#විදේශ විත්ති

මෝදි සහ ශ්‍රී ලංකාව

  • කාංචනා සිරිවර්ධන

භූගෝලීය වශයෙන් මෙන් ම නාවික ගමනාගමනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දියන් සාගරයේ ඉතා වැදගත් ස්ථානයක. ලෝකයේ තෙල් නැව්වලින් 2/3ක් පමණ මෙන් ම භාණ්ඩ ප්‍රවාහන නෞකාවලින් හරි අඩක් පමණ හම්බන්තොට වරාය පසු කරමින් ගමන් කරනවා. මේ සාධකය ශ්‍රී ලංකාවටත් ඉන්දියාවටත් දේශපාලනික, ආර්ථික, සාමාජීය වශයෙන් ඉතා වැදගත්.

ගැඹුරු සහ විශාල වරායක් වන කොළඹ වරාය අපේ ශ්‍රම හමුදාව සහ කාර්යක්ෂමතාව අතින් එක්තරා කාලයක ලෝකයේ දියුණු ම වරාය අතරට පැමිණෙනවා. ඉන්දියාවේත් බොහෝ නාවික ප්‍රවාහන කටයුතුවලට කොළඹ වරාය අතිශයින් වැදගත්. මේ නිසා වරාය සහ මෙරට පිහිටීම හේතුවෙන් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සම්බන්ධතාව අමතක කළ නොහැකියි.
දැන් අප සිටින්නේ ආරථික අර්බුදයක. ණය ගෙවීම් සම්බන්ධයෙන් බොහෝ අපහසුතා තිබෙනවා. චීනයයි තනි රටක් හැටියට වැඩියෙන් ම අපට ණය ලබා දී තිබෙන්නේ. එය මුළු ණය ප්‍රමාණයෙන් 20%ක් පමණ වනවා. චීනයත් ඉන්දියාව මෙන් ශ්‍රී ලංකාව සමග ළඟින් ම ගනුදෙනු කරන රටක්. නමුත් අප චීන ණය උගුලක සිර වී සිටිනවා යැයි කෙනෙකුට කියන්න පුළුවන්. චීන ණයවලින් බේරෙන්න අප චීනය පැත්තට දේශපාලනික වශයෙන් තරමක් නැඹුරු වුණා ම ඒක ඉන්දියාවයි චීනයයි අතර තිබෙන දේශපාලනික වියවුලට තරමක් බලපානවා. ඉන්දියාවේ ආරක්ෂාව සහ ඉන්දියාවේ ආර්ථිකය යන සියල්ලට ම ශ්‍රී ලංකාවේ පිහිටීම සහ වරාය යනාදිය විශාල ලෙස බලපාන නිසා ඉන්දියාව සෑම විට ම කැමතියි චීන ණය උගුලේ ශ්‍රී ලංකාව සිර නොකර තබා ගැනීමට. ඒ නිසා අර්බුදයට ලක් වූ 2021, 2022 කාලයේ පමණක් නොවෙයි ඊට පෙර පවා යම් කිසි ආකාරයකින් ලබාගත් විදේශ ණය ගෙවාගත නොහැකි වූ විට ඉන්දියාවයි අපට බොහෝදුරට උදව් කළේ. මේ අර්බුද අවස්ථාවේ පවා ඉන්දියාවෙන් අපට ඩොලර් බිලියන 3ක පමණ ආධාර දුන්නා. තෙල් සහ අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීමට අපට ඩොලර් තිබුණේ නැහැ. ආර්ථික අර්බුදය අවස්ථාවේ මෙන් ම ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් ද ඔවුන් පෙනී සිටිනවා. ඇතැම් දේශපාලන පක්ෂ යම්කිසි කාලයකදී පැවසුවා අප ඉන්දියානු ව්‍යාප්තවාදයට හසු වී සිටින බව. ඉන්දියාවේ ගොදුරක් වී තිබෙන බව. මෙවැනි යල්පැන ගිය දේශපාලන සංකල්ප අදට ගැළපෙන්නේ නැහැ.

ත්‍රිකුණාමලේ තෙල් ටැංකි බි්‍රතාන්‍ය සමාගම් විසින් නඩත්තු කර ව්‍යාපාර කටයුතු ඇරඹීමට ගිය අවස්ථාවේ අපේ දේශපාලනඥයන් නොයෙක් වියවුල් ඇති කර එම අවස්ථාව මගහැර ගත්තා. ඊට ඉඩ නොදී සිටීම නිසයි සිංගප්පූරු වරාය දියුණු වෙන්නේ. මෑතකාලයේ සිංගප්පූරු අගමැතිවරයා පවසනවා ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරයට සහ වෘත්තීය සමිති අරගලවලට පිංසිදු වෙන්න සිංගප්පූරු වරාය දියුණු කරගන්න ඔවුන්ට පුළුවන් වුණා කියලා. දැන් නැවත ඉන්දියාව නොයෙකුත් ආයෝජන ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ ආරම්භ කරන්න උත්සාහ දරනවා. උදාහරණයක් ලෙස මන්නාරමේ සුළං විදුලි බලාගාර, සූර්ය විදුලි බලාගාර පෙන්වා දෙන්න පුළුවන්. තක්සේරු කර තිබෙන ආකාරයට මේ විදුලි බලාගාරවලින් ඉතා විශාල විදුලි ඒකක ප්‍රමාණයක් නිෂ්පාදනය කරගන්න හැකියාව තිබෙනවා. මෙහිදී මෙරට අවශ්‍යතාවට වඩා වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් නිෂ්පාදනය කර, අතිරික්තය ඉන්දියාවට ලබා දෙන්න පුළුවන් බවටත් ඇස්තමේන්තු කර තිබෙනවා.
ඉන්දියාවේ ව්‍යාපාරික පැළැන්තිය මේ ආකාරයෙන් විශාල වශයෙන් දියුණු වන විට එරට ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරනවානම් ඉන්දියාවේ දියුණුවත් සමග ශ්‍රි ලංකාවේ දියුණුවත් ඇති කර ගන්න පුළුවන්. ඉන්දියාව අමතක කර අප බලාපොරොත්තු වන අන්දමේ සංවර්ධනයක් ශ්‍රී ලංකාවේ ඇති කර ගන්න බැහැ. අප මේ ගමන යා යුත්තේ ඉන්දියාවත් සමග.

ශ්‍රී ලංකාවේ වත්මන් පාලනය පෙර නොවූවිරූ ආකාරයට ඉන්දියාවත් සමග සම්බන්ධතා වැඩිදියුණු කරගෙන තිබෙනවා. ඒ නිසයි මෙවර නරේන්ද්‍ර මෝදි ජයග්‍රහණය කර, ඉන්දීය අගමැති ලෙස දිවුරුම් දෙන විට ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ඉන්දියාවට ගොසින් ම සුබ පතන්නේ. ඉන්දියාව අපට ඒ තරමට වැදගත්. මෝදි පමණක් නොවෙයි, කවුරුන් අගමැති වෙලා හිටියත් ඊළඟට වැඩි ම ඡන්ද ප්‍රමාණයක් ගත් රාහුල් ගාන්ධි අගමැති වෙලා හිටියත් සිදු වන්නේ එයමයි. රාහුල් ගාන්ධිත් දන්නවා මෝදිත් දන්නවා ශ්‍රී ලංකාව, ඉන්දියාවට ඉතා වැදගත් බව. එසේ ම ශ්‍රී ලංකාවත් ඒ කාරණය තේරුම් ගත යුතුයි.

වසර එකහමාරක කාලයේ ඇති කරගත් අලු‍ත් නීති රිති සහ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාව ඉතා වේගයෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ප්‍රධාන නියෝජිතයා වන බෲවර් මහතා ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාව ආර්ථිකයේ උච්චාවචන බොහෝදුරට පාලනය කරගෙන තිබෙන බවත් සඳහන් කරමිනුයි ඔවුන් තුන් වැනි ණය වාරිකය නිදහස් කරන්නේ. සැබවින් ම ඩොලර් මිලියන 339 ඉතා ම සුළු මුදලක්. අප එවැනි ප්‍රමාණයක් සංචාරක ව්‍යාපාරයෙන් උපයනවා. ඊට වඩා විශාල ප්‍රමාණයක් විදේශ ප්‍රේෂණවලින් උපයනවා. වැදගත්කම තිබෙන්නේ ලැබෙන මුදල් ප්‍රමාණය මත නෙවෙයි. ශ්‍රී ලංකාව විදේශවලින් ණය ගන්නා විට අවසාන ණය දෙන්නා හැටියටයි IMF වෙත යන්නේ. ඔවුන් අපේ ප්‍රගතිය සමාලෝචනය කර ණය වාරික අනුමත කළේ නැත්නම් දැනට ලෝක බැංකුවෙන් පොරොන්දු වූ ඩොලර් මිලියන 1700ක පමණ ණය මුදල, ආසියානු සංවර්ධන බැංකුවෙන් පොරොන්දු වූ ඩොලර් මිලියන 1000ක පමණ ණය මුදල නොලැබී යන්න පුළුවන්, ඒ, විශ්වාසය නොමැතිකම නිසා. එසේ වුණානම් නැවත අන්තර්ජාතික ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් අපේ මුදල් අවශ්‍යතාව සපුරාගත නොහැකි මට්ටමට පත්වෙනවා. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට තිබෙන සියලු‍ ම මාර්ග ඇහිරී යනවා. ආජන්ටිනාව, ග්‍රීසිය වැනි රටවල් ආර්ථික අර්බුදයට ගොදුරු වී වසර 10කට වඩා වැඩියි. තවමත් ඔවුන් එය විසඳාගෙන නැහැ. කෙසේ හෝ ශ්‍රී ලංකාව මේ ජයග්‍රහණය කෙටි කාලයකින් ලබා ගැනීමේ වටිනාකම කියා නිම කරන්නට බැහැ. මා අදහස් කරන්නේ නැහැ මේ ජයග්‍රහණය අත්පත්කර ගැනීමෙන් ජනතාවගේ ජීවන වියදම, විරැකියාව, දරිද්‍රතාව අඩු වී තිබෙන බවක්. ඔවුන් සෑහෙන දුෂ්කරතා මධ්‍යයේයි ජීවත් වන්නේ. එහෙත් ජනතාවගේ මේ අවම කැපකිරීම නැතු ව ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට බැහැ. එය ඔවුන් තේරුම් ගැනීම ඉතා වැදගත්.

මෝදි තමයි මෑතකාලයේ කලාපයේ රටක අගමැතිවරයකු හැටියට ඉතා ම සාර්ථක වුණේ. ලෝකයේ වේගයෙන් සංවර්ධනය වෙමින් තිබෙන රටවල් අතර ඉන්දියාව ඉදිරියෙන් ම සිටිනවා. එරට ජනතාවගේත් ආයෝජකයන්ගේත් මනස සකස් කර මෝදි ඉන්දියාව ඒ තත්ත්වයට ගෙනාවා. හැබැයි ඒ නිසා මෝදි බලාපොරොත්තු වුණා යම් යම් දැඩි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. රටක් ආර්ථික අර්බුදයකින් ගොඩගන්න නම් දැඩි ආර්ථික වෙනස්කම් කළ යුතු වෙනවා. ඉන්දියාවටත් එවැනි වෙනසකම් කරන්න අවශ්‍ය වුණා.

ඉන්දියාව 2047 වසර වන විට සිය වැනි නිදහස් සංවත්සරය සමරනවා. ශ්‍රී ලංකාව නිදහස ලබා සිය වැනි සංවත්සරය සමරන්නේ 2048 වසරේදී. මෝදි තමයි මුලින් ම පැවසුවේ 2047 වසර වන විට ඉන්දියාව සංවර්ධිත රටක් විය යුතුයි කියලා. අපත් කිව්වා 2048 වසර වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් විය යුතුයි කියලා. එහෙමනම් ඉන්දියාව 2047 වසරේදී සංවර්ධිත රටක් කරා ගමන් කරන දිශාවට ම ගමන් කරන්න අපටත් පුළුවන්නම් එය අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් ඉතා ම වැදගත්.
ඉන්දියාවේ සංවර්ධන සැලැස්මේ මෝදි විශේෂයෙන් කතා කරනවා තරුණ පරම්පරාවේ දායකත්වය ආර්ථික සංවර්ධනයට ලබාගැනීම, දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීම, දේශීය ආයෝජකයන්ට අතදීම වැනි කාරණා ගැන. ඉන්දියාවේ අදානි, අම්බානි වැනි ආයතන දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා ඔවුන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන බව. මේ ආයෝජන ඔස්සේ ශ්‍රී ලංකාවට ඉතා ඉක්මනින් දියුණු වෙන්න හැකියාව තිබෙනවා. අප බලා සිටිය යුතුයි මෝදි ඉන්දියාවේ දේශපාලන ස්ථාවරත්වය ඔස්සේ ජීවන වියදමට, විරැකියාවට, දරිද්‍රතාවට විසඳුම් සොයමින් ඉන්දියාව සංවර්ධනය කරා රැගෙන යන ආකාරය. ඔහු ඒ සඳහා තෝරා ගන්නා මාර්ගය අපට ආදර්ශයට ගත හැකියි. අප ඉන්දියාව සහ මෝදි සමගින් කිට්ටු සබඳතාවක් පවත්වාගත යුත්තේ ඒ නිසයි. අපට චීනය අමතක කරන්නත් බැහැ. චීනය මෙන් ම කලාපයේ අනෙක් රටවල් සමගත් සුහදතාව පවත්වාගෙන යාම වැදගත්.

මෝදි සහ ශ්‍රී ලංකාව

සඳ මෙහෙයුම