#පරිසර

ලොව උණුසුම් නැත ගැලවුම්

  • සුගත්ප්‍රිය කුලතුංග ආරච්චි

නොබෝදා එළිදරව් වූ විද්‍යාත්මක දත්ත රැසකට අනුව අප ජිවත් ව සිටින්නේ රත් වී දැවෙන ලෝකුඹු නිරයක් බවට පත්වෙමින් ඇති පොළෝ තලයක් මත. Climate Central, නමැති ලාභ නොලබන විද්‍යා පර්යේෂණ කණ්ඩායමක් අනාවරණය කරන මේ දත්ත 2023 වසර හඳුන්වා දී තිබෙන්නේ, බොහෝ විට වසර 125,000ක කාලයක් තුළ ලෝකය මුහුණ පෑ උණුසුම් ම කාල සීමාව හැටියට. එයට අනුව ලොව පුද්ගලයන් 4 දෙනකුගෙන් 3 දෙනකු ම පසුගිය වසරක කාලය තුළ දැරිය නොහැකි අධික තාපයෙන් අඩු ම තරමේ මාසයකට වඩා වැඩි කාලයක් පීඩා විඳ තිබෙනවා. පෘථිවියේ මෙතෙක් වාර්තාගත ව ඇති උණුසුම් ම කාලය 2022 නොවැම්බර් සිට 2023 ඔක්තෝබර් දක්වා පැවැති බව එම දත්ත වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව පෘථිවිය නූතන යුගයේ මුහුණ පෑ උණුසුම් ම මාස 12ක කාලය 2023 වසරේදී විඳදරා ගත් බව ඔවුන්ගේ නවතම විද්‍යාත්මක දත්ත විශ්ලේෂණයෙන් සනාථ වුණා. දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය සහ යුරෝපීය දේශගුණ නිරීක්ෂකයා වන කොපර්නිකස් දත්ත පද්ධතිය ද එය සනාථ කර තිබුණා.

යුරෝපා කලාපයේ ඉපැරැණිතම දේශගුණ නිරීක්ෂකයා වන Copernicus Climate Change Service (C3S) ප්‍රකාශ කළේ 2023 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ සෙල්සියස් අංශක 0.4ක් වූ (ෆැරන්හයිට් අංශක 0.7ක් වූ) ඉහළ ම උෂ්ණත්වය, 2019දී පිහිටුවන ලද උණූසුම් ම මාසය සඳහා වූ පෙර වාර්තාව බිඳ දමා ඇති බව. මේ කොපර්නිකස්ගේ දත්ත කට්ටලයේ වාර්තා 1940 දක්වා දිව යනවා.

දේශගුණික විපර්යාසවලට ප්‍රධාන ම හේතුව මානව අතපෙවීම සහ පොසිල ඉන්ධන දහනය සමග අත්වැල් බැඳගත් හරිතාගාර වායු විමෝචනය. කතාබහට පමණක් සීමා වී තවමත් පාලනයකට යටත් කර නොගත් මේ අදූරදර්ශි මානව ක්‍රියාදාමය හේතුවෙන් පෘථිවිය දිනෙන් දින නොනවත්වා දැඩි ලෙස උණුසුම් වන විට, අධික තාපය පිළිබඳ පෙර වාර්තා බිඳවැටෙමින් යන්නේ නොසිතූ විරූ වේගයකින්.

Climate Central අනුව 2023 වසර තුළ සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය පූර්ව කාර්මික යුගයේ ලොව පැවැති දේශගුණ උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.3කින් (ෆැරන්හයිට් අංශක 2.3කින්) වැඩි වී තිබුණා. එය විද්‍යාඥයන් පවසන පරිදි ගෝලිය උෂ්ණත්ව පාලනය සඳහා පැරිස් සම්මුතියේ රටවල් ඉක්මවා නොයෑමට එකඟ වූ සෙල්සියස් අංශක 1.5(ෆැරන්හයිට් අංශක 2.7)ක් වූ උෂ්ණත්ව සීමාවට ආසන්න වූ වැඩිවීමක්.

වාර්තාව සඳහා භාවිත කර තිබුණේ දේශගුණික විපර්යාසවල බලපෑම මත වෙනස්වන උෂ්ණත්වය සහ තාප තරංග හැසිරීම සිතියම්ගත කරන දෛනික දත්ත පද්ධතියක් වන Climate Shift Index (CSI) හි තොරතුරු මට්ටම් දත්ත. මෙය යොදා ගන්නේ දෛනික තාප මට්ටම්වල වෙනස්කම් ප්‍රකාශ කිරිමට. උදාහරණයක් ලෙස CSI මට්ටම 3ක් ලෙස සටහන් විමෙන් පෙන්නුම් කරන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් දේශීය දෛනික උෂ්ණත්වය අවම වශයෙන් තුන් ගුණයකින් වැඩි වි ඇති බව. එනම් 2023 වසරේ බිලියන 7.3ක ජනතාවක්, එනම් මනුෂ්‍ය වර්ගයාගෙන් 90%ක්, දේශගුණික විපර්යාස හේතුවෙන් අවම වශයෙන් තුන් ගුණයකින් ඉහළ ගිය උෂ්ණත්වයකින් අවම වශයෙන් දින 10ක් පීඩා විඳ දරා ඇති බව.
මේ කාලය තුළ කාබන් දූෂණයෙන් මෙහෙයවන ආන්තික, නොනැසී පවතින සහ භයානක තාප තරංගවලට මුහුණ පෑ පිරිස පෘථිවි වැසියන්ගෙන් 1/4ක්. මේ වාර්තාව අසාමාන්‍ය දැඩි උණුසුම හේතුවෙන් ඉස්මතු වූ කලාපීය බලපෑම් කිහිපයක් ද එළිදරව් කරනවා.

මේ අධික තාපය මග පාදා තිබුණේ ලොව පැතිර ගිය විනාශකාරී මහා වර්ෂාපතනයකට. මන්ද උණුසුම් වායුගෝලය වැඩි ජල වාෂ්ප රඳවා තබා ගන්නා අතර ඉන් කුණාටු සහිත වැඩි වර්ෂාපතනයකට ඉඩ සලසන හෙයින්. ඒ අනුව හටගත් ඩැනියෙල් කුණාටුව අප්‍රිකාවේදී මාරාන්තික කුණාටුව බවට පත් වූ අතර එහි ඇස්තමේන්තුගත මරණ සංඛ්‍යාව 4,000-11,000ත් අතර. ග්‍රීසිය, බල්ගේරියාව සහ තුර්කිය ද ඩැනියෙල් 2 කුණාටුවෙන් හානි සහ මරණ අත්දුටුවා.

ඉන්දියාවේ, බිලියන 1.2ක ජනතාවක් හෝ ජනගහනයෙන් 86%ක් හෝ අත්විඳ තිබුණේ අවම වශයෙන් දින 30ක කාලයකට සෑහෙන තුන් ගුණයකින් ඉහළ ගිය දැඩි උෂ්ණත්වයක්. එක්සත් ජනපදයේ ජනගහනයෙන් 49%ක් අවම වශයෙන් දින 10ක අධික උෂ්ණත්වයක් හේතුවෙන් පිඩා වින්දා. හූස්ටන්, ටෙක්සාස් කාබන් දූෂණය නිසා ඇති විය හැකි දීර්ඝතම උෂ්ණත්වය දින 22ක් අත්විඳ ඇති අතර ඇතැම් ප්‍රාන්තවල නියඟ, ලැව්ගිනි සහ විදුලිය ඇනහිටීම්වලට ද මේ අධික තාපය දායක වුණා.
සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද තවත් අධ්‍යයනයකින්, 2022 ලෝකයේ සීතල ම කලාපය වන ඇන්ටාක්ටිකාවට පවා මෙතෙක් වාර්තාගත වඩාත් ම තීව්‍ර තාප තරංග කඩා වැදුණු බව සොයාගෙන තිබෙනවා. මේ ශීත ඍතුවේදීත් ශක්තිමත් එල්නිනෝ බලපෑමක් උච්චස්ථානයක් කරා ගොඩනැගෙමින් තිබෙනවා. එයින් අදහස් වන්නේ එහි බලපෑම හේතුවෙන් එළඹෙන 2024 වඩාත් උණුසුම් විය හැකි බව.

අධික ගෝලීය උණුසුමේ ග්‍රහණයෙන් ලෝකයේ කිසිදු කොණක් ඉතිරි වී බේරී ගොස් නැති බව මේ වාර්තා අනාවරණය කිරීමෙන් මැනවින් සනාථ වන්නේ ලොව කිසිදු රටකට, රාජ්‍යයකට ගෝලීය උණූසුම ඉහළ දැමීමට තමන් එක් ව කළ සමූහ පාපයෙන් ගැලවීමක් නොමැති බව.