#Uncategorized

වැටුණත් නැගිටින කර්මාන්ත ආර්ථිකය

  • දීප්ත කුමාර බටගොඩ

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයත් සමග ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ඇති වූ බලපෑම පිළිබඳ සමීක්ෂණයක් ( – MSMEs) ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබිණි. නොබෝදා (2024-02-13) එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී එළිදැක්වුණු එම සමීක්ෂණය පිළිබඳ වාර්තාව ආර්ථික අර්බුදයත් සමග ශ්‍රී ලංකා ක්ෂුද්‍ර හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ඇති වූ බලපෑම හෙළි කරයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනවිරත්න, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ශ්‍යාමලී කරුණාරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල ඒකනායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියදර්ශන ධර්මවර්ධන, සංඛ්‍යාලේඛනඥ සෞභාග්‍යා පන්නල එහිදී දැක් වූ අදහස් ඇසුරින් මේ ලිපිය සැකසේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීම පරිදි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට (Micro, Small and Medium Enterprise) ආර්ථික අර්බුදයේ බලපෑම පිළිබඳ සමීක්ෂණය සිදු කළේ 2023 වර්ෂයේ මාර්තු සිට ජුනි මාසය තෙක් ය. කර්මාන්ත හා ඉදිකිරීම් ආයතන සියයට 30ක්, වෙළෙඳ ආයතනය සියයට 40ක් සහ සේවා ආයතනය සියයට 30ක් වශයෙන් දීපව්‍යාප්ත ව මේ කර්මාන්ත විහිදී තිබේ. මෑතකාලීන ව කොඩිඩ් 19 වසංගතය හා ආර්ථක අර්බුදය මේ කර්මාන්තවලට විවිධාකාරයෙන් බලපෑම් කර තිබු නිසා ශ්‍රී ලංකා ආර්ථිකය යථාවත් කිරීමේදී සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සඳහා මේ පිළිබඳ තක්සේරුවක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වුණා. එබැවින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සාමාන්‍ය සංගණන හා සමීක්ෂණවලට අමතර වශයෙන් කාලීන ව අවශ්‍ය ව තිබූ මේ සමීක්ෂණය සිදු කළේ ය.

2018 වර්ෂය වන විට ක්‍රියාත්මක ව තිබූ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල වර්තමාන තත්ත්වය සොය බැලීම හා තක්සේරු කිරීම, අර්බුදයේ බලපෑම අවම කර ගැනීම සඳහා ආයතන විසින් ගනු ලැබූ උපායමාර්ග පිළිබඳ සොයා බැලීම සහ නැවත ගොඩ නැගීම සඳහා අවශ්‍ය පසුබිම් සහයෝගතාවෙන් (Necessary support) සොයා බැලීම මේ සමීක්ෂණයේ අරමුණු ය.

නියැදි රාමුව තෝරා ගත්තේ 2013-2014 වර්ෂයේ සිදු කරන ලද ආර්ථික සංගණනයේ තොරතුරු මත පදනම් ව ය. ව්‍යාපාර ආයතන 7813ක් මේ සඳහා තෝරා ගත් අතර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පුහුණු කරන ලද නිලධාරීන් විසින් පූර්වයෙන් සකස් කරගත් ප්‍රශ්නාවලියක් යොදාගනිමින් ආයතනවලින් තොරතුරු රැස් කෙරිණි. මේ සමීක්ෂණයේදී 2018 වසරේ ක්‍රියාත්මක ව පැවති ව්‍යාපාරවල තොරතුරු රැස් කිරීම සිදු කළත් ඉන්පසුව අලු‍තින් ආරම්භ කරන ලද ව්‍යාපාරවල තොරතුරු රැස් කර නොමැත.

2018 වර්ෂය අවසානය වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව පැවති ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංඛ්‍යාව මිලියන 1.3ක් වූ අතර එයින් සියයට 79.8ක් සමීක්ෂණ කාලයේදීත් ක්‍රියාත්මක ව තිබුණි. ඒ අනුව සියයට 20.2ක් පමණ කර්මාන්ත වැසී ගොසින් ය. ඒ, ආසන්න වශයෙන් සංඛ්‍යාත්මක ව ආයතන 263,000ක් පමණ ය. එලෙස වැසී ගිය ව්‍යාපාරවලින් 2019 වර්ෂයේ සියයට 9.9ක් ද 2020 වර්ෂයේ සියයට 33.4ක් ද 2021 වර්ෂයේ සියයට 27.4ක් ද 2022 වර්ෂයේ සහ 2023 වර්ෂයේ මැයි මස දක්වා සියයට 29.3ක් ද ලෙසින් තාවකාලික ව හෝ ස්ථිර ව වැසී ගොස් ඇත. මෙයින් පෙන්නුම් කරන්නේ අවම ස්ථාවර බවක් පවතින ක්ෂුද්‍ර පරිමාණයේ ආයතන වැසීයාම ආර්ථික අර්බුද හෝ එවැනි සාධක මත ම වැසී නොයන බවත් ඒ සඳහා වෙනත් හේතු ද බලපෑ හැකි බවත් ය. කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදයේ බලපෑම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැසී යාමට සැලකිය යුතු තරම් බලපෑමක් සිදු කර ඇති බව 2020න් පසු වර්ෂවල තත්ත්වය විග්‍රහ කර බලන විට පෙනී යන කරුණකි. ක්ෂුද්‍ර ව්‍යාපාර ආයතනවලින් සියයට 8.8ක්, කුඩා පරිමාණ ආයතනවලින් සියයට 2.7ක් සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආයතනවලින් සියයට 1.4ක් ආර්ථික අර්බුදය තම ව්‍යාපාරය වසා දැමීමට හේතුව වශයෙන් සඳහන් කර තිබුණි.

2018 සිට 2020 දක්වා කාලය සලකා බලන විට ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාරවල ඉහළ යාමක් දැකිය හැකි ය. මේ සඳහා හේතු වන්නට ඇත්තේ ආර්ථික අර්බුදයත් සමග ව්‍යාපාරවල පරිමාණ වෙනස් වීමයි. ව්‍යාපාරයක පරිමාණය තීරණය වීමේදී ඒවායේ සේවා නියුක්තිකයන් සංඛ්‍යාව තීරණාත්මක සාධකයකි. කොවිඩ් වසංගතයත් ආර්ථික අර්බුදයත් හේතුවෙන් ව්‍යාපාරවල සේවක සංඛ්‍යාවේ සිදු වූ වෙනස්කම් මත කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල පරිමාණය ක්ෂුද්‍ර පරිමාණය දක්වා පහළ ගොස් ඇත. 2018 සිට 2020 දක්වා කාලයේ ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාරවල ශ්‍රමබලකාය ද මෙයට සමගාමී ව ඉහළ ගොස් තිබේ. ආර්ථික අර්බුදයත් සමග ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර කර්මාන්තවල ඉහළ යාමක් පෙන්නුම් කිරීමට ව්‍යාපාර පරිමාණයේ සිදු වූ වෙනස්කම් ප්‍රබල සාධයක් වූ බව මෙයින් තහවුරු වේ.

2018 වන විට පැවති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ආර්ථික අර්බුදය දැඩි ව බලපෑම් කර තිබෙන බවක් ආර්ථික අර්බුදයේ බලපෑම අවම කර ගැනීම සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීමේදී තවමත් විධිමත් නොවන මූලාශ්‍රවල දායකත්වය සැලකිය යුතු මට්ටමක පවතින බවත් සමීක්ෂණයේ ප්‍රතිපල අනුව පෙනී යයි. ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර සියයට 13ක් පමණ පොලියට මුදල් ලබා දෙන්නන්ගෙන් ණය ලබාගෙන තිබෙන බව සමීක්ෂණයෙන් හෙළි වන කරුණකි. ණය ගෙවීම සහ ප්‍රතිව්‍යුගතකරණයේදී මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආයතන 52.ක් පමණ සහ කුඩා පරිමාණ ව්‍යාපාර සියයට 54ක් සහ ක්ෂුද්‍ර පරිමාණ ආයතන සියයට 42ක් පමණ සිදු කරගෙන තිබුණ ද ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාරවලින් සියයට 9ක් පමණ ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ දැනුමේ ඌනතාවක් පැවතීම මෙයට හේතුව විය හැකියි.
අර්බුදයේ බලපෑම කළමනාකරණය කිරීම සඳහා ව්‍යාපාර ආයතන ගෙන තිබූ උපායමාර්ගික ක්‍රම වශයෙන් නිෂ්පාදන මිල ඉහළ දැමීම, වියදම් කපා හැරීම, නිෂ්පාදනය සීමා කිරීම, වැඩමුර හෝ වැඩ කරන දින වෙනස් කිරීම ආදිය ප්‍රධාන වේ.