#සෞඛ්‍ය

යළි හිස ඔසවන සරම්ප

  • නිරෝෂි දොඹගහගේ

සරම්ප රෝගය වැළඳීම වැළැක්වීම සඳහා මෙරට වයස මාස 6-9ත් අතර දරුවන්ට අමතර එන්නත් මාත්‍රාවක් ලබා දීමේ වැඩසටහනක් නොබෝදා (ජනවාරි 06) සෞඛ්‍ය අමාත්‍යාංශය මූලිකත්වයෙන් ආරම්භ කෙරුණා. ජනවාරි 06 සිට පෙබරවාරි 03 දින දක්වා සති 05ක් සෙනසුරාදා දිනවල දිවයිනේ දිස්ත්‍රික්ක 09ක මේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති.

මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට හේතුව වන්නේ 2023 වර්ෂයේ මැයි මාසයේ සිට මෙරටින් සරම්ප රෝගීන් 800ක් පමණ වාර්තා වීම බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල පවසනවා. ඔහු පවසන පරිදි මේ අතිරේක එන්නත් මාත්‍රාව ලබා දීමට තීරණය කර තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මත යුනිසෙෆ් ආයතනයේ එකඟතාව අනුව. ඒ පිළිබඳ අදහස් දක්වන ලේකම්වරයා; “ශ්‍රී ලංකාවේ විද්වත් කමිටුවක් සම්බන්ධ කරගෙන දත්ත විශ්ලේෂණය කළ විට අපට නිරීක්ෂණය වුණා පසුගිය කාලයේ සරම්ප රෝගීන් වාර්තා වුණේ ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික්ක 09ක බව. එම දිස්ත්‍රික්ක වන කොළඹ, ගම්පහ, කළුතර, මාතර, ගාල්ල, කුරුණෑගල, මහනුවර, යාපනය සහ අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රදේශය ආවරණය වන අයුරින් මාස 06-09ත් අතර දරුවන්ට අතිරේක එන්නත් මාත්‍රාවක් ලබා දීමට තීරණය කළේ ඒ අනුව. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් මාර්ගයෙන් මේ එන්නත ලබා දීමේ වැදගත්කම පිළිබඳ සියලු ම නිවෙස්වලට අත්පත්‍රිකාවක් බෙදා හැරීමෙන් ජනතාව දැනුවත් කරමින් වැඩසටහන ක්‍රියාත්මක කළා. දිවයිනේ එන්නත්කරණයට ලක් නොවී සිටි මාස 09ත් අවුරුදු 15ත් අතර දරුවන්ටත් සාමාන්‍ය සායනවලදී සරම්ප එන්නත ලබා දුන්නා.”

විශේෂ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලද දෙවන දිනය, එනම් ජනවාරි 13 දිනය වන විට මේ ප්‍රදේශවල 89%ක ආවරණයක් ලැබී තිබූ බව සඳහන්. ළමයින් 30,357කින් 20,027ක පිරිසක් එන්නත ලබාගෙන තිබීම විශේෂත්වයක්. ඒ, යාපනයේ 97%,ක්, කල්මුණේ 93%ක්, කුරුණෑගල 95%ක්, නුවර 95%ක්, මාතර 91%ක් ලෙස. කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල යන දිස්ත්‍රික්කවල සාපේක්ෂ ව එන්නත් ලබා දීමට ඉදිරිපත් වීමේ ප්‍රගතිය අඩු බවයි පැවසෙන්නේ. මීට සමගාමී ව ක්‍රියාත්මක වූ මාස 09ත් අවුරුදු 15ත් අතර ‘එන්නත ලබා නොදුන් දරුවන් එන්නත් කිරීමේ වැඩසටහනින්’ එවැනි දරුවන්ගෙන් 21%ක් නැවත එන්නත්කරණයට යොමුවී තිබීම විශේෂත්වයක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණගේ සඳහන.

සරම්ප යනු වෛරසයකින් බෝවන රෝගයක්. ස්වසන පද්ධතිය ආශ්‍රිත ව වැළf​ඳන මේ රෝගය බෝවීමේ ප්‍රවණතාව ඉතා ඉහළ මට්ටමක පවතින බව විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ පවසනවා. එනම් සරම්ප රෝගය බෝවීමේ අගය (ඍ-භ්මටයඑ-ඍ0) 16ක්. රෝගියකුගෙන් තවත් පුද්ගලයන් 16 දෙනකුට මේ රෝගය බෝවිය හැකි බවයි ඉන් පැවසෙන්නේ. කොවිඩ් 19 රෝගයේ මේ අගය 4ක්. සරම්ප රෝගය බෝවීමේ ප්‍රවණතාව වැඩි බවයි මින් පෙනී යන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන පරිදි ආසාදනයට ලක්වන ‌රෝගියකුගේ කැස්ස, කිවිසුම් යනාදියෙන් රෝගය තවෙකකුට සම්ප්‍රේෂණය වන්නට පුළුවන්. සියලු‍ වයස් කාණ්ඩවලට රෝගය වැළඳිය හැකි වුවත් එය සුලබ ව දැකගත හැකි වන්නේ දරුවන් අතර බවයි වෛද්‍යවරුන්ගේ අනාවරණය.

1963 වසරේදී මේ එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ වීම‌ට පෙර වාර්ෂික ව වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව මිලියන 20.6ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. ඇස්තමේන්තු කර ඇති ආකාරයට එන්නත්කරණය නිසා 2000 සිට 2021 වසර දක්වා ලෝකයේ වැළකී ඇති සරම්ප මරණ සංඛ්‍යාව මිලියන 56ක්. ගෝලීය වශයෙන් ගත් කල 2021 වර්ෂයේදී සරම්ප රෝගය නිසා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 128,000ක්. ඒ අතරින් වැඩි පිරිස අවුරුදු 05ට අඩු දරුවන්.

අතීතයේදී ගෘහාශ්‍රිත රෝගයක් ලෙස සුලබ ව දක්නට ලැබුණු ‘සරම්ප රෝගය වැළැක්වීමේ එන්නත්කරණය’ 1984 වසරේදී මෙරට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට හඳුන්වා දී තිබෙනවා. සරම්ප යනු ශ්‍රී ලංකාවෙන් තුරන් කරන ලද රෝගයක් බවට වන සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇත්තේ 2019 වර්ෂය වන විට.

“කොවිඩ් 19 වසංගතය නිසා පසුගිය කාලයේ ම ලෝකයේ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ අඩපණ වුණා. එහි ප්‍රතිඵලයක් හැටියටයි ලෝකයේ පාලනය වී තිබූ මේ රෝගය නැවතත් හිස ඔසවන්න පටන් ගත්තේ. මෙරට සුළුතර පිරිසක් සිටිනවා ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන විශ්වාස නොකරන. ඔවුන් තමන්ගේ දරුවන්ට එන්නත් ලබා දෙන්නේ නැහැ. ඒ අය අතරිනුයි රෝගය මුලින් ම වාර්තා වන්නට ගත්තේ”. එලෙස අදහස් දැක්වන්නේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ.
සාමාන්‍ය ක්‍රමවේදය අනුව සරම්ප සඳහා වන එන්නත ලබා දෙන්නේ දරුවකුට මාස 09දී සහ අවුරුදු 03දී. මේ එන්නත (MMR) ලබා දෙන්නේ වෛරස්වලින් ආසාදනය වන සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා (Measles, Mumps, Rubella) යන රෝග වෙනුවෙන්. රෝගයෙන් වැළකීමට නම් එන්නත් මාත්‍රා දෙක ම ලබා ගැනීම අත්‍යාවශ්‍ය වනවා. රෝගයට එරෙහි ව 98%කින් එහා ගිය ආරක්ෂාවක් සහතික කළ හැකි වන්නේ එවිට. උපතේ සිට මාස 09ක් දක්වා දරුවන්ට සරම්ප රෝගයෙන් ආරක්ෂා වීමට මවගෙන් ලැබෙන ප්‍රතිදේහ ප්‍රමාණවත් වුවත් මාස 06-09ත් අතර දරුවන්ට ලැබෙන ප්‍රතිදේහ ප්‍රමාණවත් නැහැ. පසුගිය කාලයේ මෙරට වාර්තා වූ සරම්ප රෝගීන්ගෙන් වැඩි පිරිසක් මේ වයස් කාණ්ඩයට අයත් වූවන්. මේ අමතර මාත්‍රාව ලබා දෙන්නේ ඒ අනුව.

මාස 09 සම්පූර්ණ වීමට දින දෙකක් පමණක් තිබූ දරුවන්ට පවා අමතර මාත්‍රාව ලබා දී ඇති අතර නැවත සති 08කින් මාස 09 නියමිත මාත්‍රාව සහ අනතුරු ව අවුරුදු 03දී නියමිත මාත්‍රාවත් අනිවාර්යයෙන් ඔවුන්ට ලබා දිය යුතු වනවා. ඒ අනුව 2022 අප්‍රේල් 02 – ජූලි 05 අතර ඉපදුණු සියලු‍ දරුවන්ට මේ එන්නත ලබා දීමයි සැලසුම.

තද උණ, වියලි කැස්ස, සොටු දියර ගැලීම, උගුරේ ආසාදන, ඇස් රතු වීම, මුඛය තුළ කුඩා සුදු ලප මතුවීම, මුහුණ සහ බෙල්ල අවටින් ආරම්භ වී කඳ සහ අත් පා ආශ්‍රිත ව සමෙහි බිබිලි මතු වීම යනාදිය සරම්ප රෝග ලක්ෂණ. මූලික ව වෛරස් රෝගයක ලක්ෂණ මෙලෙස පෙන්නුම් කළත් රෝගය නිසා සංකූලතා රාශියක් ඇති වන බවයි විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ පවසන්නේ. විශේෂයෙන් කුඩා දරුවන්ගේ ඇස් අන්ධ වීම, මැද කනෙහි ආසාදන ඇතිවීම, තද පාචනය, නිවුමෝනියාව, මොළයට බලපෑම තුළ එන්සෙපලයිටීස් යනාදී තත්ත්ව මෙන් ම රෝගය වැළඳී වසර 04-05ක් වැනි කාලයකට පසුව වුව ද මොළයේ රෝගී තත්ත්වයක් Subacute sclerosing panencephalitis (SSPE) හට ගැනීම එම සංකූලතා තත්ත්ව. මේ රෝගී තත්ත්වය සඳහා ලෝකයේ මෙතෙක් ප්‍රතිකාර සොයාගෙන නොමැති බවයි වාර්තා වන්නේ. ගැබිණි මව්වරුන්ට රෝගය වැළඳීමෙන් අඩු බර උපත් සහ නොමේරූ දරු උපත් ඇති වන්නට පුළුවන්. මේ නිසා සාමාන්‍ය වෛරස් රෝගයක් ලෙස ද සලකා සරම්ප රෝගය සම්බන්ධයෙන් ක්‍රියා කළ නොහැකි බවයි වෛද්‍ය මතය. සාමාන්‍යයෙන් වෛරසය ශරීරයට ඇතුළු වී දින 07-21ත් අතර කාලයේ සමේ බිබිලි සහ උණ යන ‌රෝග ලක්ෂණ දක්නට පුළුවන්. සමේ බිබිලි මතු වීමට දින 04කට පෙර සිට සමේ බිබිලි මතු වී දින 04ක් තෙක් කාලය රෝගය බෝ වන කාලය ලෙස සැලකෙනවා.
වෛරසවලින් පැතිර යන පෝලියෝ, කක්කල් කැස්ස, නව ජන්ම පිට ගැස්ම යනාදී රෝග වළක්වාගෙන ඇත්තේ ප්‍රතිශක්තිකරණ එන්නත් නිසා බව අමතක නොකළ යුතු අතර ම යම් හෙයකින් ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ අඩපණ වුවහොත් මේ රෝගකාරක නැවත හිස එසවීම සිදුවන බවත් දැනුවත් වීම වැදගත්.

එන්නත්කරණයට භාජනය නොවුණු අනාරක්ෂිත පුද්ගලයන්ට රෝග ආසාදනය වීමෙන් නැවතත් වෛරස් රෝග පැතිර යාමේ අවදානමක් පවතිනවා. මේ නිසා ඒ පිළිබඳ දැනුවත්භාවයයි වඩා වැදගත්.