#සාහිත්‍ය

යා දෙක නොරත රත

  • නුවන් කුමාර කටුගම්පල

මැතිවරණ කාලසීමාවකි. සාහිත්‍ය මාසයේ දේශපාලනය කරළියට පැමිණීම සාහිත්‍යයට බලපෑමක් ඇතිකරයි ද? යන කසුකුසුව සාහිත්‍ය ක්ෂේත්‍රයේ මතු වෙමින් තිබේ. එබැවින් දේශපාලනය යන පුළුල් අර්ථයත් මැතිවරණය, පක්ෂ දේශපාලනය වැනි සංකල්පත් සාහිත්‍යයත් පිළිබඳ තතු බිඳක් මතු කර ගනු රිසියෙන් ප්‍රවීණ සාහිත්‍යධරයකු සමග මෙම කතාබහ සිදු වේ.

ප්‍රශ්නය; සාහිත්‍ය සහ දේශපාලනය අතර තිබෙන්නේ සහසම්බන්ධයක් ද? ප්‍රතිවිරෝධතාවක් ද?
පිළිතුර; සෑම දෙයක් ම දේශපාලනිකයි. දේශපාලනයෙන් වියුක්ත කිසිවක් නැහැ. ඒ අනුව සාහිත්‍යයත් මුළුමනින් ම දේශපාලනිකයි. නමුත් අප වරද්දා ගත්තේ සාහිත්‍යය සහ පක්ෂ දේශපාලනය පටලවා ගැනීමෙන්. බොහෝ විට සාහිත්‍යකරුවා කිසියම් දේශපාලන පක්ෂයක සාමාජිකයකු හෝ යම් මතවාදයක් දරන්නකු බවට පත්වී එය තමන්ගේ සාහිත්‍ය භාවිතාව සමග ක්‍රියාත්මක කරන්නට පටන් ගත් තැන් පටන් මේ පටලැවිල්ල නිර්මාණය වනවා. දේශපාලන මතය යනු තමා අනුගත පක්ෂයක හෝ මතවාදයක් දරන කණ්ඩායමක සියල්ල කරබාගෙන පිළිගැනීම නොවෙයි. එහි මනුෂ්‍යයාට නොගැළපෙන වරදකාරී ක්‍රියා පිළිවෙත්වලට එරෙහි වීමත් සාහිත්‍යකරුවාගේ දේශපාලනයමයි. ඒ අර්ථයෙනුයි සාහිත්‍යය දේශපාලනික වන්නේ. එය දේශපාලනයෙන් ගළවා ‘තමා දේශපාලනික නෑ’ යනුවෙන් කිසියම් සාහිත්‍යකරුවකු ඇඟ බේරා ගැනීමේ ප්‍රකාශ කරයි ද? එම ප්‍රකාශය ද දේශපාලනිකයි. දේශපාලනය යන පුළුල් අර්ථයෙහි තිබෙන්නේ පක්ෂ කිහිපයක ප්‍රතිපත්තිවලට සීමා වූ දෙයක් නොවෙයි. ඊට වඩා පුළුල් දෙයක්. එතැනට ගමන් කිරීමයි අප සාහිත්‍යකරුවන් වශයෙන් කළ යුතු කාර්යය. උදාහරණයක් ලෙස මැක්සිම් ගෝර්කිට බොහෝ අය චෝදනා කරනවා ඔහු ස්ටාර්ලින්වාදියෙක් ය, සමාජවාදයට පක්ෂ වූවෙක් ය, මාක්ස්වාදය ගරු කළ අයෙක් ය, ලෙනින්ගේ මිත්‍රයෙක් ය කියා. නමුත් ඔහුගේ සාහිත්‍ය නිර්මාණ ගැඹුරින් කියෙව්වොත් පැහැදිලි වනවා, ඊට වඩා පුළුල් මානුෂීය සමාජ කාරණා වෙනුවෙන් ඔහු පෙනී සිටි බව. සමාජවාදී සන්දර්භයක වුණත් මිනිස්සුන්ට එරෙහි ව වැරදි සිදු වන විට පාලකයන්ට එරෙහි ව ඔහු සාහිත්‍යය අවියක් ලෙස භාවිත කළා. ‘අකාල චින්තා’ ලෙස රන්ජන් සේනාසිංහ සිංහලට පරිවර්තනය කළ ගෝර්කිගේ Untimely Thoughts වැනි කෘතිවලින් පැහැදිලි වන්නේ ගෝර්කි, ලෙනින්ට පවා අභියෝගාත්මක ව ලියූ බව. පාක්ෂිකත්වය, දේශපාලන මතවාදය හෝ මිත්‍රත්වය වැනි කාරණා සාහිත්‍යයට අදාළ කර නොගත යුතු බවයි ඉන් කියැවෙන්නේ. සාහිත්‍යකරුවාගේ දේශපාලනය විය යුත්තේ එවැන්නක්.

ප්‍රශ්නය; සාහිත්‍යකරුවා් කළ යුත්තේ පාලකයන්ට එරෙහි වීම ද?
පිළිතුර; නැහැ. සාහිත්‍යකරුවාගේ පරම වගකීම විය යුත්තේ මනුෂ්‍යත්වයට පක්ෂග්‍රාහී වීම. මනුෂ්‍යත්වයට පක්ෂ වන විට සමහර දේශපාලනික සහ වෙනත් දේවලට එරෙහි වන්නට සිදු වනවා. එය තීරණය වන්නේ දේශපාලකයා මනුෂ්‍යත්වයට නොගැළපෙන යම් දෙයක් ක්‍රියාවට නංවන විට, ඒ අදාළ කාරණාවට අනුව තමාගේ දේශපාලන ස්ථාවරය සහ පක්ෂය වුව ද විවේචනයට සහ විචාරයට ලක් කරන්නට තරම් සාහිත්‍යකරුවා මානුෂීය වීම මතයි. එරෙහි වීම යනුවෙන් අදහස් කරන්නේ පවත්නා ක්‍රමය මිනිසාට සතුරුනම් පමණක් ඊට එරෙහි වීමයි. මනුෂ්‍ය පැවැත්මට එරෙහි සෑම දෙයකට ම එරෙහි වීම සාහිත්‍යකරුවාගේ වගකීමක්.

ප්‍රශ්නය; පක්ෂ දේශපාලනය සහ සාහිත්‍යය අතර පැවතිය යුත්තේ කවරාකාර ගනුදෙනුවක් ද?
පිළිතුර;
සාහිත්‍යකරුවා සෑම විට ම දේශපාලන පක්ෂවලට ඉදිරියෙන් සිටිය යුතුයි. තමා සාමාජිකත්වය දරන පක්ෂයේ වුණත් වැරැද්ද නිවැරැද්ද පැවසිය හැකි අන්දමේ විවේචනාත්මක සහ විචාරාත්මක මැදිහත්කරුවකු ලෙස ඉහළ භූමිකාවකයි සාහිත්‍යකරුවා සිටිය යුත්තේ. ඔහු හෝ ඇය දේශපාලන පක්ෂයක සාමාජිකයකු වීම නොහොබි කියා හෝ තහනම් කියා හෝ ඉන් අදහස් වන්නේ නැහැ. පුරවැසි අයිතියක් වන එය තමන්ගේ සාහිත්‍ය මෙහෙවරට හෝ උත්තරීතර මනුෂ්‍යත්වයට හෝ වඩා ඉහළින් තබා නොගත යුතුයි.

ප්‍රශ්නය; දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වුණු ලේඛකයකු ලෙස ඔබ යම් නිර්මාණයකදී පෞද්ගලික ව දේශපාලනය යන සාධකය අදාළ කරගන්නේ කෙසේ ද?
පිළිතුර;
රට අඩියක් හෝ ඉදිරියට ගන්න පුළුවන් ආකාරයේ උත්තේජනයක් සපයා දිය හැකි නිර්මාණයක් කිරීමයි මගේ උත්සාහය. තමනුත් වෙනස් වෙලා සමාජයේ වෙනස් විය යුතු තැන් වෙනස් කළ යුතුයි යන පෙළඹවීම ඇති කරන විදෙස් කෘතියක් මට ලැබුණොත් දෙවරක් නොසිතා ම මා එය පරිවර්තනය කරනවා. ස්වතන්ත්‍ර නිර්මාණවලදී මා උත්සාහ කරන්නේ පවත්නා ක්‍රමයේ තිබෙන ජඩ ස්වභාවය එළිදරව් කිරීම සහ ඒ වෙනුවට සුදුසු වෙනත් උසස් ජීවිතයක් යෝජනා කිරීම යන නිර්ණායක මත පදනම් ව නිර්මාණ කරන්නට. එහි අදහස පවත්නා තතත්වය නිවැරදි ව විග්‍රහයට ලක් කිරීම, ඒවා විචාරය කිරීම සහ මිනිස්සුන්ට එතැනින් ගැළවී පියවරක් ඉදිරියට තැබීමට අවශ්‍ය පාරක් සැකසීම. එයයි, රටක සාහිත්‍යකරුවාගේ වගකීම.

ප්‍රශ්නය; සාහිත්‍යය වෙනුවෙන් වෙන් වූ මාසයේ මැතිවරණයක් පැවැත්වෙනවා. ඒ වාතාවරණය සාහිත්‍යයට බලපාන ආකාරය ගැන ඔබට යම් අදහසක් තිබෙනවා ද?
පිළිතුර;
සාහිත්‍ය මාසයේ දේශපාලන ක්‍රියාකාරකමක් හෝ මැතිවරණයක් පැවැත්වීම මේ වර්ෂයට පමණක් සීමා වන කාරණයක්. නමුත් සාහිත්‍ය මාසය වෙළෙන්දන්ගේ මාසය බවට පත්වීම ඊට වඩා සැලකිල්ලට ගත යුතු කාරණයක්. ශ්‍රී ලංකාවේ ප්‍රකාශකයන් වාර්ෂික ව සැණකෙළි ස්වරූපයෙන් සංවිධාන කරන පොත් ප්‍රදර්ශනවල වැඩිපුර තිබෙන්නේ කියවීම හුරුකරවීමට තිබෙන පොත්වලට වඩා අභ්‍යාස පොත්, පැන්සල්, පෑන්, ඇඳුම්, පැලඳුම්, ආහාර-පාන, සෙල්ලම් බඩු, විනෝද ක්‍රීඩා, තරග වැනි දේ. පොත්වල මිල අඩුකිරීමට, මුද්‍රණ වියදම් අඩු කර ගැනීමට, අමුද්‍රව්‍ය මිල පහත හෙළා ගැනීමට, ළමයින්ට සහ වැඩිහිටියන්ට කියවීම් පුරුද්ද ඇති කිරීමට මාරාන්තික ව පෙනී සිටිය යුතු වුවත් එසේ පෙනී සිටිනවාද? ඇත්තට ම මැතිවරණයක් තිබෙන මේ සමයේ ප්‍රකාශකයන්ට, ලේඛකයන්ට වගේ ම පාඨකයන්ටත් හැකියාවක් තිබිය යුතුයි මේ කාරණය හුවා දක්වන්නට. පොත් කර්මාන්තයට සහ සාහිත්‍යකරණයට එල්ල වී ඇති මේ තර්ජනවලින් මිදෙන්නට කුමන ජනාධිපති අපේක්ෂකයා ද මතයක් ප්‍රකාශ කරන්නේ?. කුමන මැතිවරණ වේදිකාවේ ද ‘සාහිත්‍ය’ මාතෘකාවක් කර ගන්නේ?. මේ කතිකාවට ඔවුන් පොළඹවන්නට ලේඛක, ප්‍රකාශක, පාඨක ජනතාවට මැදිහත් වීමට හොඳම අවස්ථාවක් මේ මැතිවරණ සමය. නමුත් ව්‍යාපාරික අවශ්‍යතාව පමණක් තිබෙන ප්‍රකාශකයන්ට ලාභය හැර අන්කිසි දැක්මක් නැති නිසා ඔවුන් මේ සඳහා ක්‍රියාත්මක වන්නේ නැහැ. සාධාරණ මිලකට හොඳ පොතක් කියවන්නට තමාට තිබිය යුතු අයිතිවාසිකම පිළිබඳ දැනුමක් පාඨකයාට නැහැ. ලේඛකයන්ට සාමුහිකත්වයක් නැහැ. නමුත් වෙනත් රටවල ලේඛක, පාඨක, ප්‍රකාශක පාර්ශ්ව එක් ව විදේශීය සම්භාවනීය සාහිත්‍යකරුවන් පවා එම රටවලට ගෙන්වාගෙන සාහිත්‍ය මාසයේ ජාත්‍යන්තර මට්ටමේ විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවනවා. ඇතැම් රටවල ඒවා වසරේ ම අඛණ්ඩ ව පවත්වනවා. අඩු ම තරමේ ශ්‍රී ලංකාවේ ලේඛකයන්ට එවැන්නකට සම්බන්ධ වන්නට ගුවන් ටිකට් පතක් ලබා දීමේ ප්‍රමුඛතාවක්, විශේෂ පහසුකම් සලසා දීමක් හෝ ඒ සඳහා සහය වීමක් කිසිදු පාර්ශ්වයකින් සිදු වන්නේ නැහැ. එතරම් ම කුඩම්මාගේ සැලකිලිවලට අපේ රටේ ලේඛකයා මුහුණදෙනවා. මැතිවරණයක් ආසන්නයේ වුණත් පාඨකයාගේ, ලේඛකයාගේ, ප්‍රකාශකයාගේ හෝ සමස්ත සාහිත්‍ය ක්ෂේත්‍රයේ අභිලාෂ නිරූපණය වන බවක් පෙනෙන්නට නොතිබීම කනගාටුවට කරුණක්.

ප්‍රශ්නය; දේශපාලනය හා මනුෂ්‍යත්වය සමග සාහිත්‍යය ගළපාගෙන සාහිත්‍යකරණයේ නියැළීමට පුද්ගලික ව ඔබ දරන උත්සාහයෙන් බලාපොරොත්තු වන ප්‍රතිලාභය කුමක් ද?
පිළිතුර;
එක ම ප්‍රතිලාභය ආත්ම තෘප්තිය පමණමයි. සමාජය වෙනස් වෙයි ද? නැද්ද? තිබුණාට වඩා හොඳ වෙයිද? නරක් වෙයි ද? යන කාරණා මට අදාළ නැහැ. මගේ පළමු උත්සාහය හිතට එකඟ ව ජීවත් වීම. එවිට සාහිත්‍ය භාවිතාවේදී මගේ මතය වෙනුවෙන් කිසිදු බලපෑමකට යටත් නොවී මට පෙනී සිටින්නට පුළුවන්. ඒ වෙනුවෙන් වැඩ කරන්නට පුළුවන්. දෙවැනි ව, තිබෙන තත්ත්වයෙන් ඉදිරියට රසික සමාජය තල්ලු‍ කිරීම. මේ කාරණා දෙක ඉෂ්ට වෙනවානම් එයින් ආර්ථික ලාභයක් ලැබෙනවා ද? සමාජ පිළිගැනීමක් ලැබෙනවා ද? වරදාන වරප්‍රසාද ලැබෙනවා ද? යන්න මා මායිම් කරන්නේ නැහැ. කිසි ම බලාපොරොත්තුවක් නැතුව ජනතාව වෙනුවෙන් සාහිත්‍යයෙන් වැඩ කරනවා.

ප්‍රශ්නය; වත්මන් සමාජ ක්‍රමය අනුව ජනතාව වෙනුවෙන් වැඩකරන්න වුණත් පුද්ගලික ව යහපත් ආර්ථික තත්ත්වයක් තිබිය යුතුයි නේද?
පිළිතුර;
කලාකරුවකුට ජීවත් වීම සඳහා යම් නිශ්චිත මිලක් තිබිය යුතුයි. ඒ නිසයි ජී. බී. සේනානායක පසුකාලීන ව කියන්නේ “මගෙන් සම්මුඛ සාකච්ඡාවක් ගන්න අවශ්‍යනම් මට ගෙවන්න” කියලා. හැබැයි මා පුද්ගලික ව තේරුම් ගත් කාරණය තමයි, අප සිටින්නේ ජී.බී. සිටි කාලයටත් වඩා බරපතළ පරිහානිගත සමයක බව. අප කොන්දේසි සහ ප්‍රතිලාභ මත පිහිටාගෙන ම ක්‍රියා කළහොත් මේ රටේ කිසිවක් කළ නොහැකියි. ඒ නිසා මගේ සාහිත්‍ය කාර්යය මනුෂ්‍යයා වෙනුවෙන් මෙහෙයවීම නතර වන්නේ නැහැ. බාජින් විටෙක පවසනවා “මම ලිවීමට ජීවත් වනවා මිස ජීවත් වීමට නොලියමි” යනුවෙන්. සාහිත්‍යකරුවන් වන අපේ තේමා පාඨය එය විය යුතුයි. එය මාක්ස්ගේ අදහසක්. ඉටු කිරීම අමාරු කාර්යයක්. එවැනි අපේක්ෂා සාර්ථක වන්නේ කලාකරුවන්ට, කලා කෘතිවලට, සාහිත්‍යයට සලකන දියුණු සමාජ සංස්කෘතික ක්‍රමයක් තිබෙන රටක පමණයි. එම රට බිහි කරන්න සටන් කරනවා හැර වෙනත් විකල්පයක් කලාකරුවාට හෝ සාහිත්‍යකරුවාට හෝ තිබෙන්න බැහැ. දැනට තිබෙන්නේ පවතින ක්‍රමයට අනුගත ව තමන්ට කුමක් හෝ සරි කර ගන්නා ක්‍රමයක්. එසේ නොකරන සැබෑ සාහිත්‍යකරුවන්, කලාකරුවන් සිටිනවානම් කළ යුත්තේ බාජින් පැවසූ ආකාරයට රටේ එවැනි තත්ත්වයකට සුදුසු පසුබිම ගොඩනැගීම. එම ඉලක්කය කිසි ම හේතුවක් නිසා අතහැර ගත යුතු නැහැ. අඛණ්ඩ ව ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. නැත්නම් අනාගත පරම්පරාව ඉදිරියටත් අත්දකින්නේ මනුෂ්‍යත්වයේ චරිතාදර්ශ නැති රටක්.

ප්‍රශ්නය; ක්‍රියාත්මක වන සමාජ ධාරා සමග මෙවැනි අදහස් සහ හැඟීම්වල නොගැළපීමක් ඇති වී කලකිරීමක් ඇතිවන්නේ නැද්ද?
පිළිතුර;
නැහැ. එහෙත් එතැනයි අප වැරදි මංතීරුවට වැටෙන තැන. මුදල, බලය සහ වරප්‍රසාද මත ම අපත් නැහෙන්න ගත්තොත් බලාපොරොත්තු වන උත්තරීතර මනුෂ්‍යත්වය විදාරණය කරන සාහිත්‍යකරුවකු, කලාකරුවකු වන්නේ කෙසේ ද? මෙතැනදීයි සාහිත්‍යකරුවා සිය අරමුණ පිහිටුවා ගැනීමේ වැදගත්කම ඉස්මතු කර ගත යුත්තේ. ලේඛනය ස්වාධීන කරගෙන අනෙක් සියල්ල ද්විතීයික කොට සලකා අතහැර පැත්තකින් තැබිය යුතුයි. සාහිත්‍යකරණයේ යෙදෙන අවස්ථාවල පවුලේ, රැකියාවේ, සමාජයේ වගකීම් සියල්ල බැහැර කිරීමට තරම් උසස් මනසක් ලේඛකයකුට තිබිය යුතුයි.

ප්‍රශ්නය; සාහිත්‍යකරුවා අසාමාන්‍ය මනුෂ්‍යයකු විය යුතු බව ද ඉන් කියැවෙන්නේ?
පිළිතුර;
ඔව්. අත්හැරීමේ, පරිකල්පනයේ හෝ චින්තනයේ සීමා නැති සාහිත්‍යකරුවා සාමාන්‍ය මනුෂ්‍යයකුට වඩා එහා දකින්න පුළුවන් මනුෂ්‍යයෙක්. බොහෝ දේ දරා ගත හැකි, භාර ගත හැකි, කැපවීමක් සහ ආත්මපරිත්‍යාගයක් ඇති සාහිත්‍යකරුවා සාමාන්‍ය මහජනයාටත් දේශපාලකයන්ටත් පක්ෂවලටත් වඩා ඉදිරියෙන් සිටිනවා යන්නයි මේ කියමනේ අර්ථය. සාහිත්‍යකරුවා වෙනුවෙන් දේශපාලකයා කිසිවක් කළ යුතු නැහැ. රටේ සාහිත්‍යය නොමරා සිටීමත් සාහිත්‍යකරුවාට අවශ්‍ය පරිසරය රටේ නිර්මාණය කිරීමත් ප්‍රමාණවත්. එවිට සාහිත්‍යකරුවාට තිබෙන්නේ තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න, සාමුහික ජීවිතයක් වෙනුවෙන් පෙනී හිටින්න සහ සමස්තය වෙනුවෙන් සටන් කරන්න. දේශපාලකයා මේ කිසිවක් නොකරන නිසා සාහිත්‍යකරුවා කැප විය යුත්තේ ඒ වෙනුවෙන්. සම්මාන වෙනුවෙන් නොවෙයි.