මාවතට මාවතක්

  • කාංචනා සිරිවර්ධන

ආරම්භ කර ඇති එහෙත් අවසන් කර නොමැති මහා මාර්ග ඉදිකිරීම් සංවර්ධනය සඳහා ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 60ක ණය මුදලක් ලබා ගැනීමට අදාළ ගිවිසුමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂ Takafumi Kadona නොබෝදා (2023 නොවැම්බර් 28) අත්සන් තැබුවා.


2022 වසරේ රටේ ඇති වූ උග්‍ර ආර්ථික අර්බුදය හේතුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ණය ලබාදීම අත්හිටුවීමටයි පියවර ගත්තේ. මේ නිසා වැඩ නිම කෙරෙමින් පැවැති මාර්ගවල වැඩ අතරමග නවතාලීමට සිදු වුණා. එයින් මහජනයා අපහසුතාවට ලක්වුණා පමණක් නොව එම ස්ථාන අනතුරුදායක බවට ද හඳුනා ගැනුණා. එම මාර්ගවල වැඩ සම්පූර්ණ කිරීම සඳහා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 60ක ණය වාරිකයක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව 2023 වසරේ සැප්තැම්බර් මාසයේ එකඟතාව පළ කෙරෙැණේ ඒ අනුව. මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ ලැබුණු එම ණය මුදල මාර්ගවල හඳුනාගත් තීරණාත්මක වැඩ සම්පූර්ණ කිරීමටත් අවසන් කළ වැඩ කොටස්වල නොගෙවූ බිල්පත් ගෙවීමටත් කොන්ත්‍රාත් අවසන් කිරීමටත් යොදා ගැනෙන බව.


මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වාදෙන ආකාරයට’මේ ව්‍යාපෘතියේ තිබෙන්නේ අරමුණු රාශියක්. කාෂිකාර්මික හා කුඩා කර්මාන්ත නිෂ්පාදන ප්‍රමාදයකින් තොර ව ප්‍රවාහනය කොට ඉක්මනින් අලෙවි කරගැනීමේ පහසුව ග්‍රාමීය ප්‍රජාවට ලැබෙන අතර ගමනාගමන’පහසුව වැඩිවීමෙන් ඔවුන්ගේ කාර්යක්ෂමතාව ඉහළ යනු ඇති. ග්‍රාමීය ජනතාව හා සමාජ සහ ආර්ථික මධ්‍යස්ථාන අතර අන්තර් සබඳතාව වැඩිදියුණු වීමෙන් සෞභාග්‍යමත් ජීවන රටාවකට යොමුවීමට ග්‍රාමීය ප්‍රජාවට හැකි වන අතර ම නාගරික හා ග්‍රාමීය සම්බන්ධතාව තහවුරු වීමෙන් වන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය හා සමාජීය සංවර්ධනය වැඩිදියුණු වීම. ග්‍රාමීය ප්‍රවාහන සේවා සංවර්ධනය වන අතර ම මාර්ග හා සම්බන්ධ ආයතනවල ඵලදායිතාව වැඩිවීමත් මෙහි ප්‍රතිලාභයක්.
ග්‍රාමීය කේන්ද්‍රස්ථාන ලෙස තෝරාගත් ග්‍රාම නිලධාරී කොට්ඨාස ආසන්නතම සමාජ හා ආර්ථික මධ්‍යස්ථාන වෙත යා කිරීමෙන් ග්‍රාමීය ජනතාවගේ ආර්ථික හා සමාජීය සංවර්ධනය ඉහළ නැංවීමත් මාර්ග සංවර්ධනය හා සම්බන්ධ ආයතනවල වත්කම් කළමනාකරණය, ව්‍යාපෘති කළමනාකරණය හා කොන්ත්‍රාත් පරිපාලනය යන ක්ෂේත්‍රවල ධාරිතාව වැඩි කිරීමත් ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථ. මේ ව්‍යෘපෘතිය දිවයින ම ආවරණය වන පරිදි ග්‍රාමීය ජනතාවගේ සාමාජීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගෙන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කොට වැඩ ආරම්භ කර ඇත්තේ.


එහි පළමු අදියර ක්‍රියාත්මක වන්නේ දකුණ, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, වයඹ පළාත්වල හා බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි. එම ප්‍රදේශවල ග්‍රාමීය මාර්ග 617ක කිලෝ මීටර් 3130ක් සහ කිලෝ මීටර් 400ක ජාතික මහා මාර්ග සංවර්ධනය කර අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මේ ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේ ඌව, නැගෙනහිර, උතුර හා බස්නාහිර පළාතේ ග්‍රාමීය මාර්ග 1332ක කිලෝ මීටර් 3750ක් සංවර්ධනය කෙරෙනවා.


මේ පිළිබඳ අදහස් දක්වන මාර්ග සංවර්ධන අධිකාරියේ ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්. එම්. පී. රත්නායක; “මේ ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා අනුමත වී ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 800ක්. ඒ සඳහා ලබාදී ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 557ක්. ඒ යටතේ ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 2820ක සහ ජාතික මාර්ග කිලෝ මීටර් 155ක වැඩ අවසන් කර තිබෙනවා. එහි ලබාගෙන ඇති භෞතික ප්‍රගතිය 89%ක් ලෙසයි තක්සේරු කර ඇත්තේ. දෙවැනි අදියර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 900ක ණය මුදලක් අනුමත වී තිබෙනවා. ඊට ලබා දී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදල යටතේ ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 2200ක සහ ජාතික මාර්ග කිලෝ මීටර් 235ක වැඩ අවසන් කර තිබෙනවා. එහි භෞතික ප්‍රගතිය 67%ක්.”


ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ පළමු අදියර ආරම්භ කර තිබෙන්නේ 2014 වසරේ සැප්තැම්බර් මස. 2024 වසරේ සැප්තැම්බර් මාසය වන විට එය අවසන් කිරීමටයි නියමිත. 2017 වසරේ ආරම්භ කළ එහි දෙවැනි අදියර 2027 වසරේ සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරීමට නියමිත ව තිබෙනවා.’


ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට අමතර ව ප්‍රාදේශීය සභා, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය හා දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන ද එක් ව සිටිනවා.


ශ්‍රී ලංකාව ලොව වැඩි ම මාර්ග ඝනත්වයක් ඇති රටවල් අතරින් එක් රටක්. මෙවැනි මාර්ග ඝනත්වයක් රටට අවශ්‍ය වන්නේ ජනගහනය බොහෝ සෙයින් විසිරී සිටින නිසා. වෙනත් රටවල වැඩි ජනගහනයක් සිටින්නේ නගර කේන්ද්‍ර කරගෙන. තවමත් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ව විශාල පිරිසක් ජීවත්වන නිසා එම ගම්වලට, ග්‍රාමීය නිවාසවලට සංචලතා පහසුකම සැපයීමට ඒ සඳහා සුදුසු සහ ප්‍රමාණවත් මාර්ග පද්ධතියක් අවශ්‍ය වනවා. එහෙත් මෙවැනි ජන රටාවක් පවත්වාගෙන යෑමට නම් මාර්ග පද්ධතිය සඳහා දරන්නට සිදුවන්නේ විශාල වැයක්. මාර්ග වැඩිවත් ම ඒවා ඉදිකිරීමට පමණක් නොව නඩත්තු කිරීමටත් විශාල පිරිවැයක් දැරිය යුතු වනවා. මෙය ප්‍රතිපත්තිමය වශයෙන් රටේ පවතින විශාල ගැටලු‍වක් බව මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන කළමනාකරණ හා කාර්යය උපාය ඉංජිනේරු අධ්‍යයනාංශයේ විශ්‍රාමික මහාචාර්ය අමල් එස්. කුමාරගේ පවසනවා.
මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය අමල් එස්. කුමාරගේ; “ග්‍රාමීය මට්ටමට අයත් මාර්ග තිබෙනවා කිලෝමීටර් ලක්ෂයකට වඩා. ඇතැම් මාර්ගවල දිනකට වාහන 100ක් 200ක් පමණ ගමන් කරනවා. දෛනික ව එක් වාහනයකට ගමනාගමනයට දරන මේ වියදමෙන් ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙනවාද? යන කාරණය ඉතා වැදගත්. මාර්ග සැලසුම් කරන විට, ඉදිකරන විට, මාර්ගවලට වියදම් කරන විට, විශේෂයෙන් ඒ සඳහා ණය මුදල් ලබා ගන්න විට අත්‍යාවශ්‍ය ස්ථානවල අත්‍යාවශ්‍ය ම අවස්ථාවේ මාර්ග ඉදිකිරීමට හා නඩත්තු කිරීමට වගබලාගත යුතු වනවා. ඒ වෙනුවෙන් හැම විට ම පැවතිය යුතුයි ප්‍රමුඛතා ලැයිස්තුවක් හා නිසි සැලසුම්කරණයක්. සැලසුම්කරණය සහ ප්‍රමුඛතා ලැයිස්තුව පසෙක තිබියදී ඇතැම් මාර්ග සංවර්ධන ව්‍යාපෘති අවසානයේ ප්‍රතිඵල ලෙස දක්නට ලැබෙන්නේ සැලසුමේ හෝ ප්‍රමුඛතා ලැයිස්තුවේ කොතැනකවත් සඳහන් නොවූ මාර්ග. ඒ නාස්තිකාර සංස්කෘතිය වෙනස් විය යුතු වනවා. මාර්ග ඉදි කරන විට ජනතාවට දැනගැනීමේ අයිතිය තිබෙනවා වියදම් දරන මාර්ග මොනවාද? කුමන හේතුවක් නිසා ද එම මාර්ග තෝරා ගත්තේ? යන්න. මෑතකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා බොහෝ රටවලට සාපේක්ෂ ව ශ්‍රී ලංකාවේ මහා මාර්ග තැනීම දළ වශයෙන් තුන් ගුණයකින් වැඩි බව.”


ශ්‍රී ලංකාවට පැමිණෙන ණය ආධාර මත ක්‍රියාත්මක බොහෝ ව්‍යාපෘති යටිතල පහසුකම් ඇති කරන ව්‍යාපෘති පමණක් බවත් රටට ඵල ප්‍රයෝජනයක් වන්නේ බහු පරමාර්ථ ව්‍යාපෘති බවත් ඔහු පෙන්වා දෙනවා. ඒ, බහු පරමාර්ථ සහිත ව්‍යාපෘතියකදී මාර්ග, ග්‍රාමීය කර්මාන්ත, ප්‍රවාහන සේවා දියුණු වීම, ග්‍රාමීය ප්‍රජාවගේ කුසලතා වර්ධනයට වැඩපිළිවෙළ සැකසීම ආදිය ඔස්සේ එහි ප්‍රතිලාභ පුළුල් වන නිසා. නව නිපුණතා, කුසලතා වැනි ක්ෂේත්‍ර ද නිෂ්පාදනවලට වටිනාකමක් ලැබෙන අන්දමින් මාර්ග සංවර්ධනයට සමගාමී ව දියුණු විය යුතු බවයි මහාචාර්යවරයාගේ අවධාරණය. එසේ නොමැති ව මාර්ග පමණක් දියුණු වී ඒවා නඩත්තු කළ නොහැකි තත්ත්වයට පත් වුවහොත් කාලයක් යන විට එහි ප්‍රතිඵලයත් ශුන්‍ය වන බව ඔහු පවසනවා.
රටක මාර්ග සැලසුම්කරණය, මාර්ග ඉදිකිරීම සහ මාර්ග නඩත්තුව ප්‍රමුඛතාව දිය යුතු පිළිවෙළ අනුව යමින් නිසියාකාර ව සිදු කිරීමෙන් රටකට අත්කර ගත හැකි වාසි රැසක් තිබෙනවා. සංචලතාව අත්‍යවශ්‍ය කරුණක්. එය ලැබෙන්නේ ප්‍රවාහනයෙන් සහ මාර්ගවලින්. මේ සියල්ල නිසි ලෙස ගළපා ගත යුතු වනවා. ඉල්ලු‍මට අනුවයි සැපයුම ලබාදිය යුත්තේ. ඒ වෙනුවෙන් සැලසුම්කරණයට මුල් තැනක් දිය යුතු අතර මාර්ගවලට වියදම් කළ ප්‍රමාණයට තක්සේරුවක් සහ පසු විපරමක් පැවතිය යුතු වනවා. බොහෝ රටවල් දියුණු රටවල් බවට පත් ව තිබෙන්නේ මාර්ග ඉදි කළ නිසා ම නොව මාර්ග ඉදි කළ යුත්තේ කොතැන ද? කවදා ද? ඒ වෙනුවෙන් කොපමණ මුදලක් වැය කළ යුතු ද? යන්න පිළිබඳ අවබෝධයෙන් සහ විනිවිදභාවයෙන් යුතු ව ක්‍රියා කළ නිසා. ‘එබැවින් මාර්ග සංවර්ධනය යනු විධිමත් ප්‍රවේශයකින් ප්‍රතිලාභ අත්කරගත යුතු රටක ප්‍රධාන ඉලක්කයක්.

මාවතට මාවතක්

මාවතට මාවතක්