#ආර්ථික

මල් නොතලා රොන් ගැනීම

  • චන්දන මාරසිංහ

TIN (Taxpayer Identification Number) ලෙස හඳුන්වන්නේ “බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය’. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පරිපාලනය වන ඕනෑ ම බද්දක් ගෙවන, සෑම තැනැත්තකු ම පෙර සිට ම ඉලක්කම් 9කින් සමන්විත TIN ලබාගෙන තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ විට මේ අංකය ලබාදෙන බැවින් එය ලබා ගත් පමණින් කිසිවකු හෝ බදු ගෙවිය යුතු යැයි අදහස් වන්නේ නැහැ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නිහාල් විජේවර්ධන සඳහන් කරන ආකාරයට 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ බලතල ප්‍රකාර ව 2023 මැයි 31 දින නිකුත් කළ ගැසට් නිවේදනයෙහි අ-කොටසෙන් 2023 ජුනි 01 සිට කාණ්ඩ 14කට අයත් පුද්ගලයන්ටTIN ලබාගැනීම අනිවාර්ය කෙරුණා. ඒ අතර නීතිඥවරුන්, වරලත් ගණකාධිකාරීවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන් වැනි වෘත්තිකයන් මෙන් ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තම ව්‍යාපාර ලියාපදිංචි කළ පුද්ගලයන් ද සිටින අතර කිසියම් අර්ථසාධක අරමුදලකට සේවකයා සහ සේවායෝජකයා යන දෙපාර්ශ්වයේ ම මාසික දායකත්වයට රුපියල් 20,000.00ට වඩා වැඩි සේවකයන් ද ඇතුළත්. එහෙත් ඔවුන් ආදායම් බදු සඳහා යටත්වන සීමාව ඉක්මවා යන ආදායමක් උපයන්නේ නැතිනම් ආදායම් බදු ගෙවිය යුතු වන්නේ නැහැ. වාර්ෂික ව රු.1,200,000.00ට වැඩි ආදායමක් උපයන්නන්ගෙන් පමණයි ආදායම් බදු අයකෙරෙන්නේ.

මේ ගැසට් නිවේදනයේ ආ-කොටසෙන් 2023.12.31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ කළ අය සහ 2024 ජනවාරි 01 දින සිට ඉදිරියට වයස අවුරුදු 18 සම්පූර්ණ කරන අය TIN ලබාගැනීම ද අනිවාර්ය කර තිබෙනවා. මීට සියලු ම ශ්‍රී ලංකාවාසික පුද්ගලයන් ඇතුළත්. විදේශගත ව ජීවත්වන, අධ්‍යාපනය ලබන හා රැකියා කරන ශ්‍රී ලාංකික පුරවැසියන් TIN ලබාගත යුතු නැහැ. එයට හේතුව ඔවුන් ශ්‍රී ලංකාවාසික පුද්ගලයන් ලෙස දේශීය ආදායම් පනතට අනුව හඳුනා නොගන්නා නිසා බවයි නියෝජ්‍ය කොමසාරිස් නිහාල් විජේවර්ධන සඳහන් කරන්නේ. එම නිසා එවැනි අය නැවත ශ්‍රී ලංකාවේ වාසය කිරීමට මෙරටට පැමිණෙන තෙක් TIN ලබාගැනීමට හදිසි විය යුතු නැහැ. ඔවුන් විදේශයන්හි උපයන මුදල් මෙරටට එවූ පමණින් එම මුදල් ලබාගන්නා අය හෝ පවුලේ අය එම ලැබීම් මත ආදායම් බද්දකට යටත් වන්නේත් නැහැ.

වයස අවුරුදු 18ට වැඩි සියලු‍ ම ශ්‍රී ලංකාවාසික පුද්ගලයන් ඔවුන්ගේ ආදායම් මට්ටම කුමක් වුවත් TIN ලබාගැනීම අනිවාර්ය කිරීමේ යෝජනාව ඉදිරිපත් වන්නේ 2022 අතුරු අයවැය යෝජනාවක් ලෙස. එම කාලයේදී රටේ ආර්ථික තත්ත්වය සහ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රජයේ බදු ආදායම අඩු අගයක් ගැනීම ඊට හේතු වී තිබෙනවා. නියෝජ්‍ය කොමසාරිස් නිහාල් විජයවර්ධන පෙන්වාදෙන පරිදි බදු ආදායම අඩු වීමෙන් රජයේ වියදම් පියවා ගැනීම ගැටලුවක් වූ නිසා බදු ප්‍රතිසංස්කරණ අවශ්‍ය වීමත් සමග බදු පැහැරහැරීම අඩුකිරීමට ඉදිරිපත් වූ එක් යෝජනාවක් මෙය. පුද්ගලයන් සිදු කරන විවිධ ගනුදෙනු සහ ආයෝජන සඳහා තමන්ගේ TIN සහතිකයේ පිටපතක් අනිවාර්ය කරමින් එම ගනු‌දෙනු සහ ආයෝජන තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාගැනීමෙන් ආදායම් බදු නියමිත පරිදි නොගෙවන පුද්ගලයන් හඳුනා ගන්නට පුළුවන්.

එහි මූලික අදියරක් ලෙස 2024 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා යටතේ TIN භාවිතයට ගත යුතු අවශ්‍යතා 4ක් හඳුන්වා දී තිබෙනවා. ඒ, ඕනෑ ම බැංකුවක ජංගම ගිණුමක් ඇරඹීම, මෝටර් රථයක් ලියාපදිංචි කිරීම හෝ බලපත්‍රය අලුත් කිරිම, ඉඩමක හිමිකම ලියාපදිංචී කිරීම, ගොඩනැගිලි සැලැස්මක් අනුමත කිරීම ආදී වශයෙන්. එම කාරණාවලදී TIN සහිත සහතිකයේ පිටපතක් අදාළ ස්ථානවලට ලබාදිය යුතු වනවා. වාහනයක් ලියාපදිංචි කිරීම හෝ බලපත්‍රය අලු‍ත් කරන විට TIN සහතිකයේ පිටපතක් ඉදිරිපත් කළ පමණින් යළිත් ආදායම් බදු ගෙවීමේ අවශ්‍යතාවක් නැහැ. මේ යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන නීති රීති සකස් වූ පසු ඒවා ක්‍රියාත්මක වනු ඇති බවත් ඉදිරියේදී මෙවැනි අවශ්‍යතා හඳුන්වා දෙමින් TIN අනිවාර්ය කිරීමේ වැඩපිළිවෙළ ශක්තිමත් ව ක්‍රියාත්මක වනු ඇති බවත් නියෝජ්‍ය කොමසාරිස්වරයා සඳහන් කරනවා.

ආදායම් බද්ද මෙරට ක්‍රියාත්මක වන ප්‍රධානතම සෘජු බද්දක්. සෘජු බද්දක බදු බර තවත් අයෙකුට විතැන් කරන්නට බැහැ. එය බදු ගෙවන තැනැත්තා විසින් ම දැරිය යුත්තක්. එහෙත් වක්‍ර බදු අයකිරීමේදී වන්නේ භාණ්ඩ හා සේවා මත බදු පැනවීමෙන් සෑම පුදගලයකුට ම එක ලෙස බදු ගෙවීමට සිදු වීම. වක්‍ර බදුවල මෙන් ආදායම් බදු බර තවත් අයකුට විතැන් කරන්නට නොහැකි නිසා ආදායම් බදු පැහැර හැරීමට ඇති ඉඩකඩ වැඩියි. මේ නිසා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසන්නේ TIN අනිවාර්ය කිරීමෙන් නියමිත ලෙස බදු නොගෙවන පිරිස් හඳුනා ගැනීමට හැකි වන බවත් බදු ආදායම් රැස්කිරීමට එය පහසුවක් වන බවත් සහ බදු නොගෙවා සිටින්නට පෙළඹෙන පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කෙරෙන බවත්.

පහසුවෙන් TIN අංකය ලබාගත හැකි ක්‍රම 03ක් තිබෙන බව නියෝජ්‍ය කොමසාරිස් නිහාල් විජයවර්ධන සඳහන් කරනවා. ඒ, අයදුම්පත්‍රය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ, ප්‍රධාන කාර්යාලය, නගර කාර්යාල හෝ ප්‍රාදේශීය කාර්යාලවලින් ලබාගෙන, නැතිනම් www.ird.gov.lk යන දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් බාගත කරගෙන එය සම්පූර්ණ කිරීමෙන් පසු තමන්ගේ ජාතික හැඳුනුම්පතේ දෙපැත්ත ම සහිත පිටපතක් සමග දෙපාර්තමේන්තු කාර්යාලයකට භාරදීමත් එය දෙපාර්තමේන්තුවේ ලිපිනයට තැපැල් කිරීමත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස අයදුම්පත්‍රය පුරවා වෙබ් අඩවිය ඔස්සේ ම යොමු කිරීමත් වශයෙන්. යම් අයකුට තොරතුරු විමසීමට අවශ්‍ය නම් 1944 අංකයට ඇමතීමෙන් හෝ වෙබ් අඩවියෙහි ඇති මාර්ගෝපදේශවලින් උපදෙස් ලබාගත හැකි අතර ලියාපදීංචි වන පුද්ගලයන් ලබාදෙන සංවේදී හා රහස් තොරතුරු ආරක්ෂා කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බැඳී සිටිනවා.

මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ සඳහන් කරන ආකාරයට මේ වැඩපිළිවෙළෙහි අභියෝගය වන්නේ එකවර විශාල පිරිසක් මේ පද්ධතියට ඇතුළු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව තිබේද යන්න. වාර්ෂික ව ඉදිරිපත් කළ යුතු ආදායම් වියදම් ලේඛන පරීක්ෂා කිරීම ආදිය කොතරම්දුරට සාර්ථක ව කළ හැකි ද යන්නත් ගැටලුවක්. සැලසුම් කර තිබෙන පරිදි ආදායම් අධිකාරියක් පිහිටුවීම සිදු කළහොත් මේ වැඩපිළිවෙළ සාර්ථක වනු ඇති බවයි ඔහු පවසන්නේ.

බදු ගෙවීමට අදාළ අණපනත් බහුතරයක් පැරණි වන බවත් මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වා දෙනවා. බදු ගෙවීමේදී යම් නොගැළපීමක් ඇතිවුවහොත් බදුවලට අදාළ අභියාචනා ඉදිරිපත් කළ හැකි අතර ම බදු ගෙවන්නන්ට අධිකරණ ඇතුළු අනිකුත් ක්‍රියාමාර්ගවලින් බදු ගෙවීමට කාලය ලබාගත හැකි වනවා. එය යහපත් තත්ත්වයක් නොවන නිසා වර්තමානයට ගැළපෙන ලෙස නීති සකස් විය යුතු බවයි මහාචාර්යවරයා පවසන්නේ. අදහස් දක්වන ඔහු; “නූතනයට ගැළපෙන ලෙස නීති සැකසීමේදී අදාළ සහන ඊට ඇතුළත් විය යුතුයි. වාණිජ අධිකරණයක් පිහිටුවීමත් වැදගත්. 21 වැනි ශත වර්ෂයේ බදු ව්‍යුහය කළමනාකරණයට පැරැණි අණපනත් යොදා ගැනීම සුදුසු වන්නේ නැහැ. බි්‍රතාන්‍ය ජාතිකයන් හඳුන්වා දුන් අණපනත් ඉදිරියට ගෙනයාම වෙනුවට නව අණපනත් හඳුන්වා දිය යුතුයි. අභියාචනා ආදී ක්‍රියාමාර්ග හේතුවෙන් වසර 15ක් පමණ වන තුරු පුද්ගලයකුට බදු පැහැර හැරීමේ හැකියාව පවතිනවා. මේ විෂමතා ඉවත් කළ යුතුයි.”

TIN අනිවාර්ය කිරීමේ ඉලක්කවලට යොමු වීම සඳහා කාලයක් ගත වන්නට පුළුවන්. ඒ, ජනතාව ඊට හුරුවීම සහ ආදායම් පිළිබඳ නිවැරදි දත්ත රැස්කිරීමට කල්ගතවීම වැනි කාරණා හේතුවෙන්. මේ නිසා බදු එකතු කිරීමේ යාන්ත්‍රණය සරල කිරීම, නිවැරදි ලෙස බදු ප්‍රතිසංස්කරණ සිදු කිරීම කාලීන අවශ්‍යතාවක්.

මල් නොතලා රොන් ගැනීම

කොඩි ගහ යට