රට ඔසවා තැබීමයි මූලික අරමුණ


ආචාර්ය
නන්දික සනත් කුමානායක
ජනාධිපති ලේකම්
සභාපති
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජනාධිපති කාර්යසාධක බලකාය
බොහෝ ක්ෂේත්‍ර සඳහා වඩාත් බලපාන ආර්ථික වර්ධනය යනු සංවර්ධනයේදී වඩාත් වැදගත් කාරණාවක්. එම නිසා සෑම රටක් ම මූලික වශයෙන් සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමේදී පළමු ව ආර්ථිකය සංවර්ධනය අත්පත් කර ගන්නට ක්‍රියා කරනවා. එහෙත් ජාත්‍යන්තරික වශයෙන් සලකන විට එක්සත් ජාතීන්ගේ ‘2030 තිරසර සංවර්ධන ඉලක්ක‘ වැනි සංවර්ධන මඟපෙන්වීම් පිළිබඳ අවධානය යොමු කරන විට ආර්ථික වර්ධනය පමණක් ම සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නට බැහැ. විශේෂයෙන් තිරසර සංවර්ධනයේදී ආර්ථික සංවර්ධනයට අමතර ව තවත් අංශ ගණනාවක් පිළිබඳ සාකච්ඡා කෙරෙනවා. සාක්ෂරතා හැකියාව වර්ධනය වැනි ඇතැම් සංවර්ධන නිර්ණායක තවමත් අගය කළ යුතු මට්ටමක තිබුණත් පසුගිය කාලයේ ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් විශාල පසුබෑමකට ලක් වුණා. එම නිසා ‘මේ ආර්ථික පසුබෑමෙන් මුදාගෙන රට ඉදිරියට යා යුතුයි’ යන අපේක්ෂාව රජයේ මූලික ඉලක්කය බවට පත් කරගෙන තිබෙනවා.
පුනරුදයක් කරා ශ්‍රී ලංකාව ගමන් කිරීමටනම් ප්‍රධාන වශයෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් කරමින් ග්‍රාමීය දුගීභාවය තුරන් කිරීමත් රාජ්‍ය ආයතන ඇතුළු රටේ සමස්ත ක්‍රියාවලිය ම ඩිජිටල් ආර්ථිකයක් කරා රැගෙන යාමත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ බිහි කිරීමත් අවශ්‍ය වනවා. එහිදී වඩාත් සුවිශේෂ කාර්යභාරයක් ඉටු කෙරෙන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ මූලික අරමුණ වන්නේ දැනට ශ්‍රී ලංකාව පවතින තත්ත්වයෙන් යම් ඉහළ මට්ටමකට ඔසවා තැබීම. මේ වැඩසටහනේදී සැබවින් ම පරිසරයේ පිරිසිදු බව පමණක් නොව සමාජීය හා ආචාරධාර්මික වශයෙන් ද රටක් විදිහට ඉදිරියට යාමට හැකි ආකාරය පිළිබඳ ව සැලකිලිමත් වී තිබෙනවා. සංවර්ධනය සඳහා සමාජයක් විදිහට අපට මඟ හැරුණු වටිනාකම් මොනවා ද? යන්න හඳුනාගෙන ඒවා නැවත එකතු කර ගැනීමත් පාරිසරික වශයෙන් පිරිසිදුකරණයත් ආචාරධාර්මික වශයෙන් තනි පුද්ගලයාගේ ආකල්පමය, හැසිරීම් රටාවේ සාධනීය ලෙස වෙනසක් ඇති කිරීමත් මෙහිදී අපේක්ෂා කරනවා. රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේත් ජනතාවගේත් සහභාගිත්වය සහිත ව මේ වැඩසටහන කිසියම් කාල සීමාවකට ලඝු වීමකින් තොර ව ක්‍රමික ව ජනතා සහභාගිත්වය වැඩි කරගනිමින් ජාතික මට්ටමින් ඉදිරියට ගෙන යාමයි මෙහිදී අපේක්ෂාව.
‘ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්යසාධක බලකායේ‘ කාර්යභාරය වන්නේ වැඩසටහනට අදාළ සංකල්ප දියුණු කරමින්, ක්‍රියාත්මක කරන ව්‍යාපෘති මොනවා ද? යන්න තීන්දු කරමින් මේ වැඩපිළිවෙළ ඉදිරියට මෙහෙයවීම. කාර්යසාධක බලකාය සංකල්පීය වශයෙන් වැඩිදියුණු කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ විධායක බලතල සහිත ව ජනාධිපති කාර්යාල අතිරේක ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන අංශයක් ද ස්ථාපිත කර තිබෙනවා.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ කාර්යයේදී රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ ජනතාව යන පාර්ශ්ව නියෝජනය වන ආකාරයට සමාජීය, පාරිසරික හා ආචාරධාර්මික වශයෙන් විශේෂඥ හා ප්‍රාමාණික දැනුමක් සහිත විද්වතුන්ගෙන් කාර්යසාධක බලකාය සමන්විත වනවා. ඉදිරියේදී මේ වැඩපිළිවෙළ සඳහා සහයෝගය ලබා ගැනීමට හැකි විද්වතුන් හඳුනාගෙන ඔවුන් ද දායක කර ගනිමින් කාර්යසාධක බලකාය තවදුරටත් පුළුල් සහ ශක්තිමත් කර ගැනීමත් අපේක්ෂාවක්.
2025 වසරේ ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන මෙහි මූලික පියවර වශයෙන් ජනතාවගේ මැදිහත්වීම හා දායක්වය ලබා ගැනීමේ අරමුණින් වැඩසටහනට අදාළ සියලු ම රාජ්‍ය සහ පෞද්ගලික අංශ නිලධාරීන් දීප ව්‍යාප්ත ව දැනුවත් කළා. අධ්‍යාපන කලාපවල නිලධාරීන්, ගුරුවරු සහ පාසල් දරුවන් වෙනුවෙන් දැනුවත් කිරීමේ ව්‍යාපාර සංවිධානය වන අතර ම මෙහි මූලික වටය සඳහා තෝරාගත් පාසල් 1000-2000ත් අතර සංඛ්‍යාවක් ආවරණය කිරීමට අපේක්ෂා කෙරෙනවා. මීට අමතර ව පෙබරවාරි මාසයේ සැලසුම් කර තිබෙන්නේ සෑම වෙරළක් ම පිරිසිදු වෙරළක් බවට පත් කිරීමේත් සංචාරක කර්මාන්තය සඳහා ඉතා වැදගත් වටිනාකමක් දරන ස්ථාන පිරිසිදු කිරීමේත් නගර ආශ්‍රිත පිරිසිදු පොදු වැසිකිළි පද්ධතියක් ඇති කිරීමේත් ව්‍යාපෘතිවල මුල් පියවර ක්‍රියාත්මක කිරීමට. නිරන්තරයෙන් මේ ව්‍යාපෘති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට කුඩා රැස්වීම් පවත්වන අතර ඊට දැනුවත් කිරීමේ නිලධාරීන් සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, සමාජ මාධ්‍ය යෙදවෙනු ඇති.
මෙලෙස වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ඔස්සේ පොදු ජන සහභාගිත්වය පුළුල් කර ගැනීමත් ආරම්භ කරන ලද ව්‍යාපෘති නිසි ලෙස සිදු වෙනවා ද? යන්න අධීක්ෂණයත් පිරිසිදු කරන ලද වෙරළ, පොදු ස්ථාන එලෙසින් ම පවත්වාගෙන යාමේ පසු විපරම් කිරීමත් ඉදිරියේදී සිදු වනු ඇති.