රටේ හදා වටේ යැවීම
- නුවන් කුමාර කටුගම්පල
රටට ව්‍යවසායකත්ව සංස්කෘතියක් (Entrepreneurial Culture) හඳුන්වා දීම, කර්මාන්ත සාක්ෂරතාව (Industrial Literacy) දියුණු කිරීම, කර්මාන්ත මානසිකත්වයක් (Industrial Mentality) ඇතිකිරීම, කර්මාන්ත හිතකර පරිසරයක් (Entrepreneurial Echo system/Conductive Environment) නිර්මාණය කිරීම, ව්‍යවසායකත්වය සහ කර්මාන්ත ප්‍රවර්ධනය කර නිෂ්පාදනය වැඩිකිරීම සහ වැඩිවන නිෂ්පාදන සඳහා දේශීය-විදේශීය වෙළෙඳපොළ පුළුල් කිරීමෙන් ආර්ථික ස්ථාවරත්වයට දායක වීම කර්මාන්ත අමාත්‍යාංශයේ අපේක්ෂා සහ ඉලක්ක අතර ප්‍රධාන වේ.
කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍ර වැඩිදියුණු කළ සෑම රටක් ම දියුණු වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ සිතියමෙන් මැකී ගිය පැරණි කර්මාන්ත යළි පණගැන්වීම, නව කර්මාන්ත අලුතින් බිහි කිරීම සහ ඒ සඳහා කර්මාන්ත ව්‍යවසායකත්වය ඉහළ නැංවීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීමෙන් මෙරට ආර්ථික කොඳුනාරටිය ශක්තිමත් කළ හැකි බව කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහගේ අදහසයි. ඔහු පවසන පරිදි 2024 අයවැයෙන් ඉදිරිපත් කළ, ‘අපනයන ආර්ථිකයක් ගොඩනැගීම’ යන මූලික ප්‍රතිපත්තිමය සාධකය ජයගැනීමට නම් ප්‍රධාන වශයෙන් සිය අමාත්‍යාංශය යටතේ ඇති සියලු ම ආයතන, ව්‍යවසායකයන්, ආයෝජකයන්, කර්මාන්තකරුවන් සහ සමාජය එක් ජාතික අරමුණකට පෙළගැස්විය යුතු ය. ඒ සඳහා අමාත්‍යාංශය සකස් කළ උපායමාර්ගික සැලැස්ම තවදුරටත් සංවර්ධනය කරමින් ක්‍රියාත්මක කරයි.
ඒකාබද්ධ ප්‍රවේශයක්
මේ සඳහා ඍජු ව සහ සක්‍රීය ව ජාතික කර්මාන්ත සංවර්ධන ප්‍රතිපත්තියක (National Industrial Development Policy) ඒකාබද්ධ අරමුණට දායක කර ගත යුතු ආයතන දැනටමත් හඳුනාගෙන ඇති අතර එම ආයතන ඒකාබද්ධ ප්‍රවේශයකින් වැඩ කිරීම සඳහා කැමැත්ත ද පළ කර ඇත. ඊට ශ්‍රී ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, විදාතා, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර අංශය, IDB, කර්මාන්ත පුහුණු වෘත්තීය අධ්‍යාපන ආයතන, වාණිජ බැංකු සහ වෙනත් මූල්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, වාණිජ හා කර්මාන්ත මණ්ඩල සහ අධ්‍යාපන අමාත්‍යාංශය වැනි මෙතෙක් කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ ව වුවත් තනි තනි ව සිය ආයතනික න්‍යායපත්‍ර අනුව ක්‍රියා කළ ප්‍රමුඛ ආයතන රැසක් අයත් ය. මේ ඒකාබද්ධ නව වැඩපිළිවෙළ’ක්‍රියාත්මක කර, රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමෙන් ආර්ථික ගැටලු රැසකට පිළියම් යෙදීමට හැකි වේ.
ස්ථාවර ආර්ථික සංවර්ධනයක්
ස්ථාවර ආර්ථික සංවර්ධනයක් ඇති සෑම රටක් ම එම තත්ත්වයට ළඟා වී ඇත්තේ ස්ථාවර නිෂ්පාදන ආර්ථිකයක් ක්‍රියාත්මක කරවීමෙනි. එය කළ හැකි වන්නේ මූල්‍යමය (Financial), ශ්‍රමික (Labor force) සහ යටිතල පහසුකම් (Infrastructure) යන අවශ්‍යතා සපයා ගැනීමට අදාළ නීති-රීති, අණ-පනත්, ව්‍යවස්ථා සහ රෙගුලාසි කර්මාන්තවලට හිතකර ලෙස සහ අනෙකුත් ක්ෂේත්‍රවලට අහිතකර නොවන ලෙස ඉතා දැඩි තත්ත්වයේ සිට දරාගත හැකි සරල සීමා දක්වා වෙනස් කිරීමට සහ යාවත්කාලීන කිරීමට නම්‍යශීලී වූ විට ය. එවිට ව්‍යාපාර ආරම්භ කිරීමටත් ඒවා පත්වාගෙන යාමට සහ ඈවර කිරීමටත් පහසුකම් සැපයෙන බැවින් ව්‍යවසායකයන් කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට පෙළඹේ. රාජ්‍ය ආදායම ඉහළ නැංවෙන්නේ එලෙස ව්‍යවසායකත්වය, නිෂ්පාදනය සහ අලෙවිය වර්ධනය වූ විට ය. ජනතාවගේ සමාජ තත්ත්වය ඉහළ නැංවීමට සහ රටේ යහපත් පරිපාලන ව්‍යුහයක් ක්‍රියාත්මක කිරීමට එවිට හැකි වේ.
කර්මාන්තවලට පහසු පරිසරය (Reforms) සකස් කිරීම සහ වත්කම් (Resources) වැඩිදියුණු කිරීමත් මේ සඳහා වැදගත් සාධක දෙකකි. ඒ අතරින් රජයට පහසු සහ මිලක් වැය නොවන කාර්යය වන්නේ ‘පහසු පරිසරයක් සකස් කිරීම’ ය. කර්මාන්ත සඳහා බලපත්‍ර (License) ලබා දීමේ ප්‍රමාදය, ප්‍රතිපත්තිවල අසමතුලිතතාව (Imbalance in Policies), අඩු ව්‍යවසායකත්ව ධාරිතාව (Low Entrepreneurial Capacity), දැඩි අභ්‍යන්තර නියාමන කොන්දේසි(Very Strict Domestic Regulatory Conditions), ඩිජිටල් තාක්ෂණික ක්‍රම භාවිතයේ බාධක (Barriers in Digital Technology Process), භූමිය අත්පත් කර ගැනීමේ සහ සංවර්ධනය කිරීමේ බාධක(Barriers in Land releasing and Development of Lands) යනාදී දුර්වලතා මඟහැරවීම ඉන් අදහස් කෙරේ. ඊට ප්‍රමුඛතාව දිය යුතු ය.
Scale-up and Start-up යන තේමා පාඨය ආදර්ශ කොටගෙන කර්මාන්ත අමාත්‍යාංශය මෙහෙයවන සමස්ත වැඩපිළිවෙළ ස්ථාවර ප්‍රතිපත්තිමය රාමුවක් මත ඒකීය දිශානතියකට ඉලක්කගත කිරීම කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අපේක්ෂාවයි. එහිදී රටේ කර්මාන්තවලට වෙන් කෙරෙන භූමි ප්‍රමාණය 0.04% සිට 1% දක්වා වර්ධනය කිරීම, රැකියා අපේක්ෂා කරන්නන්ට වඩා රැකියා සම්පාදනය කරනු ලබන ව්‍යවසායක ප්‍රතිශතය කර්මාන්ත ක්ෂේත්‍රයේ ශ්‍රම බලකායෙන් 2.8% සිට 10% දක්වා වර්ධනය කිරීම, ව්‍යාපාර කිරීමේ පහසුකම්වල ජාත්‍යන්තර දර්ශකය (Ease of doing Business Index) 50 දක්වාවත් ගෙන ඒම ද අපේක්ෂිතයි. වැඩවර්ජන සහ උද්ඝෝෂණ අවම කර ශ්‍රමිකයන්ගේ සේවා තෘප්තිය වැඩි කිරීමත් රටේ ඒකපුද්ගල අපනයන අගය 50%ට සහ දළ දේශීය නිෂ්පාදිතයට කර්මාන්ත අංශයේ දායකත්වය (GDP) 25%ට ගෙන ඒමත් පක්ෂ දේශපාලනයෙන් තොර රාජ්‍ය පරිපාලන න්‍යායපත්‍රයක් මත කර්මාන්ත අංශය ක්‍රියාත්මක කරවීමත් මගින් තිරසර සංවර්ධනය වෙත රට මෙහෙයවීම අනෙකුත් අපේක්ෂිත කාරණා ය. ඒ සඳහා මාධ්‍ය සහයෝගය අවශ්‍ය වන බව කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම අවධාරණයෙන් සඳහන් කළේ ය.
කර්මාන්ත ඩිජිටල්කරණය
2022 වර්ෂයේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ සංගණනය අනුව අවුරුදු 05-69ත් අතර ජනගහනයෙන් ඩිජිටල් සාක්ෂරතාව ඇත්තේ 36%කට පමණ ය. නාගරික ප්‍රදේශවල මේ අගය 48.9%ක් ද ග්‍රාමීය ප්‍රදේශවල 34%ක් ද වතුකරයේ 11%ක් ද වශයෙන් බෙදී යයි. මේ තත්ත්වය මත කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට ඇති අභියෝගය වන්නේ ඩිජිටල්කරණය උපයෝගී කරගෙන කර්මාන්ත ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සලස්වමින් අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා ගමන් කිරීමට පුද්ගල සහභාගිත්වය ලබා ගන්නේ කෙසේද? යන්නයි.
මණ්ඩලයේ ව්‍යාපාර සංවර්ධන නිලධාරී ඉරේෂ් පියතිලක පැවසුවේ ඒ සඳහා ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන් සහ කර්මාන්තවලට ඍජු සම්බන්ධයක් ඇති අනෙකුත් ක්ෂේත්‍රවල නියුතු වූවන්ගේ අන්තර්ජාල සාක්ෂරතාව (Internet Literacy) සහ තාක්ෂණික දැනුම (Technical Knowladge) පැවතීම අත්‍යවශ්‍ය බවයි. මණ්ඩලය ඊට ඩිජිටල් මෙවලම් (Digital Tools) සහිත ප්‍රවේශ දෙකකින් ක්‍රියාත්මක වේ. පළමුවැන්න මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය ඩිජිටල්කරණයට යොමු කිරීම(Process Digitalizataion) ය. දෙවැන්න ඩිජිටල් ප්‍රවේශය ශක්තිමත් කිරීම (Increesing Digital Accessibility) ය. www.idp.gov.lk සිය වෙබ් අඩවිය ඔස්සේ සුළු, මධ්‍ය සහ මහා පරිමාණ ව්‍යවසායකයන් නූතනත්වය කරා කැඳවීමට අදාළ ඩිජිටල් මෙවලම් රැසක් හඳුන්වා දී ඒවා සමාජගත කරවීමට කර්මාන්ත සංවර්ධන මණ්ඩලය යුහුසුළුව ක්‍රියා කරයි.
කර්මාන්තකරුවන් පුහුණු කිරීමේ යෙදවුම් පද්ධතිය (IDB Sri Lanka Training System/App), පුද්ගලික ව්‍යවසායක වෙබ් පිටුවක් විවෘත කර දීම, රැකියා බැංකු දොරටුව (Job Banking Potral), සිය ව්‍යාපාරයේ හෝ කර්මාන්තයේ පැනනැගෙන ගැටලු දිස්ත්‍රික් කාර්යාල සමග ZOOM තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කිරීමේ හෝ ස්වයං ව විසඳා ගැනීමේ ඉඩ පහසුකම (Business Clinique/Self Evaluation Registration Metrics), ඉඩම් සංචිතය (Digitalized Industrial Land Bank), ආයෝජක සංචිතය (Invester Pool), ප්‍රජා සංසදය (Community Forum), විද්‍යුත් වාණිජ වේදිකාව (E-Commerce Flatform), කර්මාන්ත කේන්ද්‍රය, අථත්‍ය ප්‍රතිබිම්බ ප්‍රදර්ශනය කර භාණ්ඩ විකුණුම් ක්‍රමය :ඪසරඑම්ක (Virtual Items) ඇතුළු ඩිජිටල් මෙවලම් රැසක් මේ වනවිට මණ්ඩලය හඳුන්වා දී තිබේ.
ව්‍යවසායකත්ව සංවර්ධනය
කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ (ව්‍යවසායකත්ව සංවර්ධන) රේණුකා ජයලත් සඳහන් කළේ වසර 5ක් ඇතුළත ව්‍යවසායක ප්‍රතිශතය 10%ක් දක්වා ඉහළ නංවාගැනීමට දායක වීම සිය ඉලක්කය වන බව ය.
පාසල් ව්‍යවසායකත්ව කව (School Entroprineurship Circles) පිහිටුවීම ඊට අදාළ එක් ක්‍රියාමාර්ගයකි. මේ යටතේ දැනටමත් ගුරුවරුන් 1000ක් පුහුණුකර ඇති අතර පාසල් 350ක ව්‍යවසායකත්ව කව 500ක් ආරම්භ කර ඇත. මේවායේ සමාජික දරුවන් සිය නිෂ්පාදන අපනයනය කර ආදායම් ඉපදවීමට ද සමත් ව සිටී. මෙ මගින් ඉදිරි වසර තුනෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමිවන දරුවන්ගෙන් විශාල සංඛ්‍යාවක් රැකියා සොයා නොගොස් ව්‍යවසායකත්ව මානසිකත්වයකින් යුතු ව රැකියා සම්පාදනය කරන්නන් බවට පත් වන බව මණ්ඩලයේ විශ්වාසයයි.
සරසවි ව්‍යවසායකත්ව සමාජ (University Entroprineurship Clubs) පිහිටුවීම යටතේ රුහුණ විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමග මණ්ඩලය ගිවිසුම්ගත ව ඇත. එයින් අපේක්ෂා කරන්නේ ව්‍යවසායකත්වයට සම්බන්ධ විෂය ධාරාවලින් උපාධි සපුරන සිසුන් රැකියා අපේක්ෂකයන් නොවී රැකියා සම්පාදකයන් වශයෙන් සරසවියෙන් පිටවන තත්ත්වයට පත්කිරීම ය. මීට අමතර ව වෘත්තීය අධ්‍යාපන ආයතනවලට සහ දහම් පාසල්වලට ද මේ සංකල්පය හඳුන්වා දෙයි.
ව්‍යවසායක විශිෂ්ටතා සම්මාන (Entroprineurship Exelence Awards) උළෙල පැවැත්වීම අනෙක් ක්‍රියාමාර්ගයයි. මේ යටතේ මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ ව එදා මෙදාතුර පැවැති දැවැන්තම සම්මාන ප්‍රදානෝත්සවය මෙවර පැවැත්විණි. එහිදී’කර්මාන්ත ක්ෂේත්‍ර 121කට අදාළ විශිෂ්ටයන් තෝරා සම්මාන 300ක් ප්‍රදානය කෙරිණි. සන්නාම විශිෂ්ටතා සම්මාන (Brand Exelence Awards) මීළඟ ක්‍රියාමාර්ගයයි. මේ සඳහා දැනටමත් ක්ෂේත්‍ර 125කට අදාළ ව අයදුම්පත්‍ර 500කට වඩා ලැබී ඇති අතර එයින් ප්‍රාදේශීය, ජාතික සහ අන්තර්ජාතික යන මට්ටම් තුනෙන් තෝරා ගන්නා විශිෂ්ටතම සන්නාම 120ක් සඳහා සම්මාන පිරිනැමේ. මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු වන සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලයි. Peo TV නාලිකා අංක 130 ඔස්සේ විකාශය වන Industry TV රූපවාහිනි නාලිකාව ඇරඹීම තවත් ක්‍රියාමාර්ගයකි. කර්මාන්ත ක්ෂේත්‍රය සම්බන්ධ අයගේ දැනුම වර්ධනයට ඉවහල් වන පැතිකඩ මෙහි සාකච්ඡාවට බඳුන් කෙරේ.
කර්මාන්ත සංවර්ධන අරමුදල
බැංකු ණය පහසුකම් ලබා ගැනීමේදී කර්මාන්තකරුවන් මුහුණදෙන ගැටලු සැලකිල්ලට ගෙන කර්මාන්ත සංවර්ධන පනතට අනුකූල ව ඇරඹූ අරමුදල (Industrial Development Fund) ද නවතම ක්‍රියාමාර්ගයකි. රුපියල් මිලියන 10කින් 2023 ඔක්තෝබර් මාසයේදී ඇරඹූ මේ අරමුදලෙන් දැනට කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් 73 දෙනකු වෙත 6%ක සහන පොලියට උපරිමය රුපියල් ලක්ෂ 5 දක්වා වන ලෙස ණය නිකුත් කර තිබේ. සරල ඇප කොන්දේසි මත නිකුත් කළ මේ ණය පියවීම සඳහා මාස 6ක සහන කාලයකුත් වසර 3ක ගෙවීම් කාලයකුක් ලබා දෙයි. මීට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ (RDB) සහයෝගය ලබා ගැනේ.
විදේශ වෙළෙඳපොළ ජය ගැනීම
අන්තර්ජාතික වෙළෙඳපොළ ඉලක්ක කරන (Export-oriented Manufacturing) නිෂ්පාදකයකු විසින් සපිරිය යුතු මූලික වැදගත් සාධක (Initial Success Factors) 3කි. ඒ, ගෝලීය තරගකාරී මිල ගණන් (Globaly Competitve Price), ගෝලීය තරගකාරී උසස් තත්ත්වය (Globaly Competitve Quality) සහ අඛණ්ඩ සැපයුම (Continously Supply) ය. මේවායින් එකක් හෝ අසම්පූර්ණ වූ විට එවැනි භාණ්ඩ අපනයනය කළ නොහැකි බව මණ්ඩලයේ අධ්‍යක්ෂ (ඉංජිනේරු) ඩබ්ලියු. ඒ. පී. කේ. නිශාන්ත ප්‍රකාශ කළේ ය.
මේ තත්ත්ව පවත්වා ගැනීමට දියුණු රටවල් අනුගමනය කළ උපායමාර්ග තිබේ. ඒ අතර වන නිෂ්පාදන වියදම අවම කර භාණ්ඩයේ ගුණාත්මක බව වැඩිකර ගැනීම, අමුද්‍රව්‍ය ආනයන බදු නිදහස් කිරීම හෝ අඩුකිරීම, ආනයන පාදක ආර්ථිකයෙන් (Import-oriented Economy) අපනයන පාදක ආර්ථිකයට (Export-oriented Economy) ගමන් කිරීම, කර්මාන්තවලට අවශ්‍ය යන්ත්‍ර-සූත්‍ර වැනි ප්‍රාග්ධන භාණ්ඩ ආනයන බදු නිදහස් කිරීම, කර්මාන්ත සඳහා ආයෝජකයන්ගේ මූලික අවශ්‍යතා (Basic Needs for Investers) රජයේ මැදිහත්වීමෙන් ඉටුකර දීම, ඔවුන් වෙනුවෙන් ආරක්ෂණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, සෑම දිස්ත්‍රික්කයක ම කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ඉංජිනේරු කාර්යාලයක් විවෘත කිරීම වැනි උපායමාර්ග මණ්ඩලය සැලසුම් කර ඇත. එවිට අපනයන ආදායම ඉහළ නංවාගෙන ගෙවුම් ශේෂ හිඟය (Balance of Payment) බින්දුව (0) දක්වා පහතට ගෙන ඒමට ශ්‍රී ලංකාවට පහසු වනු ඇත.
බාධා ඉවත් කිරීම
කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ (ප්‍රාදේශීය සංවර්ධන) පාලිත දික්වැල්ල, රටේ නිෂ්පාදනය වැඩි කිරීම අරබයා නිෂ්පාදකයන්ට සහ ව්‍යවසායකයන්ට පවතින බාධා ඉවත් කළ යුතු බව පැවසුවේ ය. මේ වෙනුවෙන් කර්මාන්ත ලියාපදිංචිය සඳහා වන ආකෘති පත්‍ර නැවත සකස් කර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම, 2022 වර්ෂයේ 3000ක් වූ මණ්ඩලය යටතේ පුහුණුව ලැබූ කර්මාන්තකරුවන් සංඛ්‍යාව 2023 වර්ෂයේදී 40,000ක් දක්වා වර්ධනය කිරීම, කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන පරීක්ෂා කර සහතිකකරණය සඳහා රසායනාගාරයක් ඉදිකිරීම, විදෙස් රටවල් සමග සම්බන්ධතා පවත්වමින් කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම පිණිස Connect Sri Lanka. වැඩසටහන නිර්මාණය කිරීම, මෙරට කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රදර්ශනවලට ඉදිරිපත් කිරීම පිණිස සම්බන්ධතා ජාලය සකස් කිරීම, ‘සිරිසර’ ජාතික කඳවුරු ඇති කිරීම, ‘Industry Ceylon’ සඟරාව පළ කිරීම, අනෙකුත් සෑම වෘත්තිකයකුට මෙන් ම කර්මාන්තකරුවන්ට ද පිළිගත් වෘත්තීය හැඳුනුම්පතක්, ලියාපදිංචි සහතිකයක්, වාහන අවසර පත්‍රයක් (Vehicle Pass) නිකුත් කිරීම වැනි දේ ක්‍රියාත්මක කර ඇත.
‘අරඹමු ජයගමු’ වැඩසටහන ඔස්සේ ප්‍රචාරණ අවකාශය පුළුල් කරන අතර මාධ්‍යවේදීන්ට ද ව්‍යවසායකත්ව පුහුණුව ලබා දී ඔවුන් ජාතික ආර්ථිකයට සක්‍රීය ලෙස දායක වන පිරිසක් බවට පත් කිරීමට ද කර්මාන්ත මණ්ඩලය සැලසුම් කර ඇත.
(අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් (Export-oriented Manufacturing Economy)’ උදෙසා මාධ්‍ය සහභාගිත්වය අපේක්ෂාවෙන් කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධාන කළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩමුළුව’ඇසුරිනි)
INDUSTRY EXPO 2024
ජුනි 19-23 දක්වා කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය (BMICH) කර්මාන්ත ක්ෂේත්‍රයත් දේශීය සමාජ ආර්ථික දේහයත් ඒකාබද්ධ ගමනකට අත්බැඳගැනීමේ මංගල්‍ය පැවැත්වීමට වෙන් කර ඇත. රටේ පවතින ආර්ථික බැස්ම නැග්මකට හැරවෙන සංධිස්ථානයක් බවට පත් කර ගත යුතු මේ අවස්ථාව Industry EXPO 2024 නම් වේ. අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා රට මෙහෙයවීමට කර්මාන්ත අමාත්‍යාංශය, ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන මෙය දිගුකාලීන ආර්ථික සැලසුමක මූලාරම්භයයි.
දේශීය සහ ජාත්‍යන්තර කර්මාන්තකරුවන් සහ ආයෝජකයන් වෙනුවෙන් වෙන් වෙන් වූ භූමිභාග සහිත මේ ප්‍රදර්ශනය ප්‍රදර්ශන කුටි 1300කින් සමන්විත ය.
ජුනි මස 18 දින මෙරට ව්‍යවසායකයන් දේශීය ව එකලස් කළ සහ නිෂ්පාදනය කළ වාහන සහිත ව ගාලුමුවදොර පිටියේ සිට ප්‍රදර්ශන භූමිය දක්වා පැමිණෙන ‘ජාතික රථවාහන පෙරහැර (National Vehicle Parade), පාසල් ව්‍යවසායකත්ව කව,IDB Digital One Stop Shop” Ceylon Plaza” Industry ණය යෝජනා ක්‍රමය, CEDA Startup and Scale up යන සුවිශේෂී අංග ද ප්‍රදර්ශනයට ඇතුළත් ය.
මේ ප්‍රදර්ශනයට සමගාමී ව ජුනි මස 20-21 දිනවල පැවැත්වෙන ‘තිරසර හරිත කර්මාන්ත සංස්කෘතියක් ප්‍රවර්ධනය උදෙසා පළමු ජාත්‍යන්තර සමුළුව (Green Industry initiative for Sustainable Industry Development) ඉලක්කගත වන්නේ ‘තිරසර හරිත කර්මාන්ත උදෙසා වන සම්මාන උළෙල (Industry Green Awards) පැවැත්වීමට ය.
Industry EXPO 2024 ප්‍රදර්ශනයේදී දේශීය කර්මාන්තකරුවන්ට සහ ව්‍යාවසායකයන්ට නව දැනුම ලබා ගැනීමටත් ව්‍යපාරික සම්බන්ධතා ජාලය පුළුල් කර ගැනීමටත් නව ආයෝජකයන් සහ ගැනුම්කරුවන් හඳුනා ගැනීමටත් කර්මාන්ත ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට අදාළ පහසුකම් හා සේවා සපයා ගැනීමටත් හැකි වේ. එමගින් තම නිෂ්පාදනවලට දේශීය ව සහ අන්තර්ජාතික මට්ටමින් වන වෙළෙඳපොළ පුළුල් වන බැවින් සිය නිෂ්පාදන සඳහා අලෙවිය වර්ධනය කරගෙන ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීමට මේ ප්‍රදර්ශනය තෝතැන්නක් කර ගැනීමේ හැකියාව පවතී. එමගින් දේශීය ආර්ථිකයට ලබා දිය හැකි දායකත්වය සුළුපටු නොවේ.