#පරිසර

ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායී දෙරණක්

  • රංගිකා අබේසේකර

1972 ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවැති මානව පරිසරය සුරැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ සමාරම්භක දිනය සනිටුහන් කිරීම සඳහා සෑම වසරක ම ජුනි මස 05 දින ‘ජගත් පරිසර දිනය’ ලෙස ප්‍රකාශයට පත් විය. එතැන් සිට දශක පහකට වැඩි කාලයක් පරිසරය ආරක්ෂා කර සංරක්ෂණය කිරීම පිළිබඳ ලෝකවාසී ජනතාව දැනුවත් කිරීම සඳහාත් දෛනික ව පැන නගින ගෝලීය පාරිසරික ගැටලු‍ පිළිබඳ ලෝක නායකයන් හා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු කිරීමේ අරමුණිනුත් සෑම වසරක ම විශේෂිත තේමා යටතේ ජගත් පරිසර දිනය සමරයි.

ප්‍රථම ජගත් පරිසර දිනය සමරා ඇත්තේ ‘එක ම මිහිතලයක් පමණයි’ යන්න තේමා කරගනිමින් 1973 වසරේදී ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය තිලක් හේවාවසම් පවසන්නේ සාගර දූෂණය, අධික ජනගහනය, පරිසර දූෂණය වැඩිවීම, ගෝලීය උණුසුම වැඩිවීම වැනි විවිධ පාරිසරික ගැටලු‍ හමුවේ තිරසර සංවර්ධනයකට යාමේදී ප්‍රජාව දැනුවත් කිරීමේ වේදිකාවක් ලෙස මේ දිනය යොදා ගත් බව ය.

කාන්තාරකරණයට එරෙහි ව සටන් කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියට (United Nation Convention to Combat Desertification-UNCCD) වසර 50ක් පිරීම නිමිත්තෙන් මෙවර ලෝක පරිසර දිනයේ තේමාව සැකසී තිබේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන 2024 වසරේ ජගත් පරිසර දින තේමාව ලෙස ‘ඉඩම් ප්‍රතිසංස්කරණය, කාන්තාරකරණය සහ නියඟයට ඔරොත්තු දීම’ (Land Restoration, Desertification and Drought Resilience) යන්න ඉදිරිපත් කර ඇත. ඊට සමගාමී ව ‘ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායී දෙරණක්‘ යන්න ජාතික තේමාව කරගනිමින් ශ්‍රී ලංකාවේ ජගත් පරිසර දිනය සැමරීමට පරිසර අමාත්‍යාංශය සූදානම් වේ.

අදහස් දක්වන මහාචාර්ය තිලක් හේවාවසම්; “භූමි හායනය සඳහා මානව ක්‍රියාකාරකම් හා ස්වාභාවික හේතු බලපානවා. විශේෂයෙන් පසේ ගුණාත්මක බව අඩුවීම, පසේ ජලවහනය හීනවීම, වන විනාශය, පාංශු ඛාදනය, කෘමිනාශක හා පොහොර භාවිතය වැනි කාරණා බලපෑමෙන් භූමි හායනය සිදු විය හැකියි. ගස් වැවීම, පාංශු සංරක්ෂණ ක්‍රම යොදා ගැනීම, ස්වාභාවික ක්‍රියාවලි ආරක්ෂා කර ගැනීම, ජෛව විවිධත්වය වර්ධනය හා දේශගුණික විපර්යාස අවම කර ගැනීම ආදියෙන් භූමිය ප්‍රතිෂ්ඨාපනය කළ හැකියි. මෙවර තේමාවේ සඳහන් කාන්තාරකරණය සිදුවන්නේ ශුෂ්ක කලාපවල. විශේෂයෙන් සහරා කාන්තාරයට මායිම් වන උතුරු අප්‍රිකාව, ඕස්ටේ්‍රලියාව, නැගෙනහිර ආසියාව, ඉරානය, ජෝදානය, සවුදි අරාබිය, දකුණු තුර්කිය, සිරියාව හා නයිජීරියාව යන රටවල කාන්තාරකරණය ප්‍රබල ව දක්නට ලැබෙනවා.”

කාන්තාරකරණය සහ නියඟය වර්තමානයේ ප්‍රබල පාරිසරික ගැටලු‍වකි. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය 2021 වර්ෂය සඳහා නිකුත් කළ ගෝලීය දේශගුණ තත්ත්වය පිළිබඳ වාර්තාවේ පසුගිය වසර හත ලොව වාර්තාගත උණුසුම් ම කාලය ලෙස සඳහන් කර ඇත. එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය පිටුදැකීමේ සම්මුතිය පෙන්වා දෙන පරිදි වර්තමානයේ පෘථිවි භූමි ප්‍රමාණයෙන් 40%ක් පමණ හායනයට ලක් ව තිබේ. එය ලෝක ජනගහනයෙන් අඩකට සෘජු ව ම බලපෑම් කර ඇති කරන බවත් මෙහි මූල්‍යමය බලපෑම ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩක් පමණ (ඇමරිකානු ඩොලර් ටි්‍රලියන 44ක්) වන බවත් එහි සඳහන් ය. නියඟය පවත්නා කාල සීමා සැලකීමේදී 2000 වර්ෂයේ සිට මේ දක්වා එය 29%ක වර්ධනයක් පෙන්නුම් කෙරේ. මේ තත්ත්වය 2050 වසර වන විට ලෝක ජනගහනයෙන් 3/4කට බලපෑම් ඇති කළ හැකි බව ද එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන පුරෝකථනය කර ඇත.

සමකයට ආසන්න ව පිහිටා තිබීම හේතුවෙන් නිවර්තන කලාපීය රටක් වන ශ්‍රී ලංකාවට උෂ්ණත්වය වැඩි වුවත් මෝසම් වර්ෂාව ලැබේ. අපේක්ෂිත වර්ෂාපතනයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් නියඟ තත්ත්ව ඇති වේ. විශේෂයෙන් 1992, 2001, 2004, 2016 හා 2017 වසරවලදී නියඟයට මුහුණදීමට ශ්‍රි ලංකාවට සිදු විය. මෙවැනි පාරිසරික තත්ත්ව හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය, කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර ගණනාවකට දැඩි බලපෑම් එල්ල වීමෙන් එය ඍජු ව හා වක්‍ර ව රටේ ආර්ථිකය අඩාල කිරීමට හේතු වන බවත් මහාචාර්ය තිලක් හේවාවසම් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ද භූමිය සීඝ්‍ර පිරිහීමකට හා හායනයට තුඩුදෙන ප්‍රධානතම ගැටලු ලෙස හඳුනාගෙන ඇත්තේ වන විනාශය, අවිධිමත් කෘෂිකර්මය, ධාරිතාව ඉක්මවා සිදු කෙරෙන කැණීම් හා අවිධිමත් කසල බැහැර කිරීමෙන් සිදුවන පරිසර දූෂණය ආදියයි. මීට විසඳුම් ලෙස බලපෑමට ලක්වූ භූමි ප්‍රතිසංස්කරණයෙන් යථා තත්ත්වයට පත් කිරීම හා දැනට හානියට පත් නොවී පවතින පරිසර පද්ධති සංරක්ෂණය වැදගත් වේ. ඒ අනුව, දේශගුණික විපර්යාසවලට අනුහුරු වීම, ජීවීන් විශේෂ වඳවී යාමේ තර්ජනයට පිළියම් යෙදීම, ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම, පිරිසිදු පානීය ජලය ලබා ගැනීම සහ ජීවනෝපාය පරිසර හිතකාමී ලෙස වැඩිදියුණු කිරීම අරමුණුකොට ගෙන ශ්‍රී ලංකාව මෙවර ජගත් පරිසර දිනය ‘ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායී දෙරණක්‘ යන තේමාව පෙරදැරි කරගෙන සැමරීමට සූදානම් බව පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අංජලී කුමාරගම ප්‍රකාශ කරයි.

අදහස් දක්වන ඇය; “පාරිසරික ගැටලු‍ ගෝලීය වශයෙන් පොදුයි. දේශගුණ විපර්යාස පිළිබඳ ලෝකයේ ම අවධානය යොමු වී අවසන්. ගෝලීය ව පරිසරය සුරක්ෂිත කිරීමේ ක්‍රියාවලියට අප වගකීමෙන් බැඳී සිටිනවා. එහිදී අමාත්‍යාංශයක් ලෙස වගකීම තනි ව දැරීමට නොහැකියි. ඒ සඳහා අනෙක් ආයතනවල සහයෝගය සහ ප්‍රජාවගේ සහයෝගය අවශ්‍යයි. ජගත් පරිසර දින සැමරුමෙන් අප බලාපොරොත්තු වන්නේ ගෝලීය වගකීම ඉටු කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම. මෙවර එහි නිල උත්සවය පැවැත්වෙන්නේ සිංහරාජයේ තුඩව ප්‍රදේශයේදී.” මෙවර ජගත් පරිසර දින සැමරුම මෙහි පවත්වන්නට තෝරාගෙන ඇත්තේ ලෝක සංචාරක අවධානය යොමු වී ඇති කලාපයක් ලෙස සිංහරාජ වැසි වනාන්තරය හඳුනාගෙන තිබීම නිසා ය.
ජගත් පරිසර දිනය වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය ‘පාරිසරික සතියක්’ නම් කර තිබේ. ඒ, 2024 මැයි 30 දින සිට ජුනි 05 දින දක්වා ය. පරිසරයට සෘජු ව හා වක්‍ර ව සම්බන්ධ වන සියලු‍ ම ආයතන ඊට එක් වෙයි. අතිරේක ලේකම්වරිය පෙන්වා දෙන්නේ රාජ්‍ය ආයතන, පාසල්, පෞද්ගලික අංශය, වැවිලි සමාගම් හා වතු ක්ෂේත්‍රය, රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධානවල මූලිකත්වයෙන් හා ප්‍රජාවගේ සහභාගිත්වයෙන් එම සතියේදී අදාළ තේමා අනුව පරිසර සංරක්ෂණ වැඩසටහන් හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ය.

මේ සියල්ලෙන් අපේක්ෂා කරන්නේ නිරතුරු ගෝලීය ව්‍යසනයට හේතු නොවන, පරිසරයට සංවේදී වන ප්‍රජාවක් බිහි කර ගැනීමට රටක් වශයෙන් පෙළ ගැසීම ය. එය අනාගත ආයෝජනයක් වනු ඇත.