#විදේශ විත්ති

බංග්ලාදේශයෙන් උගතමනා පාඩම්

  • කාංචනා සිරිවර්ධන

ශ්‍රී ලංකාවේ 2022 වසරේ හටගත් උග්‍ර ආර්ථික අර්බුදය සමයේ, අපට ආදර්ශයට ගත හැකි, අර්බුදයෙන් තොර රටක් ලෙස ඇතැම් විචාරකයන් විසින් පෙන්වා දෙනු ලැබුවේ දකුණු ආසියානු රාජ්‍යයක් වන බංග්ලාදේශය. එයට සාධාරණ හේතු කිහිපයක් තිබුණා. අතීතයේදී බංග්ලාදේශය බෙහෙවින් දිළිඳු රටක්. කෙතරම් දිළිඳු ද කියනවානම් 1970 දශකයේදී එක්සත් ජාතීන් හඳුන්වා දුන් සංවර්ධන මට්ටම මනින නිර්ණායක අතර, අඩුවෙන් ම සංවර්ධිත රටවල් Least Developed Countries යන කණ්ඩායමට අයත් වූ රටවල් 24න් එක් රටක් බංග්ලාදේශය. එසේ තිබුණු බංග්ලාදේශ රාජ්‍යය 21 වැනි සියවසේ දෙවැනි දශකය අවසන් වන විට 5%-6%ක තරමේ ඉහළ වාර්ෂික ආර්ථික වර්ධනයක් සහිත, ඩොලර් බිලියන 40ක 50ක විදේශ විනිමය සංචිතයක් හිමි රාජ්‍යයක් බවට පත් ව සිටියා. 2022 අර්බුදය සමයේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ණය දුන්නා. එම නිසයි ඇතැම් විචාරකයෝ අප බංග්ලාදේශය ආදර්ශයට ගත යුතු බව පුවත්පත්වලට ලියූ ලිපිවලින්, සාකච්ඡාවලින් පැහැදිලි කළේ. එසේ ඉහළින් සැලකූ බංග්ලාදේශය අද දැවැන්ත පෙර නොවූ විරූ, ශ්‍රී ලංකාව 2022දී ගොදුරු වූ ආර්ථික අර්බුදයටත් එහා ගිය අතිශය බරපතල ව්‍යසනයකට, අර්බුදයකට ගොදුරු ව තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අප මේ කතා කරන මොහොත වන විට බංග්ලාදේශ රාජ්‍යය අරාජික, පාලනය කිරීමට නොහැකි දරුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් සලකුණු වූ, ආර්ථිකය කඩා වැටෙමින් පවතින, විදේශ විනිමය සම්පත් සිඳී ගිය දේශයක් බවට පත් ව තිබෙනවා. වරක් ආදර්ශයක් ලෙස සැලකූ රටක් කෙටි කලක් ඇතුළත මෙවැනි මහා අභාග්‍යයකට ගොදුරු වුණේ කෙසේ ද? මේ ප්‍රශ්නයට තිබෙන උත්තර සංකීර්ණයි. විවිධ පැතිකඩ සහිතයි. විවාදජනකයි. එය පැහැදිලි කරගැනීමට බංග්ලාදේශ රාජ්‍යයේ ඉතිහාසය සංක්ෂිප්ත ව හඳුනා ගැනීම වැදගත්.

බංග්ලාදේශය අලු‍ත් රාජ්‍යයක් ලෙස උපත ලබන්නේ 1971 වසරේදී. ඊට පෙර එය හැඳින්වුණේ නැගෙනහිර පාකිස්තානය නමින්. එය පාකිස්තානය නමින් අප දන්නා රාජ්‍යයේ කොටසක්. 1971 නැගෙනහිර පාකිස්තානයේ පැවති ඡන්ද විමසීමක ප්‍රතිඵලය භාරගැනීමට බටහිර පාකිස්තානය එනම් ඉස්ලාමාබාද් ආණ්ඩුව සූදානම් නොවූ නිසා, ඒ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කළ නිසා ඇති වූ ප්‍රචණ්ඩ ගැටුමේදී දස දහස් සංඛ්‍යාත මිනිසුන් මිය ගියා. විශාල වශයෙන් නැගෙනහිර පාකිස්තාන ජනයා ඉන්දියාවට පළා ගියා සරණාගතයින් විදිහට. එවිට ඉන්දියාව මේ ප්‍රශ්නයට මිලිටරි වශයෙන් මැදිහත් ව පාකිස්තානය සමග කළ යුද්ධයක් අවසානයේ පාකිස්තානය පරාජය වීමෙන් අනතුරුවයි බංග්ලාදේශ රාජ්‍යය උපත ලබන්නේ. ඒ නිදහස් සටනින් පසු බංග්ලාදේශයේ පාලනය ලබා ගත්තේ මෑතකදී බංග්ලාදේශයෙන් පලා ගිය අගමැතිනි ෂේක් හසීනා වාජෙඩ්ගේ පියා වන ෂේක් මුජිබර් රහ්මාන්. ඔහු නායකත්වය දුන් පක්ෂය අවාමී ලීගය. මුජිබර් රහ්මාන් තමන්ගේ පාලන සමයේදී බංග්ලාදේශයේ නිදහස් සටනට නායකත්වය දුන් පවුල්වලින් පැවත එන පිරිස් සඳහා රජයේ රැකියාවලින් කොටසක් වෙන් කළා. සලාකයක් ඇති කළා රාජ්‍ය අංශයේ රැකියා ඉඩ ප්‍රස්ථාවලින් 30%ක් ඔවුන්ට වෙන්කිරීමට. පසු කලෙක මේ රැකියා සලාකය අවභාවිත වුණා. ඊට සාක්ෂි තිබෙනවා. බලයේ සිටි ආණ්ඩුව විශේෂයෙන් ෂේක් හසීනාගේ අවාමි ලීග් ආණ්ඩුව තමන්ගේ හිතවතුන්ට, දේශපාලන ආධාරකරුවන්ගේ පවුල්වල දරුවන්ට රැකියා දීම සඳහා මේ සලාකය ප්‍රයෝජනයට ගත් බවට සාක්ෂි තිබෙනවා. රැකියා සලාකය හඳුන්වා දුන් අවධියේ සිට ම ඊට එරෙහි ව තරුණ කොටස් අතර, ශිෂ්‍යයන් අතර විරෝධයක් තිබුණා. ඒ විරෝධය වරින් වර මතු වුණා. 2018 වසරේදී විරෝධය මතු වූ විට ඒ නිසා ම ප්‍රචණ්ඩ ක්‍රියා හටගත් විට අගමැතිනි ෂේක් හසීනා මුළුමනින් ම සලාක ක්‍රමය අහෝසි කළා. ඊට විරුද්ධ ව තව පිරිසක් අධිකරණයට ගිය විට එරට මහාධිකරණය සලාක ක්‍රමය නැවත ඇති කළා. යළිත් විරෝධතා හටගත්තා. ඒ විරෝධතා තමයි බංග්ලාදේශයේ වත්මන් අර්බුදයට මුල් වෙන්නේ.
2024 ජුනි මාසයේදී පමණ ආරම්භ වන විරෝධතාව සාමකාමී ව පටන් ගත්තත් කෙටි කාලයක් ඇතුළත එය ප්‍රචණ්ඩ ගැටුමක් බවට පත්වුණා. පොලිසිය වෙඩිතැබුවා. ශිෂ්‍යයන් මිය ගියා. සටන්කරුවන්ගේ ප්‍රහාරවලින් පොලිස් භටයන් මියගියා. දේපළවලට හානි වුණා. ඒ අවස්ථාවේදී බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය රැකියා සලාකයේ අනුපාතය වෙනස් කරමින් තීන්දුවක් දුන්නා. ඒ තීන්දුව අනුව මුළු රැකියා ඉඩ ප්‍රස්ථාවෙන් 5%කට අඩු කළා, විමුක්ති සටනේ නායකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට වෙන් කරන කොටස. නමුත් විරෝධතා නතර වුණේ නැහැ. ඉදිරියට තව තවත් ජනයා, විශේෂයෙන් තරුණ තරුණියන් පාරට ආවා. එවිට ඔවුන්ගේ ඉල්ලීම වුණේ තමන්ගේ පළමු අරගලයේදී සිසුන් ඝාතනය කළ ආණ්ඩුවේ නායිකාවට ඉල්ලා අස්වන ලෙසයි. ඒ අරගල උත්සන්න වී 2024 අගෝස්තු මස 05 දින අගමැතිනිය ෂේක් හසීනා අසල්වැසි ඉන්දියාවට පලා ගියා. බංග්ලාදේශ රාජ්‍යය බිඳවැටුණා. ඒ බිඳවැටුණු නායකත්වයට, දේශපාලනයේ සෘජු ව නොසිටි තැනැත්තෙක් වුවත් ප්‍රකට පුද්ගලයකු වන මහාචාර්ය මහමුද් යූනුස්, අන්තර්කාලීන ආණ්ඩුවේ නායකයා ලෙස ගෙන ආවා. යූනුස් ඇමරිකාවේ සමීප හිතවතෙක්. වරක් එක්සත් ජනපදයේ කොංග්‍රස් මණ්ඩලය ඔහුට කොංග්‍රසයෙන් පිරිනැමෙන ඉහළ ම සම්මානය ප්‍රදානය කළා. ඇමරිකාවේ බලපෑම ඇති ව 2006 වසරේදී යුනුස්ට නොබෙල් සාම ත්‍යාගය පවා ප්‍රදානය කෙරුණා. ඉන් අනතුරුවත් බංග්ලාදේශය ස්ථාවර වුණේ නැහැ. ප්‍රචණ්ඩ ක්‍රියා ඉදිරියට ගියා. ආර්ථිකය පිරිහුණා. අපනයන කඩා වැටුණා. විදේශ විනිමය සංචිත සිඳී ගියා. දැන් බංග්ලාදේශය අන්තර්ජාතික ආයතනවලින්, ප්‍රධාන වශයෙන් අන්තර්ජාතික අරමුදලෙන් ණය ගන්න උත්සාහ කරමින් සිටිනවා.

මේ අර්බුදය පිළිබඳ හේතු දක්වන ප්‍රධාන ආඛ්‍යානය මූලික වශයෙන් සමාජගත වන්නේ බටහිර ආධිපත්‍යය සහිත ජනමාධ්‍ය ඔස්සේ, ඔවුන්ගේ උගතුන්ගේ මාර්ගයෙන්. එම ආඛ්‍යානයෙන් කියන්නේ බංග්ලාදේශයේ අර්බුදයට මුල් වුණේ හුදෙක් රැකියා සලාකය නොවෙයි, දීර්ඝ කාලයක් බලයේ සිටි, එනම් අවුරුදු 15ක් පමණ අඛණ්ඩ ව බලයේ සිටි අගමැතිනි ෂේක් හසීනාගේ සිට එම ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, මර්දනකාරී, දූෂිත පාලන තන්ත්‍රයට ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විරෝධය පළ කිරීමක් බවයි. ඒ ආඛ්‍යානය බොහෝ දෙනෙක් පිළිගෙන තිබෙනවා. මා දුටුවා අපේ රටේ ප්‍රධාන පෙළේ සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක ඒ බංග්ලාදේශ ජයග්‍රහණය හඳුන්වා තිබුණේ ‘දෙවැනි විමුක්තිය’ (The Second Liberation) ලෙසයි. තවත් විවිධ විචාරකයන් එය ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක් ලෙස හඳුන්වා තිබුණා. නමුත් අද ඒ දෙවන විමුක්තියේ ප්‍රතිඵල බංග්ලාදේශයට දරාගත නොහැකි තරමේ බරපතල ව්‍යසනයක් බවට පත් ව තිබෙනවා. එබැවින් ම මේ ව්‍යසනය පිටුපස තිබූ වෙනත් සාධක මේ වන විට එළියට එන්නට පටන් අරන්. සියලු‍ සාධක අනාවරණය වී නැතත් දැනට තිබෙන සාධක අනුව පැහැදිලියි ෂේක් හසීනාගේ පාලනයේ තිබුණු දූෂණය, විරුද්ධවාදීන් මර්දනය, තමන්ගේ පක්ෂයේ ආධාරකරුවන්ට වැඩිපුර සැලකීම වැනි දුර්ලක්ෂණ ප්‍රයෝජනයට ගනිමින් ෂේක් හසීනාගේ ආණ්ඩුව පළවා හැරීමට ලෝකයේ බලවත් රාජ්‍යවලට, විශේෂයෙන් ම ඇමරිකා එක්සත් ජනපදයට තිබූ වුවමනාව, මේ රාජ්‍ය පෙරළිය, තන්ත්‍ර පෙරළිය පිටුපස තිබෙන බව. ඇයි ඇමරිකා එක්සත් ජනපදයට එය අවශ්‍ය වන්නේ යන බව පැහැදිලියි. මෑත වසරවලත් පලා යෑමෙන් පසුවත් ෂේක් හසීනා කළ ප්‍රකාශවලදී ඇය කිව්වා එක් අවස්ථාවක තමන්ට යෝජනාවක් ඉදිරිපත් වූ බව බංග්ලාදේශයට අයත් සෙන් මාර්ටින්ස් නමැති කුඩා දූපත ඇමරිකාවේ යුද කඳවුරක් ඉදිකිරීම සඳහා ඉල්ලා සිටිමින්. ඇය එය ප්‍රතික්ෂේප කළා. ඉල්ලීම කවරකුගෙන් දැයි ඇසූ විට ඇය කියා සිටියේ සුදු මිනිසකුගෙන් බවයි. ඊට අමතර ව තවත් සාක්ෂි නම් බටහිර රාජ්‍ය, එක්සත් ජනපදය බංග්ලාදේශයට බල කළ බව බංග්ලාදේශයේ හමුදා කඳවුරක් ඉදි කරන්නට. තවත් සාධකයක් නම් බංගලාදේශයෙන් කොටසක්, මියන්මාරයෙන් කොටසක් ඉන්දියාවෙනුත් හැකිනම් කොටසක් අරගෙන නැගෙනහිර තිමෝරය බදු වූ ක්‍රිස්ත්‍රියානි රාජ්‍යයක් නිර්මාණය කිරීමට ඒ බලවේගවලට අවශ්‍ය වී තිබුණා. ඒවාට එකඟ නොවූ නිසයි බංග්ලාදේශ රාජ්‍යය බිඳ දැමීමට මේ බලවේග ක්‍රියා කළේ කියන කාරණයට අද සාක්ෂි වශයෙන් පිළිගත හැකි සාධක රැසක් මතු වී තිබෙනවා.

අද ඉතා ප්‍රකට කරුණක් වන්නේ ලෝකයේ බලවත් රාජ්‍ය අතර උත්සන්න වන අරගලයක් තිබෙනවා ලෝක ආධිපත්‍යය සඳහා. එක්සත් ජනපදය, චීනය, යුරෝපා සංගමය සහ රුසියාව යන බලවතුන් අතර. ආසියානු කලාපයේදී චීනය පාලනය කිරීම, ඉන්දියාවේ ආර්ථික වර්ධනය අඩාල කිරීම, බලවත් ජාතීන්ගේ අභිලාශයක්. මේ අභිලාශය යුද්ධයක් බවට පත්වීමේ අන්තරාය තිබෙනවා. බලවත් රටවල් යුද්ධයකට සූදානම් වෙමින් සිටිනවා චීනය සමග. එවැනි යුද්ධයකදී බෙංගාල බොක්ක, ඉන්දියන් සාගරය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය වැනි රටවල් ඒ බලවත් රාජ්‍යවලට යුදමය වශයෙන්, උපාය මාර්ගික වශයෙන් ඉතා ම වැදගත් භූමි බවට පත් ව තිබෙනවා. ඒ නිසයි දකුණු ආසියාවේ එවැනි උපායමාර්ගික වැදගත්කම් සහිත රාජ්‍ය බිඳ දැමීම අඛණ්ඩ ව සිදුවෙමින් තිබෙන්නේ. මෑත කාලයේදී පාකිස්තානයේ ඉම්රාන් ඛාන් අගමැතිවරයාගේ ආණ්ඩුව දැමුවා. ශ්‍රී ලංකාවේ ද එවැන්නක් සිදු වුණා. ඊළඟට නේපාලයේ ආණ්ඩු වෙනසක් ඇති කළා. දැන් මාලදිවයිනත් එවැනි අන්තරායකට මුහුණ පා සිටිනවා. මේ ව්‍යසනය පිටුපස තිබෙන්නේ බල දේශපාලනය. බෙංගාල බොක්ක ප්‍රදේශයේ මලක්කා සමුද්‍ර සන්ධිය ඔස්සේ දිනකට ප්‍රවාහනය කෙරෙන ඛනිජ තෙල් බැරල් ගණන මිලියන 15.2ක්. මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කෙරෙන තෙල් ප්‍රමාණය එය 30%කට වැඩි බව සංඛ්‍යාලේඛනවලින් පෙනෙනවා. මේ නිසයි බලවත් රාජ්‍යවලට, මේ කලාපය තමන්ගේ අණසකට ගැනීම අවශ්‍ය වන්නේ. මේ අර්බුදය අප සියලු‍ දෙනාට ම පාඩමක්, ශ්‍රී ලංකාවේ ඇති වූ අර්බුදය සේ ම. කුමක්ද පාඩම?

අප දකින විදිහට සෑම රටක් ම උත්සාහ කළ යුතුයි තමන්ගේ ආර්ථික විභවතා නිවැරදි ව හඳුනාගෙන, ඊට සරිලන ආකාරයේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගන්න. එසේ ම ඒ ආර්ථිකයේ ඵලය ජනතාව අතර සාධාරණ ලෙස බෙදී යන සමාජ ක්‍රමයක් ගොඩනගන්න උත්සාහ කළ යුතුයි. තව පාඩමක් තිබෙනවා. සමාජ අසාධාරණයක් ඇති වූ විට දූෂණය වැනි චෝදනා පමණක් සැලකිල්ලට ගෙන කරන අසංවිධානාත්මක, සැලසුමකින් තොර, දේශපාලන දෘෂ්ටියකින් සහ වැඩපිළිවළකින් තොර, ප්‍රචණ්ඩ අරගලවලින් වන්නේ අර්බුදයකට ගොදුරු වී තිබූ රටක් තවත් වට කිහිපයකින් දරුණු වූ අර්බුදයකට ගොදුරු වීම මිස විමුක්තිය උදාවීමක් නොවෙයි. අද බංග්ලාදේශ රාජ්‍යය වැටී තිබෙන තැනින් ගොඩ එන්න තව කොපමණ කලක් ගනී ද? යන්න පවා නිශ්චය වශයෙන් කිව නොහැකි තරම් අවාසනාවන්ත පරිසරයකුයි නිර්මාණය වී තිබෙන්නේ.

බංග්ලාදේශයෙන් උගතමනා පාඩම්

යා දෙක නොරත රත