#විදේශ විත්ති

යුද ගැටුම් පැටව් ගහන පලස්තීන ගැටලුව

  • මොහාන් සමරනායක

යුද්ධය විෂය කොටගත් අරුත්බර කියමන් රැසක් මානව සාහිත්‍යයේ දක්නට පුළුවන්. “යුද්ධය මිනිසාගේ පැරණිතම අත්දැකීමයි” යන්න එක් කියමනක්. එයින් අදහස් වන්නේ මිනිසා පෘථිවිය මත පහළ වූ දා සිට යුද්ධ කළ බව. මේ කියමන සත්‍යයක්. මනුෂ්‍යයා වනාන්තරයේ ජීවත් වන විටත් ඉන් එළියට පැමිණි විටත් එකිනෙකා සමග, ජාතීන් සමග සටන් කළා. යුද්ධ කළා. ක්‍රිස්තු පූර්ව 04 වැනි සියවසේ ග්‍රීසියේ විසූ ප්ලේටෝ නමැති විශිෂ්ට දාර්ශනිකයා වරක් සඳහන් කළා යුද්ධයේ අවසානය දැක ඇත්තේ මළ මිනිසා පමණකැයි කියා. ඉන් අදහස් වන්නේ ජීවත් වන සියලු‍ දෙනාට නැවත නැවතත් යුද්ධය දකින්නට සිදු වන බව. මේ කියමනත් සනාතන සත්‍යයක් පවතින මේ සමාජ සන්දර්භය ඇතුළත. නිදසුනක් ලෙස නිරවි යුද්ධය පැවැති සමයේ ලෝකයේ බොහෝ දෙනා විශ්වාස කළා බල කඳවුරු අතර තරගය අවසන් වූ විට ලෝකයෙන් යුද්ධ තුරන් වනු ඇතැයි කියා. 1991 වසරේදී සෝවියට් දේශය බිඳ වැටීමෙන් නිරවි යුද්ධය අවසානයකට පැමිණියා. නමුත් යුද්ධ නතර වුණේ නැහැ. 21 වැනි සියවසේත් අප කතා කරන මොහොතේ මනුෂ්‍ය වර්ගයාට ඉතා ම බියකරු ප්‍රතිවිපාක ඇතිවිය හැකි යුද්ධ දෙකක් සිදු වෙමින් තිබෙනවා. එක් යුද්ධයක් වන්නේ 2022 පෙබරවාරි මාසයේ ආරම්භ වූ රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය. එය කවදා නිම වේවිදැයි කියන්නට සාක්ෂි තව ම නැහැ. අනෙක දැන් සිදුවෙමින් තිබෙන ලෙබනනය සහ ඊශ්‍රායලය අතර යුද්ධය.

නොබෝදා (ඔක්තෝබර් 01) ඉරානය ඊශ්‍රායලයට කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයේදී බැලස්ටික් මිසයිල 180ක් හෝ ඊට මඳක් වැඩි සංඛ්‍යාවක් භාවිත කළ බවට වාර්තා තිබෙනවා. ඊශ්‍රායලය පවසන්නේ එම මිසයිලවලින් වැඩි සංඛ්‍යාවක් තමන් ගුවනේදී ම විනාශ කළ බව. එකක් දෙකක් පමණක් ඉලක්ක කරා ළඟා වුණා. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියා මේ ඉරාන ප්‍රහාරයෙන් සිදු වී ඇති හානියක් දක්නට නැති බව.

දැන් බිය පළ ව තිබෙනවා ඊශ්‍රායලය ඉරාන ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර දෙනු ඇතැයි කියා. මෙවර ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාරය ඉතා ම විනාශකාරී එකක් වන බවයි බොහෝ විචාරකයන්ගේ අදහස. මා කිව යුතුයි මා මේ කියන දේ ඊළඟ මොහොතේ අසත්‍ය වන්නට පිළිවන්. ඊශ්‍රායලය බොහෝ විට ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් සහිත ප්‍රදේශවලට, ඉරානයේ තෙල් කර්මාන්තය කේන්ද්‍රගත ව ඇති ප්‍රදේශවලට දැවැන්ත ප්‍රහාරයක් දීමට ඉඩ තිබෙනවා. එවැන්නක් සිදු වුවහොත් එහි ප්‍රතිඵලය සටන් වදින අයට පමණක් නොවෙයි අප සියලු‍ දෙනාට ම, මුළු ලෝකයට ම අතිශය අනර්ථකාරී වේවි.

ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට කලින්, පසුගිය දවස් කිහිපයේ ඊශ්‍රායලය ලෙබනන් අගනුවර බේරූට් නුවර දහියා නමැති ස්ථානයකට කළ මහා පරිමාණ ප්‍රහාරය නිසා ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හිස්බුල්ලා නමැති සටන්කාමී සංවිධානයේ නායක (ඔහු ප්‍රකට චරිතයක්) හසන් නස්රල්ලා ඝාතනය වුණා තවත් අය සමග. මෙය මැදපෙරදිග කලාපයේ විශාල කම්පනයක් ඇති කළා පමණක් නොව ලෝකයේත් කම්පනයක් ඇති කළා. ඊශ්‍රායලය, නස්රල්ලා ඝාතනය හැඳින්වූයේ දශක ගණනකදී අත්කරගත් තීරණාත්මක ජයග්‍රහණයක් ලෙස. නැත්නම් මැදපෙරදිග භූ දේශපාලන සිතියම නැවත නිර්මාණය කිරීමේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස. නමුත් අනෙක් පාර්ශ්වය මේ පිළිබඳ ව බලවත් කෝපයට පත් ව තිබෙනවා. ඒ ප්‍රහාරයත් සමග ම ඉරානය ප්‍රකාශ කළා මේ පහරදීමට පළිනොගෙන යන්නට ඉඩ නොතබන බව. දැන් එය සිද්ධ වී තිබෙනවා. යුද්ධය දිගින් දිගට ම ඇදී යමින් තිබෙනවා. ඉරානය කියන්නේ තමන් ප්‍රහාරය එල්ල කළේ හිස්බුල්ලා නායක නස්රල්ලා ඝාතනය, ඊට කලින් පලස්තීනයේ හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ටෙහෙරාන් නුවර මන්දිරයක සිටියදී ඝාතනය කිරීම වැනි සාධක මුල්කරගෙන බව. ඊට අමතර ව පසුගිය දවස්වල හිස්බුල්ලා නායකයා ඝාතනය කිරීමට පෙර දවස් දෙකක් අඟහරුවාදා සහ බදාදා ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් සහ තවත් අය භාවිත කරන පේජර් සහ වෝකිටෝකි යන සන්නිවේදන උපකරණ දහස් ගණනක් පුපුරා ගියා. මෙය සැලසුම්සහගත ව කළ යුද ප්‍රහාරයක් ලෙසයි පිළිගැනෙන්නේ. ඇතැම් අයගේ මතය එය අන්තර්ජාතික යුද අපරාධයක් බව. මන්ද මේ කවර හෝ පෙජර් හෝ වෝකිටෝකි යන්ත්‍රයක් භාවිත කරන්නේ එය ආරක්ෂා සහිත එකක් බව සිතාගෙන. නමුත් ඊශ්‍රායලය දක්ෂ ලෙස එය යුද අරමුණක් සඳහා ප්‍රයෝජනයට ගෙන තිබෙනවා. මේ දක්නට තිබෙන්නේ මිනිසුන් ඝාතනය කිරීමට තිබෙන ඊශ්‍රායලයේ හැකියාව සහ උපායමාර්ගය. මේ විදිහට මෙය අතරක් නැති ව වරක් උඩට එමින්, උච්ච අවස්ථාවකට යමින්, වරක් යටපත් වී, නැවත මතුවන ගැටුමක්. මෙය තව කොපමණ කලක් ඇදී යනු ඇත්ද කියා මේ මොහොතේ කිසිවකුටත් නිශ්චය කරන්නට පිළිවන්කමක් නැහැ. මීට පෙර 2006 වසරේදී ලෙබනනයේ හිස්බුල්ලාවරුන් සහ ඊශ්‍රායලය අතර බරපතල සටන් ඇති වුණා. අවසානයේදී ඊශ්‍රායලයට ඉමහත් පාඩු සිද්ධ වුණා. හිස්බුල්ලාවරුන්ටත් එහෙමයි. එතැනින් නතර වුණා. ඊට කලින් 1982 වසරේදී ලෙබනනය ආක්‍රමණය කරනු ලැබුවා ඊශ්‍රායලය විසින්. 1975 සිට 1990 වසර දක්වා ලෙබනනයේ ඉතාම විනාශකාරී භයානක අභ්‍යන්තර සිවිල් යුද්ධයක් ඇදී ගියා වසර 15ක් තිස්සේ. මේ අතරක් නැති ගැටුම් ඉරානයට හෝ ඊශ්‍රායලයට සහ ලෙබනනයට සීමා වන්නේ නැහැ. මේ ගැටුමේ පාර්ශ්ව කිහිපයක් ම තිබෙනවා. එකක් ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලාවරුන් අතර. අනෙක ඊශ්‍රායලය සහ පලස්තීනය හා ගාසා තීරයේ හමාස් සටන්කරුවන් අතර. ඊළඟට ඊශ්‍රායලයේ සහ යේමනයේ හූති සටන්කරුවන් අතර. ඊළඟට ඊශ්‍රායලයේ සහ ඉරාකයේ ක්‍රියාත්මක වන ඉස්ලාමීය සටන් කණ්ඩායම් අතර. අවසාන වශයෙන් ඊශ්‍රායලය සහ ඉරානය අතර.

මෙසේ ඇදෙමින් තිබෙන මේ යුද්ධය පිළිබඳ තොරතුරු ජනමාධ්‍ය ඔස්සේ අපට අසන්නට පිළිවන්. කියවන්නට පිළිවන්. රූපරාමු බලන්නට පිළිවන්. නමුත් මා දකිනවා මේ යුද්ධයට හේතුව කුමක් ද? යුද්ධය මේ විදිහට කෙළවරක් නැති ව සිදු වන්නේ මන්ද? එය නතර කළ හැක්කේ කෙසේද? යන්න ගැන තිබෙන අවධානය බෙහෙවින් අඩු බව. ඇතැම් විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අයිති වන්නේ ලෝකය පාලනය කරන බලවතුන්ට නිසා, ධන හිමි පන්තිවලට නිසා ඔවුන් මේ පිටුපස තිබෙන කටුක සත්‍යය, යථාර්ථය වසන් කරන්නට උත්සාහ කරන බව පැහැදිලි ව දකින්න පිළිවන්. මේ අතරක් නැති යුද්ධයට ප්‍රධාන හේතුව වන්නේ ‘මැදපෙරදිග අර්බුදය’ නමින් අප කාලයක් තිස්සේ හඳුන්වන සාධකය. මැදපෙරදිග අර්බුදයේ මදය, න්‍යෂ්ටිය නිර්මාණය කරන්නේ පලස්තීන ජනතාවට තමන්ගේ රාජ්‍යය අහිමි වීම. මෙය බොහෝ සෙයින් කතා වී තිබෙන මාතෘකාවක් නිසා ඉතාම කෙටියෙන් සඳහන් කළහොත් පලස්තීනය නමින් හඳුන්වන කුඩා භූමි ප්‍රදේශයේ 1948 වසරේ මැයි මස 14 දින ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් ස්ථාපනය කෙරෙනවා, එහි කලක් තිස්සේ ඇති වූ ගැටුම්වලට විසඳුමක් ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සම්මත කළ යෝජනාවක් අනුව. ඊශ්‍රායල් රාජ්‍යය ස්ථාපනය කළ දිනට පසු දවසේ ම ප්‍රථම ආරාබි-ඊශ්‍රායල් යුද්ධය ආරම්භ වනවා. ඉන් පස්සේ 1956දී, 1967දී, 1973දී ආදී වශයෙන් මේ යුද්ධය අතරක් නැති ව ඇදී යනවා. මේ යුද්ධයේ මූලික නිධානය පලස්තීන ජනයාට තමන්ගේ දේශය අහිමි වීම. 1948දී ඊශ්‍රායලය බිහිවන කාල පරාසයේදී පලස්තීන ජනයා ලක්ෂ ගණනින් වෙන රටවලට පලා ගියා. මන්ද ඔවුන් ඝාතනයට, මර්දනයට, පීඩනයට ලක්වූ නිසා. එදා පලා ගිය සංඛ්‍යාව 750,000ක් පමණ. අද එම සංඛ්‍යාව මිලියන 04 ඉක්මවා තිබෙනවා. එසේ පලා ගිය පලස්තීන සරණාගතයන් අතරින් ඔවුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීම සඳහා කණ්ඩායම් රැසක් බිහිවුණා. එයින් ප්‍රමුඛ සංවිධානය, පලස්තීන විමුක්ති සංවිධානයයි කලකට පෙර ප්‍රකට චරිතයක් වූ යසර් අර්ෆත් නායකත්වය දුන්. එක් අවස්ථාවකදී මේ පලස්තීන විමුක්ති සංවිධානය ලෙබනනය තමන්ගේ මූලස්ථානයකොට ගත්තා. ඒකට හේතුවක් තිබුණා. මන්ද පලා ගිය පලස්තීන සරණාගතයන් රාශියක් ලෙබනනයේ කඳවුරුවල ජීවත්වීම නිසා. එසේ ලෙබනනයේ ස්ථානගතවූ පලස්තීන සරණාගත කණ්ඩායම් සන්නද්ධ බලයක් බවට පත් ව, වරින්වර ඊශ්‍රායලයට පහර දෙන්න පටන් ගත්තා. ඒ නිසයි ඊශ්‍රායලයේ වෛරය, කෝපය ලෙබනනය දෙසට යොමුවන්නේ.

මේ සියලු‍ තොරතුරුවලින් අපට එළැඹිය හැකි නිගමනය නම් මුළු මහත් මැදපෙරදිග කලාපය ම ගිනි ජාලයකට ඇද දමා, ඒ ගිනි ජාලාවෙන් සමස්ත මානව වර්ගයා ම යම් යම් ප්‍රමාණයකට පිළිස්සී යන මේ ගැටුම පිටුපස තිබෙන මූලික සාධකය පලස්තීන ජනයා පිළිබඳ ප්‍රශ්නය බව. සටන් කරන පිරිස් මර්දනය කිරීමෙන් පමණක් ප්‍රශ්නයට විසඳුමක් සෙවිය නොහැකි බව ඊශ්‍රායලයට ආයුධ, අරමුදල්, නවීනතම මිසයිල ආදිය සපයන, ඩොලර් බිලියන ගණනින් සපයන ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර යුරෝපය තේරුම් නොගන්නාතාක් කල් මේ ගැටලු‍ව විසඳීමට හැකි වනු ඇතැයි සිතන්නට බැහැ. අතීතයේදී නම් මෙසේ මර්දනයෙන්, ඝාතනයෙන්, සමූල ඝාතනයෙන් එවැනි ප්‍රශ්න විසඳිය හැකි වාතාවරණයක් තිබුණත් අද එම පරිසරය මුළුමනින් ම පාහේ වෙනස් වී තිබෙනවා. කෙටි කලකදී අරගල කරන පිරිස්, පලස්තීන සටන්කරුවන් මර්දනය කරන්න පුළුවන්. නමුත් දිගුකාලීන ව එය කළ හැකි දෙයක් නොවෙයි. ප්‍රශ්නයට තිබෙන විසඳුම දැනට ලෝක ප්‍රජාව යෝජනා කර තිබෙන, බොහෝ රටවල් පිළිගන්නා අන්දමට පලස්තීනයේ රාජ්‍ය දෙකක් ස්ථාපනය කිරීම. දැනටමත් එක් රාජ්‍යයක්, එනම් යුදෙව් රාජ්‍යය පවතිනවා. පලස්තීන ජනයාටත් තමන්ට පිළිගත හැකි කොන්දේසි යටතේ තමන්ගේ අභිමානය, අයිතිවාසිකම් ආරක්ෂා වන රාජ්‍යයක් නිර්මාණය කළ යුතුයි. එසේ නොකරනතාක් කල් අපට නැවත නැවත මේ ප්‍රශ්නය ගැන කතා කරන්නට ලැබේවි.

සටහන
කාංචනා සිරිවර්ධන