#අධ්‍යාපන

මානව ප්‍රාග්ධනයේ හැරවුම

සමාජ සංවර්ධනයට අනුගත ශික්ෂණය

මානව සමාජය ඉදිරියට ගමන් කරන්නේ නිෂ්පාදනයේ වර්ධනය සමඟ. නිෂ්පාදනය වර්ධනය සඳහා නිෂ්පාදන බලවේග නම් ද්‍රව්‍යමය සාධකය අත්‍යවශ්‍ය වෙනවා. දියුණු කරන ලද මානව ශ්‍රමය, අමුද්‍රව්‍ය, යන්ත්‍රසූත්‍ර, බලශක්තිය වැනි දේ මෙයට අයත්. මෙහි ජීවමය මූලධාතුව මිනිසා. මෙතැනින් මිනිසා ඉවත් කළ පසු නිෂ්පාදනයක් නැහැ. නිෂ්පාදනය යන්නෙහි අවශ්‍යතාවක් ද නැහැ. එසේනම් තවදුරටත් සමාජය යන්න ද පවතින්නක් නැහැ. අනෙක් අතට නිෂ්පාදන බලවේගවල සජීව නොවන ද්‍රව්‍යමය සාධක ඉවත් කළ විට මිනිසා නම් සමාජමය නොවන හුදු සත්ත්වයෙකු පමණයි ඉතිරි වන්නේ.

ඒ නිසා අධ්‍යාපනය යනු සමාජ සංවර්ධන ක්‍රියාවලියේ නිෂ්පාදන බලවේගවල වර්ධනයට අනුරූපී ශ්‍රමිකයෙකු දක්වා ද එයට අනුරූපී සමාජ සම්බන්ධතා ක්‍රමයක මනාව හැසිරෙන්නෙකු වශයෙන් ද මිනිසා ශික්ෂණය කිරීම. එහිදී ඔහු තාක්ෂණ අවබෝධයෙන් ඉදිරියෙන් සිටින්නෙකු විය යුතු අතර ම යහපත් සමාජ සම්බන්ධතා ක්‍රමයක බැඳුණු සාමුහික මිනිසෙකු ද විය යුතුයි. මුල් ම අවධියේ මිනිසා ඉගෙන ගත්තේ අත්දැකීම් සහ අත්විඳීම් සහිත වැඩිහිටියන්ගෙන්. එහි වැඩි පාර්ශ්වය වන්නේ ප්‍රායෝගික ස්වයං අධ්‍යයනය. එහි සාපේක්ෂ ව උපදේශනය අඩු අතර අධ්‍යාපනය පාරම්පරික දැනුම පුරුදු කරන ක්‍රමයක් වුණා. මිනිසාගේ අත්දැකීම් පුළුල් හා සංකීර්ණ වෙද්දී අධ්‍යාපනය සංවිධානාත්මක කරන්නටයි සිදුවුණේ. ඒ අනුව ගුරුකුල ද පසුව සංවිධිත පාසැල් ද බිහි වුණා. ‘ඉස්කෝලය’ යන්න ග්‍රීක අර්ථය අනුව හැඳින්වෙන්නේ ‘ශ්‍රමයට පසු විවේකය’ යනුවෙන්. ශ්‍රමයට පසු විවේකය යනු මිනිසා නින්දට වැටීම නොවෙයි. තවත් ශ්‍රමික සමූහයක් හා විවේකී ව සම්බන්ධතා පැවැත්වීම. එහිදී ඔවුන් අත්විඳීම්, අත්දැකීම් හුවමාරු කළ යුතු අතර ඒ අනුව මිනිසා ශ්‍රමය හා තාක්ෂණය පිළිබඳ දැනුම ද ශ්‍රම පුහුණුවට අදාළ මඟපෙන්වීම ද ලබා දෙනවා. ඒ නිසා අධ්‍යාපනය යන්න ශ්‍රම ක්‍රියාවලිය හා නිරන්තර බැඳෙන්නක්.

සමාජ පරිවර්තනයකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

ජනතාව විවිධ දේශපාලන ව්‍යාපාර අත්හදා බලමින් ඉල්ලා සිටියේ ක්‍රමයේ වෙනසක්. යම් කල් ඉකුත් වූ සමාජ ක්‍රමයක් එහි අත්තිවාරමෙන් ම වෙනස් කිරීම සමාජ පරිවර්තනයයි. සමාජ පරිවර්තනයකදී එයට හිතවාදී සමාජ ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙනවා. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් විය යුත්තේ සමාජ පරිවර්තනයකට හිතකර ලෙස සහ යහපත් සංවර්ධිත සමාජ සම්බන්ධතා හෙවත් මානව ශ්‍රම සම්බන්ධතා ගොඩනංවන දිශාවට. මේ නිසා ප්‍රගතිශීලී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු දැනුම දීම සහ දැනුම පරීක්ෂා කිරීමෙන් ඔබ්බට ගිය දියුණු මානව ශ්‍රමයක් ද දියුණු මානව සමාජ සම්බන්ධතා ද ගොඩනැංවීමට තාර්කික ව හුරුකරන ක්‍රියාවලියක්. සියල්ල මනාව සූදානම් කර කිසිදු අඩුපාඩුවක් නොවන සේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු යැයි කෙනෙකු පැවැසිය හැකියි. එය යථාර්ථයෙන් පලා යන සිහිනයක් පමණයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු මනෝරාජික ව සපුරාලිය හැකි සමාජ කාර්යයක් නොවෙයි. අප එය ඇරඹිය යුතුයි. එහෙත් එය ඇරඹිය යුත්තේ පවතින දෙයින් මිස අවසානයේ පැවැතිය යුතු අප බලාපොරොත්තු වන තත්ත්වයෙන් නොවෙයි. දියඹ සිට ගොඩබිමට පිවිසෙන ඕනෑ ම අයෙකු වෙරළට පා තැබිය යුතුමයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගොඩනැඟෙන්නේ කුලුනු 05ක් මත. ඒවා පවතින තත්ත්වයෙන් ඉහළට එසවිය යුතු නව පාදමක් සකස් කරනවා.

විෂය මාලා නිර්දේශ සංවර්ධනය

විෂය මාලා සංවර්ධනය අධ්‍යාපන විශේෂඥයන් සතු කාර්යයක්. එහිදී අධ්‍යාපන මනෝවිද්‍යාව ද ඇසුරු කළ යුතු වෙනවා. මෙහිදී වැදගත් ම කාර්යය වන්නේ අධ්‍යාපන විශේෂඥයන් අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කළ දෘෂ්ටිමය පදනම හෙවත් දැක්ම වටහා ගැනීම. නැවත ද ආචීර්ණකල්පිත ව ගතානුගතික දෘෂ්ටි මත සිර කළ චින්තනයක් සහිත විශේෂඥයන් එයට බාධාවක් වනු ඇති. එහෙත් පවතින යථාර්ථයේ සිට නොබිය ව ප්‍රතිසංස්කරණයට පා තැබිය යුතුයි.

මානව සම්පත් සංවර්ධනය

සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අවශ්‍යතාව වන්නේ මානව සම්පත සංවර්ධනය. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ එහි අධ්‍යාපනය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය උපදේශකයන්, පුහුණුකරුවන් සහ විෂය භාර ගුරුවරුන් පුහුණු කර සූදානම් කිරීම මෙහි අරමුණ වෙනවා. එය අප කළ යුත්තේ ද වෙනත් ක්‍රමයකට අනුගත ව කලක් වැඩ කළ, පුරුද්ද සහිත යම් ක්‍රමයකට ඇබ්බැහි වූ නිලධාරින් හා කාර්ය මණ්ඩල සමඟ. එයට අදාළ පිරිස තෝරා ගැනීමේදී ආකල්පමය වශයෙන් හෝ දේශපාලන වශයෙන් හෝ මේ වෙනස්වීමට විරුද්ධ පිරිස් පවා ඇතුළත් විය හැකියි. එහිදී කඩාකප්පල් කිරීම්, ජනතාව නොමඟ යවනසුලු කුමන්ත්‍රණ පැවැතිය හැකියි. පටන් ගත යුත්තේ ම මේ අභියෝග බලාපොරොත්තුවෙන් සහ දැනට අපට ලැබී ඇති තත්ත්වයේ සිට.

යටිතල පහසුකම් සංවර්ධනය හා අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ

මේ කාරණය එළඹෙන්නේ සමාජ විෂමතාව තුරන් කිරීම යන්න අරමුණු කරගෙන. සම්පත් හිඟකම යනු සමාජ විෂමතාවේ ප්‍රතිඵලයක්. එය සම්පත් බෙදීයාමේ විෂමතාව පැවති සහ වෙනස්වීම ඉරණමකොට පවතින යල්පැන ගිය සමාජ ක්‍රමයේ දායාදයක්. විෂමතා හේතුවෙන් ඉගෙනුම ලබන දරුවාට සාධාරණ අවස්ථා අහිමි වන අතර ඔහුගේ අධ්‍යාපන වර්ධන වේගයට එය බාධා කරනවා. අනෙක් අතට සම්පත් හිඟකම නිසා නිලධාරිවාදය හෙවත් වරප්‍රසාද අරමුණුකොට බලය යොදා ගන්නා තත්ත්වය පැරැණි සමාජ ඇබ්බැහියක් ලෙස ඉස්මතු වෙනවා. එය ප්‍රගතිශීලී පරිවර්තනයකට බාධා කරන උප සංස්කෘතියක් නිර්මාණය කරනවා. ඒ නිසා පියවරෙන් පියවර එම තත්ත්ව පරාජය කරමින් සම්පත් අවශ්‍යතා සාධාරණ ව දරුවන් වෙත ලැබිය යුතුයි. එය එක්වර පරාජය කළ නොහැකි, උපායමාර්ගික ආර්ථික මෙහෙයුමකින් සැලසුම් සහගත ව පරාජය කළ යුත්තක්.

තක්සේරුව සහ ඇගයීම

දරුවා ලබන අධ්‍යාපනයේ ඵලදායී බව, කාර්යක්ෂම බව, ප්‍රායෝගික බව තක්සේරුකොට ඇගයිය යුතුයි. ඒ සඳහා විභාග කේන්ද්‍රීය නොවන අධ්‍යාපනයකදී භාවිත වන ඇගැයීම් උපකරණ භාවිත විය යුතුයි. එය සාධාරණ සහ සමාජ ප්‍රගමනය මිම්ම කර ගත්තක් විය යුතුයි. එය දරුවාගේ ඉදිරිපත්වීමක් මිස ගුරුවරයාගේ බලහත්කාරයක් නොවිය යුතුයි. එය දරුවා අධ්‍යාපනයට ආකර්ෂණය කරන්නක් විය යුතුයි.

මහජන දැනුවත්භාවය සහ ප්‍රවර්ධනය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ආරක්ෂකයා වන්නේ දැනුවත් ජනතාව. මහජන දැනුවත් කිරීම වැදගත් වන්නේ ඔවුන්ට මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හොඳින් වැටහීම එම ක්‍රියාවලියට පහසුවක් වන නිසා. එසේ අවබෝධයලත් ජනතාව මෙහි ආරක්ෂකයන් වන නිසා. ඒ ඔස්සේ ජනතාවට විරුද්ධ මත දරන්නන් සමඟ බුද්ධිමය අරගලයකට පිවිසිය හැකි නිසා. එය එක් මෙහෙයුමකින් සම්පූර්ණ කළ නොහැකියි. එය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සමාන්තර වූවක්. මෙය ඉතා දුෂ්කර සංකීර්ණ මෙහෙයුමක්. සියල්ල අවසානයට ම අවබෝධ කර දී පසුව ප්‍රතිසංස්කරණය ඇරඹිය නොහැකියි. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යනු නැවත නැවත සමාලෝචනය කරමින්, නැවත නැවත නිවැරැදි කරමින් යා යුතු සරල රේඛාවක් නොවන මාවතක්.

ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම

මේ වන විට ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල විෂය මාලා සංවර්ධනය යන කුලුන ඉදිකිරීම යම් ප්‍රමාදයකට ලක්කොට තිබෙනවා. ඒ, ජනතාව දැනුවත් කිරීමේ කුලුන ඉදිකිරීම තව ශක්තිමත් ව කළ යුතු යැයි හැඟුණ නිසා. අනවබෝධයේ සිට දේශපාලනික ව විවේචනයට ලක් වූ සංකල්පයක් බලහත්කාරයෙන් ස්ථාපිත කිරීම දිගුකාලීන ව අවාසි ගෙන දෙන්නක්. එබැවින් කාලය හා ඉවසීම ද විරෝධයෙන් කලබල නොවී මුහුණදීමේ ගුණය ද වැදගත්. මෙහිදී දේශපාලනික ව එල්ල වූ චෝදනාවල අඩංගු සත්‍යය විමසා බැලීම වැදගත්.

සමලිංගිකත්වය යනු ප්‍රවර්ධනය කළ හැක්කක් නොවන බව නොදන්නා සමාජයකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව පිළිබඳ ව වෙන ම තර්ක කළ යුතු නැහැ. සමලිංගිකත්වය යම් ජීවවිද්‍යාත්මක විශේෂතා මත වන පෙළඹුමක්. සමාජයේ එවැනි පිරිස් සිටින්නේ ඉතා අඩු ප්‍රතිශතයක්. සමලිංගිකත්වය යනු සමාජ බහුතරය නොවෙයි. එහෙත් ඔවුන් රටක පුරවැසියන්. ඔවුන් දරුවන් බිහි නොකළ ද දරුවන් කෙරෙහි බැඳීම් නොමැති නරුමයන් ද නොවෙයි. එම මිනිස් කාණ්ඩය වෙනුවෙන් පෙනී සිටීම අපරාධයක් නොවෙයි. එහෙත් සමලිංගික තෝරා ගැනීමකට රුචිකත්වය නොමැති පුද්ගලයන් අධ්‍යාපනයකින් ඒ වෙත පොලඹවා සමලිංගික ප්‍රජාව වර්ධනය කරන්නට බැහැ.  සමලිංගික හා විෂමලිංගික රුචිකත්ව දෙක ම සහිත පිරිස් ද සිටිනවා. ඒ නිසා අවශ්‍යතාවක් තිබුණත් සමලිංගිකත්වය කිසිවකුට අධ්‍යාපනයෙන් ප්‍රවර්ධනය කළ නොහැකියි. එවැනි ප්‍රජාවක් කෙරෙහි වන සමාජ අසාධාරණකම් කෙරෙහි සහකම්පනය ඇති කරගත හැකි දියුණු මනසක් සහිත මිනිසුන් ගොඩනැඟීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට හැකියාව තිබෙනවා.

විෂය මාලාවෙන් ඉතිහාසය ඉවත් කිරීම සම්බන්ධයෙන් ද කතාබහ තිබෙනවා. මෙයින් අදහස් වන්නේ ඉතිහාසය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල නැති බව නොව ‘ඔවුන්ට අවශ්‍ය තැනින් පමණක් ගෙන’ ඉතිහාසය උගන්වන්නේ නැති බව. ‘ඉගැන්විය යුත්තේ රෝදයේ ඉතිහාසය නොව අනෙකක් ය’ යන්න පැවැසීමේ තිබෙන්නේ එම අදහසයි. සමාජයක් සංවර්ධනය වන බව නොදන්නා ගතානුගතික චින්තකයන් ලෝකය ඉදිරියට යනවාට එරෙහිවයි ක්‍රියා කරන්නේ. සැබවින් ම විශ්වය ප්‍රසාරණයේ ආරම්භයේ සිට ම ඉතිහාසය උගන්වන්නේනම් සියලු අවිද්‍යා ද සියලු මිත්‍යා ද පරාජය වනු ඇති. එසේ ඉගෙනගත් පමණින් ද එය එසේ වන්නේ නැහැ. ඒ සඳහා තාර්කික අධ්‍යයන භාවිතයක් හුරු කළ යුතුයි. අවශ්‍ය කටපාඩම් යන්ත්‍ර නොව තාර්කික චින්තන ප්‍රභව. එයට උදවු කරන අධ්‍යාපනයක්. ඉගැන්විය යුත්තේ ද්‍රව්‍ය සංවර්ධනයේ ඉතිහාසය, සමාජ සංවර්ධනයේ ඉතිහාසය හා මානව චින්තනයේ ඉතිහාසය.

ප්‍රතිසංස්කරණ, සංස්කෘතිය විනාශ කරනවා ද? යන්නත් සංවාදයට ලක්වූවක්. මිනිසා මෙතෙක් එක්රැස් කරගත් ආධ්‍යාත්මික හා භෞතික වටිනාකම් සමස්තය සංස්කෘතිය ලෙස ගැනෙනවා. ඒ නිසා සමාජ සංවර්ධනයේ මට්ටමට සංස්කෘතිය සමානුපාතික විය යුතුයි. එසේ නොවන, පසුබසින සංස්කෘතියකට සංස්කෘතික පිරිහීම යැයි පවසනවා. නිශ්චිත සමාජ මට්ටමක වන සංස්කෘතික ලක්ෂණ යළි වර්ධිත සමාජ මට්ටමකදී නව සංස්කෘතියක් බවටයි පත් වන්නේ. දේශගුණික සාධක හා සමාජ සංවර්ධනයේ තමන් දරන ස්ථානය අනුව සංස්කෘතියේ පැති ද්විත්වයක් තිබෙනවා. භෞතික හා ආධ්‍යාත්මික පාර්ශ්ව දෙකකින් සමන්විත සංස්කෘතිය, විචිත්‍රත්වය සහිත පොදු මානව ප්‍රපංචයක්. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් සිදුවන්නේ මේ විචිත්‍රත්වයෙන් තෘප්තිමත් මානව චින්තනය සහිත දරුවකු  ගොඩනැගීම. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විසින් සංස්කෘතිය වනසනු ලබනවා නොව සංස්කෘතිය පිළිබඳ අවබෝධය පුළුල් කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දායක වීමයි සිදු වන්නේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිවීමේ දේශපාලනය සුලබ කතාබහක්. මෙහිදී සිදු වන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විරෝධී අවිද්‍යාත්මක වෛරී ප්‍රහාර එල්ල වීම. ඒවා මිනිසුන්ගේ නොදැනුවත්භාවය සංවිධිත දේශපාලනය විසින් අවභාවිත කරනු ලැබීමක්. සැබවින් ම ගතානුගතික ජනතා ද්‍රෝහි දේශපාලනය සමාජය යහපත් හා දියුණු දිශාවට වර්ධනය වනවාට කැමැති නැහැ. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ඇබ්බැහිය වූ යල්පැන ගිය සමාජ භාවිතාවක් හා දූෂිත ජීවන රටාවක් නඩත්තුව සඳහා පවතින ක්‍රමය රැකගැනීම. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විරෝධය හමුවේ නිරුවත් වන්නේ මේ ගතානුගතික විපක්ෂ දේශපාලන යථාර්ථය. මෙය ප්‍රභූ පංතිය හා නිර්ප්‍රභූ පංතිය අතර වන පංති ගැටුම ප්‍රකාශ වීමක්. ප්‍රගතිශීලීත්වය හා ප්‍රතිගාමීත්වය අතර අරගලයක්. සංවාදයට ඇහුම්කන්දෙමින්, විරෝධය පරාජය කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නම් සමාජ පරිවර්තනයේ සම්පූර්ණ කළ යුතු කොන්දේසි ඉටු කිරීම ප්‍රගතිශීලී සමාජ දේශපාලන ව්‍යාපාරයක හා ප්‍රගතිශීලි ජනතාවගේ සමාජ වගකීමක්.

මානව ප්‍රාග්ධනයේ හැරවුම

විප්ලවයට 67 ක්