බොබ් මාලේ උන්මාදය
- තුසිත ජයසුන්දර
ලොව සංගීතයට හා ගීතයට පෙම් බඳින තරුණ ජනයා කෙරෙහි ඉමහත් බලපෑමක් එල්ල කළ තිදෙනකු සේ එල්විස් ප්‍රෙස්ලි, ජෝන් ලෙනන් හා බොබ් මාලේ හඳුන්වා දීම සහේතුක ය. ඔවුහු නොපමාව ම තරුණ ජනයා වසඟ කර ගත්හ. අනතුරු ව සුන්දර උමතුවක් වී තරුණ ජනයා පෙළන්නට වූහ. තරුණ විය ගෙවී යාමත් සමග ම මරු වැළඳ ගත්හ. ඔවුන්ගේ බටහිර කේන්ද්‍රීය පිවිසුම ආසියානු හා අප්‍රිකානු මහාද්වීප පුරා පැතිරෙන්නට වූයේ සමකාලීන සමාජ හා දේශපාලන ලක්ෂණ ද පරිවර්තන ද අරභයා සවිඥානක වෙමිනි. අද දවසේදී එල්විස් ප්‍රෙස්ලි, ජෝන් ලෙනන් හා බොබ් මාලේ පිළිබඳ සියලු විවරණ විෂයෙහි සංගීතයට හා ගීතයට පමණක් ලඝු නොවන කතිකා ඉස්මතු වන්නේ වෙසෙසින් ම සිනමාව ද ප්රමුඛකොට ගෙන ය. මෙහිලා ඔවුන්ගේ දායකත්වය සේ ම මෙහෙයවීම ලද සුප්‍රකට සංගීත කණ්ඩායම් ද ආවරණය කෙරේ. ඇවැසිනම් වත්මන් කණ්ඩායම් සංගීතයේ මූලිකාංග හා චර්යා සතු සමත්කම් නිශ්චය කර ගැනීමේ අරමුණ ද මේ හා එක් කළ හැකි ය.
මෙහිදී ජෝන් ලෙනන් එක්වූ ‘ද බීට්ල්ස්’ සංගීත කණ්ඩායම ද කැපී පෙනේ. බොබ් මාර්ලේ සමග පෙරට ආවේ ‘ද වේලර්ස්’ සංගීත කණ්ඩායමයි. මෙයට සමගාමී ව නිර්මිත තරුණ සංගීත කණ්ඩායම් බටහිරදී සේ ම ආසියානු හා අප්‍රිකානු රටවලදී ද දක්නට ලැබිණි.
එල්විස් ප්‍රෙස්ලි, ජෝන් ලෙනන් හා බොබ් මාලේඋමතුවෙන් ආතුර වී ඔවුන් ව අදහන්නට තරුණ හා ගැටවර ජනයා මෙසමයේ නොපැකිළෙන්නේ නිසි වැටහීමකින් නොවන්නට ද පුළුවනි. තාරුණ්‍යයේ සංකේත බවට ඔවුන් ව පත් කරලන අවස්ථා ද පවතී. එම සංකේත අතික්‍රමණය නොකෙරෙන්නේ නම් දෘශ්‍යමානය මත ම ලැග සිටින්නට සිදු වේ. මෙය ඔවුන්ට පමණක් ම අදාළ නොවන ඉරණමකි. සුලබ ම උදාහරණ ගෙන එන්නේ චේ ගෙවාරා, වික්ටර් හාරා, බෲස් ලී, නෙල්සන් මැන්ඩෙලා, මාර්ටින් ලූතර් කිං වැන්නන් ය.
වසඟ වීම හා උමතුවීම අභිභවා පරිපූර්ණ හා පරිසමාප්ත කියැවීම් ඔස්සේ මෙවැනි තරුණ හා ගැටවර සංකේත විමසුම සඳහා පෙර කී පරිදි වැඩි ඉඩක් පාදා දෙන්නට සිනමාව සාකල්‍යයෙන් ම සමත් වෙයි. මේ සිනමා පිවිසුමේ අභිනව අවස්ථාව වන ‘බොබ් මාලේ වන් ලව්’ ඇමරිකානු සිනමාපටය මේ දිනවල ලොව සිනමාශාලා රැසක ප්‍රදර්ශනය වන්නේ අපේක්ෂා කළ පරිදි ම තරුණ හා ගැටවර රසිකයන්ගේ උණුසුම් හා සංවේදී ප්‍රතිචාර නොමඳ ව ලබා ගනිමිනි. ප්‍රධාන ප්රවාහයේ නවතම විදෙස් සිනමාපට එසැනින් ම නරඹන්නට ලැබෙන අවකාශය හේතුවෙන් ලංකේය තරුණ හා ගැටවර සිනමා රසික පාර්ශ්ව ද ‘බොබ් මාලේ වන් ලව්’ කෙරෙහි ස්වකිය හෘදයාංගම ප්‍රතිචාර සිනමාශාලා විෂයෙහි දක්වමින් සිටිති.
සිනමාකරු රෙනල්ඩෝ මාර්කස් ග්‍රීන් ‘බොබ් මාලේ වන් ලව්’ නිර්මාණය කරන්නේ චරිත කේන්ද්‍රීය සිනමා ප්‍රවර්ගය නොඉක්මවමිනි. මෙබැඳි විටෙක මතුවන අභියෝග සම්බන්ධයෙන් ඔහු දැනුවත් ව සිටි අන්දම පැහැදිලි ය. බොබ් මාලේගේ සක්‍රිය සමය ඔහුගේ පළමු තෝරා ගැනීම වෙයි. මේ 1976-80 සමයයි. ඔහුගේ නිජ බිම වන ජැමෙයිකාවේ එසමය ප්‍රතිනිර්මාණය කිරීමේ වුවමනාව ද ඔහු වෙතින් ගම්‍ය වේ. හොලිවුඩ් සිනමාකරුවකුට මෙය එපමණ අසීරු වූවක් සේ නොපෙනේ. එහෙත් මෙය රසික පාර්ශ්වයේ විශ්වසනීයත්වය දිනා ගැනීමට සමත් විය යුතු ය. අතීතය ප්‍රතිනිර්මාණය මත ම මෙබඳු සිනමාපටයක සිනමානුරූපී බව නොරැfඳයි. තේමාව හා චරිත ද සිදුවීම් ද උපකල්පන ආදිය වෙතොත් ඒවා ද මෙතැනට රැගෙන ආ යුතු ම ය.
සිනමාකරු ග්‍රීන් මේ අභියෝගයට මුහුණදෙන්නේ රූප රචනයේ එන වර්ණ භාවිතය ද උපයෝගි කොට ගනිමිනි. මෙයින් සිනමාපටයේ අතීතකාමී ලකුණු උද්දීපනය වන්නේ නොදැනීම ය. සිනමාව මතුපිටින් දකිනු රිසි තරුණ කණ්ඩායම් ආකර්ෂණය කර ගැනුමට මෙය මාහැඟි උපක්‍රමයක් ද වේ. එනම් අතීතය අදට වඩා හොඳ ය යන්න තරුණ පරපුර ද යම් පමණකට හෝ විශ්වාස කරන්නක් වීමයි.
සිනමා අධ්‍යක්ෂණයේ බොහෝ දුරක් ගමන් නොකළ ද සිනමාවේ සමත්කම් දත්තකු සේ සිනමාකරු ග්‍රීන් හඳුනා ගන්නට පුළුවනි. 2021 වසරේදී මුල්වරට ප්‍රදර්ශිත ‘කිං රිචර්ඩ්‘ ඔහුගේ සිනමා සමත්කම් තහවුරු කළ හොඳ ම අවස්ථාවකි. ‘කිං රිචර්ඩ්’ 94 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන 06කට නිර්දේශ වී තිබිණි.
බොබ් මාලේ හුදු ගායන ශිල්පියකු ම නොවන බව අවධාරණය කළ යුතු ම ය. ඔහුගේ ගායන විලාසය හා ඉන් ප්‍රකට කෙරෙන දැක්ම හා වදන් නිසා ප්‍රතිභාසම්පන්න ගිටාර් වාදන ශිල්පියකු හා ගේය පද රචකයකු සේ ඔහු ව හඳුනා ගැනීම දුර්මුඛ කරවයි. ගායනයේ හා සංගීතයේ අභිනවාරම්භයක් සලකුණු කළ සුප්‍රකට රෙගේ සංගීත පිවිසුමේ පුරෝගාමියා වන්නේ ද බොබ් මාලේයි. තරුණ පෙළ අතර බොබ් මාලේ උන්මාදයක් සේ පැතිර යන්නට රෙගේ සංගීත ආර සුවිශේෂ මැදිහත්වීමක් සිදු කළ වග මෙයින් පෙනේ.
බොබ් මාලේගේ ගීත ඇල්බම අතරින් තරුණ පෙළ අතරට වැඩිපුර ම පැමිණියේ ‘බර්නින්’, ’ලයිව්’ හා ‘අප්රයිසින්’ ය. ‘ගෙටප් ස්ටෑන්ඩ් අප්’, ‘නෝ වුමන් නෝ ක්‍රයි’ යන ඔහුගේ ගි සමග මේ ගීත ඇල්බම ස්වීයත්වය, නිදහස, ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම්, ස්ත්‍රී විමුක්තිය, අරගලකාරී බව, නව යටත්විජිත විරෝධය බඳු දේශපාලනික අදහස් උද්දීපනය කළ බව ද සඳහන් කළ යුතු වන්නකි. තාරුණ්‍යයේ ලකුණු බවට පත්වන විප්ලවීය හැඟීම් මේ හා නිර්බාධිත ව එක්වූ වග සිහි කටයුතු ය. තැටි හා කැසට්පට ඔස්සේ ආ බොබ් මාර්ලේගේ ගී අද වන විට සංයුක්ත තැටි ද ඉක්මවා අන්තර්ජාලගත වී තිබේ.
තාර්කික හා නිවැරදි අනුකරණයක් නොමැති තැන සිදුවිය හැකි ව්‍යසන විෂයයෙහි බොබ් මාලේ සපයන්නේ බැහැර කළ නොහැකි උදාහරණයකි. වැරදි කොනින් බොබ් මාලේ ව අල්ලා ගත් තරුණ හා ගැටවර කණ්ඩායම් දෘශ්‍යමාන විලාසිතාවක් සේ ඔහුගේ දිවි සැරිය ආසක්ත කර ගත්හ. ඔහුගේ හිසකෙස් සැකසුම, රළු ඇඟලුම් සේ ම මත්ලෝලී බව මෙසේ විලාසිතාවක් බවට පත්වන්නේ එල්විස් ප්‍රෙස්ලි, ජෝන් ලෙනන් වැන්නන් ද සිහිපත් කර දෙමිනි.
මිනිත්තු 104ක ධාවන කාලයකින් යුතු ‘බොබ් මාලේ වන් ලව්’ මේ වන විටත් ඉහළ අදායම් උපයමින් සිටින බව වාර්තා වෙයි. මෙහි පළමු ප්‍රදර්ශනය සිදුවන්නේ මේ වසරේ ජනවාරි මස 23දා ඔහුගේ නිජබිමේදීයි. එක්සත් ජනපද ප්‍රර්ශනය ඇරඹෙන්නේ පෙබරවාරි මස 14 දින ය.
වේදිකා හා රූපවාහිනි රූපණයට සමගාමී ව සිනමා රූපණයට එක් ව සිටින කිංග්ස්ලි බෙන් -අඩිර්, බොබ් මාලේට ලැදි වත්මන් තරුණ හා ගැටවර රසිකයන් විෂයෙහි චමත්කාරයක් ද ආනන්දයක් ද ජනිත කරලනු පිණිස දරන්නේ ඉමහත් පරිශ්රමයකි. සිනමාකරු ග්‍රීන්, බොබ් මාලේගේ සංගීත දිවියට සමගාමී ව දිවෙන පෞද්ගලික දිවිය නිරූපණයට ද උත්සුක වෙයි. බොබ් මාලේ දෙස ආපසු හැරී බලන්නට මෙයින් ලැබෙන පිටිවහල අපතේ නොහැරිය යුතු ය.