#විදේශ විත්ති

භාරත ඡන්ද සටන

  • නිහාල් පීරිස්

ලෝකයේ විශාලතම පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වී තිබේ. ඒ, ඉන්දියාවේ මහා මැතිවරණයයි. 2024 අප්‍රේල් 19 දින ආරම්භ වූ මේ අපූරු මැතිවරණය සති 06ක කාලයක් පැවැත්වෙන්නේ අදියර 7ක් යටතේයි. ඡන්ද විමසීම අවසන් වීමට නියමිත ව තිබෙන්නේ ජුනි 01 දිනයි. ජුනි 04 දින ප්‍රතිඵල නිකුත් වීමට නියමිත ව ඇති මේ මැතිවරණයේ අදියර 07න් කිහිපයක් මේ වනවිට අවසන් ව තිබේ.

අගමැති නරේන්‍ද්‍ර මෝදි

ඉන්දියාවේ මැතිවරණය ලෝකයේ විශාලතම මැතිවරණය ලෙස සැලකෙන්නට එක් හේතුවක් වන්නේ අතිවිශාල ඡන්දදායකයන් සංඛ්‍යාවක් එහිදී ඡන්දය භාවිත කිරීමයි. මෙවර මිලියන 969ක ඡන්දදායකයන් පිරිසක් ඡන්දය භාවිත කිරීම සඳහා ලියාපදිංචි වී ඇත. එය බිලියනයකට ආසන්න සංඛ්‍යාවකි.

ඉන්දියාව ඉතා විශාල රටක් බව ද රහසක් නොවේ. එහි භූමි ප්‍රමාණය වර්ග කි.මී. මිලියන 3කට වැඩි ය. වනාන්තරවලින් වැසුණු ප්‍රදේශ ද කාන්තාර ප්‍රදේශ ද කඳු සහිත ඉතා දුෂ්කර ප්‍රදේශ ද මේ භූමියේ පිහිටා තිබේ. මෙවැනි විශාල රටක දුර බැහැර ගම් නියම්ගම්වල ඡන්දදායකයන් පවා සහභාගි කර ගනිමින් මැතිවරණයක් සාර්ථක ව පැවැත්වීම සැබැවින් ම අභියෝගයකි.

රහුල් ගාන්ධි

තනි ඡන්දදායකයකු පමණක් සිටින ගම්මාන පවා තිබෙන බව සඳහන් ය. 2019 වසරේ පැවැති මැතිවරණයේදී ගුජරාත් ප්‍රාන්තයේ ඉතා ඈත ගම්මානයක ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවා තිබුණේ එක ම එක ඡන්දදායකයකු වෙනුවෙනි. මෙවර මැතිවරණයේදී ද අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගම්මානයක වාසය කරන එක ම එක කාන්තාවකගේ ඡන්දය ලබා ගැනීම සඳහා මැතිවරණ නිලධාරීන් කි.මී. 40ක් දුර ගෙවාගෙන යන බවක් මාධ්‍ය සඳහන් කර තිබිණි. හිමාලය ආසන්නයේ පිහිටි හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ අඩි 15,000ක් ඉහළින් පිහිටි ටාෂිගංග් නැමැති ගම්මානයක ද ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවන අතර ලෝකයේ උසින් ම පිහිටුවන ඡන්ද මධ්‍යස්ථානය එයයි. ඉන්දියාවට අයත් දූපත් කිහිපයක ද ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවයි.

ඇතැම් කාන්තාර ප්‍රදේශවල මැතිවරණ කාර්ය සඳහා නිලධාරීන් ඔටුවන් වැනි සතුන් පිටේ ද ගමන් කරන බව පැවසේ. බෝට්ටුවලින් සහ හෙලිකොප්ටර්වලින් ගමන් කරන්නට සිදුවන අවස්ථා ද ඇත. මෙවර මැතිවරණයේදී පිහිටුවන ඡන්ද මධ්‍යස්ථාන ගණන ලක්‍ෂ 10කට වැඩි ය. මැතිවරණ නිලධාරීහු සහ ආරක්‍ෂක නිලධාරීහු මිලියන 15කට ආසන්න සංඛ්‍යාවක් මැතිවරණ ක්‍රියාවලියට සහභාගි වෙති.

මැතිවරණයට තරග කරන ප්‍රධාන පක්‍ෂ දෙක වන්නේ භාරතීය ජනතා පක්‍ෂය සහ ඉන්දීය ජාතික කොංග්‍රසයයි. තවත් පක්‍ෂ රැසක් මේ පක්‍ෂ සමග සන්ධානගත ව ද සිටියි. අගමැති නරේන්‍ද්‍ර මෝදි අයත් වන භාරතීය ජනතා පක්‍ෂය නායකත්වය දෙන සන්ධානය ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයයි. සෝනියා ගාන්ධි, රහුල් ගාන්ධි, ප්‍රියංකා ගාන්ධි වැනි නායකයන් අයත් වන ඉන්දීය ජාතික කොංග්‍රසය නායකත්වය දෙන්නේ INDIA (Indian National Developmental Inclusive Alliance) නැමැති සන්ධානයටයි.

මැතිවරණය ආසන්නයේ පවත්වන ලද ජනමත සමීක්‍ෂණවලින් හෙළි වී තිබුණේ භාරතීය ජනතා පක්‍ෂය අයත් සන්ධානය මැතිවරණයෙන් ජයගනු ඇති බව ය. එහෙත්ස INDIA න්ධානය ද ප්‍රාන්ත මට්ටමින් ඉතා ජනප්‍රිය පක්‍ෂ රැසක් අයත් වන සන්ධානයකි. ඒ නිසා ඔවුන්ගෙන් භාරතීය ජනතා පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට ප්‍රබල අභියෝගයක් එල්ල වීමට ඉඩ තිබේ.

මෙවරත් භාරතීය ජනතා පක්‍ෂය මැතිවරණයෙන් ජය ගතහොත් එය ඔවුන් අඛණ්ඩ ව ලබන තුන් වැනි මැතිවරණ ජයග්‍රහණය වනු ඇත. 2014 සහ 2019 වසරවල පැවැති මහා මැතිවරණවලින් ජය ගත්තේ ද එම පක්‍ෂයයි. 2014 වසරේ මුල්වරට අගමැති පදවියට පත් වූ නරේන්‍ද්‍ර මෝදි එයින් වසර 10කට පසුවත් තවමත් ප්‍රබල තත්ත්වයක පසුවෙයි. මෙවර ඔහු තුන් වැනි වරටත් අගමැති ධුරයට පත්වනු ඇති බව බොහෝ දේශපාලන නිරීක්‍ෂකයන්ගේ අදහස වී තිබේ.

මෝදිගේ නායකත්වය යටතේ ඉන්දියාව ආර්ථික වශයෙන් ඉදිරි ගමනක නිරත වූ බව රහසක් නොවේ. එමෙන් ම ජාත්‍යන්තර කරළියේ ද කැපී පෙනෙන බලවතකු ලෙස ඉදිරියට ඒමට මේ වනවිට ඉන්දියාව සමත් ව සිටියි. විද්‍යාව, තාක්‍ෂණය වැනි ක්‍ෂේත්‍රවල ද බොහෝ ජයග්‍රහණ හිමි කරගන්නට පසුගිය කාලයේ ඉන්දියාවට හැකි විය. අභ්‍යවකාශ ගවේෂණය වැනි ක්‍ෂේත්‍රවල පවා ඔවුන් වේගවත් ගමනක නිරත ව සිටිනු දැකිය හැකි වේ.

රටේ විරැකියාව ඉහළ යාම වැනි කාරණා ගැන භාරතීය ජනතා පක්‍ෂයේ විරුද්ධවාදීහු පෙන්වා දෙති. ගොවියන් වැනි කණ්ඩායම්වලට ද යම් යම් ප්‍රශ්න පවතින බව පසුගිය කාලයේ පැවැති ගොවි විරෝධතාවලින් ද දැකගත හැකි විය.

මෝදිගේ පාලනය යටතේ ඉන්දියාව ඒකාධිපතිවාදයක් කරා ගමන් කරමින් සිටින බවට ද විරුද්ධ පක්‍ෂ චෝදනා කරයි. විරුද්ධ පක්‍ෂවල නායකයන්ට විවිධ වංචා දූෂණ චෝදනා එල්ල වනු පසුගිය කාලයේ දැකිය හැකි විය. ඇතැම් නායකයන් මේ වනවිට සිටින්නේ බන්ධනාගාරවල ය. මෝදිගේ ප්‍රබල ම දේශපාලන විරුද්ධවාදියකු වන දිල්ලි මහ ඇමැති අර්වින්ද් කෙජ්රිවාල් මෙයට හොඳම උදාහරණයයි. මෙලෙස විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා භාරතීය ජනතා පක්‍ෂය රාජ්‍ය ආයතන යොදා ගනිමින් සිටින බවට ද චෝදනා එල්ල වෙයි.

භාරතීය ජනතා පක්‍ෂ පාලනය යටතේ ඉන්දියාවේ සුළු ජාතිකයන්ට විවිධ ගැටලුවලට මුහුණදීමට සිදු ව ඇතැයි යන්න ද එම පක්‍ෂයේ ප්‍රතිවාදීන් නගන තවත් චෝදනාවකි.

මහා මැතිවරණය පැවැත්වෙන්නේ ඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක් සභාවේ නියෝජිතයන් තෝරා ගැනීම සඳහායි. එරට පාර්ලිමේන්තුවේ ලෝක් සභාව සහ රාජ්‍ය සභාව ලෙස මන්ත්‍රී මණ්ඩල දෙකක් ඇත. රාජ්‍ය සභාවට නියෝජිතයන් තෝරා ගන්නේ ජනතා ඡන්දයෙන් නොවේ. එම නියෝජිතයන් පත් කර ගැනෙන්නේ ප්‍රධාන වශයෙන් ම ප්‍රාන්ත සභා මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙනි.

මහා මැතිවරණයේදී ලෝක් සභාවේ ආසන 543ක් සඳහා නියෝජිතයන් තෝරා ගැනේ. තනි ව ම ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පක්‍ෂයක් හෝ සන්ධානයක් ආසන 272කට වඩා ගත යුතු ය. 2019 වසරේ පැවැති පසුගිය මැතිවරණයේදී භාරතීය ජනතා පක්‍ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආසන 352ක් දිනා ගත්තේ ය. ඔවුන් පවසමින් සිටින්නේ මෙවර ඊටත් වැඩි ආසන ගණනක් දිනාගන්නා බවයි.

ජනප්‍රිය නළු නිළියෝ දෙතුන් දෙනෙක් ද මෙවර මැතිවරණයේදී ක්‍රියාකාරී ව සිටිති. සම්මානනීය නිළියක වන කන්ගනා රනවුත් භාරතීය ජනතා පක්‍ෂයෙන් මැතිවරණයට තරග කරයි. කමල් හසන් ද මැතිවරණයේ ක්‍රියාකාරී ව සිටින තවත් කලාකරුවෙකි. ඔහු මැතිවරණයට තරග නොකළත් තමිල්නාඩුවේ ප්‍රබල ම පක්‍ෂයක් වන ද්‍රවිඩ මුන්නේත්‍ර කෂාගම් පක්‍ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කරමින් සිටියි. එම පක්‍ෂය මෝදි විරෝධී පක්‍ෂයකි. කලක් තමිල්නාඩු දේශපාලනයේ දැවැන්තයකු වූ එම්. කරුණානිධි අයත් වූයේ ද මේ පක්‍ෂයටයි.

භාරත ඡන්ද සටන

හෙට දවස