#දේශපාලන

බල පෙරළියෙන් ජන පෙරළියට

  • දීප්ත කුමාර බටගොඩ

මෙරට දේශපාලන ඉතිහාසයේ රටේ නායකයා, එනම් ජනාධිපතිවරයා පත් වන්නේ ජනතා ඡන්දයෙන්. එනම් ව්‍යවස්ථනුකූල ව ජනතා පරමාධිපත්‍ය බලයෙන්. එම බලය දේශපාලන නායකයන් වෙත ලබා දීමටත් නැවත ඔවුන්ගෙන් එම බලය ලබා ගැනීමටත් හැකි බව ඉතිහාසය ඔප්පු කර අවසන්. 2024 සැප්තැම්බර් 21 දින පැවති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක පත් වන්නේ සැබවින් ම තියුණු තරගයකින්. කෙසේ වෙතත් රටේ ජනතාව අපේක්ෂා කළ දේශපාලන වෙනසක ගැලවුම්කරු ලෙස ඔහු පත් කර ගන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන නව කියවීමකට ඉඩකඩ විවර කර දෙමින් බව පැවසීම සාවද්‍ය නොවනු ඇති.

විධායක ජනාධිපති ක්‍රමය සහ ඉතිහාසය
1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි සංශෝධනය අනුව විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කෙරුණා. ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු වැනි විධායක ජනාධිපතිවරයා වූයේ ජේ. ආර්. ජයවර්ධන. ඔහු 1977 පැවති මහා මැතිවරණයෙන් 5/6ක බලයක් ලබාගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති කරන ලද සංශෝධනයකිනුයි විධායක ජනාධිපති ධුරයට පත් වූයේ. බොහෝ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරයට අසීමිත බලයක් පවතින බවක්. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට කළ නොහැක්කේ ‘කාන්තාවක පුරුෂයකු කිරීම හෝ පුරුෂයකු කාන්තාවක කිරීම පමණක් ය’ යන්න ජන සමාජයේ ප්‍රසිද්ධ කියමනක් බවට පත් වූයේ මේ නිසා. ජේ. ආර්. ජයවර්ධන දැරුවේ ජනාධිපති ධුර කාල දෙකක්. ඉන්පසුව දෙවැනි විධායක ජනාපති ලෙස පත් වන ආර්. ප්‍රේමදාස 1993 මැයි 01 දින ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකින් මිය යාමත් සමග ඩී. බී. විජේතුංග ජනාධිපති ධුරයේ වැඩ බැලීම සඳහා පත් වූ අතර 1994 නොවැම්බර් 12 දින දක්වා ඔහු ජනාධිපතිවරයා වශයෙන් ක්‍රියා කළා. විධායක ජනාධිපති ධුරය හඳුන්වා දීමෙන් පසුව පළමු ජනාධිපතිවරු තිදෙනා ම පත් වූයේ දක්ෂිණාංශික දේශපාලනයේ නිරත යැයි සම්මත එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින්.

1994දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති ධුරයට පත් වූයේ වාමාංශික පක්ෂයක් ලෙස සලකන ලද පක්ෂයක නියෝජිතයකු ජනාධිපති වූ පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වෙමින්. ඇය සියයට 62.27ක ජයක් ලබා ගත්තා. මෙතෙක් ඉතිහාසයේ විධායක ජනාධිපති ධුරය සඳහා තරග කිරීමේදී වැඩි ම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අපේක්ෂකයායි ඇය. 1999/2000 ජනාධිපතිවරණයේදී දෙවැනි වරටත් ඇය ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ලෙසින් පත් වුණා. ඉන්පසුව 2005 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පස් වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ බලයට පත්වූයේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක සන්ධානගත වීමෙන්. 2009 වර්ෂයේ උතුරු-නැගෙනහිර යුද්ධය නිමා කිරීමේ ජනප්‍රසාදය ද රැගෙන ඔහු දෙවැනි වරටත් ජනාධිපති ධුරයට පත් වුණේ සියයට 57.8ක ජනවරමක් ලබාගනිමින්. ව්‍යවස්ථා සංශෝධනයකින් පසුව තුන් වැනි වරටත් ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වුවත් 2015 වර්ෂයේදී ජනාධිපති ධුරය සඳහා ජනතාව පත් කර ගත්තේ පොදු අපේක්ෂකයකු ලෙසින් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන. එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ඇති වූ විවිධ දේශපාලන ගැටලුකාරී තත්ත්ව සහ පාස්කු ප්‍රහාරය වැනි සමාජමය ගැටලුකාරී තත්ත්ව සමග 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ අට වැනි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වුණා. එහිදී ජනාධිපති ධුරයට පත් වුණේ ගෝඨාභය රාජපක්ෂ. පාලනයට එරෙහි ව ඇති වූ ජනතා විරෝධය හමුවේ ඔහු සිය ධුරයෙන් 2022 වර්ෂයේදී ඉල්ලා අස් වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් (134) රනිල් වික්‍රමසිංහ අට වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත් වුණා.

බල පෙරළියක්
ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය පැවැත්වුණේ 2024 සැප්තැම්බර් 21 දින. වැඩි ම අපේක්ෂකයන් ගණනක් තරග කළ ජනාධිපතිවරණය ලෙසත් අපේක්ෂකයන් තිදෙනකු අතර තියුණු තරගකාරීත්වයක් පැවති ජනාධිපතිවරණයක් ලෙසත් එය සමාජයේ දැඩි කතාබහට ලක් වුණා.

2024 ජනාධිපතිවරණයේදී ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 17,140,354ක් වූ අතර ඉන් 13,619,916ක් (සියයට 79.46) ඡන්දය ප්‍රකාශ කර තිබුණා. වලංගු ඡන්ද සංඛ්‍යාව 13,319,616 (සියයට 97.8)ක්. ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 300,300 (සියයට 2.2)ක්. ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ඡන්ද 5,634,915ක් (සියයට 42.31) ද සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස 4,363,035ක් (සියයට 32.76) ද ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඡන්ද 2,299,767ක් (සියයට 17.27) ද ලබාගෙන තිබුණා. කිසි ම අපේක්ෂකයකුට සියයට 50ක් ලබා ගැනීමට නොහැකි වූ හෙයින් ඉතිහාසයේ පළමු වතාවට දෙවැනි මනාපය ගණනය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළ අතර එහිදී ද අනුර කුමාර දිසානායක අභිභවා යාමට සජිත් ප්‍රේමදාසට හැකියාව ලැබුණේ නැහැ. ඒ අනුව අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත් වුණා.

අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරයා වශයෙන් පත් වීම විදෙස් රටවල ජනමාධ්‍යවල ද විශේෂ ප්‍රවෘත්තියක් වුණා. බීබීසී පුවත් සේවය ඔහු හඳුන්වා දී තිබුණේ “දුප්පතුන් වෙනුවෙන් පෙනී සිටින වෙනස් නායකයෙක්”,“හිටපු මාක්ස්වාදියෙක්” ලෙසින්. The Hindu වෙබ් අඩවිය පවසා තිබුණේ “ප්‍රභූ පැලැන්තියෙන් වෙනස් වූ, ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව ඉල්ලා සිටි වෙනස නියෝජනය කළ එක ම ජනාධිපති අපේක්ෂකයා” ලෙසින්. පාරිසරික හා මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන මෙලනි ගුණතිලක “ජනතාවගේ වේදනාව අව්‍යාජ ලෙස තේරුම් ගන්නා කම්කරු පන්ති පසුබිමක ජනාධිපතිවරයකු ශ්‍රී ලංකාවට ඉතා අවශ්‍ය ව තිබුණා”‍ යනුවෙන් අල් ජසීරා වෙබ් අඩවියට පවසා තිබුණා.

නව වැනි ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය සාම්ප්‍රදායික බල විතැන් වීමෙන් ඔබ්බට ගොස් සිදු වූ සුවිශේෂ බල පෙරළියක් බවට පත්වීමට හේතු කිහිපයක් බලපා තිබෙනවා. ඇතැමුන් පවසන පරිදි ශ්‍රී ලංකාවේ ප්‍රභූ පැළැන්තියෙන් සාමාන්‍ය පන්තියේ පුද්ගලයකුට බල හුවමාරුව සිදු වූ පළමු අවස්ථාවයි මෙය. ඊට පෙර ආර්. ප්‍රේමදාස විධායක ජනාධිපතිවරයා වශයෙන් පත් වුව ද ඔහු නියෝජනය කරන ලද්දේ දක්ෂිණාංශික දේශපාලනයේ ධනපති පන්තිය ම බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ බල පෙරළිය, දිගුකාලීන ව රටේ සිදුවෙමින් තිබූ දුර්වල ආර්ථික කළමනාකරණයේත් දේශපාලන අස්ථාවරත්වයේත් ප්‍රතිඵලයක් ලෙසින් ක්‍රමවේදයේ වෙනසක් ඉල්ලා සිටි ශ්‍රී ලංකා තාරුණ්‍යයේ විකල්ප දේශපාලනයේ නියෝජනයක් බවයි ඇතමුන්ගේ අදහස. කොවිඩ් වසංගතය සහ රටේ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ මෙතෙක් පැවති දේශපාලන පක්ෂ කෙරෙහි ජනතාව තුළ ඇති ව තිබූ අප්‍රසාදය පළ කිරීමක් ලෙසිනුත් මෙය අර්ථ දක්වා තිබුණා.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය හෂාන් විජේසිංහ පවසන්නේ නිදහසින් පසුව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් අතර එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙක වෙත හුවමාරු වූ ශ්‍රී ලංකාවේ දේශපාලන බලය පළමු වතාවට ජාතික ජන බලවේගය වැනි පක්ෂයට විතැන් වීම ම සුවිශේෂි වූ තත්ත්වයක් බව. 1965 වර්ෂයේ බිහි වූ දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ විවිධ හැලහැප්පීම් ඔස්සේ ගමන් කරමින් පසුකාලීන ව වෙනත් සංවිධාන කිහිපයක් සමග සන්ධානගත වීමකින් පසුව ‘ජාතික ජන බලවේගය’ නමින් 2019 වර්ෂයේදීයි නව දේශපාලන ගමන් මගකට පිවිසුණේ.

මේ ජනාධිපතිවරණය ද අන් කවර මැතිවරණයකටත් වඩා සුවිශේෂ වූවක් ලෙසින් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. සාමාන්‍යයෙන් මෙයට පෙර පැවති ජනාධිපතිවරණවලදී අපේක්ෂකයන් දෙදෙනකු අතර පමණක් පැහැදිලි තරගයක් පැවති බව පෙනී යන කරුණක්. දරුණු ගණයේ ආර්ථික අර්බුදයකින් පසුව වුවත් එය පූර්ණ ලෙසින් පහ ව නොගිය කාලයක, ප්‍රධාන දේශපාලන පක්ෂවල පදනම දෙදරා ගොස් තිබූ අවස්ථාවක විවිධ පක්ෂවල සහ ස්වාධීන අපේක්ෂකයන් 39 දෙනකු තරග කළ 2024 ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවුරුන් ද යන්න පිළිබඳ පුරෝකථනය කිරීම පවා අසීරු තත්ත්වයකයි පැවතුණේ. මේ නිසා ජයග්‍රහණය කරන අපේක්ෂකයා පිළිබඳ විවිධ සමීක්ෂණ ප්‍රතිඵල ආශ්‍රයෙන් විවිධ පුරෝකථන රාශියක් ද ඉදිරිපත් වී තිබුණා. අතිශයින් තියුණු තරගකාරී වටපිටාවක් පැවතුණ ද ජනාධිපතිවරණයේ විශේෂ ලක්ෂණයක් වුණේ පූර්ව හා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම වීම. කිසිදු ජීවිත හානියක් සිදු නොවූවා පමණක් නොව, වෙනත් ආකාරයේ බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා ද වාර්තා වී තිබුණේ නැහැ. ප්‍රචාරක රැළිවලදී පශ්චාත් ප්‍රචණ්ඩ ක්‍රියා බහුල වනු ඇති බවට ඇතැම් අපේක්ෂකයන් ප්‍රකාශ කළ ද එවැන්නක් සිදු වූයේ ද නැහැ. එය ශිෂ්ට සම්පන්න වූ, ඉහළ දේශපාලන සාක්ෂරතාවකින් යුත් ජන සමාජයක දැකිය හැකි ලක්ෂණයක්. ජනාධිපතිවරයකු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙළඹවීමට තරම් ජනතා විරෝධයක් පැවති සමයකින් පසුව පවත්වන ජනාධිපතිවරණයකදී මෙවැනි තත්ත්වයක් ඇති වීම ද සුවිශේෂ තත්ත්වයක්.

ලොව කුඩා ම කැබිනෙට්ටුව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරු ව අන්තර්වාර කැබිනට් මණ්ඩලය පත් කළ අතර එය සමන්විත වුණේ තිදෙනකුගෙන්. ලෝකයේ කුඩා ම කැබිනට් මණ්ඩලය ලෙසින් අතැමුන් එය අර්ථ දක්වා තිබෙනවා. නව අගමැති වශයෙන් පත් වුණේ ආචාර්ය හරිනි අමරසූරිය. නව භාරකාර ආණ්ඩුවේ අමාත්‍යාංශ 15ක් මෙහෙයවනු ලබන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරිය හා කැබිනට් ප්‍රකාශක විජිත හේරත් යන තිදෙනා.

තම කැබිනට් මණ්ඩලය පත්කර ගැනීමෙන් අනතුරු ව අභිනව ජනාධිපතිවරයා විසින් 2024 සැප්තැම්බර් 24 මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. ඒ අනුව මැතිවරණ කොමිසන් සභාව පවසන පරිදි 2024 නොවැම්බර් 14 දින පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

ජනතා අපේක්ෂා සහ ජාතික ප්‍රතිපත්තිය
ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමග ජනතා අවශ්‍යතා තෘප්ත කර ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වුණා. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට වසා දැමීම නිසා මේ තත්ත්වය වඩාත් දරුණු වුණා. ව්‍යාපාර වසා දැමීමට සිදු වීම නිසා පුද්ගල ආදායම අවම වුණා. විදේශ සංචිත හිග වීම නිසා අත්‍යාවශ්‍ය භාණ්ඩ පවා ආනයනය කළ නොහැකි තත්ත්වයකුයි උදා වී තිබුණේ. ලෝක බැංකුවට අනුව 2022 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව දෙගුණයකින් පමණ වර්ධනය වූ බවත් එය සියයට 25ක් පමණ වන බවත් ඇස්තමේන්තු කර තිබුණා. මේ නිසා මහජනතාව වීදි පුරා තැන තැන අරගල කරන්නටත් පසුව එය ජනාධිපතිවරයා ඇතුළු ජනතා නියෝජිතයන් ප්‍රතික්ෂේප කරන තත්ත්වයටත් පත් වුණා. මේ සඳහා හේතු වූයේ එතෙක් රට පාලනය කළ ජනතා නියෝජිතයන්ගේ දුර්වල කළමනාකරණය සහ දූෂිතභාවය යැයි ජනතාව විශ්වාස කළා. එම නිසා පවතින ක්‍රමවේදයේ වෙනසකුත් දූෂිත පාලකයන්ගේ වෙනසකුත් ජනතාව බලාපොරොත්තු වුණා. මෙවර ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපති වශයෙන් තෝරා පත් කර ගැනීමේ ප්‍රධාන ජනතා අපේක්ෂා දෙකක් පවතින බව උපකල්පනය කරන්න පුළුවන්. ඉන් පළමුවැන්න වංචා හා දූෂණ අවම කිරීමත් දූෂිතයන් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමත්. දෙවැන්න නම් ඉසිලිය නොහැකි තරම් වූ ජීවන බර සැහැල්ලු‍ කර ගැනීමත් ස්ථාවර වූ යහපත් ජීවන තත්ත්වයක් පවත්වාගෙන යා හැකි පරිදි ආර්ථිකය පරිසරය සකස් කර ගැනීමත්. මෙය ඉතා සරල කාරණා ලෙසින් හැඟී ගිය ද නීතියේ ආධිපත්‍යය, විනිවිදභාවය, වගවීම, වගකීම වැනි යහපාලනයේ අන්තර්ගත කරුණු සියල්ල ම පාහේ ඇතුළත් වන අපේක්ෂා. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාට මේ ජනතා අපේක්ෂා ඉටු කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඉතා සංකීර්ණ වූ දේශපාලනික, සමාජ හා ආර්ථික සන්දර්භයකදී බව කිව යුතු නැහැ.

ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වූ බොහෝ ප්‍රතිපත්ති ප්‍රකාශන ජනතා අපේක්ෂාවලට ආමන්ත්‍රණය කර තිබුණා. සෑම ප්‍රතිපත්ති ප්‍රකාශනයක ම වංචා හා දූෂණ වැළැක්වීමටත් ජනතාවට විවිධ සහන ලබාදෙන බවටත් ප්‍රකාශ වී තිබුණා. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහළ හෙළීම (බදු ඉවත් කිරීම හෝ සහන සැලසීම), බදු ක්‍රමය සංශෝධනය කිරීම හා වංචා දූෂණ වැළැක්වීම සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම යන කරුණු අන්තර්ගත වුණා. ඉදිරියේදී රටේ ආර්ථික වර්ධනය සියයට 8ක පමණ පවත්වාගෙන යමින් රටේ ස්ථාවර සංවර්ධනයක් ඇති කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳවත් එහි සඳහන්.

ඉදිරි අභියෝග
ඕනෑ ම රජයක ප්‍රධානතම වගකීම ද පරමාර්ථය ද විය යුත්තේ පුරවැසියාගේ යහපත් ජීවන පැවැත්මට අවශ්‍ය සමාජ, දේශපාලනික හා සංස්කෘතික වටපිටාව ප්‍රශස්ත මට්ටමකින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ආයතනික පද්ධතිය නිසි පරිදි පවත්වාගෙන යාම. ඒ සඳහා කෙටිකාලීන, මැදිකාලීන හා දිගුකාලීන වූ උපායමාර්ගික සැලසුමක් අවශ්‍ය වෙනවා. එම නිසා බලයට පත්වන ඕනෑ ම ආණ්ඩුවක් තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු උපායමාර්ගික සැලසුම ඒ සඳහා වූ විශේෂඥ දැනුමින් යුතු කණ්ඩායමකගේ අනුදැනුමින් සකස් කළ යුතු වෙනවා. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ බිහිවන නව පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම හා අභියෝගය ද වනු ඇත්තේ එය. විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ඇතිවන ගැටුම්වලින් ද පීඩාවට පත්වන්නේ රටේ පුරවැසියාම බව මෑතකාලීන අත්දැකීම් විමසන විට පෙනී යන කාරණයක්.
දෙවැනි ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ ගිවිසුම ප්‍රකාර ව ජනතාවට සහන සලසමින් රාජ්‍ය ආදායම ඉහළ මට්ටමක පවත්වා ගැනීම ද ඉදිරියේදී රජය මුහුණ දිය යුතු අභියෝගයක් වනු ඇති. ජනතාවට සහන සැලසීමේදී රාජ්‍ය වියදම් ඉහළ යාම පමණක් නොව රාජ්‍ය බදු ආදායමේ පහළ යාමක් ද සිදු වීමේ හැකියාව තිබෙනවා. එය රජයේ අයවැය ලේඛනයට අමතර බරක් වනු ඇති. මේ නිසා බදු මූලධර්ම අනුව බදු ගෙවිය යුතු සියලු‍ පාර්ශ්ව බදු දැලට හසු කර ගැනීමටත් ඒ සඳහා අවශ්‍ය බදු ක්‍රමයේ සංශෝධන සහ සංවර්ධනය සිදු කිරීමටත් පියවර ගත යුතු වෙනවා. අවුරුදු 18ට වැඩි සියලු‍ පුද්ගලයන් සඳහා බදු ගොනුවක් විවෘත කිරීම පිළිබඳ පසුගිය කාලයේ කතාබහක් ඇති වුවත් එය මෙතෙක් සිදු වී නැහැ. ඒ සඳහා පවතින ගැටලු හඳුනාගෙන එය කඩිනම් කිරීමෙන් බදු පදනම පුළුල් කර ගැනීම කළ යුතු වෙනවා. බදු පැහැර හැරීමකදී ව්‍යාපාර බංකොලොත්භවයට පත් නොවන පරිදි ඒවා අය කර ගැනීමට හා ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම ද අවධානය යොමු කළ යුතු කරුණක්. සමාජ ආරක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී ද ඉලක්කගත මට්ටමින් සිදු කිරීමත් අවදානම් පිරිස් සඳහා සහන සැලසීමේදී අවදානම් කාල සීමාව සහ ඉන් ඔබ්බට ගමන් කිරීමේ හැකියාව පිළිබඳ පූර්ව ඉලක්කයකින් යුතු ව ක්‍රියාත්මක වන වැඩසටහනක් හඳුන්වා දීමත් වැදගත්. ශ්‍රම බලකායේ ස්ත්‍රී දායකත්වය සහ ශ්‍රම බලකායේ නිපුණත්වය රටේ සංවර්ධනයට ඍජු ව ම දායක වන පරිදි මැදිකාලීන හා දිගුකාලීන සැලසුම්වල අවශ්‍යතාවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැදගත්.

රටේ පවතින ණය අර්බුදය විසඳා ගැනීමේදී මෙන් ම ආර්ථික වර්ධනය ස්ථාවර ව පවත්වා ගැනීමේදී අපනයන ප්‍රවර්ධනය හා විවිධාංගීකරණයෙන් විදේශ විනිමය ඉපයුම් ප්‍රමාණය ඉහළ මට්ටමකට ගෙන ඒම කළ යුතු වෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ සහය ලබා ගැනීමෙන් රටේ සංචාරක කර්මාන්තය, විදේශ ආයෝජන අවස්ථා හා විදේශ රැකියා අවස්ථා ලබා ගැනීම ආදියෙන් කෙටිකාලීන වශයෙන් විදේශ විනිමය ඉපයුම් ඉහළ දමා ගැනීම පවතින තත්ත්වය ස්ථාවර ව පවත්වා ගැනීමටත් දිගුකාලීන සැලසුම් බාධාවකින් තොර ව ක්‍රියාත්මක කිරීමටත් පහසුකාරකයක් වනු ඇති. විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා නීතිමය සහ අනෙකුත් බාධක හා ගැටලු හඳුනාගෙන ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදීමෙන් ප්‍රාග්ධනය මෙන් ම රටේ නිෂ්පාදනය ද වර්ධනය කර ගැනීමට රුකුලක් වනු ඇති.

රජයකට තම අරමුණු ඉටු කර ගැනීම සඳහා රට පිළිබඳ කෙටිකාලීන, මැදිකාලීන හා දිගුකාලීන සැලසුම් හා බලාපොරොත්තු ඇතිවාක් මෙන් ම ජනතාවට ද කෙටිකාලීන, මැදිකාලීන හා දිගුකාලීන අරමුණු ඇති බවටත් රජයේ සහ රටවැසියාගේ අරමුණු සමපාත වී එක ම ගමන් මාර්ගයක කළහොත් දෙපාර්ශ්වයේ ම අරමුණු ජය ගත හැකි බවටත් ලෝක ආදර්ශ තිබෙනවා. ඒ සඳහා වූ නීතියේ ආධිපත්‍යය හා දේශපාලන ස්ථාවරත්වය ඇති කර ගැනීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ වගකීම වනු ඇති.