යොවුන් ක්‍රිකට් කිරුළ කැන්ගරුවන්ට
- අනිල් වීරසිංහ
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබුණත් පසුව දකුණු අප්‍රිකාවේ පැවත් වූ වයස අවුරුදු 19න් පහළ 2023-24 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාව ජයගැනීමට හග් වෙයිබ්ජන්ගේ නායකත්වයෙන් යුතු ඕස්ටේ්රලියාව සමත් වුණා. ඒ, පෙබරවාරි 11 දින පැවති අවසන් තරගයෙන් ඉන්දියාව පරදවමිනි. ඕස්ටේ්රලියාව මෙම තරගය ජයගත් සිව් වැනි අවස්ථාව වන අතර මෙවර ඔවුන් එය ජය ගත්තේ 2009-10 තරගාවලියෙන් පසුව වීමත් විශේෂත්වයකි.
ජගත් ක්‍රිකට් සමුළුව විසින් මුලින් ම යොවුන් ලෝක කුසලාන තරගාවලියක් නැතහොත් වයස 19න් පහළ ලෝක කුසලාන තරගාවලියක් සංවිධානය කරනු ලබන්නේ 1997-98 ක්‍රිකට් තරග වාරයේ සිට වුවත් මේ සඳහා පදනම වැටෙන්නේ 1987-88 ක්‍රිකට් තරග වාරයේ ය. එවර මෙය ඕස්ටේ්රලියා ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කර තිබුණේ 1788 මුලින් ම බි්රතාන්ය ජාතික කැප්ටන් ආතර් පිලිප් ඇතුළු නාවික හමුදාව ඕස්ටේ්රලියාවට ගොඩ බැස ඕස්ටේ්රලියාව සොයාගෙන වසර 200ක් සම්පුර්ණ වීම හේතුවෙනි. මේ සඳහා සුප්‍රකට මැක්ඩොනල්ඩ්ස් ආයතනය අනුග්‍රහය දැක්වූ අතර ඒ වන විට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත ව සිටි ඕස්ටේ්රලියාව, එංගලන්තය, කොදෙව් දූපත්, නවසීලන්තය, ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව යන රටවල් 07ට අමතර ව ජගත් ක්‍රිකට් සමුළුවේ පුර්ණ සාමාජිකත්වය නොලද රටවල ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කණ්ඩායමක් ද එදා මෙම තරගාවලිය නියෝජනය කළේ ය. එම තරගාවලියේ ශුරතාව ජෙෆ් පාකර්ගේ නායකත්වයෙන් සත්කාරක ඕස්ටේ්රලියාව අත්කර ගත්තේ අවසන් තරගයේදී පාකිස්තානය පරාජය කරමිනි.
එදා මෙම තරගාවලිය නියෝජනය කළ යොවුන් ක්‍රීඩකයන් රැසක් ම පසුකලෙක ජගත් ක්‍රිකට් පිටියේ වීරයන් බවට පත්වීම මෙහිදී අමතක නොකළ යුතුයි. මේ අතරින් ඕස්ටේ්රලියාවේ ස්ටුවට් ලෝ, එංගලන්ත කණ්ඩායම මෙහෙයවූ මයිකල් ඇතර්ටන්, නසාර් හුසේන්, මාක් රාම්ප්‍රකාෂ්, ඉන්දියාවේ වෙන්කතිපති රාජු, ප්‍රවීන් අම්රේ, නයින් මොන්ගියා, ශ්‍රී ලංකාවේ සනත් ජයසුරිය, රොමේෂ් කළුවිතාරණ, චන්දික හතුරුසිංහ, සංජිව රණතුංග, කොදෙව් දුපත් පිල එදා මෙහෙය වූ බ්‍රයන් ලාරා, එම කණ්ඩායමේ ම ජිමි ඇඩම්ස්, නවසීලන්තයේ ක්‍රිස් කෙයාන්ස්, පාකිස්තානයේ ඉන්සමාමුල් හක්, අකිබ් ජාවෙඩ්, මුෂ්තාක් අහමඩ් වඩාත් විශේෂ වේ.
ඒ වන විටත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර තිබු සංජිව වීරසිංහත් මෙම තරගාවලිය සඳහා එදා ශ්‍රී ලංකා යොවුන් පිල නියෝජනය කිරීම ශ්‍රී ලංකාවට සුවිශේෂ කරුණකි. ඊට පෙර ඔහු 1985 වසරේ ඉන්දියාවට එරෙහි ව වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ඓතිහාසික ජයග්‍රාහී ටෙස්ට් තරගය වයස අවුරුදු 17දී කොළඹ ඉසිපතන විදුහල් පාසල් ක්‍රීඩකයකු ව වශයෙන් සිට නියෝජනය කළේ ය. 1987-88 තරගාවලියේ වේග පන්දු යවන්නකු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කළ ජොහාන් සමරසේකර පසු කලෙක එක්සත් අරාබි එමීර් කණ්ඩායම නියෝජනය කිරීමත් විශේෂ කරුණකි. අවසන් වටයට පිවිසෙන්නට අසමත් වුණත් එදා රොහාන් වීරක්කොඩිගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම තරග 07කට සහභාගි වී ඉන් තරග 03ක් ජය ගත්තේ එංගලන්තය, ඉන්දියාව මෙන් ම ජගත් ක්‍රිකට් සමුළුවේ පූර්ණ සාමාජිකත්වය නොලද රටවල කණ්ඩායමත් පරාජය කරමිනි.
මෙම තරගාවලියෙන් පසු නැවත වරක් මෙවැනි තරගාවලියක් වසර 10ක් පමණ ගතවනතුරු දැකගත නොහැකි විය. අවසානයේදී ජගත් ක්‍රිකට් සමුළුව තීරණය කළේ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියක් තම සංවිධායකත්වය යටතේ වසර 02කට වරක් පැවැත්වීමට ය. මේ අනුව 1997-98 තරගවාරයේ මෙය දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන්නේ රටවල් 16ක සහභාගිත්වයෙනි. එවර සහභාගි වූ රටවල් අතරට ඒ වනවිට ටෙස්ට් තත්ත්වයේ සිටි ඕස්ටේ්රලියාව, එංගලන්තය, කොදෙව් දූපත්, නවසීලන්තය, සිම්බාබ්වේ, ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව යන රටවල් මෙන් ම බංග්ලාදේශය, කෙන්යාව, ස්කොට්ලන්තය, පැපුවා නිව්ගිනි, අයර්ලන්තය, ඩෙන්මාර්කය, නැමීබියාව වැනි ටෙස්ට් තත්ත්වය නොතිබූ රටවල් ද විය. මෙම තරගාවලියේ ශුරතාව එංගලන්තයට අත්වුණේ අවසන් තරගයේදී නවසීලන්තය පරදවමිනි. එතැන් සිට තරගමාලා ඉතිහාසයේ මෙම තරගාවලිය පැවැත්වෙන්නේ කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් වන අතර 2023-24 තරගාවලිය මෙවර පැවැත්වුණේ 15 වැනි වරට ය. 2000 වසරට පෙර ටෙස්ට් පිටියේ සිටි අනෙකුත් සියලු ම රටවල් මේ දක්වා මෙහි ශුරතාව ජයගැනීමට සමත් ව ඇතත් ශ්‍රී ලංකාව, නවසීලන්තය හා සිම්බාබ්වේ යන රටවලට තවමත් එක ම අවස්ථාවක හෝ මේ තරගාවලිය ජයගැනීමට අවස්ථාව නොලැබීම විශේෂ කරුණකි. මෙහි තවත් වැදගත් සිදුවීමක් වන්නේ 2000 වසරේ ටෙස්ට් වරම් අත්කර ගත් බංග්ලාදේශය පවා මෙහි ශුරතාව අත්කරගෙන තිබීම ය. මේ අතරින් ශ්‍රී ලංකාව හා නවසීලන්තය මෙහි අවසන් තරගවලට පිවිස ඇතත් එම අවස්ථාවල ශුරතාව ජයගැනීමට සමත් නොවී ය.
එදා මෙදාතුර මෙම තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයන් අතරින් ඉන්දියාවේ ශිකර් ධවාන්, පාකිස්තානයේ බාබර් අසාම්, සිම්බාබ්වේහි ටටෙන්ඩර් තයිබු, නවසීලන්තයේ ටීම් සවුති, දකුණු අප්‍රිකාවේ එඩ්රියන් මාක්රම්, ග්රැහැම් ස්මිත්, ඕස්ටේ්රලියාවේ කැමරන් වයිට් වැනි ක්‍රීඩකයන් පසු කලෙක තම රටේ කණ්ඩායම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙහෙයවීමට පවා අවස්ථාව ලබාගෙන තිබිමත් කැපී පෙනෙන කරුණකි.
2023-24 තරගාවලියේ ජයග්‍රහණයත් සමගින් ඔස්ටේ්රලියාව තරගමාලා 04ක ද ඉන්දියාව තරගමාලා 05ක ද පාකිස්තානය තරගමාලා 02ක ද එංගලන්තය, දකුණු අප්‍රිකාව, කොදෙව් දුපත් හා බංග්ලාදේශය එක් අවස්ථාව බැගින් ද මෙහි ශුරතාව දිනා ගැනීමට සමත් ව ඇත.
මෙවර තරගාවලියේ වීරයා මෙන් ම වැඩි ම කඩුලු දවාගත් ක්‍රීඩකයා ලෙස දකුණු අප්‍රිකාවේ ක්වෙනා මපාකා කැපී පෙනුණේ තරගාවලියේ කඩුලු 21ක් දවා ගනිමිනි. ඉන්දීය පිලේ උදය සහරාන් සමස්ත ලකුණු 397ක් ලබා ගනිමින් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත් විය. ඉන්දියාවේ උපත ලබා නවසීලන්තය නියෝජනය කරන එස්.ඩි.ඩේවි රෙඩ්ඩි නේපාලයට එරෙහි ව ලකුණු 147ක් නොදැවී ලබා ගැනීම මෙවර තරගාවලියේ පිතිකරුවකු ලැබූ වැඩි ම ලකුණු සංඛ්‍යාව වන අතර එංගලන්තයේ ටසිම් චවුද්රි අලි සිම්බාබ්වේ පිලට එරෙහි ව 29 / 07 ලෙස සටහන් කළ පන්දු යැවීම මෙවර තරගයක දැක ගැනීමට ලැබුණු හොඳම පන්දු යැවීම ලෙසත් සටහන් විය.
ජයග්රාහි ඕස්ටේ්රලියා කණ්ඩායම මෙවර තරග 07කට සහභාගි වී ඉන් තරග 06ක් ජයගැනීමට සමත් වූ අතර එක තරගයක් අවසන් වුණේ තීරණයක් නොමැති ව ය. ඉන්දියාව ද තමන් සහභාගි වූ තරග 6/7ක් ම ජයගැනීමට සමත් වුණත් අවසන් තරගයේ පරාජය ඔවුන් මෙවර ලැබූ එක ම පරාජය බවට පත් විය.`