රයිසිගේ අවසන් ගමන
- නිහාල් පීරිස්
ඉරානයේ ජනාධිපති ඉබ්‍රහිම් රයිසි හෙලිකොප්ටර අනතුරකින් මරණයට පත් වීම ජාත්‍යන්තරයේ විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් විය. මේ අනතුර සිදුවීමට සති කිහිපයකට පෙර ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ද සංචාරයක නිරත වී තිබූ නිසා ඔහුගේ හදිසි අභාවය මෙරට වැසියන්ට ද තදින් ම දැනිණි.
ජනාධිපති රයිසි මේ අනතුරට මුහුණදුන්නේ ඊශ්‍රායල-හමාස් යුද්ධය පසුබිමේ ඉරානය වෙත ද විශාල අවධානයක් යොමු වෙමින් තිබූ පසුබිමක ය. ඉරානය සහ ඊශ්‍රායලය අතර ද ඒ ආසන්න කාලයේ දැඩි ආතතියක් ඇති ව තිබූ බව නොරහසකි. මේ තත්ත්වය හමුවේ ඉරාන ජනාධිපතිවරයාගේ මරණයට ඊශ්‍රායලය සම්බන්ධ ද යන සැකසංකා පවා මතු වූ ආකාරයක් දැකිය හැකි විය.
ඉබ්‍රහිම් රයිසිට මරු කැඳ වූ හෙලිකොප්ටර අනතුර සිදු වූයේ මැයි 19 දිනයි. එම සිද්ධිය වන විට ඔහු සිටියේ ඉරාන-අසර්බයිජාන දේශ සීමාව ආසන්නයේ ජල විදුලි ව්‍යාපෘතියක විවෘත කිරීමක් සඳහා සහභාගි වී ආපසු ඉරානය බලා පැමිණෙමින් ය. මේ විවෘත කිරීමේ අවස්ථාවට අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියේව් ද සහභාගි වී සිටියේ ය. අනතුර සිදුවීමට සුළු වේලාවකට පෙර රයිසි අලියේව් සමග එම විවෘත කිරීම සිදු වූ ස්ථානයේ සිටින අයුරු දැක්වෙන ඡායාරූප ආදිය ද මාධ්‍යවල පළ වී තිබිණි.
අනතුර සිදු වන අවස්ථාව වනවිට ජනාධිපතිවරයාගේ හෙලිකොප්ටරය ගමන් කරමින් සිටි ප්‍රදේශය ඝන මීදුමෙන් වැසී තිබූ බව ද ඉතා අයහපත් කාලගුණික තත්ත්වයක් එහි පැවැති බව ද සඳහන් විය. ඊට දිනකට පෙර ඉරාන කාලගුණ විද්‍යා ආයතනය මේ ප්‍රදේශයට අදාළ ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබූ බවක් ද මාධ්‍ය වාර්තාවල දැක්විණි. අනතුරට හේතුව අයහපත් කාලගුණික තත්ත්වය විය හැකි බවට සැක කෙරිණි. ජනාධිපතිවරයාගේ හෙලිකොප්ටරය සමග ඉරානයේ ඇමැතිවරුන් කිහිපදෙනකු රැගත් තවත් හෙලිකොප්ටර දෙකක් ගමන් කර තිබූ අතර මේ හෙලිකොප්ටර කිසිදු උපද්‍රවයකින් තොර ව ගමනාන්තය වෙත ළඟා වී තිබිණි.
අනතුර සිදු ව තිබුණේ කඳුවලින් ගහන ප්‍රදේශයක ය. එහි භූමි පිහිටීම් නිසා ද ඝන මීදුම සහ දැඩි ශීතල නිසා ද හෙලිකොප්ටරය සොයා ගැනීමේ මෙහෙයුම්වලට දැඩි බාධා එල්ල වූයේ ය. අනතුර සිදු වූයේ මැයි 19 දින දහවල් 1.30ට පමණ වුවත් පසු දා අලුයම වන තෙක් ම මෙහෙයුම්වලින් ප්‍රතිඵලයක් අත්කර ගැනීමට නොහැකි විය. මේ අතර තුර්කිය ලබා දී තිබූ නවීන තාක්ෂණයෙන් යුතු ඩ්‍රෝන යානයකට කඩා වැටුණු හෙලිකොප්ටරය යයි සැක කළ හැකි කිසිවක් දර්ශනය වී තිබිණි. එම ස්ථානයේ පිහිටීම සම්බන්ධයෙන් තුර්කිය ඉරානයට දැනුම් දුන්නේ ය. මේ තොරතුරු ද උපයෝගී කර ගනිමින් පසුදා අලුයම 5.00 ට පමණ හෙලිකොප්ටරයේ සුන්බුන් සොයා ගන්නට ගළවා ගැනීමේ කණ්ඩායම්වලට හැකි විය. හෙලිකොප්ටරය ගිනිගෙන විනාශ වී ඇති ආකාරයත් එහි ගමන් කළ සියලුදෙනා මරණයට පත් ව ඇති ආකාරයත් මේ කණ්ඩායම්වලට දැක ගන්නට ලැබිණි. ජනාධිපති රයිසිට අමතර ව හෙලිකොප්ටරයේ ගමන් කරමින් සිටි ඉරාන විදේශ ඇමැතිවරයා ද තවත් 6 දෙනෙක් ද මේ අනතුරින් ජීවිතක්ෂයට පත් වූහ. ගළවා ගැනීමේ කණ්ඩායම මුලින් ම ජනාධිපතිවරයාගේ සිරුර හඳුනාගෙන තිබුණේ ඔහු පැලඳ සිටි මුදුවකින් බවක් ද කියැවිණි.
ජනාධිපතිවරයා අනතුරකට ලක් වූවා ද නැතහොත් ඔහු ඝාතනය කරනු ලැබුවා ද යන සැකයක් මතු ව තිබූ පසුබිමක මැයි 24 දින නිකුත් වූ මූලික විමර්ශන වාර්තාවක් කාගේත් අවධානය දිනා ගන්නට සමත් විය. මේ වාර්තාව නිකුත් කරනු ලැබුවේ ඉරාන හමුදාවේ විමර්ශන කණ්ඩායමක් විසිනි. අපරාධමය ක්‍රියාවක් පිළිබඳ සාක්ෂි කිසිවක් දැනට හමු වී නැතැයි වාර්තාව සඳහන් කර තිබිණි. හෙලිකොප්ටරය උස් ස්ථානයක ගැටීමෙන් පසු ගිනිගෙන ඇතැයි ද හෙලිකොප්ටරයේ සුන්බුන්වල වෙඩි වැදුණු ලකුණු ආදී කිසිවක් දක්නට නැතැයි ද මේ වාර්තාව තවදුරටත් සඳහන් කරයි. ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය නියමිත මාර්ගයේ ම ගමන් කර ඇති බව ද කිසිදු අවස්ථාවක එම මාර්ගයෙන් පිට පැන නොමැති බව ද විමර්ශකයක් පවසා තිබේ. හෙලිකොප්ටරයේ කාර්ය මණ්ඩලය සහ පාලක මැදිරිය අතර සිදු වූ සන්නිවේදනයේ ද සැක කටයුතු කිසිවක් නැති බව වාර්තාවේ සඳහන් ය.
එහෙත් ඇතැම් කාරණා ගැන තවදුරටත් විමර්ශන පැවැත්වීම සඳහා කාලය අවශ්‍ය ව ඇති බව ද ඉදිරියේදී තවත් විස්තර අනාවරණය කෙරෙනු ඇති බව ද විමර්ශකයන් සඳහන් කර තිබිණි.
අනතුර සිදු වී දින හතරකට පසු මැයි 23 දින ජනාධිපතිවරයාගේ උපන් ගම වන මෂාද්හිදී ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරිණි. අතිවිශාල ජනතාවක් ඊට සහභාගි වී සිටිනු ද දැකගත හැකි විය.
රයිසිගේ අභාවය නිසා ඉරාන දේශපාලනයේ යම් අස්ථාවර වීමක් සිදු විය හැකි බව බොහෝ විශ්ලේෂකයන්ගේ අදහසයි. ඔහුගේ මරණය සිදු වූයේ ඊශ්‍රායල-හමාස් යුද්ධය හමුවේ ඉරානය සහ ඊශ්‍රායලය අතර ද ඉරානය සහ ඇමරිකාව අතර ද අලුත් ගැටලු සහ ආතති වර්ධනය වෙමින් පැවැති පසුබිමක ය. ඉරානය කාලයක සිට ම බටහිර විරෝධී, ඊශ්‍රායල විරෝධී පාර්ශ්වයක් බව රහසක් නොවේ. ඔවුන් ඊශ්‍රායලය සලකන්නේ බටහිර ඉත්තකු ලෙසිනි. මේ වනවිට ඉදිරියට යමින් ඇති ඊශ්‍රායල-හමාස් යුද්ධය පසුබිමේ මේ ආතතිය වඩාත් උත්සන්න වෙමින් තිබේ. මේ තත්ත්වය මත මෙය ඉරානයට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය ව ඇති වේලාවකි.
එරට උත්තරීතර නායකයා වන අයතොල්ලා අලි-කමේනි ද ඉතා වියපත් ය. 85 වැනි වියෙහි පසුවන ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ද එතරම් යහපත් නොවන බවට තොරතුරු වාර්තා වෙයි. ඔහු කලක් පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවකින් ද පීඩා වින්දේ ය. අලි-කමේනිගෙන් පසු රයිසි ඉරානයේ උත්තරීතර නායකයා බවට පත් වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසය විය.
ඉබ්‍රහිම් රයිසි ඉරානයේ ජනාධිපති පදවියට පත් වූයේ 2021 වසරේයි. ඔහු සැලකෙන්නේ දැඩි මතධාරී නායකයකු ලෙසිනි. එරට උප ජනාධිපතිවරයා වන මොහොමඩ් මොක්බර් මේ වනවිට වැඩ බලන ජනාධිපතිවරයායි. ඉරාන ව්‍යවස්ථාවට අනුව දින 50ක් ඇතුළත ජනාධිපතිවරණයක් පවත්වා නව ජනාධිපතිවරයකු පත් කර ගත යුතු ය. මේ වනවිට පළ වී ඇති වාර්තාවලින් පැවසෙන්නේ ජුනි 28 දින ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවයි.