#ආර්ථික

රට පැටවෙන අපේ පුවක්

  • කාංචනා සිරිවර්ධන

අතුරු වගාවක් ලෙස රටේ බොහෝ ප්‍රදේශවල ව්‍යාප්ත ව ඇති පුවක් වගාව අපනයන බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමු ව තිබේ. පුවක් සඳහා වන ඉල්ලු‍ම දිගින් දිගට ම ඉහළ යමින් තිබීම ඊට හේතුවකි. ඒ අනුව 2024 වසරේදී පුවක් පැළ ලක්ෂ 17ක් වගාකරුවන් අතර නොමිලයේ බෙදා දීමට පියවර ගෙන ඇති අතර ඒ වෙනුවෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 37.5කි.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන) ශාන්ත බණ්ඩාර පවසන්නේ මේ ව්‍යාපෘතිය යටතේ දීප ව්‍යාප්ත ව පුවක් වගාව ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව ය. අදහස් දක්වන ඔහු; “මීට පෙර අප පුවක් ආනයනය කළත් 2023 වසරේ සිට පුවක් ආනයනය කිරීම නවතා දැමුවා. 2022 වසරේ ආනයනය කර ඇති පුවක් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 36ක් පමණ වනවා. 2022 වසර වන විට ශ්‍රී ලංකාවේ හෙක්ටයාර 13,513ක පුවක් වගා කර තිබෙනවා. එම වසරේ පුවක් නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් 24,323ක්. 2024 වසර තුළ පුවක් වගාව හෙක්ටයාර් 500කින් 600කින් පමණ වර්ධනය කිරීමට බලාපොරොත්තු වනවා. ඒ අනුව පියවර ගන්නේ යාපනය, වව්නියාව වැනි පුවක් වගාව ඉතා ම සුළු වශයෙන් පවතින ප්‍රදේශවලත් පුවක් වගාව ප්‍රචලිත කිරීමට. දෙපාර්තමේන්තුව යටතේ මධ්‍යම පැළ තවාන් පවත්වාගෙන යන අතර ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පුද්ගලික පැල තවාන් ශිල්පීන්ට ද වැඩිපුර පැළ තවාන් කිරීමට උපදෙස් ලබාදී තිබෙනවා. මෙරට පුවක් වගාව හෙක්ටයාර 13,513ක පමණ භූමි ප්‍රමාණයක විසිරී තිබුණත් කිසිදු ස්ථානයක වැවිලි බෝගයක් වශයෙන් පුළුල් අන්දමින් වගා කරන්නේ නැහැ. වගා කරන්නේ අතුරු බෝගයක් වශයෙන් පමණයි.”

ඔහු පවසන ආකාරට ශ්‍රී ලංකාවේ පුවක් විශේෂ කිහිපයක් ම වගා කළත් වැඩි ම ඉල්ලු‍මක් තියෙන්නේ දේශීය පුවක්වලට ය. එක ගසකින් ගෙඩි 1000ක් පමණ බැගින් වසරකට නෙළාගත හැකි අන්දමේ මාතලේ සිංහ, මාතලේ චතුර, මාතලේ රාජා වැනි විශේෂ කිහිපයක් ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හඳුන්වා දී තිබෙන බවත් අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. ඒ අතර මාතලේ සිංහ යනු වඩාත් හොඳ ඵලදාවක් ලබාදෙන පුවක් විශේෂයකි.

2020 වසරේ පුවක් මෙටි්‍රක් ටොන් 20,796ක් ද 2021 වසරේ මෙටි්‍රක් ටොන් 23 890ක් ද 2022 වසරේ මෙටි්‍රක් ටොන් 24323ක් ද නිෂ්පාදනය කර තිබේ. 2020 වසරේදී අපනයනය කර ඇති පුවක් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 12,583.98ක් වන අතර 2021 වසරේදී මෙටි්‍රක් ටොන් 10,516.26ක් ද 2022 වසරේදී මෙටි්‍රක් ටොන් 16,977.71ක් ද 2023 වසරේදී මෙටි්‍රක් ටොන් 14,051.38ක් ද අපනයනය කර ඇත.

මේ අනුව පුවක් අපනයනයෙන් 2020 වසරේදී රුපියල් මිලියන 8375.78ක් ද 2021 වසරේදී රුපියල් මිලියන 8669.64ක් ද 2022 වසරේදී රුපියල් මිලියන 21187.34ක් ද 2023 වසරේදී රුපියල් මිලියන 19686.13ක් ද උපයාගෙන තිබේ. මෙවැනි සැලකිය යුතු විදේශ විනිමයක් රටට ගෙනදිය හැකි පුවක් වගාවට මෙතෙක් අවශ්‍ය පරිදි නිසි අවධානයක් ලබා නොදීම හේතුවෙන් පුවක්, වැවිලි බෝගයක් ලෙස අවශ්‍ය පරිදි ප්‍රචලිත නොවීමේ ගැටලු‍වක් රටේ පවතින බව තහවුරු වේ. ඒ නිසා බස්නාහිර පළාතේ වගා කළ නොහැකි කුඹුරු ඉඩම් පුවක් වගාව සඳහා යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳ ව සොයා බැලීමටත් විශේෂයෙන් පුවක් වගා කළ හැකි සෑම ස්ථානයක ම පුවක් වගාව සිදු කරන ලෙස වගාකරුවන් දැනුවත් කිරීමටත් කෘෂිකර්ම අමාත්‍යවරයා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අධ්‍යක්ෂ (සංවර්ධන) ශාන්ත බණ්ඩාර; “ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමේ සිට මීටර් 1000ක් පමණ ඉහළට යනතුරු පවතින භූමි ප්‍රදේශ පුවක් වගා කිරීමට සුදුසුයි. මේ නිසා තෙත් සහ අතරමැදි කලාපවල පුවක් වගාව පවත්වාගෙන යා හැකියි. වියළි කලාපයෙත් විශේෂයෙන් ළිං, ඇළවේලි ආශ්‍රිත ව පසේ තෙතමනය තිබෙන ස්ථානවල පුවක් වගා කරන්නට පුළුවන්. අවශ්‍ය තරම් වර්ෂාපතනයක් ලැබෙනවා නම් වඩා හොඳ ඵලදාවක් ලබාගන්නට පුළුවන්. පුවක්, බුලත් විට සඳහා මෙන් ම තීන්ත නිෂ්පාදනයටත් විවිධ දත්බෙහෙත් වර්ග නිෂ්පාදනයටත් යොදාගන්නවා. ඉන්දියාවේ පුවක්වලින් නිෂ්පාදනය කරනවා ඇල්කොලයිඩ් නම් සංයෝගයක්. ඇල්කොලයිඩ්වලිනුයි පුවක්වල මත්වන ගතිය ඇතිවන්නේ. ඇල්කොලයිඩ් පශු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගන්නවා. පුවක් කොළපත් පරිසර හිතකාමී (ඉක්මනින් දිරාපත් වන) පිඟන් වැනි දේ නිෂ්පාදනයටත් යොදා ගන්නවා. ඉදිරියේදී පුවක් ගෙඩි වශයෙන් අපනයනය කිරීමට අමතර ව එවැනි පුවක් ගසේ අතුරු නිෂ්පාදනය කර අපනයනය කිරීමටත් බලාපොරොත්තු වනවා.”

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ බෝග විද්‍යා අංශයේ මහාචාර්ය ජානකී මොහොට්ටි පවසන්නේ සුළු අපනයන බෝගයක් ලෙස පුවක් වගාව මෙරට ප්‍රචලිත කිරීමට සුදුසු පරිසරයක් දැනටත් තිබෙන බව. මේ සඳහා හොඳින් ම ගැළපෙන දේශගුණික තත්ත්ව, පාරිසරික සාධක රටේ තිබෙන නිසා ඊට නිසි අවධානයක් සහ සහයෝගයක් ලබා දීමෙන් පුවක් වගාව අපනයන බෝගයක් ලෙස වඩාත් ඉක්මනින් සහ හොඳින් ප්‍රචලිත කළ හැකි බව ඇය අවධාරණය කරයි. අදහස් දක්වන ඇය; “විශේෂයෙන් පුවක් බෝගය හොඳින් වැවෙන්නේ ඉන්දියාව, පාකිස්තානය වැනි දකුණු ආසියානු කලාපයේ රටවල. දකුණු ඉන්දියාවේ අක්කර ගණන්වල එක යායට පුවක් වගා කර තිබෙනවා. ශ්‍රී ලංකාවෙ තවමත් මෙය අතුරු බෝගයක් ලෙසටයි වගා කරන්නේ. බෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කෙරෙන පර්යේෂණ ප්‍රමාණවත් නැහැ. පුවක් ගෙඩිවලින් වගේ ම පුවක් බෝගයේ අනෙක් කොටස්වලින් තව කරන්න පුළුවන් බොහෝ දේවල් ඇති. ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු වනවා.”

පුවක් වගාව වැඩි පිරිවැයකින් තොර ව පවත්වාගෙන යා හැකි වගාවක් මෙන් ම වන සතුන්ගෙන් සහ වෙනත් කෘමි රෝගවලින් අවම මට්ටමේ හානි සිදුවන වගාවකි. පුවක් වගාව සඳහා විශේෂයෙන් පොහොර හෝ පළිබෝධනාශක අවශ්‍යතාවක් නොමැති අතර වගාවට ඇති වන යම් රෝගයකදී හෝ කෘමි උවදුරකදී හෝ වගාකරුවන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරින්ගේ සහය ලබාගැනීමේ හැකියාව පවතී. පුවක් වගාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන වගාකරුවන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිරෝගි උසස් තත්ත්වයේ පැළ ලබාදීමත් උපදෙස් ලබාදීම සහ දැනුවත් කිරීමත් සහනාධාර ලබාදීමත් සිදු කෙරෙන නිසා ඉදිරියට පුවක් වගාව ප්‍රචලිත කිරීමේ රජයේ ව්‍යායාමයට එය පහසුවක් වනු ඇත.