු වූ බැටිස්ටා 1933 වසරේදී එවකට සිටි ජනාධිපති ජෙරාර්ඩෝ මචාඩෝ බලයෙන් පහ කිරීමට දායක වූ සැරයන්වරුන්ගේ කුමන්ත්‍රණයකට නායකත්වය දුන්නා. 1940 වසරේදී ජනාධිපති ධුරයට තරග වැදී ජයගෙන ඔහු ජනාධිපති ධුරය ඉසිළුවේ 1944 වසර දක්වා. 1940 ජනාධිපතිවරණයේදී ඔහුට ප්‍රතිසංස්කරණවාදී කියුබන් කොමියුනිස්ට් පක්ෂයේ සහාය හිමිවන අතර කොමියුනිස්ට් පක්ෂයේ දෙදෙනෙකුට ඔහුගේ ඇමති මණ්ඩලයේ ඇමතිකම් ද හිමි වුණා. මේ කාලයේ ඇමරිකා එක්සත් ජනපදය බැටිස්ටා සමඟ සිටියේ අමනාපයෙන්. මේ නිසා ඔහුගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ගොස් එහි ජීවත් වුණා. 1952 වසරේ මැයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නැවත බැටිස්ටා කියුබාවට පැමිණෙන්නේ එක්සත් ජනපද පාලනය සමඟ එකඟත්වයක් ඇති ව. එහෙත් මැයි මාසයේ ජනාධිපතිවරණය පැවැත්වීමට තිබියදී 1952 මාර්තු මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ මූල්‍ය හා මිලිටරි සහාය ඇති ව කුමන්ත්‍රණයක්ින් ඔහු බලය අත්පත් කර ගත්තා. ඒ,  ජනාධිපතිවරණයේදී  නියත පරාජයකට මුහුණදෙන බව ප්‍රත්‍යක්ෂ වූ නිසා. බලය අත්පත්කරගත් වහා ම බැටිස්ටා 1940 ව්‍යවස්ථාව අත්සිටුවා කලින් ඔහුට සහාය දුන් කියුබානු කොමියුනිස්ට් පක්ෂය ද තහනම් කළා. වැඩ වර්ජනය කිරීමේ නිදහස ඇතුළු බොහෝ දේශපාලන අයිතිවාසිකම් අවලංගු කර සීනි වතු හිමි ධනවත් වතු හිමියන් සමඟ එක් වී ඔහු පවත්වාගෙන ගියේ ඉතා පීඩාකාරී පාලනයක්.

බැටිස්ටා පාලනයට එරෙහි අරගලය

බැටිස්ටාගේ නීතිවිරෝධී අත්තනෝමතික පාලනයට එරෙහි ව පුළුල් විරෝධයක් එල්ල වන්නට වූ අතර මේ විරෝධයට නායකත්වය දුන්නේ තරුණ නීතීඥයෙකු වූ පිදෙල් කස්ත්‍රෝ. ඔහු නීතියෙන් බැටිස්ටාගේ පාලනයට එරෙහි ව ක්‍රියා කරන්නට උත්සාහ දැරුවත් එය සම්පූර්ණයෙන් ම අසාර්ථක වනවා. ඉන්පසු ඔහුගේ නායකත්වයෙන් යුත් තරුණ කණ්ඩායමක් යොමු වූයේ සන්නද්ධ ආකාරය මුල්කරගත් ජන නැගිටීමකින් බැටිස්ටා පාලනය පෙරළා දැමීමේ මාවතකට. පිදෙල් 1,200ක පමණ තරුණ පිරිසක් සංවිධානය කරන අතර ඉන් කණ්ඩායමක් සන්නද්ධ ව සූදානම් කළා. මේ කණ්ඩායමේ අරමුණ වූයේ ප්‍රධාන හමුදා කඳවුරක් හෝ දෙකක් හෝ අත්පත් කරගෙන ජන නැගිටීමක් සමඟ සන්නද්ධ ආකාරයෙන් බලය අල්ලා ගැනීම.

මේ සැලස්මට අනුව පිදෙල්ගේ නායකත්වයෙන් වූ ප්‍රධාන කණ්ඩායම 1953 ජූලි 26 දින කියුබාවේ දෙවැනි විශාලතම හමුදා කඳවුර වූ ඔරියන්ටේ පළාතේ සන්තියාගෝ ඩි කියුබා නගරයෙහි පිහිටි මොන්කාඩා බැරක්කයට පහර දෙන අතර රාවුල් මාටිනෙස් අරාරාස්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් බයාමෝ නගරයෙහි පිහිටි කාර්ලෝස් එම් ඩි සෙස්පීඩස් බැරක්කයට පහර දෙනවා. මේ ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිස 136ක්. හයිඩී ශාන්තමරියා සහ මෙල්බා හර්නන්ඩෙස් යන තරුණියන් දෙදෙනා ද මීට අයත් වුණා. බැරක්කවලට පහර දුන්නේ  ජූලි 26 දින පාන්දර 05ට පමණ වුවත් මේ ප්‍රහාර සාර්ථක වුණේ නැහැ. කඳවුරු දෙකට එල්ල කළ මේ ප්‍රහාරයෙන් හමුදා සෙබළුන් 16 දෙනෙක් හා පොලිස් භටයෙක් මරණයට පත් වුණා. 28 දෙනෙකු  තුවාල ලැබුවා. කස්ත්‍රෝට අනුව සටන්කරුවන් 05 දෙනෙක් මොන්කාඩා ප්‍රහාරයේදී මැරුම් කෑ අතර පසුව අල්ලා ගන්නා ලද සටන්කරුවන් 108 දෙනෙකු මරා දමන්නේ දස වද දීමෙන්. කස්ත්‍රෝ ඇතුළු 18 දෙනෙක් හසු නොවී බේරී පලා යාමට සමත් වුවත් පසුව අත්අඩංගුවට ගෙන නඩු අසා සිරගත කෙරුණා. “ඉතිහාසය මාව නිර්දෝෂී කරනු ඇත” යනුවෙන් පිදෙල් ඉදිරිපත් කළ සුප්‍රකට දේශනය සිදුකරන්නේ මේ නඩු විභාගයේදී.

පිදෙල්ලා වරදකරුවන් කර සිරගත කළත් රටෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් එල්ල වූ බලපෑම් නිසා බැටිස්ටා පාලනයට 1955 මැයි 15 දින පිදෙල් කස්ත්‍රෝ ඇතුළු සටන්කරුවන් 18 දෙනා පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට සිදු වුණා. නිදහස ලැබූ පිදෙල් නව විප්ලවවාදී ව්‍යාපාරයක් වූ ජූලි 26 ව්‍යාපාරය සංවිධනය කිරීමට මුල පිරුවා. පිදෙල්ලාට වැඩ කිරීමට සිදු ව තිබුණේ දැඩි මර්දනකාරී තත්ත්වයක නිසා පිදෙල් ඇතුළු පිරිස තීන්දු කළේ වෙනත් රටකට ගොස් කණ්ඩායමක් සංවිධානය කරගෙන කියුබා‌වට පැමිණ අරගලය දියත් කිරීමට. ඒ අනුව පිදෙල් ඇතුළු කණ්ඩායමක් මෙක්සිකෝවට ගොස් පිටුවහල් ව විදෙස්ගත ව සිටි කියුබානුවන් එක්කරගෙන රහසිගත ව කණ්ඩායමක් සංවිධානය කර ගැනීමට පියවර ගත්තා. කැස්ත්‍රෝලාට චේ ගුවේරා හා කියුබානු පිටුවහලෙකු ව සිටි කැමිලෝ  සියන්ෆියුගෝස් හමු වන්නේ මෙක්සිකෝවේදී. කණ්ඩායමක් පුහුණු කරගෙන කියුබාවට ගොස් බැටිස්ටා පාලනය පෙරළා දැමීමේ අරගලය බළමුළු ගැන්වීමයි පිදෙල්ලාගේ අරමුණ වූයේ. මෙසේ සංවිධානය වෙමින් සිටින අතරතුර ඒ ගැන මෙක්සිකානු ආණ්ඩුවට ඉව වැටී තිබුණු බව දැනගත් පිදෙල්ලා සිය කණ්ඩායම සමඟ කියුබාවට යන්න තීරණය කරනවා. ගමන සඳහා මිල දී ගන්නා ලද ග්‍රැන්මා නම් වූ යාත්‍රාවෙන් 1956 නොවැම්බර් 25 දින ඔවුන් කියුබාව බලා පිටත් වන්නේ 20 දෙනෙකුට පමණ යා හැකි ව තිබූ යාත්‍රාවකින් සටන්කරුවන් 82ක් සමඟින්. දෙසැම්බර් 02 දින ඔවුන්ට ගොඩ බැසීමට සිදු වුණේ ඔවුන් අපේක්ෂා කළ ස්ථානයට නොව විශාල හමුදා කණ්ඩායමක් සැඟව සිටි ස්ථානයකට. මෙහිදී හමුදාවෙන් එල්ල වූ ප්‍රහාරයෙන් බේරී අපේක්ෂිත සියරා මයෙස්ත්‍රා කඳුකරය කරා යා හැකි වූයේ පිදෙල් කස්ත්‍රෝ, චේ ගුවේරා, රාවුල් කැස්ත්‍රෝ හා කැමිලෝ සියන්ෆියුගෝස් ඇතුළු 20 දෙනෙකුට පමණයි.

සියෙරා මයෙස්ත්‍රා කඳුකරය ආශ්‍රිත ප්‍රදේශයේ වූයේ අරගලකාරී ජනතාවක්. එම ප්‍රදේශය විප්ලවකාරී සටන්කරුවන්ට වැඩ කිරීම සඳහා තෝතැන්නක් වුණා. පිදෙල්ගේ නායකත්වයෙන් යුත් ජූලි 26 ව්‍යාපාරය සියෙරා මයෙස්ත්‍රාවල සිට නව ක්‍රියාකාරීන් බඳවා ගනිමින් ගරිල්ලා බළ ඇණි සංවිධානය කළ අතර නගරවල ද යටිබිම්ගත ගරිල්ලා කණ්ඩායම් හා ජන සංවිධාන ගොඩ නැගීමට නායකත්වය දුන්නා. ජූලි 26 ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් ගරිල්ලා ප්‍රහාර ද නාගරික වැඩවර්ජන හා විරෝධයපෑම් ද සංවිධානය කෙරුණු අතර බැටිස්ටා විරෝධී ව්‍යාපාරය රට මුළුල්ලේ ම වැඩී ගියා. මේ අරගල ක්‍රියාකාරිත්වය තුළ 1958 දෙසැම්බර් 31 දින රට මැද පිහිටි උපායමාර්ගික ස්ථානයක් වූ සැන්ටා ක්ලාරා නගරය පිදෙල් ක්‍රස්ත්‍රෝ ප්‍රමුඛ විප්ලවවාදීන් අතට පත් වීමත් සමඟ ම බැටිස්ටා ජෙනරල් ඉයුජින් කැන්ටිලෝට බලය පවරා දෙමින් 1959 ජනවාරි 01 දින පාන්දර 02ට පමණ ඔහුගේ පවුලේ අයත් සමඟ ඩොමිනිකන් ජනරජයට පලා යනවා. පිදෙල් ක්‍රස්ත්‍රෝ ප්‍රමුඛ ජූලි 26 ව්‍යාපාරයේ නායකයන් 1959 ජනවාරි 08 දින  අගනුවරට ඇතුළු වූ අතර ජනතාව ඔවුන් ව පිළිගත්තේ උණුසුම් ව. සංක්‍රමණීය පියවරක් ලෙස  ලිබරල්වාදී  මැනුවෙල් උරුෂියා සියායෝ (MANNUAL URRUTiA ZiEO) තාවකාලික ජනාධිපති ලෙස පත් කළා.

නව විප්ලවීය ආණ්ඩුව විසින් බැටිස්ටා තහනම් කර තිබූ කොමියුනිස්ට් පක්ෂය නීතිගත කරනු ලැබූ  අතර විප්ලවීය ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ රාශියක් ක්‍රියාවට නැගුවා. ඒවා අතර ගොවිජන ප්‍රතිසංස්කරණ නීතිය ප්‍රකාශයට පත් කිරීම හා ඉඩම් ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාවට නැඟීම, එක්සත් ජනපද ඉඩම් හිමියන් ප්‍රමුඛ විදේශිකයන්ගේ ඉඩම් අත්පත් කර ගැනීම, කර්මාන්ත ජනසතු කිරීම ආදිය වනවා. කියුබානු විප්ලවයට පෙර ඇමරිකා එක්සත් ජනපදය හා අනෙකුත් විදේශිය ආයෝජකයන් කියුබානු ආර්ථිකයේ ආධිපත්‍යය දැරූ අතර ඔවුන් වගා කළ හැකි ඉඩම්වලින් 75%ක්, අත්‍යවශ්‍ය සේවාවලින් 90%ක් සහ සීනි නිෂ්පාදනයෙන් 40%ක් පාලනය කළා.

මේ ක්‍රියාමාර්ග නිසා ඇමරිකා එක්සත් ජනපද සබඳතා පළුදු වුණා. එක්සත් ජනපදය මුලදී කියුබානු විප්ලවයට හිතකර ප්‍රතිචාරයක් දැක් වූ අතර එය ලතින් ඇමරිකාවට ප්‍රජාතන්ත්‍රවාදය ගෙනඒමේ ව්‍යාපාරයක් ලෙස දුටුවා. එහෙත් පසුව කස්ත්‍රෝට බලයට ඒමට ඉඩ දීම තමන් කර ගත් බරපතළ වැරද්දක් බවයි එක්සත් ජනපදයේ පිළිගැනිම වුණේ. පිදෙල් පාලනය පෙරළා දැමීමට එක්සත් ජනපදය නොයෙකුත් කුමන්ත්‍රණ දියත් කළ අතර විප්ලවය නිසා ෆ්ලොරිඩාවට පලා ගොස් සිටි කියුබානු ප්‍රතිගාමීන් කියුබානු ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවීය පෙරමුණ නමින් සංවිධානය කර 1961 අප්‍රේල්වල ආක්‍රමණයක් ද දියත් කළ‘මුත් මෙය සම්පූර්ණයෙන් ම පරාජයට පත් කෙරුණා.

කියුබාව ලෝකයේ සැලසුම්ගත ආර්ථිකයක් පවතින රටක්. සංචාරක ව්‍යාපාරය, පුහුණු ශ්‍රමය, සීනී, දුම්කොළ සහ කෝපි අපනයනය මත කියුබාවේ ආර්ථිකය රඳා පවතිනවා. ඉහළ සාක්ෂරතාව, අඩු ළදරු මරණ අනුපාතය, ඉහළ ආයු අපේක්ෂාව වැනි සමාජ දර්ශක කලාපයේ සෙසු රටවලට වඩා ඉහළ තත්ත්වයක පවතිනවා. නිවසට ම පැමිණ සියලු‍ පුරවැසියන්ට ප්‍රතිකාර කරන නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතින රටක් කියුබාව. නොමිලේ අධ්‍යාපන සේවයක් පවතිනවා සේ ම world wide fund for nature (WWҒ) අනුව තිරසර සංවර්ධන ප්‍රතිපත්ති සපුරාලන ලෝකයේ එක ම රට කියුබාව. මේ සියල්ල සිදු වූයේ 1960 සිට එක්සත් ජනපදය පැන වූ බරපතළ විස්තීරණ සම්බාධක රාශියක් මැද්දේ.

කියුබානු විප්ලවයේ පුරෝගාමියා වූ පිදෙල් කස්ත්‍රෝ වසර 49ක් රට පාලනය කර 2008 වසරේදී විශ්‍රාම යන අතර ඉන්පසු ඔහුගේ සොයුරු රාවුල් කස්ත්‍රෝ රාජ්‍ය නායකත්වයට පත්වෙනවා. ඔහු 2018 වසර දක්වා රාජ්‍ය බලය උසුළන අතර ඉන්පසුව රාජ්‍ය නායකත්වයට පත් වන්නේ මිගෙල් ඩයස් කැනොල්.

ඇමරිකානු සම්බාධක නිසා අද කියුබාව පවතින්නේ ආර්ථික වශයෙන් ඉතා දුෂ්කර තත්ත්වයක. මෙය කියුබානු කොමියුනිස්ට් පාලනයේ වරද නිසා ඇති වූ බවට ප්‍රචාරය කරන්නේ අධිරාජ්‍යවාදීන් ඇතුළු ධනේශ්වරයන් පමණක් නොව සමාජවාදීන් යැයි කියන ඇතැමුන් ද. ඇමරිකානු සම්බාධක ඇතුළු විවිධ කුමන්ත්‍රණකාරී ක්‍රියාකාරිත්ව නොවන්නට කියුබාව ලොව ආදර්ශමත් රටක් වීම වැළක්විය නොහැකි බව පැවසිය යුතුයි. පිදෙල් කස්ත්‍රෝ බලයට පැමිණි දා සිට බලයෙන් යන තෙක් ම ඔහු ඝාතනය කිරීමට 638 වාරයක් උත්සාහ කිරිමෙන් ම එරටට බටහිර අධිරාජ්‍යවාදී කඳවුරෙන් එල්ල වූ අභියෝගය තේරුම් ගන්නට පුළුවන්. කියුබාවට දැන් ට්‍රම්ප් පාලනය යටතේ ඇමරිකාවෙන් එල්ල වී ඇති තර්ජනය හමුවේ කියුබානු රජය බිඳ දැමෙන්නට පුළුවන්. එහෙත් එය කියුබානු පාලනයේ ප්‍රශ්නයක් නොව ජාත්‍යන්තර ප්‍රතිගාමිත්වයේ මැදිහත් වීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා ආර්ථික ප්‍රහාර, කුමන්ත්‍රණකාරී මැදිහත්වීම් ඇතුළු මහත් දුෂ්කරතා හා බාධක මධ්‍යයේ තවමත් කියුබානු රාජ්‍යය පවතින්නේ   ජනතාවගෙන් සවිඥානික අතිබහුතරය ආණ්ඩුව සමඟ සිටින නිසා. මහජන විප්ලවයක ප්‍රධාන කරුණු අතර සුවිශේෂ කරුණක් ලෙස මහජනයා සවිඥානික හා සංවිධිත බලයක් බවට පත්කිරිම ඉතා වැදගත්. කෙතරම් අභියෝග පැමිණියත් ඒවාට මුහුණදෙමින් අල්ලාගෙන සීටිමට සවිඥානික මහජන බලය විප්ලවීය ව්‍යාපාරයකට ඉතා වැදගත්. එහෙත් අතිබලගතු සතුරු වටලෑමක් හා විය හැකි ප්‍රහාරාත්මක මැදිහත්වීමකදී එහි පැවැත්ම කාලය පිළිබඳ ප්‍රශ්නයක්.

විප්ලවයට 67 ක්

විප්ලවයට 67 ක්