රේගුවේ ගමන
රේගුවක ප්‍රධාන කාර්යභාරය වන්නේ දේශ සීමාවකින් තවත් දේශ සීමාවකට භාණ්ඩ හුවමාරු කර ගැනීමේදී ඒ සඳහා බද්දක් අය කර ගැනීම. මෙය අතීත මානව ශිෂ්ටාචාරවල පවා ප්‍රාථමික මට්ටමේ ඉටු වී තිබෙන්නක්. ලාංකේය සමාජයේත් අතීතයේ සිට ම ක්‍රමයෙන් වර්තමානය දක්වා වර්ධනය වී තිබෙන රේගු කාර්ය දකින්නට ලැබෙනවා. ඒ අනුව ‘රේගු කාර්යයක් සිදු වුණා‘ ය යන්නට ශ්‍රී ලංකාවේ දැනට හමු වී ඇති පැරණිතම ලිඛිත සාධකය වන්නේ ගොඩවාය සෙල්ලිපිය. එම සෙල්ලිපියේ වලවේ ගංමෝය අසල පැවතුණ වරායකින් ගොඩ බස්සන භාණ්ඩ සඳහා බදු අය කළ බවත් එමගින් උපයන ආදායම කොටස් වශයෙන් රටේ භාණ්ඩාගාරයට, ගොඩවාය විහාරයේ නඩත්තු කටයුතුවලට සහ රාජකාරියේ නියුතු නිලධාරින්ගේ පඩිනඩි පියවීමට යොදා ගත් බවත් සඳහන්.
ශ්‍රී ලංකාවේ නිල වශයෙන් රේගු කාර්යයක් ආරම්භ වන්නේ 1806 බ්‍රිතාන්‍ය යටත්විජිතයක් ව පැවතුණ කාලයකදී. 1869 අංක 17 නමින් රේගු ආඥා පනත අනුමත කෙරෙන අතර වර්තමානය දක්වා ශ්‍රී ලංකා රේගු පාර්තමේන්තුව ක්‍රියාත්මක වන්නේ මේ පනතේ නීති රෙගුලාසිවලට යටත් ව.
ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා රේගුවට ප්‍රධාන කාර්යභාර හතරක් තිබෙනවා. ඉන් ප්‍රධාන ම කාර්යභාරය වෙන්නේ රජයට ආදායම් එක්රැස් කිරීම. රටේ ආදායම රැස් කරන ප්‍රධානතම රාජ්‍ය ආයතන තුන විදිහට ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුව හඳුනා ගත හැකි බවත් 2025 වසරේ රජයේ ආදායමෙන් 50 වසරකට වැඩි ආදායමක් රේගුව තනිව ම උපයා දී ඇති බවත් ඔහු පවසනවා. දෙවැන්න සමාජ ආරක්ෂණය. ශ්‍රී ලංකාව ලෝකයේ වරාය කේන්ද්‍රස්ථානයක් මෙන් ම ජෛව විවිධත්වයේ ද කේන්ද්‍රස්ථානයක්. එම නිසා භාණ්ඩ ආනයනයේදී සැලකිලිමත් වීමට සිදු වෙනවා පමණක් නොව නීති රැහැනට පිටින් සීමා කර හෝ තහනම් කර තිබෙන භාණ්ඩ මෙරටින් අපනයනය කිරීම සම්බන්ධයෙන් ද සැලකිලිමත් විය යුතු වෙනවා. ලංකාවට ආවේණික ජීවීන්, ශාක කොටස්, පුරාවිද්‍යාත්මක ද්‍රව්‍ය නීති විරෝධී විදිහට රටෙන් පිටමං කරනවා ද යන්න සොයා බැලීමටත් මත්ද්‍රව්‍ය, ප්‍රමිතියකින් තොර ඖෂධ, වෙනත් උපකරණ ගෙන්වීම් පාලනය කර ගැනීමේ මූලික වගකීමත් රේගුව සතු ව පවතිනවා. තුන් වැනි කාර්යය වන්නේ නීත්‍යනුකූල වෙළෙඳාමට පහසුකම් සැපයීම.
අදහස් දක්වන රේගු අධ්‍යක්ෂ; “අප සෑම විට ම උත්සාහ කරන්නේ නිත්‍යනුකූල ව වෙළෙඳාම් කරන සේවකයන්ට හැකි ඉක්මනින් අඩු ම පිරිවැයකින් රේගුවෙන් අදාළ භාණ්ඩ නිදහස් කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීමට. අනීතික ව සිදුවන වෙළෙඳාම නීතියෙන් අඩපණ කිරීමටත් පියවර ගන්නවා. නවීන තාක්ෂණය යොදාගෙන සැක කටයුතු බහාලුම් වැටලීම මෙන් ම ලෝක රේගු සංවිධානය විසින් අනුමත කරන ලද අවදානම් කළමනාකරණ මූලධර්ම වැනි ක්‍රමවේද අනුගමනය කිරීමට මුල් තැනක් දෙනවා. රේගුවේ හතර වැනි කාර්යභාරය විදිහට හඳුනා ගැනෙන්නේ දත්ත එක්රැස් කර ගැනීම. රටේ ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී රජයට අවශ්‍ය වෙනවා භාණ්ඩ හා සේවා පිළිබඳ ආනයන අපනයන දත්ත. රටේ ඉල්ලුම අනුව භාණ්ඩ ආනයනයට යොමු විය යුතු අවස්ථා හඳුනා ගැනීමට, විනිමය අනුපාත ස්ථාවර ව පවත්වා ගැනීමට, දේශීය නිෂ්පාදකයන් රැක ගැනීමට අවශ්‍ය තීරු බදු පැනවීම් යනාදී බොහෝ කාරණා සඳහා මේ දත්ත රජය යොදා ගන්නවා.”
2025 දෙසැම්බර් 30 දින වන විට එම වසරේ ආදායම වශයෙන් රුපියල් ට්‍රිලියන 2.55ක් උපයා ගැනීමට ශ්‍රී ලංකා රේගුවට හැකි වී තිබෙනවා. එය 2024 වසරේ ආදායම වූ රුපියල් බිලියන 1535ට වඩා ට්‍ර්ලියනකින් වැඩි ආදායමක්. 2025 වසරේ අදායමෙන් වැඩි ප්‍රතිශතයක් සම්පූර්ණ වී තිබෙන්නේ මෝටර් රථ හා වාහන අමතර කොටස් ගෙන්වීමෙන් උපයා ගන්නා ලද ආදායමෙන්. එය 39% ක්. ඛනිජ තෙල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ගෙන්වීමෙන් උපයා ගත් 23% එහි දෙවැනි වැඩි ම ආදායම් ඉපැයීම. ඉතිරි 38% සම්පූර්ණ වී ඇත්තේ අනෙකුත් භාණ්ඩ හා සේවා අපනයනයෙන්. එම වසරේදී උපයා ගන්නා ලද රේගු ආදායමේ සුවිශේෂත්වයක් දක්නට ලැබෙනවා. ඒ, අනෙකුත් වසරවලදී 80%කට ආසන්න ප්‍රමාණයක් වාහන ගෙන ඒම හා ඛනිජ තෙල් ආනයනය මගින් ආවරණය කිරීම වෙනස් වී එය 62% දක්වා අඩු වී වෙනත් ආදායම් ඔස්සේ ඉපැයීම් 20% ආසන්න ප්‍රමාණයකින් වැඩි කරගෙන තිබීම. මෙය වාහන ගෙන්වන ලද පසුගිය වසරවල උපයාගත් ආදායම් සමග සන්සන්දනය කිරීමෙන් පවා වඩාත් හොඳින් නිරීක්ෂණය වන කාරණාවක්. ඒ අනුව වාහන හා ඛනිජ තෙල් ආනයන ආදායම වැඩි වීම පමණක් මෙවර රේගු ආදායම ඉහළ යාමට හේතු වී නැහැ. පසුගිය වසරට සාපේක්ෂ ව මේ වසරේදී යන්ත්‍රෝපකරණ හා යාන්ත්‍රික සැපයුම් රුපියල් බිලියන 79 – 85 දක්වාත් ප්ලාස්ටික් ද්‍රව්‍ය රුපියල් බිලියන 54 – 60 දක්වාත් කිරි ආශ්‍රිත නිෂ්පාදන රුපියල් බිලියන 39 – 58 දක්වාත් යනාදී වශයෙන් සෑම ආනයන ආදායමක් ම මේ වසරේදී වැඩි වී තිබෙනවා.
එමෙන් ම 2017 වසරේ සිට ලබාගත් ආදායම් වාර්තාවල සඳහන් වන ආකාරයට රේගුවේ වාර්ෂික ආදායම් අපේක්ෂාව ඉලක්කගත සීමාවට වඩා පහළින් තිබී ඇති. එය 2017 වසරේදී රුපියල් බිලියන 80 ක් ද 2018 වසරේදී රුපියල් බිලියන 144 ක් ද 2019 වසරේදී රුපියල් බිලියන 300 ක් ද 2020 වසරේදී රුපියල් බිලියන 63 ක් ද 2021 වසරේදී රුපියල් බිලියන 33 ක් ද 2022 වසරේදී රුපියල් බිලියන 22 ක් ද වශයෙන් හඳුනා ගත හැකියි. එහෙත් 2023 වසරේ සිට ශ්‍රී ලංකා රේගුවට ඉලක්කගත වාර්ෂික ආදායම් අපේක්ෂාව ඉක්මවා යමින් අමතර ආදායමක් උපයා ගැනීමට හැකි ව තිබෙනවා. 2024 වසරේ ද රුපියල් ට්‍ර්ලියනය ඉක්ම වූ ආදායමක් ලබා ගැනීමටත් එය 2025 වසරේදී රුපියල් ටි්‍රලියන දෙකහමාර ඉක්ම වූ ආදායමක් බවට වැඩි කර ගැනීමටත් හැකි වී තිබෙනවා.

අදහස් දක්වන අධ්‍යක්ෂ පුංචිහේවා; “රේගුවට ආදායම් එක්රැස් කිරීමේ මේ තරම් වර්ධනයක් අත්පත් කර ගැනීමට ප්‍රධානතම හේතුව වුණේ අවදානම් කළමනාකරණය අංශය. ඉතාමත් මෑත කාලයේදීයි මෙහි කටයුතු ආරම්භ කෙරුණේ. බහාලුම් පරීක්ෂාවේදී වඩාත් කාර්යක්ෂම කාර්යභාරයක් මෙයින් ඉටු කෙරෙනවා. විශේෂයෙන් භාණ්ඩ ආනයන ඉතිහාසය ඔස්සේ පරීක්ෂා කර කාලයක් තිස්සේ අනීතික ව භාණ්ඩ වෙළෙඳාම සිදු කෙරෙන කලාප, මාර්ග හා පුද්ගලයන් පිළිබඳ දත්ත ගොනු සකස් කර ගැනීම (Risk Profile) සිදු වෙනවා. භාණ්ඩ අපනයනයේදී මෙන් ම ආනයනයේදී ද ඇති විය හැකි අක්‍රමිකතා මග හරවා රේගුවට ලැබිය යුතු නිසි බදු ආදායම් එලෙසින් අය කර ගැනීමටත් ඉවහල් වෙනවා. මේ ක්‍රියාවලිය ස්වංක්‍රීය පද්ධතියක් (Auto-mated Risk Management System) බවට සංවර්ධනය කිරීම ආරම්භ කළා. එමගින් හැකියාව ලැබෙනවා අවදානම් කළමනාකරණ දර්ශක වඩාත් නිවැරදි ව යාන්ත්‍රික ක්‍රියාවලියක් ඔස්සේ සකස් කර ගැනීමට. රේගු දෙපාර්තමේන්තුවේ සෑම කාර්යාල භූමිකාවක් ම හැකි පමණින් පරිගණකගත පද්ධතියක් ඔස්සේ ක්‍රියාත්මක කර ඩිජිටල්කරණය කිරීමට පියවර ගනිමින් තිබෙනවා. මේ නිසා ගෙවීම් පියවීම් පවා මුදල් නෝට්ටු, Pay Orders භාවිතයකින් තොර ව Bank to Bank මාර්ගගත ක්‍රමවේදය යටතේ පමණක් සිදු කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. ඒ නිසා මෙතෙක් කල් මුදල් හුවමාරුවේදී ඇති වූ බොහෝ අකාර්යක්ෂමතා මගහරවා ගැනීමට හැකි වී තිබෙනවා.
අවදානම් කළමනාකරණ අංශය මේ වන විට සොයාගෙන තිබෙනවා භාණ්ඩවල වටිනාකම් නිර්ණයේදී අගය අඩුවෙන් තක්සේරු කිරීම් (Under Valuation) රජයට හිමි විය යුතු බදු ආදායමෙන් වැඩි කොටසක් අහිමි කරන බව. මේවා වැළැක්වීමට රේගුවේ මධ්‍යම තක්සේරු අංශය පියවරගෙන තිබෙනවා. මෙයින් සිදු වන්නේ භාණ්ඩවල සැබෑ මිලට වඩා අඩු වටිනාකම් තක්සේරුවක් සිදු කර ඇති ගනුදෙනු හඳුනාගෙන එම භාණ්ඩවලට නැවතත් අඩු අගයන් පැනවීමට නොහැකි පරිදි අදාළ පාර්ශ්ව වෙත නීතිය ක්‍රියාත්මක කිරීම. මේ ක්‍රියාමාර්ග ගැනීමෙන් 2025 වසරේ අමතර බදු විදිහට රුපියල් මිලියන 10,456ක මුදලක් මේ යටතේ එකතු කර ගැනීමට හැකි වී තිබෙනවා. මෙය සාපේකෂ ව සුළු මුදලක් වුවත් දිගින් දිගට ම මෙවැනි අකාර්යක්ෂමතා වසරක් පාසා වීමට ඉඩ හැරීමෙන් පාලනය කිරීමට නොහැකි වන විශාල පාඩුව මග හරවා ගැනීමට හැකියාව ලැබෙනවා.”
දැනට මේ සියලු කාර්ය සිදු කිරීමට සිටින්නේ සීමිත රේගු නිලධාරින් පිරිසක්. එබැවින් දැඩි සේවක අවශ්‍යතාවක් රේගු දෙපාර්තමේන්තුව සතු ව පවතිනවා. රේගු ආඥා පනතේ සංශෝධන කිරීමත් අපෙක්ෂාවක්. දැනට ආනයනය හා අපනයනයට අදාළ ව රේගු සටහන්කරණයක් සම්මත කිරීමට සිදු වන්නේ භාණ්ඩ මෙරටට ගෙන ඒමෙන් අනතුරුව. එහෙත් ලෝක රේගු සංවිධානය දැනට නිර්දේශ කරන විදිහට භාණ්ඩ ගෙන ඒමට පෙර ම (Pre-arrival Processing) ඒවා සටහන්කරණය කිරීම නිසා අදාළ බහාලුම් රටින් පිටත් කරන විට ම ශ්‍රී ලංකා රේගුවට අදාළ භාණ්ඩ සඳහා බදු අය කිරීමට අවශ්‍ය සියලු ම දත්ත පිළිබඳ ව කල්තියා ම දැනුවත් ව සූදානම් වීමට හැකියාව ලැබීම සුවිශේෂ කරුණක්.






