රට නරඹන්නෝ වාසි ගෙනෙන්නෝ
- ඩබ්. එම්. ශාන්තප්‍රිය
කොවිඩ් 19 වසංගතයත් සමග මුළුමනින් ම බිඳ වැටී තිබූ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉදිරි වර්ධනයක් අත්කරගෙන තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙයි. සංචාරක හෝටල් හිමිකරුවෝ ද මේ කාලයේ තමන්ට ඉහළ ව්‍යාපාරික අවස්ථා ඇති බව ප්‍රකාශ කරති.
2024 වර්ෂයේ මුල් දින 77 තුළ පමණක් විදේශ සංචාරකයන් 537,887ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ, ජනවාරි මාසයේ සංචාරකයන් 208,253ක්, පෙබරවාරි මාසයේ සංචාරකයන් 218,350ක් හා මාර්තු මස මුල් දින 17 තුළ සංචාරකයන් 111,284ක් වශයෙනි. ඒ අනුව දිනක සංචාරක පැමිණීම 6985ක් ලෙස සටහන් වේ.
මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් බහුතරයක් ඉන්දීය හා රුසියානු සංචාරකයන් වුවත් එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, චීනය, නෙදර්ලන්තය, ඕස්ටේ්රලියාව, පෝලන්තය, එක්සත් ජනපදය වැනි රටවලින් ද සංචාරකයන් සැලකිය යුතු පිරිසක් පැමිණ තිබේ.
2024 වර්ෂය අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 23ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම රජයේ ඉලක්කය වේ. වත්මන් ප්‍රවණතාව හමුවේ එම ඉලක්කය ඉක්මවා යනු ඇතැයි යන්න ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ විශ්වාසයයි. ලක්ෂ 23ක ඉලක්කය සපුරා ගැනීම සඳහා දිනකට සංචාරකයන් පැමිණිය යුත්තේ 6300ක් වුවත් වර්තමානයේ එම තත්ත්වය ඉක්මවා ගොස් ඇති බව සංචාරක අධිකාරියේ දත්තවලින් තහවුරු වේ.
රටවල් 190ක සංචාරකයන් පැමිණ ඇති 2023 වර්ෂයේ මුළු සංචාරක පැමිණීම 1,487,303ක් ලෙස සටහන් වන අතර එම වර්ෂයේ මුල් මාස තුනේ සංචාරක පැමීණීම 335,669කි.