#දේශ විත්ති

රණවිරු උරුමයට කෘත ගුණ

  • නිරෝෂි දොඹගහගේ

ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී දිවි පිදූ, අතුරුදහන් වූ, රණක්ෂිතයට පත් වූ විශ්‍රාමික සහ දැනට සක්‍රිය සේවයේ යෙදී සිටින රණවිරුවන්ට පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේ ප්‍රතිපත්තිය වඩාත් විධිමත් ව සිදු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ අමාත්‍ය මණ්ඩල සංදේශයට නොබෝදා අනුමැතිය හිමි විය. ඒ අනුව ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරන රණවිරුවන්ට ඉදිරියේදී සහන රැසක් සැලසෙන අතර එහිදී රණවිරුවන්ට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීම සිදු වනු ඇත.

රණවිරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන් රැක බලා ගැනීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව ක්‍රියාත්මක මෙය 2024 අයවැය යෝජනා යටතේ ඉදිරිපත් කෙරුණු පවුල් ලක්ෂ 20කට ඉඩම් හා ගොවිබිම්වල පූර්ණ පෞද්ගලික අයිතිය ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන අනුව ක්‍රියාවට නගන්නකි. රණවිරුවන් ලක්ෂයක පමණ පිරිසක් ද මීට අයත් වේ. ඒ අනුව දැනට ලබා දී ඇති අවසර පත්‍ර හා දීමනා පත්‍ර සම්බන්ධයෙන් පැන නැගී ඇති ආරවුල් විසඳමින්, ඒවා නිසි ආකාරයට මැනුම් කටයුතු සිදුකර ‘උරුමය’ නමින් ඔප්පු ලබා දීම මේ යටතේ සිදු කෙරේ. මේ වැඩසටහනෙහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ ජනතාවට තමන් සතු ඉඩම් සම්බන්ධයෙන් අභිමත පරිදි කටයුතු කිරීමේ හැකියාව හිමි කරදීම ය.

ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණය වන අක්කර ලක්ෂ 163 මූලික වශයෙන් රජයේ ඉඩම් සහ පෞද්ගලික ඉඩම් වශයෙන් ප්‍රධාන කොටස් දෙකකි. එයින් අක්කර ලක්ෂ 132ක් එනම් 82%ක් රජයේ ඉඩම් වන අතර ඒ අතරින් මහජනතාවගේ පරිභෝජනයට සුදුසු ඉඩම් පවතින්නේ අක්කර ලක්ෂ 47ක් (18%ක්) පමණි. අනෙකුත් භූමි ප්‍රදේශ මහජනතාවගේ පෞද්ගලික පරිභෝජනයට යොදා ගත නොහැකි ඇළ දොළ, ගංගා, මාර්ග, අභය භූමි, පූජා භූමි, වනාන්තර, රක්ෂිත, වෙරළ තීරය යනාදියෙන් සමන්විත ය. පරිභෝජනයට සුදුසු අක්කර ලක්ෂ 47ක භූමි ප්‍රමාණයෙන් අක්කර ලක්ෂ 40ක් පමණ පරිභෝජනය සඳහා යොදා ගැනෙන බවත් තවත් ඕනෑ ම කටයුත්තක් සඳහා යොදා ගැනීමට ඉතිරිවී තිබෙන්නේ තවත් අක්කර ලක්ෂ 7ක් පමණක් බවත් ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ ප්‍රකාශ කරයි.

රජය හා විදේශිකයන් සතු ව තිබූ විශාල පරිමාණයේ ඉඩම්, නැවත ගොවි ජනතාව වෙත පැවරීමේ අරමුණින් 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත හඳුන්වා දුන්නේ ය. එමගින් රජයේ ඉඩම් ගොවිතැන් සහ නේවාසික කටයුතු සඳහා ජනතාව වෙත නැවත ලබාදෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරිණි. ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ පවසන්නේ ඉඩම් සංවර්ධන ආඥා පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාර ව අවසර පත්‍ර සහ දීමනාපත්‍ර ලෙස රජයේ ඉඩම් ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ය. අදහස් දක්වන ඔහු; “ඉඩම් සඳහා අවසර පත්‍ර ලබා දෙන්නේ ඉඩම් සංවර්ධන ආඥා පනතෙහි 19(2) වගන්තිය යටතේ. ඒ, ප්‍රාදේශීය මට්ටමෙන් සුදුසු අය තෝරාගෙන නිත්‍යානුකූල ක්‍රමවේදයකට. වසරක් තුළ ඔවුන් ඉඩම සංවර්ධනය කළ යුතුයි. ඒ පිළිබඳ පරීක්ෂා කර බලා ඉන් අනතුරුවයි එම ඉඩම් සඳහා ඉඩම් සංවර්ධන ආඥා පනතෙහි 19(4) වගන්තිය යටතේ දීමනා පත්‍රයක් ඔවුන් වෙත ලබා දෙන්නේ. මෙලෙස විවිධ ආණ්ඩු යටතේ කලින් කලට ස්වර්ණ භූමි, රත්න භූමි, රන් භූමි, ඉසුරු භූමි, ජය භූමි වැනි විවිධ නම්වලින් ඉඩම් සඳහා දීමනා පත්‍ර ප්‍රදානය කෙරුණා.” ඉඩම් සංවර්ධන ආඥා පනත හඳුන්වා දුන් 1935 වර්ෂය වන විට ඉඩම් සම්බන්ධ තීරණ ගැනීමේ බලය පවරා තිබුණේ දිසාපති වෙත ය.

ලබාදෙන දීමනාපත්‍ර සහ අවසර පත්‍ර සම්බන්ධයෙන් යම් යම් කොන්දේසි පනවා තිබේ. රණවිරුවන් වෙත ලබා දී ඇති දීමනාපත්‍ර සහ අවසර පත්‍ර සම්බන්ධයෙන් ද මෙවැනි කොන්දේසි බල පැවැත්වේ ඒ පිළිබඳ පැහැදිලි කරන ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ; “ඇතැම් විට අතුරු බෙදීම් කළ නොහැකි වීම, උකස් කර බැංකු ණය පහසුකම් ලබාගන්නේ නම් ප්‍රාදේශීය ලේකම්ගේ හෝ ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ අනුමැතිය ලබා ගත යුතු වීම, තවත් අයකුට බැහැර කළ නොහැකි වීම යනාදී විවිධ කොන්දේසි මේ ඉඩම් සම්බන්ධයෙන් පනවා තිබෙනවා. කෘෂිකාර්මික පදනම හෝ නේවාසික පදනම යටතේ බැහැර කර තිබෙන නිසා මේ ඉඩම් ආර්ථික සංවර්ධන කටයුත්තකට භාවිත කරන්නට නැහැ. රජය මගින් බැහැර කරන අවසර පත්‍ර හෝ දීමනා පත්‍ර සම්බන්ධයෙන් මෙලෙස කොන්දේසි පනවා තිබීම රටේ ආර්ථික සංකෝචනයකට හේතු වී තිබෙනවා.”

1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත සහ 1947 අංක 8 දරන ඉඩම් ආඥා පනත යන පනත් දෙක ම මුල්කරගෙන රණවිරුවන් වෙත ඉඩම් බැහැර කිරීම සිදු කර තිබේ. ජනාධිපති කාර්යාලයේ කෘෂිකර්ම ඵලදායිතා සහ ඉඩම් අංශයේ ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් පවසන්නේ මේ වැඩසටහන රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන්නේ රණවිරුවන්ට සිදු කරන උපරිම කෘතගුණ සැලකීමක් ලෙසයි. ඇය; “ක්‍රියාන්විත සේවයේ යෙදී සිටි රණවිරුවන් වෙනුවෙන් රජයේ ඉඩම් ලබා දීමේදී සහන සැලසීමේ අපේක්ෂාවෙන් කාලානුරූපී ව පැවති ප්‍රතිපත්ති සංශෝධනය සඳහා වරින් වර අමාත්‍ය මණ්ඩල නිර්දේශ ඉදිරිපත් වී තිබෙනවා. එහෙත් හඳුන්වා දී ඇති ක්‍රමවේද ඔස්සේ හිමිවන සහනය ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වූ නිසයි දැනට පවත්නා ක්‍රමවේදයෙහි ගැටලු ලෙස හඳුනා ගත් කාරණා සංශෝධනයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනුණේ. මේ සම්බන්ධයෙන් කමිටුවක් පත්කර තිබෙන්නේ ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්. ත්‍රිවිධ හමුදාව, පොලිස් දෙපාර්තමේන්තුවේ හා සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරන ප්‍රතිලාභී රණවිරුවන් සියලු‍ දෙනා පිළිබඳ, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ විධිමත් ආකෘතියකින් තොරතුරු රැස් කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා.”

මේ වැඩසටහන යටතේ ඔප්පු ලබාදීම සිදු කෙරෙනුයේ දීමනාපත්‍ර හෝ අවසර පත්‍ර ලබා දී ඇති රණවිරුවන්ට ය. අලු‍තින් ඉඩම් නිදහස් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ මෙතෙක් ලබා දී ඇති බලපත්‍ර සඳහා ‘උරුමය’ ඔප්පු ලබාදීමෙන් අනතුරු ව නැවත සමීක්ෂණයක් සිදු කිරීමෙනි.

රණවිරුවන්ට ඉඩම් ලබා දීමේදී සැලසෙන සහන රාශියකි. ලබා දී ඇති ඉඩම් මෙතෙක් සංවර්ධනය කිරීමට අපොහොසත් වී ඇති රණවිරුවන් සඳහා රජයේ ඉඩම් ආඥා පනතේ 6 වැනි වගන්තිය ප්‍රකාර ව රුපියල් 100ක නාමමාත්‍ර බදු මුදලක් යටතේ විශේෂ බද්දක් ලබාදීම, යෝජිත සංවර්ධන කටයුතු සිදු කිරීමට හැකිවනු පිණිස ඉඩම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත මූල්‍ය ආයතනයකින් මුල්‍ය පහසුකම් ලබා ගැනීමට ඉඩ සැලසීම, භූමියේ නොදියුණු තක්සේරු වටිනාකමින් 10%ක් අය කරමින් ලබාදෙන කොන්දේසි සහිත දීමනා පත්‍රය වෙනුවට රජයේ ඉඩම් ආඥා පනතේ 2 වැනි වගන්තිය හා 20 වැනි රෙගුලාසිය යටතේ නිදහස් දීමනාපත්‍ර ලබාදීම ඊට අයත් ය. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ මධ්‍යම පාන්තික ගැනුම් මිල කාණ්ඩය යටතේ සුදුසුකම් ලබා ඇති රණවිරුවන් අදාළ ඉඩම් නේවාසික පදනමකින් සංවර්ධනය කර ඇත්නම් ඔවුන්ට රජයේ ඉඩම් ආඥා පනතේ 2 වැනි වගන්තිය හා 20 වැනි රෙගුලාසිය ප්‍රකාර ව නිදහස් දීමනා පත්‍ර ලබාදීම, රජයේ ඉඩම් ආඥා පනත යටතේ විශේෂයෙන් ම බදුකර ලබාගැනීම හා නිදහස් දීමනාපත්‍ර ලබා ගැනීමට නිකුත් කරන ලද මැනුම් නියෝගවලට අදාළ පිඹුරුපත් හා රේඛා චිත්‍ර ලබා ගැනීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු මැනුම් ගාස්තුවලින් නිදහස් කිරීම යන සහන ද මේ යටතේ සලසා දී ඇත. ඒ අනුව බදුකරයක් සඳහා ඔප්පුවක් ලබා දීමට අවශ්‍ය පිඹුරුපත සකස් කිරීමේදී මැනුම් ගාස්තුව මෙහිදී දරන්නේ රජයයි. නාමික බද්දක් යටතේ මෙලෙස බලපත්‍ර ලබාදීම මීට පෙර ක්‍රියාත්මක වූයේ මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් සඳහා පමණකි. නව ක්‍රමවේදය යටතේ සියලු‍ රණවිරුවන්ට මේ වරප්‍රසාදය හිමිවීම විශේෂත්වයකි.

අදහස් දක්වන ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා; “අප විසින් නිකුත් කිරීමට නියමිත චක්‍රලේඛය අනුව සියලු‍ ම ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල රණවිරුවන් සඳහා බදු පදනමින්, වගා පදනමින් හා නේවාසික පදනමින් කෙතරම් ඉඩම් ලබාදී තිබෙනවා ද?, එම ඉඩම්වල කෙතරම් පිරිසක් පදිංචි වී සිටිනවා ද? වැනි තොරතුරු එකතු කළ යුතුයි. ඉන් අනතුරුවයි එක් එක් කාණ්ඩවලට අයත් රණවිරුවන්ට ‘උරුමය’ ඔප්පු ලබා දෙන්නේ. අදාළ දැනුවත් කිරීමෙන් පසුව රණවිරුවන්ට හැකියාව තිබෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් ‘උරුමය’ ඒකකයට තමාගේ ඉඩම් ගැටලු‍ ඉදිරිපත් කිරීමට.”

චක්‍රලේඛය නිකුත් කිරීමේ සිට අදාළ මාර්ගෝපදේශකත්වය ලබා දෙමින් මේ සඳහා සහය ලබා දෙන්නේ රේඛීය අමාත්‍යංශය ලෙස සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයයි. එහි අතිරේක ලේකම් (ඉඩම්) දර්ශන වික්‍රමාරච්චි පවසන්නේ රජයේ ඉඩම් ආඥා පනත ප්‍රකාර ව රණවිරුවන්ට ඉඩම් සඳහා ඔප්පු පිරිනැමීමට අදාළ ක්‍රියාවලිය කඩිනමින් ඉටු කිරීමට සැලසුම් කර තිබෙන බව ය.

මේ වැඩසටහන යටතේ කොන්දේසි විරහිත ව රජය ලබාදෙන පරම ඉඩම් අයිතිය තම පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා මෙන් ම රටේ ආර්ථිකය දියුණුව වෙනුවෙන් උපයෝජනය කිරීමේ වගකීම ප්‍රතිලාභීන් සතු ය.