#ආර්ථික

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ අභියෝගය

මහාචාර්ය
ප්‍රියංග දුනුසිංහ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය
කොළඹ විශ්වවිද්‍යාලය

  • දීප්ත කුමාර බටගොඩ

හිඟ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අඛණ්ඩ ව පවත්වාගෙන යාමට සිදු වීම ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ප්‍රධානතම අභියෝගයකි. රාජ්‍ය ආදායම අභිභවා යන රාජ්‍ය වියදම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට වේදනාකාරී ප්‍රතිපත්ති අනුගමනය කිරීමට සිදු ව තිබේ. 2023 වර්ෂයේ විගණනය නොකළ වාර්තා අනුව සමස්ත රාජ්‍ය ආදායම ටි්‍රලියන 3කි. සමස්ත රාජ්‍ය වියදම ටි්‍රලියන 13කි. නොබෝදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අනාවරණය කළේ මෙවැනි පසුබිමක රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කර ගැනීමේ අභියෝගය ශ්‍රී ලංකාණ්ඩුවට පවතින බවයි. මේ, එම අභියෝගයට අප මුහුණ දිය යුත්තේ කෙසේ ද? යන්න විද්වත් අදහස් දැක්වීමකි.

නිදහසින් පසුව ලංකා ආර්ථිකයේ මූලික වැවිලි බෝග පදනම් කරගත් ආර්ථිකයක් ක්‍රියාත්මක වුණා. එහෙත් 1950 ගණන් වන විට රාජ්‍ය මැදිහත්වීමෙන් කාර්මික අපනයන ආර්ථිකයක් කරා යන ගමනට අවශ්‍ය පදනමයි ලංකාවේ සකස් වෙමින් තිබුණේ. 1950 ගණන්වල සිට 1977 දක්වා වූ කාලයේ මෙරට ක්‍රියාත්මක වෙමින් තිබුණේ කිසියම් ආකාරයක ආවෘත පදනමකින් යුක්ත ආර්ථික ප්‍රතිපත්තියක්. 1965-70 කාලයේ ලංකා ආර්ථිකයේ යම් විවෘතභාවයක් ද නිරීක්ෂණය කරන්න පුළුවන්.

මහාචාර්ය
ප්‍රියංග දුනුසිංහ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය
කොළඹ විශ්වවිද්‍යාලය

1977 වර්ෂයේදී ශ්‍රී ලංකාව විවෘත ආර්ථික ප්‍රතිපත්තියකට පිවිසීමත් සමග ආර්ථිකයේ රාජ්‍ය ක්‍රියාකාරිත්වය අවම වුණා. පෞද්ගලික අංශයේ ක්‍රියාකාරිත්වය පුළුල් වුණා. විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් සමග 5%-6%ක පමණ සාමාන්‍ය ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීමෙන් ශ්‍රී ලංකාව 2010 වර්ෂය පමණ වන විට ලෝකයේ පහළ ආදායම්ලාභී රටක සිට පහළ මැදි ආදායම්ලාභී රටක් බවට පත් වනවා. මේ කාලයේ සෞඛ්‍ය, අධ්‍යාපනය, යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍රවල ඇතිවුණේ විශාල දියුණුවක්. මානව සංවර්ධන දර්ශකය අනුවත් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ ස්ථානයක පැවතුණා.

ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් කාණ්ඩයේ රටක් බවට පත්වීමත් සමග එතෙක් පැවති සහනදායි ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව අවම වුණා. ඒ නිසා සෛවරී බැඳුම් කර නිකුත් කරමින් වෙළෙඳපොළ ණය ලබා ගැනීමට ශ්‍රී ලංකාව පෙළඹෙනවා. 2000න් පසු කාලයේදී සංවර්ධන ණය ලබා ගැනීම විශාල ලෙස ඉහළ යනවා. යුද වාතාවරණය අවසන් වීම නිසා සංවර්ධන අවශ්‍යතා පුළුල් වීම, විශාල අයවැය හිගය සහ ගෙවුම් ශේෂ හිඟය වැනි කාරණා නිසා අඩු පොලී මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව සීමා වීම නිසාත් මේ අකාරයට වෙළෙඳපොළ ණය මත පදනම් වීමට ශ්‍රී ලංකාව ක්‍රියා කළා.

ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ හිගයත් අයවැය හිඟයත් අඛණ්ඩ ව පුළුල් වෙමින් පැවතුණා. ඒ සඳහා නිසි ආමන්ත්‍රණයක් සිදු වූයේ ද නැහැ. ආර්ථීකයේ තරගකාරිත්වය සහ ඵලදායිතාව පහළ යමින් තිබුණා. විශේෂයෙන් රාජ්‍ය අංශයේ සිදු වෙමින් පැවති අකාර්යක්ෂමතාව, වංචා දූෂණ, නීතිය ක්‍රියාත්මක නොවීම ආදිය නිසයි 2022 වර්ෂයේදී ශ්‍රී ලංකාව ණය අර්බුදයකට මුහුණ දෙන්නේ.

මෙවැනි අර්බුදයක් ම නොවුණ ද ශ්‍රී ලංකාව මෙයට පෙර ද යම් යම් අර්බුදකාරී අවස්ථාවලට මුහුණ දුන්නා. ගුවන්තොටුපොළ වැනි ආර්ථික මර්මස්ථානවලට ත්‍රස්තවාදි ප්‍රහාර එල්ල වීමත් සමග 2002 වර්ෂයේදී ආර්ථිකය පෙන්නුම් කළේ ඍණ වර්ධන වේගයක්. ඒ හා සමාන ව ම 1971 වර්ෂයේදීත් ආර්ථිකය ඍණ වර්ධන වේගයක් පෙන්නුම් කළේ තරුණ නැගිටීම් සමග. 2002 වර්ෂයේදී ඍණ වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමග එවකට රජයට අවබෝධ වූ කාරණයක් නම් රාජ්‍ය මූල්‍ය විනයක් රහිත ව අයවැය හිඟය දිගින් දිගට ම පවත්වාගෙන යාම නිසා යම් අර්බුදයකට රට ගමන් කළ හැකි බව. මේ නිසා 2003 වර්ෂයේදී රාජ්‍ය මූල්‍ය වගකීම් පනත (Fiscal Responsibility Act) හඳුන්වා දෙනවා. එහි මූලික අරමුණ වුණේ ණය ගැනීම සීමා කිරීම. ඒ අනුව 2013 වර්ෂය වන විට රාජ්‍ය ණය ගැනීම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් 60%ක මට්ටමට ගෙන ඒමටත් අයවැය හිඟය 5%ක මට්ටමේ පවත්වා ගැනීමටත් අරමුණු කළා. එහෙත් පසුකාලීන ව මේ පනත නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වූයේ නැහැ.

මහබැංකුව ස්වාධීන ව ක්‍රියාත්මක නොවීමෙන් මූල්‍ය ප්‍රතිපත්තිය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ අවශ්‍යතා ඉටුකරන්නක් පමණක් (Fiscal Dominance) බවට පත්වීම ද සිදු වුණා. එයින් අදහස් වන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මගින් හැසිරවීමට බලපෑම් කිරීම. මේ නිසා මහබැංකුව ස්වාධීන ආයතනයක් කිරීමේ අවශ්‍යතාව ද පැවතුණා.

2015 යහපාලන රජය යටතේ විශාල උත්සාහයක් දැරුවා රාජ්‍ය මූල්‍ය විනය පවත්වා ගැනීමට. රාජ්‍ය අයවැය තුළ මූලික ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීමට එහිදී ක්‍රියා කළා. මේ නිසා 2017 සහ 2018 වර්ෂවලදී එහි අතිරික්කතයක් ඇති කර ගැනීඹට රජයට හැකියාව ලැබුණා. නව ආදායම් බදු පනතක් හඳුන්වා දීම සහ බදු ආදායම ඉහළ දමා ගැනීමට ක්‍රියා කිරීමෙන් මේ තත්ත්වය ළඟා කර ගැනිමට හැකියාව ලැබුණා. පාඩු ලබන රාජ්‍ය ආයතනවල පාඩුව අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගැනුණා. මේ නිසා ම පැවති ආණ්ඩුවේ ජනප්‍රියතාව ගිළිහීමෙන් නව ආණ්ඩුවක් රාජ්‍ය බලය ලබා ගත්තා. බිහිවුණු නව රජය විශාල බදු සහන ලබා දීමෙන් පැවති ප්‍රතිපත්තියේ සිදු කළේ විශාල වෙනසක්. කොවිඩ් 19 වසංගතයත් සමග ඇති වූ ආර්ථික අර්බුදයත් සමග රාජ්‍ය ආදායම හා වියදම අතර පරතරය තව තවත් වර්ධනය වුණා. අයවැය හිඟය මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 9%ක් පමණ වනවා. එයට හේතු වූයේ රාජ්‍ය වියදම එලෙස ම තිබියදී රාජ්‍ය ආදායම විශාල ලෙස පහළ යාම. ශ්‍රී ලංකාවේ පැවති ආණ්ඩුවල ආර්ථිකයේ පවතින ද්විත්ව හිඟය ඉවත් කර ගැනීම සඳහා නිසි අයුරින් ආමන්ත්‍රණය නොකිරීම නිසා ආර්ථිකයේ පැවති අර්බුදකාරී තත්ත්වයට තවදුරටත් පැවතුණා.

වත්මන් ආණ්ඩුව දැඩි මූල්‍ය විනයක් පවත්වා ගනිමින් සිටිනවා. මහබැංකු පනත හඳුන්වා දීමෙන් මහබැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම ඉන් එක් පියවරක්. ඒ අනුව උද්ධමනය ඉලක්කගත මට්ටමක පවත්වා ගනිමින් සිටිනවා. රාජ්‍ය මූල්‍ය අවශ්‍යතා ඉටුකර ගැනීමේ මෙවලමක් ලෙසින් මහබැංකුව පවත්වා ගෙන යාමෙන් වළක්වා ගැනීමත් මහබැංකු පනත හඳුන්වා දීමේ අරමුණක්. එය යහපත් තත්ත්වයක් ලෙසිනුයි මා දකින්නේ.

රජය මූලික වශයෙන් ම අයවැය හිගය අවම කර ගැනීමට රාජ්‍ය ආදායම ඉහළ දමා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් 9%ක පමණ පවතින රාජ්‍ය බදු ආදායම වසර දෙක තුනක අවෑමෙන් පසුව 12%ක සහ 14%ක මට්ටමට ගෙන ඒමට රජය අපේක්ෂා කරනවා. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිංස්කරණ ක්‍රියාවලියත් වත්මන් අයවැය පරතරය අවම කර ගැනීමේ සැලසුමට අයත් වන්නක්. විශේෂයෙන් රාජ්‍ය ව්‍යවසාය ලබාදෙන භාණ්ඩවල පිරිවැය නිරූපණය වන ආකාරයෙන් භාණ්ඩ හා සේවා මිල හැඩ ගැසීමට අවශ්‍ය පරිසරය සකස් කරමින් පවතිනවා. රජය මේ වන විට සැලසුම් කරමින් සිටින්නේ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකරණය කිරීමටත් නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමෙන් රාජ්‍ය ආයතනවල පාඩුව අවම කිරීමටත්. රාජ්‍ය ආයතන අයවැය මත ඇති කරන පීඩනය අවම කර ගැනීමයි එහි බලාපොරොත්තුව. අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇති කරන්නත් ආයෝජන අවස්ථා පුළුල් කරන්නත් පියවර ගනිමින් සිටිනවා. මේ සියල්ල රාජ්‍ය මූල්‍ය විනය පවත්වාගෙන යාමට රජය ගත් ඍජු හා වක්‍ර යහපත් ක්‍රියාමාර්ග. මේ නිසා උද්ධමනය පහළ අගයකට ගෙන ඒමටත් වෙළෙඳපොළ පොලී අනුපාතිකය පහළ අගයකට ගෙන ඒමටත් විදේශ සංචිත ප්‍රමාණය යම් ආකාරයකින් ඉහළ දමා ගැනීමටත් ආදි ලෙසින් විශාල ප්‍රගතියක් අත්කර ගැනීමට රජයට හැකියාව ලැබී තිබෙනවා. ඒ සඳහා රටේ මහජනතාවත් සිදු කර තිබෙන්නේ විශාල ලෙස කැපකිරීම්.

ආර්ථිකයේ ඇති කර ගත යුතු ස්ථායිතාවෙන් ඔබ්බට ගිය වර්ධනය ඇති කර ගැනීම සඳහා රජය ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා. රාජ්‍ය ආදායම ඉහළ දමා ගැනීම සඳහා බදු අනුපාතය විශාල ලෙසින් ඉහළ දැමුවත් බදු නොගෙවන, ගෙවිය යුතු බද්දට වඩා අඩු බද්දක් ගෙවන සහ බදු වංචා කරන්නන් හඳුනාගෙන එම ආදායම් රැස් කර ගැනීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි. රාජ්‍ය වියදම් කප්පාදුවේදී ඇතැම් කොටස් වරප්‍රසාදලාභීන් ලෙසින් තවදුරටත් පැවතීම සහ තවදුරටත් ඵලදායී නොවන රාජ්‍ය වියදම් එලෙස ම පවත්වාගෙන යාම දක්නට ලැබෙනවා. ප්‍රසම්පාදන ක්‍රියාවලිය තරගකාරී මට්ටමකට ගෙන ආ යුතුයි. ඒ අනුව අයවැයෙහි රාජ්‍ය වියදම් පාර්ශ්වයේ නිසි කළමනාකරණයක් අවශ්‍ය වනවා.

ඕනෑ ම රටක විදේශ ණය ගෙවීමේ හැකියාව තීරණය වන්නේ රටට විදේශ විනිමය ගලා එන ප්‍රමාණය අනුව. දැනට ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය මාර්ග වන්නේ විදේශ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තය. එහෙත් මෙය අඛණ්ඩ ව පවත්වාගෙන යන්නට බැහැ. මේ නිසා අපනයන ආදායම පුළුල් කර ගැනීමේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුවක් හඳුන්වා දිය යුතුයි. නැවත ණය අර්බුදයකට නොයා සිටීමට නම් විදේශ ආයෝජන සහ ආයෝජන ප්‍රවර්ධනය සඳහා බිම් මට්ටමේ පරිසරය සකසා දිය යුතුයි. 1980 ගණන්වල ඇති වූ ලතින් ඇමරිකානු ණය අර්බුදයේදී රටවල් දෙකක් හැර බ්‍රසීලය, පේරු, ආජන්ටිනාව, ඉක්වදෝරය ආදි සෙසු රටවල් සියල්ල නැවත නැවතත් ණය අර්බුදය සඳහා මුහුණ දුන්නා. වෙනිසියුලාව හය වතාවක්, ආජන්ටිනාව පස් වතාවක්, බ්‍රසීලය දෙවතාවක් මේ ආකාරයේ ණය අර්බුදවලට මුහුණ දී තිබෙනවා. මෙක්සිකෝව සහ චිලී නැවත වරක් ණය අර්බුදයකට ගමන් නොකළේ ඇයි? යන්න මෙහිදී අපට වැදගත්. ඔවුන් අපනයන ක්ෂේත්‍රය සහ ආයෝජනය පුළුල් කිරීමට විශාල කැප කිරීමක් සිදු කළා. පසුගිය වසර 30ක කාලයේ ඔවුන් ණය අර්බුදයකට ගමන් නොකළ හේතුව එයයි. අපනයන ආදායම වර්ධනය කර ගතහොත් පමණයි ගත් ණය ගෙවීම සහ ඉදිරියට ගන්නා ණය ගෙවීමේ හැකියාව සහතික කරන්නේ.

රජය පවසන ආකාරයට මේ වන විට දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධි පනත සම්මත කරගෙන තිබෙන නිසා එය ක්‍රියාත්මක වීමයි වැදගත්. 2003 වසරේදී ජෝර්ජියාවේ ඇති වන රෝස විප්ලවයෙන් පසුව බලයට පත්වන රජය ක්ෂණික ව අවශ්‍ය ප්‍රතිසංස්කරණවලට යොමු වනවා. වංචාව හා දුෂණය සම්බන්ධයෙන් ඉතා දැඩි පියවර ගන්නවා. එයින් පෙන්වා දීමට උත්සාහ කළේ ජෝර්ජියානු රජය වංචාව, දූෂණය හා අල්ලස ප්‍රතික්ෂේප කරන බව සමාජගත කිරීම. රටෙන් මුදල් බැහැර කිරීම සම්බන්ධයෙන් පවතින චෝදනා සඳහා Stolen Asset Recovery ක්‍රමවේදය ඔස්සේ රජයට ක්‍රියාත්මක වීමේ හැකියාව තිබෙනවා. මෙය ලෝක බැංකුව හා එක්සත් ජාතින්ගේ සංවිධානය එක් ව ක්‍රියාත්මක කරන, අපරාධ හා මත්ද්‍රව්‍ය පිළිබඳ ආයතනය සමග ඒකාබද්ධ ව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේදයක්. විවිධ ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකාවේ මුදල් බැහැර කිරීම් සම්බන්ධයෙන් වාර්තා පසුගිය කාලවකවානුවේ ප්‍රකාශයට පත්කර තිබුණා. මේ සඳහා රජය ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව තිබෙනවා. එහිදී නැවත මුදල් අය කර ගැනීමේ හැකියාව ගැන නොසලකා වංචාවට හා දූෂණයට එරෙහි ව ක්‍රියාත්මක වීමට රජය සූදානම් බවට මහජනතාව තුළ විශ්වාසය ඇති කළ යුතුයි. නීතිය හා සාමය පවත්වාගෙන යාමේදීත් සුදුසු ව්‍යාපාරික පරිසයක් ඇතිකිරීමේදීත් එය වැදගත්.

රජයේ ප්‍රතිපත්ති හා ක්‍රමසම්පාදනයේදී දත්ත මත පදනම් ව ප්‍රතිපත්ති හා ක්‍රමසම්පාදනය කළ යුත්තක්. ඒ සඳහා පාර්ලිමේන්තුවට වග කියන ස්වාධීන ක්‍රමසම්පාදන ආයතනයක් ඇති කළ යුතු වනවා. මුදල් අමාත්‍යාංශයේ ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන සැලසුම් සැකසිය යුතුයි. දකුණු ආසියාවේ සෑම රටක ම පාහේ එවැනි සැලසුම් තිබෙනවා. අසල්වැසි ඉන්දියාවේ NITI (National Institution of Transforming India) සිදු කරන්නේ ඉන්දියාවේ සෑම අංශයක ම ජාතික ප්‍රතිපත්ති හා ක්‍රමසම්පාදනය සැකසීම. ශ්‍රී ලංකාවේ ද එවැනි ස්වාධීන ආයතනයක අවශ්‍යතාව තිබෙනවා. එවිට ආණ්ඩු මාරු වන විට හෝ දේශපාලඥයන් මාරු වන විට ඔවුන්ගේ අවශ්‍යතාව අනුව ක්‍රියා කිරීමේ ඉඩ සීමා වනවා.

මේ සියලු‍ කාරණාවලින් ගම්‍ය වන්නේ ණය අර්බුදයකින් පසුව රජය සෑම ක්ෂේත්‍රයක ම පුළුල් වූ ප්‍රතිසංස්කරණ මාලාවක් ඇති කළ යුතු බව. මේ සඳහා බලාත්මක රාජ්‍ය මූල්‍ය නීති පද්ධතියක් තිබිය යුතුයි. පවතින රජය මේ බොහෝ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටියත් එහි මන්දගාමී ස්වරූපයක් දක්නට ලැබෙන්නේ ජනාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ආර්ථිකය පිළිබඳ ව සිතමින් කටයුතු කරද්දී ඇතැම් පිරිස් තවමත් දේශපාලනය සඳහා යොමු වීම හේතුවෙන්. එම නිසා රටක් ලෙස සියලු‍ ම පිරිස් මූලික ව ක්‍රියා කළ යුත්තේ රටේ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට.