#ක්‍රීඩා

මලල ක්‍රීඩාවට ධනාත්මක ලකුණක්

  • ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය
අනෝමා රත්නායක
ක්‍රීඩා විද්‍යා සහ ශාරීරික අධ්‍යාපන
අධ්‍යයන අංශය
සමාජීය විද්‍යා පීඨය
කැලණිය විශ්වවිද්‍යාලය

ලෝක මලල ක්‍රීඩා ගෘහස්ථ ශූරතාවලිය යනු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වේගය, ජවය සහ උපාය මාර්ග පරීක්ෂා කරන, මැන බලන ප්‍රමුඛතම ගෝලීය තරගාවලියක්. සෑම වසර දෙකකට ම වරක් ජවන හා පිටිය ‍යන ඉසව් යටතේ එය පැවැත්වෙනවා. මේ තරගාවලිය මලල ක්‍රීඩාවේ විවිධත්වය සඳහා වන ගෝලීය ශූරතාව ලෙස දක්වන්නට පුළුවන්.

2025 මාර්තු 21 දින සිට මාර්තු 23 දින දක්වා චීනයේ යෞවන ඔලිම්පික් ක්‍රීඩා උද්‍යානයේ අලුතින් ඉදිකරන ලද ‘නැන්ජින් කියුබ්’ ව්‍යායාම ශාලාවේදී එය පැවැත්වුණේ 21 වැනි වරට. ඉසව් 26ක් මෙවර තරගාවලියට ඇතුළත් කර තිබුණා. ඒ සඳහා සුදුසුකම් ලබා තිබුණේ රටවල් 127 ක්‍රීඩක ක්‍රීඩිකාවන් 576ක්.


මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා පිරිමි මීටර් 4×400 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික ගෘහස්ථ වාර්තාවක් පිහිටවූයේ එහි අවසන් තරගයේදී පස් වැනි ස්ථානයට පත්වෙමින්. ඒ, කාලය විනාඩි 3:10.58කින් තරගය නිමා කරමින්. 2007 වසරේදී ප්‍රසන්න අමරසේකර, රෝහිත පුෂ්පකුමාර, ශිවන්ත වීරසූරිය සහ අසෝක ජයසුන්දර මේ ඉසව්වේ තබා තිබූ කාලය 3:11.79ක්.
ශ්‍රී ලංකා කාන්තා මීටර් 4×400 සහය දිවීමේ කණ්ඩායම පළමු වරට ගෘහස්ථ ඉසව්වකට සහභාගි වූ අතර ඔවුන් ද අවසන් මහා තරගයේදී පත්වුණේ පස් වැනි ස්ථානයට. කෙටි දුර ධාවන ශූර චමෝද් යෝදසිංහ සහ කඩුලු පැනීමේ ක්‍රීඩිකාවන් වන කවීෂා බණ්ඩාර විසින් ඔවුන්ගේ අදාළ ඉසව්වල ලබාගත් අවසන් පූර්ව වටය ලෝක ගෘහස්ථ ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළ ම ලකුණු වුණා. මීටර් 60 කෙටි දුර ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට පිවිසි චමෝද් යෝදසිංහ තත්පර 6.70ක් වාර්තා කරමින් අට වැනි ස්ථානය දිනා ගත්තා. නඳුන් කේ බණ්ඩාර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූවේ මීටර් 60 කඩුලු පැනීම ඉසව්වේ සිව් වැනි තේරීමේ තරගයේදී තත්පර 7.87ක දස්කමක් දක්වමින්.


‘ලෝක මලල ක්‍රීඩා’ (World Athletics) විසින් පළමු වරට සංවිධානය කරන ලද මේ ශූරතාවලිය 1985 වසරේදී ප්‍රංශයේ පැරිස් නුවරදී පවත්වා තිබෙනවා. දෙවැනි ශූරතාවලිය නම් කර ඇත්තේ ලෝක ගෘහස්ථ ශූරතා තරගාවලිය ලෙස. ඒ, 1987 වසරේදී. 2019 වසරේදී ක්‍රීඩා පාලක මණ්ඩලයේ නම වෙනස් කිරීමත් සමග ‘ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය’ (World Athletics Indoor Championships) ලෙස එය නම් කර තිබෙනවා. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සිදු කෙරෙන්නේ ද්විත්ව මාර්ගයක් මත පදනම් ව. 50%ක් ඇතුළත් වීමේ ප්‍රමිති සපුරා ගැනීමෙන් සුදුසුකම් ලබන අතර ඉතිරි 50% ඉහළ ලැයිස්තුවලින් සුදුසුකම් ලබනවා.


ශ්‍රී ලංකාව මේ ගෝලීය වේදිකාවට පිවිස ඇත්තේ 2001 වසරේ පෘතුගාලයේ ලිස්බන් නුවර පැවැති 08 වැනි ශූරතාවලියේදී. මේ සඳහා සුසන්තිකා ජයසිංහ, සුගත් තිලකරත්න, දමයන්ති දර්ශා සහ රොහාන් ප්‍රදීප් කුමාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනකු සුදුසුකම් ලබා තිබෙනවා. ඒ සඳහා සහභාගි වන වැඩි ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව මෙවර ශූරතාවලියට සහභාගි වීම විශේෂත්වයක්. මේ ප්‍රගතිය ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විභවය පමණක් නොව ගෝලීය මලල ක්‍රීඩාව රටේ වර්ධනය වීම ද පිළිබිඹු කරන අතර මෙය ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ගමනේ සැලකිය යුතු සන්ධිස්ථානයක්.


ඓතිහාසික ව ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ජයග්‍රහණ සීමා වී තිබෙන්නේ එළිමහන් ඉසව්වලට පමණයි. දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ අමතක නොවන දස්කම්, ආසියානු ක්‍රීඩා උලෙළේ සහ ඔලිම්පික් උලෙළේ කැපී පෙනෙන අවස්ථා කිහිපයක් ද තිබෙනවා. තාක්ෂණික අවශ්‍යතා සහ දැඩි තරගකාරිත්වය හේතුවෙන් ‘ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය’ ගවේෂණය නොකළ සහ මෙතෙක් ප්‍රවේශය අවම වූ භූමියක් ලෙසයි පැවතුණේ. මෑතකදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් හත් දෙනකු සහ ක්‍රීඩිකාවන් පස් දෙනකුගෙන් යුත් fදාළොස් දෙනකු තෝරා ගැනීමෙන් පෙන්නුම් කරන්නේ දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර ප්‍රමිති සපුරාලීමට පටන්ගෙන ඇති බව. ප්‍රධාන වශයෙන් එළිමහන් තරගවල ඔවුන්ගේ දස්කම් මත ඔවුන් ගෘහස්ථ ඉසව් සඳහා ස්වයංක්‍රීය ව සුදුසුකම් ලබනවා (ලෝක මලල ක්‍රීඩා, 2024). යටිතල පහසුකම් සහ ප්‍රතිපත්තිමය අභියෝග මධ්‍යයේ වුවත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව ගෝලීය මිනුම් සලකුණු සමග සෙමින් පෙළ ගැසෙන බවට මෙය ධනාත්මක ලකුණක්.
ගෝලීය ආයතනයේ අවධානය දිනාගත් තනි කාර්යසාධනය සැලකිය යුතු ජයග්‍රහණයක්. විශේෂයෙන් ශ්‍රී ලාංකික කෙටි දුර සහ මැද දුර ධාවකයන් ඔවුන්ගේ පෞද්ගලික ධාවන කාලය ලෝක ශ්‍රේණිගත කිරීම්හි පරිසාධනීය මට්ටම දක්වා වර්ධනය කර ගනිමින් පවතිනවා. මෙවැනි දක්ෂතාවලින් ලෝක ශ්‍රේණිගත කිරීම්හි ඉහළට ම යා හැකි වන අතර එය ලෝක ගෘහස්ථ ශූරතාවලිය වැනි ප්‍රධාන ඉසව් සඳහා සුදුසුකම් ලැබීමට සෘජු ව ම බලපාන්නක්.


මේ සංවර්ධනය ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉහළ මට්ටමේ තරගකාරිත්වයට නිරාවරණය වීමට නව දොරටු විවර කරනු ඇති. ගෘහස්ථ ශූරතාවලියේ තරග කිරීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කෙටි ධාවන පථ සහ තද, වක්‍ර හා පාලිත දේශගුණික පරිසර වැනි විවිධ ධාවන පථ තත්ත්වයට අනුවර්තනය වීමට ඉඩ සලසනවා. මේ සඳහා නිශ්චිත තාක්ෂණික කුසලතා සහ ධාවන උපායමාර්ග අවශ්‍ය වන අතර ප්‍රධාන වශයෙන් එළිමහන් ධාවන පථවල පුහුණුවන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අගනා ඉගෙනුම් අවස්ථා ද හිමි වනවා. එවැනි ඉසව්වලට සහභාගි වීම තනි පුද්ගල අත්දැකීම් වැඩි කරනවා පමණක් නොව එයින් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා විභවය කෙරෙහි ජාත්‍යන්තර අවධානය ද යොමු වනවා.
මේ වර්ධනය වන පැවැත්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ප්‍රතිපත්ති සහ යටිතල පහසුකම් සංවර්ධනයට ධනාත්මක ලෙස බලපෑම් කරන්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ වැඩි වන නියෝජනයෙන් ගෝලීය තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීමට ගෘහස්ථ පහසුකම් සහ ව්‍යුහගත වැඩසටහන්වල අවශ්‍යතාව ගවේෂණය කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයන් දිරිමත් කරනු ඇති. එපමණක් නොව ගෝලීය ඉසව්වලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි සංඛ්‍යාවක් සහභාගි වීමත් සමග මාධ්‍ය ආවරණය සහ මලල ක්‍රීඩා පිළිබඳ මහජන උනන්දුව ද වැඩි විය හැකියි. ලෝක ගෘහස්ථ ශූරතාවලියට සුදුසුකම් ලැබීම වැනි සන්ධිස්ථාන ඔස්සේ මේ ආඛ්‍යානය වෙනස් කිරීමටත් ජවන හා පිටිය ක්‍රීඩා කෙරෙහි ප්‍රේක්ෂක හා ක්‍රීඩක අවධානය යොමු කිරීමටත් හැකියාව තිබෙනවා. මාධ්‍ය උනන්දුව වැඩිවීමෙන් අනෙක් අතට අනුග්‍රාහකත්වය සහ පෞද්ගලික අංශයේ ආකර්ෂණය ලබා ගත හැකි අතර ඒවා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංවර්ධනය සඳහා විශේෂයෙන් මිල අධික පුහුණු වැඩසටහන් සහ ජාත්‍යන්තර තරග නිරාවරණය සඳහා තීරණාත්මක සාධක වනවා.


බිම් මට්ටමේ ක්‍රීඩා සංවර්ධනයට ඇති විය හැකි බලපෑම එහි එක් ධනාත්මක පැතිකඩක්. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෝලීය ගෘහස්ථ ඉසව්වල තරග වදිනු දැකීම මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් මලල ක්‍රීඩා ව කෙරෙහි ප්‍රවේශ කරවා ගැනීමට සපයන්නේ අභිප්‍රේරණයක්. අනාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ශක්තිමත් පදනමක් සැපයීමට ඉන් හැකියාව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ගෘහස්ථ පහසුකම් නොමැතිකම සහ ගෘහස්ථ ඉසව්වල සීමිත තාක්ෂණික විශේෂඥතාව වැනි අභියෝග තවමත් පවතින අතර ලෝක මලල ක්‍රීඩා සංවිධානවල නිර්ණායක මත පදනම් ව ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමෙන් පෙන්නුම් කරන්නේ දේශීය දක්ෂතා නිවැරදි සහයෝගය ඇති ව ගෝලීය මට්ටමට නංවාලිය හැකි බව. පුහුණු කිරීම, ක්‍රීඩා විද්‍යාව, ක්‍රීඩා කළමනාකරණය සහ යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ ගෘහස්ථ ජවන හා පිටිය ජයග්‍රහණ පහසුවෙන් අත් කර ගත හැකියි.


මේ අනුව ලෝක මලල ක්‍රීඩා ගෘහස්ථ ශූරතාවලියේ ශ්‍රී ලංකාවේ නියෝජනයේ වර්ධනය සැලකිය යුතු හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරනවා. ජාත්‍යන්තර ප්‍රමිති මත තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනකුගේ සිට දොළොස් දෙනකු දක්වා යැවීම සංඛ්‍යානමය දියුණුවක් පමණක් නොව නැගී එන මලල ක්‍රීඩා විභවයේ සංකේතයක්. එය පිළිබිඹු කරන්නේ නිවැරදි උපායමාර්ගික අවධානයක් සහිත ව දක්ෂයන් සමග තරග කළ හැකි සංචිතය. සහභාගි වීම පමණක් නොව ජයග්‍රහණය කිරීමේ ඉලක්කය ඇති ව ක්‍රීඩා බලධාරින්ට, ප්‍රතිපත්ති සම්පාදකයන්ට සහ පෞද්ගලික අංශයට මලල ක්‍රීඩා සඳහා තවදුරටත් ආයෝජනය කිරීමට පෙළඹවිය යුතුයි. මේ හැකියාව අවබෝධ කර ගැනීමෙන් ශ්‍රී ලංකාවට ගෝලීය මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ශක්තිමත් අනන්‍යතාවක් ඇති කර ගත හැකි අතර නව පරම්පරාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ සඳහා පොළඹවාලිය හැකියි.