#දේශ විත්ති

රන්දොර උරුමය

  • කාංචනා සිරිවර්ධන

කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් 50,000කට සින්නක්කර ඔප්පු ලබාදීමේ ‘රන්දොර උරුමය’ ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවුණේ ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් 2024 ජුලි මස 17 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී හිමිකම් ඔප්පු 1117ක් ප්‍රදානය කිරීමෙනි. ඒ, නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති නිවාස 937ක් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති නිවාස 180ක් වශයෙනි. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියට අයත් මිහිඳු සෙත්පුර, සිරිසර උයන, මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණවල නිවැසියන්ට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 31ක නිවැසියන්ට ‘රන්දොර උරුමය’ හිමිකම් ඔප්පු ලැබිණි.

කොළඹ නගරය ඇතුළු ව දිවයිනේ අඩු ආදායම්ලාභී මහල් නිවාස හිමියන් වෙත ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේ ආරම්භය සිදු වී ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කොළඹ මහල් නිවාසවල ජීවත් වන පුරවැසියන් 130 දෙනකු සඳහා ‘රන්දොර උරුමය’ නිවාස ඔප්පු ලබාදීමෙනි. ඉන් පසුව එහි ප්‍රධාන ජාතික වැඩසටහන මෙලෙස සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මහල් නිවාසවල ජීවත් වන අඩු ආදායම්ලාභීන් වෙත නොමිලයේ සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන යනු 2024 අයවැය යෝජනා යටතේ ඉදිරිපත් වූ එක් විශේෂ ව්‍යාපෘතියකි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය යන ආයතන මේ සඳහා එක් ව සිටියි.
අදහස් දක්වන නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද; “වසර ගණනාවක් තිස්සේ දිවයිනේ අඩු ආදායම්ලාභී නිවාස හිමියන් වෙත ඔවුන්ට හිමි සින්නක්කර ඔප්පුව ලබාගැනීමේ බාධාවක් තිබුණා. ඒ සඳහා බලපෑ විවිධ ප්‍රතිපත්තිමය කරුණු, නීතිමය කරුණු හේතුවෙන් එම ඔප්පු ලබාදීමේ වැඩසටහන ප්‍රමාද වී තිබුණා. අයවැය කතාවේදී මේ වැඩසටහන පිළිබඳ පළමු නිවේදනය නිකුත් කළ අවස්ථාවේ සිට නීතිපති දෙපාර්තමේන්තුව, අමාත්‍ය මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන එක් ව ඒ සඳහා බලපාන නීතිමය තත්ත්වය ලිහිල් කරගැනීමට අවශ්‍ය පියවර ගත්තා. නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය තමන්ගේ අණපනත්වල ඒ සඳහා සුවිශේෂ වූ නීතිමය කරුණු සහ ප්‍රතිපත්ති පිළිබඳ සමාලෝචනය කරමින් මේ වැඩසටහනට අවශ්‍ය වන නීතිමය රාමුව සකස් කරගත්තේ ඒ අනුවයි.”

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි පවසන්නේ මේ කර්තව්‍යයේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියට විශාල වගකීමක් පැවරී ඇති බව ය. අදහස් දක්වන සභාපතිවරයා; “‘රන්දොර උරුමය’ ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහනේදී කොළඹින් පිටත ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ සිට ම ක්‍රියාත්මක වුණු ගම්උදාව වැඩසටහන්වල විවිධ කාලවකවානුවලදී ඉදිකරන ලද නිවාස සඳහා ඔප්පු 34000ක් පමණ 2025 වසර මැද වන විට ලබා දීමට අපට ඉලක්කයක් ලැබී තිබෙනවා. මේ නිවාසවල අවුරුදු 40ක් තිස්සේ පදිංචිවූවන් සිටිනවා තමන්ට කිසිම අයිතිවාසිකමක් නොමැති ව. ඔවුන්ට මේ වැඩපිළිවෙළ යටතේ ස්ථිර ව තමන්ට මෙන් ම තම දරුවන්ට දායාද කළ හැකි පරිදි අයිතිය පැවරෙන ඔප්පුවක් අප නිකුත් කරනවා.”

ඔහු පවසන පරිදි එක් එක් අදියරවලදී ‘ගම්උදාව’ ඉදිකිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් ඉඩම් ලබා දී තිබුණත් ඒවා නිසි පරිදි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පැවරී නොමැත. ප්‍රාදේශීය ලේකම්වරු සතු ව තිබෙන හෝ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, රාජ්‍ය වැවිලි සංස්ථාව වැනි විවිධ ආයතනවලට අයිති ඉඩම්වල හෝ බොහෝ නිවාස ඉදි කර ඇති අතර ඒවා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පැවරෙමින් තිබේ. විශේෂයෙන් ‘රන්දොර උරුමය’ ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන ඇරඹුණු පසු එම ආයතනවල ප්‍රධානීන් ඇතුළත් විශේෂ කමිටුවක් ජනාධිපතිගේ මූලිකත්වයෙන් පත් කර ඇත්තේ එම වැඩසටහන සහ අදාළ ඔප්පු නිකුත් කිරීම වේගවත් කිරීමට ය. ඒ අනුව හැකි ඉක්මනින් ඔප්පු ජනතාව අතට පත් කළ හැකි බව සභාපති රජීව් සූරියආරච්චි තහවුරු කරන කාරණයකි.

නාගරික සංවර්ධනය මෙන් ම නාගරික පුනර්ජීවනය රටක කිසි ලෙසකත් නොසලකා හැරිය නොහැකි කාරණා ය. නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය 2011 වසරේදී සිදු කළ අධ්‍යයනයක් අනුව කියැවෙන්නේ රටේ අක්කර 900ක් ඇතුළත ජනාවාස 1499ක පවුල් 68,000ක් ජීවත් වන බව ය. නාගරික සංවර්ධන අධිකාරිය, මහ භාණ්ඩාගාරය සමග එක් වී නාගරික පුනර්ජීවන වැඩසටහන ආරම්භ කරන්නේ මේ සංඛ්‍යා දත්ත පදනම් කරගෙන ය. 2014 වසරේ සිට මේ දක්වා අඛණ්ඩ ව ක්‍රියාත්මක වන එම වැඩසටහනෙන් අද වනවිට මහල් නිවාස 22ක පවුල් ඒකක 13,600කට වඩා වැඩි සංඛ්‍යාවක් පදිංචි කර තිබේ. එම නිවැසියන් වෙත ද ‘රන්දොර උරුමය’ ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ.
ඒ පිළිබඳ අදහස් දක්වන නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්; “නාගරික ජනාවාස යනු රජයේ ඉඩම්වල අනවසරයෙන් පදිංචි ව සිටින මෙරට ජන කොටසක්. ඔවුන් නැවත පදිංචි කරන්නේ රුපියල් මිලියනයක් (ලක්ෂ 10ක්) අවුරුදු 30ක් ඇතුළත ගෙවීමේ ක්‍රමයක් අනුව. එනම් මසකට රුපියල් 3000කට වඩා අවම මුදලක් එක් නිවසකින් අය කර ගන්නවා. එම කොන්දේසිමය වටිනාකම ඔවුන් ගෙවා නොතිබුණහොත් ඔවුන්ට ඔප්පුවක් ලබාගැනීමේ හැකියාවක් නැහැ. නමුත් 2024 අයවැය යෝජනාවෙන් මිලියනයක මුදල ලක්ෂ 3 1/2ක් දක්වා අඩු කර තිබෙනවා. නිදසුනක් ලෙස ලක්ෂ 1 1/2ක් ගෙවා ඇති අයකු ඉතිරි ලක්ෂ දෙක ගෙවූ පසු ඔප්පු ලබාගැනීමට සුදුසුකම් ලබනවා. මේ මහල් නිවාසවලට ජල සහ විදුලිය බිල්පත් ගෙවා තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය. මහල් නිවාසවල පදිංචිකරුවන් එම මුදල් මාසික ව නාගරික සංවර්ධන අධිකාරියට ගෙවිය යුතුයි. 2023 දෙසැම්බර් 31 දින දක්වා හිඟයක් නොමැති ව මේ බිල් සෑම නිවෙස් හිමියකු ම අපට ගෙවා තිබිය යුතුයි ඔප්පු ලබාගැනීමට. මේ මහල් නිවාසවල අයිතිය ඒවායේ පදිංචිකරුවන්ට ම පවරා දුන් පසු නඩත්තුව පවත්වාගෙන යෑම සඳහා, සෑම නිවෙස් හිමියකුගෙන් ම රුපියල් 50,000ක් අය කරගෙන නිධන්ගත අරමුදලකට තැන්පත් කරනවා. එම අරමුදල අප සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියට ලබාදෙනවා මහල් නිවාස පවත්වාගෙන යෑම සඳහා.”

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නීතිමය තත්ත්වය අනුව යම් මහල් නිවාසයක පදිංචිකරුවන් විසින් තෝරාගනු ලබන කළමනාකරණ මණ්ඩලයකින් එම මහල් නිවාසයේ නඩත්තුව සිදු වේ. මහල් නිවාසවල මෙතෙක් කලක් එවැනි කළමනාකරණ මණ්ඩල පත් කරගැනීමට යම් බාධාවක් පැවැතිණි. එනම් සහාධිපත්‍ය කළමනාකරණ පනත අනුව කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගැනීමට ඕනෑ ම මහල් නිවාසයක පදිංචි නිවැසියන්ගෙන් 50%කට සින්නක්කර ඔප්පු ලැබී තිබිය යුතුයි. ‘රන්දොර උරුමය’ ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන ඔස්සේ එම බාධාව ඉවත් වී කළමනාකරණ සංගම් පිහිටුවීමට ඉඩ ලැබී ඇත. මෙතෙක් කලක් නාගරික සංවර්ධන අධිකාරිය හෝ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හෝ කළමනාකරණ සංගම් නොමැති ව අතුරු කළමනාකරණ සංගම් පිහිටුවා, එම අධිකාරීවල අරමුදල් යොදවමින් මේ මහල් නිවාසවල නඩත්තුව සිදු කර ඇත. මින් ඉදිරියට එම කාර්ය මහල් නිවාසවල පදිංචිකරුවන් අතට ම පත්වන්නේ අවශ්‍ය විට නාගරික සංවර්ධන අධිකාරියේ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහයෝගය ද ලැබෙන පරිද්දෙනි.

රන්දොර උරුමය

ශාක සුරක්ෂාව