#ආර්ථික

රන්මසු ගෙනෙන ඉස්සන්

  • බිනූ දිලාරා ගමගේ

ඉස්සන් වගාව යනු වෙරළබඩ ප්‍රදේශවල ස්වාභාවික පරිසරයෙන් බොහෝදුරට ව්‍යුක්ත ව එම ප්‍රදේශවල ජෛව පද්ධතියට බලපෑමක් ඇති නොවන පරිදි සිදු කරගෙන යන වගා ක්‍රමයකි. ශ්‍රී ලංකාවේ ඉස්සන් වගාව සඳහා යෝග්‍ය වන ප්‍රදේශ උපරිම භූමි පරිභෝජනයෙන් යුතු ව වගා කෙරෙන පසුබිමක උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල නව ඉස්සන් වගා ව්‍යාපෘති කෙරෙහි ද රජයේ අවධානය යොමු ව තිබීම ඉතා වැදගත් ය. උතුරු ප්‍රදේශයේ පවතින සුවිශේෂ භූ විෂමතා සමග ඉස්සන් වගාව ව්‍යාප්ත කිරීමේ වැඩි හැකියාවක් පවතින බව ධීවර අමාත්‍යාංශය අවධාරණය කරන්නේ වඩාත් විධිමත් ඉස්සන් වගා බිමක් නිර්මාණය කිරීමට ඇති ඉහළ හැකියාව ද පෙන්වා දෙමිනි.

2018 වසරේ උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ අක්කර 54ක පමණ පෞද්ගලික ඉඩමකින් පළමු ඉස්සන් වගාව ආරම්භ වීම සිදුවන අතර 2024 ජූලි මස 14 දින කිලිනොච්චි දිස්ත්‍රික්කය පළමු මහා පරිමාණ ඉස්සන් වගා ව්‍යාපෘතිය ඇරඹුවේ ය. ඒ, කවුදානමුනෙයි ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ මිනාරිඔඩෙයි ගම්මානය කේන්ද්‍ර කරගනිමින් රජයේ මගපෙන්වීම ඇති ව පෞද්ගලික ව්‍යවසායකත්වයක් යටතේ ය.

අක්කර 10ක ප්‍රදේශයක ව්‍යාප්ත ව පවතින මේ ඉස්සන් ගොවිපොළ සඳහා ආයෝජනය රුපියල් කෝටි 07ක් පමණ වේ. එහි අරමුණ වසරකට මෙටි්‍රක් ටොන් 100ක පමණ නිෂ්පාදනයක් ලබා ගැනීමයි. නවීන තාක්ෂණික ක්‍රම භාවිත කරමින් වගා සිදුවන මේ ඉස්සන් ගොවිපොළේ පළමු අස්වැන්න වශයෙන් මෙටි්‍රක් ටොන් 50ක ප්‍රමාණයක වගාවක් අපේක්ෂා කළ හැකි බව උතුරු පළාත් වෙරළබඩ ජලජීවී වගා අධීක්ෂණ සහකාර අධ්‍යක්ෂ බාලචන්ද්‍රන් නිරුපරාජ් ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ ස්වාභාවික ඉස්සන් ගහනයට අමතර ව ඉස්සන් නිෂ්පාදනය වගා ක්‍රමයක් වශයෙන් ආරම්භ වන්නේ පුත්තලම් දිස්ත්‍රික්කය මුල් කරගෙන ය. එය මුල්කාලීන ව අවිධිමත් ඉස්සන් වගා භූමියක් වශයෙන් දැක ගන්නට ලැබී ඇත. 1998 වසරෙන් පසුව ඉස්සන් වගාව සඳහා ක්‍රමයෙන් රාජ්‍ය මැදිහත් වීම සිදු වේ. වර්තමානයේ මෙරට ඉස්සන් නිෂ්පාදනය ගොවිපොළ 755ක සිදු වන බව වෙරළබඩ ජලජීවි වගා සංවර්ධන සහකාර අධ්‍යක්ෂ ආර්.එම්.එන්.ටී.කේ. රණතුංග පවසයි. ඒ, පුත්තලම් දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 1904.09ක ඉස්සන් ගොවිපොළ 669ක්, මඩකලපු දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 165.8 ප්‍රදේශයක් ආවරණය කරමින් ඉස්සන් ගොවිපොළ 49ක්, මන්නාරම් දිස්ත්‍රික්කයේ ඉස්සන් ගොවිපොළ 6ක් හෙක්ටයාර 47ක සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 17.25ක එක් ඉස්සන් ගොවිපොළක් වශයෙනි.

දේශීය ඉස්සන් වගාවෙන් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ඉස්සන් පරිභෝජනයට මෙටි්‍රක් ටොන් 10ක සැපයුමක් සහ මෙටි්‍රක් ටොන් තුනක ප්‍රමාණයක් හෝටල් පරිභෝජනය සඳහා දෛනික ව වෙන් කරන බව ප්‍රකාශ කරන සහකාර අධ්‍යක්ෂ ආර්.එම්.එන්.ටී.කේ. රණතුංග; “මෙරට දේශීය වෙළෙඳපොළේ ඉස්සන් සඳහා පවතින්නේ මත්ස්‍යය වෙළෙඳපොළ මත රඳා පවතින වක්‍ර ඉල්ලු‍මක්. එම නිසා මත්ස්‍යය මිල ගණන් අඩුවන කාලවලදී මත්ස්‍යයන් මිල දී ගැනීමට පැමිණෙන පාරිභෝගිකයා ඉස්සන් සඳහා දේශීය වෙළෙඳපොළේ වැඩි ඉල්ලු‍ම නිර්මාණය කරනවා”‍

ලොව ඉස්සන් විශේෂ 1200ක් පමණ හඳුනාගෙන ඇතත් ඉන් වගා කර්මාන්තය සඳහා වර්ග 20කටත් අඩු සංඛ්‍යාවක් පමණක් යොදා ගනියි. ශ්‍රී ලංකාවේ ඉස්සන් වගාව සඳහා මූලික ව යොදා ගැනෙන්නේ litopenaeus vannamei යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ‘වැනමි‘ හෙවත් ‘පැසිෆික් කිරි ඉස්සා‘ (White shrimp) සහ penaeus monodon විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ‘කරාඬු ඉස්සා‘ (Tiger Shrimp) ය. ඉස්සන් වගාව සඳහා අවශ්‍ය පරිසරයේ අන්තර්ගත විය යුතු සුවිශේෂ සාධක කිහිපයක් නිසා ලෝකයේ ඉතා සීමිත රටවල් කිහිපයක පමණක් මේ ඉස්සන් වගාව සිදුවෙයි. එහිදී ජලයේ pH අගය 8-8.5 අතර දෛනික වෙනස් වීම 0.5ට අඩු අගයක පැවතිය යුතු අතර දිනකට 5 pptකට වඩා අඩුවෙන් වෙනස් වන 15-25 ppt ක ලවණතාවක් සහ 4 ppmට වඩා අඩු නොවිය යුතු ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණයක් සහිත කිවුල් ජලයක් පැවතිය යුතු වෙයි. වැලි සහ මැටි මිශ්‍ර ලෝම පසක් සහිත තැනිතලා භූමියක් සහ උෂ්ණත්වය 28-30C අතර අගයක පැවතීමත් එයට වැදගත් ය.
ශ්‍රී ලංකාවේ ඉස්සන් අභිජනනය කිරීමට රජයේ ලියාපදිංචි මධ්‍යස්ථාන 56ක SPF (Specific Pathogen Free) ක්‍රමවේදය හෙවත් ආනයනය කරන ලද මව් සතුන්ගේ බිත්තරවලින් ලබා ගන්නා කීටයන් (nauplius) ගොවිපොළට බෙදා හැරීමෙන් සිදු වෙයි. ඒ අතර ඉස්සන් අභිජනනයේ මූලික කීට අවස්ථාව (nauplius) තෙක් රැකබලා ගන්නා එක් අභිජනන මධ්‍යස්ථානයක් (Nauplius Center) සහ පසු කීට අවස්ථාව (nauplius V) තෙක් රැකබලා ගන්නා අභිජනන මධ්‍යස්ථාන 06ක් (වැනමි ඉස්සන් සඳහා මධ්‍යස්ථාන 05ක් සහ කරාඬු ඉස්සන් සඳහා මධ්‍යස්ථාන 02ක් වශයෙන්) ඉරණවිල-අඹකදවිල, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල ඇත. සෙසු අභිජනන මධ්‍යස්ථාන කීට අවස්ථාවේ සිට වැඩුණු ඉස්සන් (post-larval stage) දක්වා රැකබලා ගනියි. ඉස්සන් වගාවේදී යොදා ගන්නා ගෘහාශ්‍රිත තාක්ෂණික ක්‍රමවේදය (Intensive Farming System) පරිසරයට අවම හානියක් වන ආකාරයෙන් සිදු කිරීමත් වගාවෙන් ඉවත් කරන අපද්‍රව්‍ය නැවතත් පොල් වගාව සහ අනෙකුත් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා භාවිත කිරීමත් මෙහිදී සිදු වෙයි.

මෙරට ඉස්සන්ට පමණක් ආවේණික වූ රසය නිසා ශක්තිමත් කරගත හැකි පුළුල් අපනයන වෙළෙඳපොළක් ද ශ්‍රී ලංකාව සතු වෙයි. විශේෂයෙන් මෙරට ඉස්සන් සඳහා යුරෝපානු කලාපයේ සහ ජපානය, චීනය වැනි රටවල පවතින වෙළෙඳපොළ ඉල්ලු‍ම පිළිබඳ ව සලකා බලමින් සහකාර අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරන්නේ මෙරට ඉස්සන් තරගකාරී ජාත්‍යන්තර වෙළෙඳපොළ කරා ගෙනයාමට පවතින ප්‍රධාන අභියෝගය නම් ඉස්සන් වගාව සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී දරන්නට සිදුවන අධික නිෂ්පාදන පිරිවැය බවයි. අදහස් දක්වන ඔහු; ”‍දේශගුණික වෙනස්වීම් නිසා දැඩි බලපෑමකට ලක් ව තිබෙන රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ඉස්සන් වගාව දැඩි තර්ජනයකට මුහුණදෙමින් තිබෙනවා. ඇතැම් කාලවලදී පුත්තලම වැනි ප්‍රදේශවලට ඇතිවන ගංවතුර තත්ත්ව නිසා ඉස්සන් ගොවිපොළ විනාශ වීමත් ගොවිපොළවල ඉස්සන්ට වැළඳෙන විවිධ වසංගත රෝග තත්ත්ව නිසාත් නිෂ්පාදනයේ අඩු වීමක් දක්නට ලැබෙනවා. මෙයට විසඳුමක් ලෙස තෝරාගත් ඉස්සන් වගා පොකුණුවල ගහන ඝනත්වය අඩු කර කෙටිකාලීන ව වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකි වන ‘Stocking Density of Shrimp Farming‘ වැනි ක්‍රමවේද අනුගමනය කරන්නට පෞද්ගලික ව්‍යවසායකයන් යොමු කර තිබෙනවා”‍
ඉස්සන් වගාව මෙරටට විදේශ විණිමය රැගෙන ඒමට, විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට සහ දේශීය වශයෙන් ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමටත් (Food Safety) හැකි ප්‍රධාන මාර්ගයකි. ඉස්සන් වගාවේ නියුක්ත ප්‍රදේශවල ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සංවර්ධනය කිරීමටත් ලාංකේය සන්නාමය සහිත ව මෙරට ඉස්සන් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ කරා ගෙනයමින් ප්‍රවර්ධනය කිරීමටත් විවිධාංගීකරණයක් සහිත ව ජාත්‍යන්තර වෙළෙඳපොළ සමග තරග කළ හැකි Sri Lankan Jumbo Shrimp වැනි වෙළෙඳ වටිනාකමින් ඉහළ ලොකු ඉස්සන් (bigger sized) නිෂ්පාදන සිදු කිරීමටත් සැලසුම් කරන බව සහකාර අධ්‍යක්ෂ ආර්.එම්.එන්.ටී.කේ. රණතුංග ප්‍රකාශ කරයි. FAO (Food and Agriculture Organization) වැනි ජාත්‍යන්තර සංවිධාන හා ඉස්සන් වගාව පිළිබඳ තාක්ෂණික දැනුම ලබා ගත හැකි තායිලන්තය, කොරියාව, වියට්නාමය, ඉන්දියාව වැනි රටවල් සමග යහපත් සබඳතා පවත්වාගෙන යමින් ඉස්සන් වගාව සඳහා අවශ්‍ය තාක්ෂණික සහ අනෙකුත් දැනුම හුවමාරු කර ගැනීමටත් නව ගෝලීය ප්‍රවණතා සහ ප්‍රමිතිවලට අනුගත ව දේශීය ඉස්සන් වගාව ගුණාත්මක කිරීමටත් සහ ඒ ඔස්සේ දේශීය ගොවියා සවිබල ගන්වමින් අවශ්‍ය නියාමනය ක්‍රියාත්මක කිරීමත් සිදු වෙයි.

රන්මසු ගෙනෙන ඉස්සන්

ශාක සුරක්ෂාව