#අධ්‍යාපන

රාජ්‍ය සේවාවිභාග අත්වැල

නාලක දිසානායක
ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් (පාර්ලිමේන්තු කටයුතු)
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය.
අධ්‍යක්ෂ (පාලන) වැ.බ
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

රාජ්‍ය, පළාත් රාජ්‍ය මෙන් ම අර්ධ රාජ්‍ය සේවයේ නියුතු නිලධරයන්ට මෙන් ම ඒ ඒ සේවාවලට ඇතුළත් වීමට බලාපොරොත්තු වන්නන්ට ද අත්වැලක් සැපයීමට ‘දෙසතිය’ පුවත් සඟරාව සූදානම්. ඒ අනුව විශේෂයෙන් රාජ්‍ය සේවා කඩඉම් තරණය සඳහා විභාග අත්වැලක් සැපයීමට විශේෂිත වූ ලිපි මාලාවක් ඉදිරි කලාපයේ සිට පළ කෙරෙනු ඇති. රාජ්‍ය, පළාත් රාජ්‍ය සේවයට පිවිසීමට ඇති මාවත් ගැනත් දෙසතිය අත්වැල ගැනත් කෙටි හැඳින්වීමක් මේ.

රාජ්‍ය සේවයේ/ පළාත් රාජ සේවයේ මෙන් ම අර්ධ රාජ්‍ය සේවයේ යම් තනතුරකට පත් කිරීමට හෝ දැනට තනතුරක සිටින අයකු උසස් කිරීමට හෝ පෙර ඒ ඒ තනතුරේ/ සේවාවේ පත්කිරීම් බලධරයා සැලකිල්ලට ගන්නා කරුණු අතර එක් කරුණක් වන්නේ අනුමත සේවා ව්‍යවස්ථාව හෝ බඳවා ගැනීමේ පරිපාටියක්/ සේවා ව්‍යවස්ථාවක් තිබීම. අදාළ බඳවා ගැනීම හෝ උසස් කිරීම එකී බඳවා ගැනීමේ පටිපාටියේ/ සේවා ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව සිදු කිරීමයි නියමිත ක්‍රමවේදය. ඒ ඕනෑ ම පටිපාටික/ සේවා ව්‍යවස්ථාවක බඳවා ගැනීමේ ක්‍රමයේදී සඳහන් කර තිබෙනවා විවෘත (Open), සීමිත (Limited), කුසලතා (Merμt) යන ධාරා.

ඒ ඒ ධාරාවෙන් කොපමණ ප්‍රතිශතයක් බඳවා ගන්නේ ද යන්නත් ඒ බඳවා ගැනීම කෙසේ, එනම් ලිඛිත විභාගයකින් ද සම්මුඛ පරීක්ෂණයකින් ද ලිඛිත හා/හෝ වාචික පරීක්ෂණයක් මඟින් ද නැතහොත් කුමන ක්‍රමවේදය ඔස්සේ සිදුකරන්නේ ද යන්නත් එහිම දක්වා තිබෙනවා.

බොහෝ බඳවා ගැනීමේ පටිපාටි/ සේවා ව්‍යවස්ථාවල බඳවාගැනීමේ හෝ උසස් කිරීමේ ක්‍රියාවලියේදී ‘ලිඛිත’ පරීක්ෂණයක් තිබීම දැකගත හැක කරුණක්. ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළත් දීප ව්‍යාප්ත සේවා ලෙස වර්ගීකරණය කර ඇති සේවා 12 අතුරින් බහුතරයක්, කළමනාකරණ සේවා නිලධාරි මෙන් ම සංවර්ධන නිලධාරී ආදී වශයෙන් ඒකාබද්ධ සේවා ලෙස වර්ග කර ඇති සේවා 07 අතුරින් බහුතරයක්, වෙනත් දෙපාර්තමේන්තුගත හෝ අමාත්‍යාංශගත ව තිබෙන්නා වූ බොහෝ තනතුරු හා සේවාවලත් බඳවාගැනීමේ ක්‍රමයට ලිඛිත පරීක්‍ෂණයක් ඇතුළත්. ඊට අදාළ ව සකස් කරන ප්‍රශ්න පත්‍ර සමන්විත වන්නේ භාෂා හැකියාව, අවබෝධය, අභියෝග්‍යතාව, බුද්ධි පරීක්ෂණය, කළමනාකරණය, සාමාන්‍ය දැනීම ආදියෙන්.

මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති කළමනාකරණ සේවා නිලධාරීන්ගේ විදේශ දූත මණ්ඩලවල පවතින කළමනාකරණ සේවා නිලධාරී සේවයේ පුරප්පාඩු පිරවීම සඳහා වන තරග විභාගය වෙනුවෙන් මෙන් ම පොදුවේ රාජ්‍ය සේවා තරග විභාගවල ඉහතින් දක්වා ඇති විෂය (ඒ ඒ ක්ෂේත්‍රවල සුවිශේෂ සම්පත් දායකත්වය ද සම්බන්ධීකරණය කර ගනිමින්) ප්‍රශ්න මාලාවක් ලෙස පාඨක ඔබ වෙත ලබාදීමට ‘දෙසතිය’ සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන් කළමනාකරණ සේවා නිලධාරීන් සඳහා වන විදේශ දූත මණ්ඩල විභාගයේ ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, කාර්යාල ක්‍රම, ඉංග්‍රීසි භාෂා පරීක්‍ෂණය යන විෂය සඳහා විභාග ඉලක්කගත ප්‍රශ්ණෝත්තර මාලාවක් ඒ අතර ප්‍රමුඛ වනු ඇති.