#කෘෂිකර්ම

වගා බිමේ තාක්ෂණික පිම්ම

  • සමේලා රාජපක්ෂ

කෘෂිකර්මාන්තය සඳහා නවීන තාක්ෂණ භාවිතය බොහෝ කලක සිට කතිකා වන්නකි. එහි එක් පියවරක් ලෙස මෙවර යල කන්නයේදී වී වගාව සඳහා ඩ්‍රෝන යන්ත්‍ර උපයෝගි කරගැනීමේ වැඩසටහන පළමුවරට ආරම්භ කිරීමට නියමිත ය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ කෘෂි ආංශික නිපුණතා සභාවේ සභාපති කවින්ද දිසානායක සඳහන් කරන්නේ කෘෂිකර්මාන්ත අංශයෙන් ලෝකය සමග ඉදිරියට යාමට නම් කෘෂිකර්මාන්තයේ තිබෙන තාක්ෂණික පරතරය (Technology Gap) හ`ඳුනාගෙන ඒ අනුව එය ලෝකය සමග ගළපාගත යුතු බව ය. අදහස් දක්වන ඔහු; “කෘෂිකර්මාන්තය සතු ශ්‍රම බලකාය බොහෝ වයස්ගතයි. අලු‍තින් කෘෂිකර්මාන්තයට ශ්‍රම බලකාය එක් වන්නේත් අඩුවෙන්. නමුත් නව තාක්ෂණය කෘෂිකර්මාන්තයට ගෙනැවිත් තරුණ තරුණියන්ට තාක්ෂණික නිපුණතාව ලබා දුන්නොත් වඩාත් ඵලදායී ලෙස ඔවුන් කෘෂිකර්මාන්තයට දායක කර ගන්නට පුළුවන්.”

ඩ්‍රෝන යාත්‍රා 100ක් ශ්‍රී ලංකාවට ලැබුණු මොහොත

නව තාක්ෂණය කෙසේ ගෙන ආ යුතු ද යන්නත් වර්තමානයේ පවතින ජාතික නිපුණතා ප්‍රමිති (National Competency Standards) යාවත්කාලීන කරන්නේ කෙසේ ද? යන්නත් සලකා බැලීමේදී නව තාක්ෂණය බිම්ගත කරන්නේ කෙසේද? යන ගැටලුව මතු වූ බවත් සභාපතිවරයා සඳහන් කළේ ය. මේ සඳහා කෘෂි ආංශික නිපුණතා සභාව කෘෂි තාක්ෂණික ව්‍යාප්ති මධ්‍යස්ථානයක් (Agro Tech Dissamination Centre) පිහිටුවා එමගින් කෘෂි තාක්ෂණ දැනුම බිම්ගත කිරීමට අවශ්‍ය දැනුම ලබාදීමේ පාඨමාලා ආරම්භ කර තිබේ. මෙහි මූලික කාර්යයක් ලෙස ඩ්‍රෝන නියමු (Drone Pilot) පාඨමාලාව 2023 ජූනි මාසයේ එළිදැක්විණි. එහිදී විශාල කාර්යභාරයක් ඉටු කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිපුණතා අංශයේ සංවර්ධන වැඩසටහන (Skill Sector Development Program) ආසියානු සංවර්ධන බැංකුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ය. මේ ව්‍යාපෘතිය සඳහා රාජ්‍ය මෙන් ම පෞද්ගලික ආයතනවල සහයෝග ද ලැබී තිබේ.
එහි පළමු පියවර ලෙස වී වගාව සිදුකෙරෙන සෑම දිස්ත්‍රික්කයකට ම ගොවිජන සේවා මධ්‍යස්ථානය පෞද්ගලික අංශය ද සමග එක් ව ඩ්‍රෝන යාත්‍රා ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹා ඇත. මෙහි පළමු අදියර යටතේ ඩ්‍රෝන යන්ත්‍ර 100ක් ලබා දෙන්නේ හෙක්ටයාර 3000කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට, කුරුණෑගල, වවුනියාව, අම්පාර යන දිස්ත්‍රික්ක ඇතුළත් ව වී වගාව කෙරෙන සියලු දිස්ත්‍රික්ක සඳහා මිලියන 250ක පමණ පිරිවැයක් දරමිනි. සභාපති කවින්ද දිසානායක පවසන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ රුපියල් මිලියන 40ක පමණ ප්‍රාග්ධනයක් කෘෂි තාක්ෂණික ව්‍යාප්ති මධ්‍යස්ථානය (Agro Tech Dissamination Centre) පිහිටුවීම සඳහා ලබා දුන් බව ය.

නවීන කෘෂිකර්මාන්තය (Modern Agriculture) යන දැක්ම යටතේ මේ ව්‍යාපෘතියේ විකාශනය හා පරිමාව වැඩි කර ගැනීම සඳහා රජය පූර්ණ අනුග්‍රහය ලබා දෙයි. එහි දෙවැනි අදියර යටතේ වී වගා කරන සෑම දිස්ත්‍රික්කයක ම ගොවිජන සේවා මධ්‍යස්ථාන 563ට ඩ්‍රෝන සේවා ලබා දීමට පියවර ගෙන ඇත. යල කන්නයේ එනම්, අප්‍රේල් මස මුල්භාගය වන විට සම්පූර්ණයෙන් ම ගොවිජන සේවා මධ්‍යස්ථාන 100 ම ස්ථාපිත කර මේ සේවාව ලබා දීමට අපේක්ෂිත ය. මේ ව්‍යාපෘතිය හේතුවෙන් ගොවියන්ගේ කාලය ඉතුරු වීම, ගොවියන්ගේ ශරීර සෞඛ්‍යයට සිදුවන හානිය අවම වීම, පරිසර දූෂණය අවම වීම, කෘෂි රසායනික දැමීමේදී සිදුවන නාස්තිය අවම වන නිසා ඒ සඳහා යෙදීමට අවශ්‍යවන පිරිවැය අඩුවීම සහ ශ්‍රමය සඳහා ගෙවීමට අවශ්‍ය මුදල අඩුවීම, නිෂ්පාදන පිරිවැය අඩුවීම වැනි ප්‍රතිලාභ රැසක් අත්වේ.

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අභයරත්න ප්‍රකාශ කරන පරිදි, සාමාන්‍ය කුඹුරකට තෙල් ගැසීමට හෙක්ටයාරයකට රු. 6000ක් පමණ මුදලක් වැය වන අතර හෙක්ටයාරයකට තෙල් ගැසීමට වරුවක් පමණ ගත වේ. නමුත් ඩ්‍රෝන යාත්‍රා යොදා ගැනීමෙන් විනාඩි 15ක්-20ක් ඇතුළත හෙක්ටයාරයකට රුපියල් 2000-2500කට ආසන්න මුදලකින් තෙල් ගැසීමට හැකියාව ලැබේ. මේ නිසා ගොවියාට රුපියල් 4000ක පමණ ලාභයක් ලැබේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා; “සාම්ප්‍රදායික ක්‍රමයට වඩා ඩ්‍රෝනවලින් තෙල් ඉසින විට නිසි ප්‍රමාණයට, නිසි ආකාරයට ගොයමට වදින නිසා අවශ්‍ය ප්‍රමාණයට පමණයි තෙල් වැය වන්නේ. මෙහිදී නාස්තිය අවම වීම හේතුවෙන් යෙදීමට සිදුවන පිරිවැය ද අවම වනවා.”

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඩ්‍රෝන ලබාදෙන නියෝජිත ආයතන සමග ගිවිසුමකට එළඹීමෙන් එම නියෝජිත ආයතනවල ඩ්‍රෝන යන්ත්‍ර කුලියට ගැනීම සඳහා එකඟතාව ලබාගෙන තිබේ. ඩ්‍රෝන යාත්‍රා සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කිසිදු වියදමක් නොදරයි. ඩ්‍රෝන නියමුවන් ලෙස පුහුණු කර ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යොමු කරන්නේ අදාළ ග්‍රාමයේ තෝරා ගන්නා තරුණ තරුණියන් ය. ඩ්‍රෝන නියමුවකු ලෙස සුදුසුකම් ලැබීමට නම්, එම පුද්ගලයා අ.පො.ස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාෂාව සඳහා S සාමාර්ථයක් ලබා තිබිය යුතු අතර ජංගම දුරකතනයක් භාවිත කිරීමට තාක්ෂණික දැනුම තිබීම ප්‍රමාණවත් ය. වයස අවුරුදු 18ත්-30ත් අතර අයකු විය යුතුයි.

කෘමිනාශක, වල්නාශක, යූරියා වැනි පොහොර ඉසීම මෙන් ම වී ඉසීම ද සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට සැලසුම් කර තිබේ. ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම විද්‍යාත්මක පදනමකින් සිදු විය යුත්තකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ; “සමාජයේ අනිසි බලපෑම් හේතුවෙන් කෘෂිකර්මාන්තය සඳහා තාක්ෂණය යොදා ගැනීමට හැකි වී තිබෙන්නේ අවම වශයෙන් නැතහොත් බොහෝ සේ ප්‍රමාද වී. නියමාකාරයට රාජ්‍ය අනුග්‍රහය දක්වමින් ගොවියන් කරා යා යුතු තාක්ෂණයක් ඩ්‍රෝන තාක්ෂණය. ඩ්‍රෝන යාත්‍රා භාවිතයෙන් ක්‍ෂේත්‍රය පුරා එකාකාරී ව බීජ ඉසීමට, පොහොර යෙදීමට එනම්, පසේ තිබෙන පෝෂක ප්‍රමාණය නිසි ලෙස හඳුනාගෙන නිර්ණායක යටතේ අවශ්‍ය පොහොර ප්‍රමාණය ශාකයට යෙදීමෙන් අඩු වියදමකින් වැඩි අස්වැන්නට ලබා ගැනීමට හැකි වනවා. මේ නිසා පොහොර අපතේ යෑම අවම වනවා. ක්ෂේත්‍රයේ වල්පැළෑටි නොමැති නම් පලිබෝධ හානි වූ ශාක හඳුනාගෙන චන්ද්‍රිකා තාක්ෂණය ආශ්‍රයෙන් ඒ ස්ථාන ගැන නිර්ණය කර අවශ්‍ය ප්‍රමාණයට වල්නාශයක යෙදීම හෝ අනෙකුත් පලිබෝධ නාශක යේදීම කළ හැකියි. බිම් මට්ටමේ සිට පුද්ගලයකුට ළඟා විය නොහැකි ස්ථානවලට ළඟා වීමට, සතුන්ගේ චලනය නිරීක්ෂණයට, විශාල ක්ෂේත්‍ර නිරීක්ෂණයට, ශාක පත්‍රවල වෙනස්වීම් ග්‍රහණය කර ගැනීමට ඩ්‍රෝන යාත්‍රාවලට හැකියාව තිබෙනවා. මේ නිසා තාක්ෂණය නිසියාකාර ව ක්‍ෂේත්‍රයට යොදා ගැනීමෙන් එහි ප්‍රතිඵල නෙළා ගැනීමයි කළ යුත්තේ. කාර්මීකරණය වූ දියුණු වූ සෑම රටක් ම ඩ්‍රෝන තාක්ෂණය අඩු, වැඩි වශයෙන් කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නවා. උදාහරණයක් ලෙස 2016 වසරේ ඊශ්‍රායලයේ අගමැති ඇමරිකාවේ සෙනෙට් සභාවේ රැස්වීමකදී ප්‍රකාශ කර තිබෙනවා ‘2050 වන තෙක් මට ඔබට දිය හැකි වන්නේ එක් තාක්ෂණයයි. ඒ තමයි ඩ්‍රෝන තාක්ෂණය’ යනුවෙන්.”

මේ නිසා කෘෂිකර්මාන්තයෙන් තරුණ ප්‍රජාව ඉවත් වෙමින් සිටින ප්‍රවණතාවක් දක්නට ලැබෙන වර්තමානයේ ඔවුන්ට නැවත කෘෂිකර්මාන්තය දෙස හැරී බලන්නට අවස්ථාවක් ඩ්‍රෝන තාක්‍ෂණය උදා කරන පසුබිමක් ගොඩ නැගෙමින් සැබවින් ම යහපත් තත්ත්වයකි.