#විවිධ

පුවත් සඟරා ඉතිහාසයේ නොමැකෙන සලකුණ

අවුරුදු 48ක් පුවත් සඟරාවක් අඛණ්ඩ ව ජනතාව අතර ගැවසීම ම එහි වටිනාකම, අගය හා වැදගත්කම නොනැසී පවතින බව කියාපාන වැදගත් සාධකයක්. පරම්පරා දෙක තුනක සුවහසක් පාඨක ප්‍රජාවක් 1978 සිට මේ දක්වා දෙසතිය සිය ජීවිතයට ළෙන්ගතුව වැලඳගත්තේ සමීප මිතුරෙකු, දැනුම් බෙදන්නෙකු, හෘදයාංගම වැඩිහිටියෙකු නිරතුරු ව ම තමන් අසල සිටිනවා වැනි හැඟීමකින්.

පුවත්පත් හා ගුවන්විදුලිය පමණක්  ජනමාධ්‍ය ලෝකයේ රජකරමින් සිටි එම යුගයේ පුවත්පතට අමතර ව පාඨකයා අතරට ගියේ ලෝ ප්‍රකට ටයිම් සඟරාව, නිවුස් වීක්, ඒෂියා වීක්, ඉන්ඩියා ටුඩේ, රීඩර්ස් ඩයිජස්ට් වැනි සඟරා. ඒවා ඉංග්‍රීසි පාඨක පිරිසට ලොව පුරා පුවත්        දැනගැනීමට තිබූ පහසු ම මුද්‍රිත මාධ්‍ය ලෙසයි සැලකෙන්නේ. බීබීසී සහ වෙනත් ජාත්‍යන්තර ගුවන්විදුලි සේවාවල භාවිත වුණෙත් ඉංග්‍රීසි භාෂාව.

සිංහල පාඨක පිරිසට එවැනි මුද්‍රිත සඟරාවක අපේක්ෂාව තදින් ම තිබූ යුගයකයි දෙසතිය පාඨක පිරිස අතරට පැමිණියේ. ඉන්ටර්නෙට්, ඊමෙල්, සමාජ මාධ්‍ය නොතිබූ එදවස ලොව පුරා ඇතිවන තතු සරල ව, සංක්ෂිප්ත ව සිංහල පාඨකයන් අතරට සමීප කරවන්නට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආචාර්ය සරත් අමුණුගම මුලපිරූ ප්‍රයත්නය සුවහසක් පාඨක පිරිස වැලඳගත්තේ හෘදයාංගම අයුරින්. පාඨකයන් ලද ඒ නවමු අත්දැකීම කොතෙක් ද? යන්න එදවස දෙසතිය වෙත ලැබූ ප්‍රතිචාරවලින් පිළිබිඹු වුණා.

රාජ්‍ය ආයතනයකින් නිකුත් කරන සඟරාවක් නිසා රජයේ සංවර්ධන තොරතුරු අතිශයෝක්තියෙන් වනන හොරණැවක් යැයි ජනතාව මුලින් උපකල්පනය කළත් මෙහි හැඩරුව සහ අන්තර්ගතයෙන් ඒ තර්කය සුනු විසුනු වුණා. කාලීන ප්‍රවෘත්ති සඟරාවක සමබර පුවත් මවන ආකෘතිය මේ යැයි ජනතාවට ඒත්තු යන්න කලාප දෙක තුනකට වඩා වැය වුණේ නැහැ. ලිපිවල අන්තර්ගතය, කවරයේ කතාවෙන් සහ ලිපි සිරස්තලවලින් මින් පෙර මතු නොවූ නැවුම් බව, ඡායාරූප කැප්ෂන්වලට යෙදූ අමුතු යෙදුම් මෙන් ම දෙසතිය වෙනුවෙන් ම හඳුන්වාදුන් රචනා ශෛලිය ඇති කළ අමුත්ත පාඨක පිරිස ඇදබැඳ ගැනීමට සමත් වුණා. දේශපාලනය අමුවෙන් කතා නොකර ඒවාට රසකාරක එකතුකර සමාජීය, සංස්කෘතික, විශ්වීය දැනුම සරල ව ගැඹුරින් කතා කරන හරවත් පුවත් මවන ජනප්‍රිය සඟරාවක් බවට දෙසතිය පත්වීමට වැඩි කලක් ගත වුණේ නැහැ. ලොව පුරා විදෙස් පුවත් ඩැහැගෙන ඒවා සිංහල පාඨකයාට සමීප කරවීමට සරිලන දැනුමෙන් සපිරි ලේඛක බළඇණියක් ගොඩනැඟීමට දෙසතියේ උන්නතිය වෙනුවෙන් ඇප කැප වූ ඩී.බී. වර්ණසිරිගේ උත්සාහයේ ප්‍රතිඵල වටෙන් ගොඩින් ඉස්මතු වුණා. දක්ෂයන් පසුපස  හඹාගොස් ඔවුන් දෙසතියට සම්බන්ධ කරවීමෙන් සඟරාවේ අගය ඉහළ තලයකට ගෙන යාමට තිබූ අපේක්ෂාවට ආයතනයෙන් ලැබුණේ මහඟු උත්තේජනයක්. සිරිල් බී. පෙරේරා, ගාමිණී විජේතුංග, වින්සන්ට් පෙරියප්පෙරුම, කැමිලස් පෙරේරා වැනි මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබලයන් මෙයට එක් වූ අතර විශේෂාංග ලිපි සඳහා එවක පුවත්පත් ලෝකයේ සැරිසැරූ විද්වත් ලේඛක පිරිසක් දෙසතිය හා යාවජීව ඇසුරක් ඇතිවීම දෙසතිය සශ්‍රීක වීමට ඉවහල් වූ තවත් කරුණක්. සඟරාව එසේ පෝෂණ ගුණයෙන් ඉහළයත් ම එහි රසය, සාරය උරා බීමට රුචියක් ඇති පාඨක පිරිස් දෙසතිය හා සමීප වූයේ වයස් භේදයකින් තොර ව.

සඟරා පරිහරණයක් අවම වූ එදවස රාජ්‍ය ආයතනයකින් එළිදැක් වූ මෙවැනි සඟරාවකින් ගුවන්විදුලියට, පුවත්පතට වඩා වැඩි යමක් උකහාගත හැකි බවයි පාඨකයාගේ අදහස වුණේ. කලාවේත් සාහිත්‍යයේත් ස්වර්ණමය යුගයක්  අතපතගාමින් දැනුම් පිපාසාවෙන් සිටි විවිධ වයස් මට්ටම්වලට අයත් පිරිස්හට එකවර සක්වළ අතැඹුලක් සේ දෝතට පාවී එන සාර සංග්‍රහයේ ගුණ සුවඳ විඳගත්තේ මතු මතුත් දෙසතියේ ඉල්ලුමට මඟ පාදමින්. 

පාසල් පරපුර දෙසතියට ආසක්ත වීමට කරුණු කිහිපයක් බලපෑවා. මේ පිළිබඳ ව ලද පුළුල් ප්‍රචාරය, පාසල් පුස්තකාලයට මාසයකට සඟරා දෙකක් ලැබීම, එහි රචනා විලාසයෙහි තිබූ අපූර්වත්වය සහ නැවුම් බව සේ ම විෂයානුබද්ධ දැනුම ඔප්නැංවීමට යෙදූ ලිපිවල හරය එයට ඉවහල් වූ බවට සැකයක් නැහැ. ‘කැලණි ගඟේ මාළු තොගයක් එකවර මිය යාම’ එදින මාධ්‍යයෙන් හෙළි කළ එක් පුවතක්. මාළු මිය යාම සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට අයත් නොවුව ද එයට බලපෑ විද්‍යාත්මක හේතු එම වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් විමසා තිබුණා. කාලීන පරිසර සිදුවීම් විද්‍යාත්මක ව පහදන ලිපියක් ලෙසින් එම විෂයය අලළා සැකසූ ලිපියක් දෙසතිය සඟරාවේ පළ වුණේ විභාගයට මාස දෙක තුනකට පෙරාතුව. විභාගයෙන් අනතුරු ව ගුරු, සිසු, දෙමාපිය, විදුහල්පතිවරුන්ගේ පවා ඒ දැනුවත් කිරීම වෙනුවෙන් පැසසුම් ගලා ආවේ පුවතේ විශේෂත්වය නිසි ලෙස සිසු මනසට ප්‍රවේශ කිරීමට මඟ පෑදීම හේතුවෙන්. පාසල් ප්‍රජාව අතර දෙසතියේ අගය ශීඝ්‍රයෙන් විකසිතවීමට බලපෑ එක් නිදසුනක් ඒ.   

රාජ්‍ය ආයතනවල සඟරා සංස්කෘතියක් බිහි වුණේ දෙසතිය බිහි වීමෙන් අනතුරු ව. නිවාස සහ ඉදිකිරීමේ අමාත්‍යාංශයෙන් පෙරමඟ සඟරාව, මහවැලි අමාත්‍යාංශයෙන් ඉසුර සඟරාව සහ ලංකා බැංකුව මුල් වී බිහි කළ කල්පනා සඟරාව ඒවා අතර මුලින් ම කියැවෙන නම්. මාසික ව එළිදැක්වූ එම සඟරා සමඟ මසකට දෙකක් නිකුත් වූ දෙසතියට ප්‍රමුඛත්වයක් ලබමින් පාඨක පිරිස අතර වැජඹුණේ සඟරා ඉතිහාසය නව මානයකට ගෙනයමින්.

1980 දශකයේ මුල්භාගයේදී සඟරාව ඕෆ්සෙට් යුගයට එළැඹීමත් 90 දශකයේ මැදභාගයේ සිට ඇති වූ ඩිජිටල් පරිවර්තනයත් දෙසතියේ බාහිර සහ අභ්‍යන්තර රූ රටාව තවත් ආකර්ෂණීය ලෙස දිස් වුණා. මේ යුගයේ ම දේශපාලන පරිසර සමාජ විද්‍යාත්මක තේමා අරමුණු කරගත් සඟරා, පුවත්පත් සහ පුවත් අතිරේක බහුල වශයෙන් නිකුත් වුණේ ඉහළ මුද්‍රණ තාක්ෂණයේ උපරිම ඵල නෙළා ගනිමින්. දෙසතිය ඉදිරියට ඇදුණේ මෙවැනි පරිවාර සඟරා රැසක් සමඟ. එවිටත්  දෙසතිය පුළුල් ලෙස පාඨකයා හා බද්ධ වී අවසන්.

මුල් කලාපවල සිට ම විදෙස් පුවත් සඳහා දෙසතියේ විශේෂ ඉඩක් වෙන් වුණා. සමාජයේ එදිනෙදා කථිකාවක යෙදෙන කාලීන මාතෘකාවක් සැමවිට ම කවරයේ කතාවට යොදා ගැනීම පාඨක අවධානය දිනාගැනීමට හේතුවක්. අන්තර්ජාල පහසුකම් නොතිබූ එදවස විදෙස් පුවත්පත්වලින්, විදෙස් සඟරාවලින් හා විදෙස් ප්‍රවෘත්ති සේවාවලින් උකහාගන්නා පුවත් සමබර හා නිවැරදි ලෙසට සිංහල පාඨකයන් අභිමුවට ගෙන ආවේ කාලීන පුවත් සඟරාවක අඩංගු විය යුතු පරිපූර්ණත්වය ප්‍රකට කරමින්. ඒ වෙනුවෙන් බාහිර ලේඛකයන්ගේ ලිපි පවා සඟරාවේ පළ කිරීමට මැළි වුණේ නැහැ. ආරම්භයේ සිට ම අංකුර ලේඛකයන් දෙසතියට එවූ ලිපි ඒවායේ ගුණාත්මක හරය සලකා සඟරාවේ පළ කිරීමට ඉඩ හසර ලබා දුන්නා. අද දවසේ ප්‍රසිද්ධ ලේඛක ලේඛිකාවන් පමණක් නොව ආචාර්ය මහාචාර්යවරු, ප්‍රවීණ විද්වත් පිරිස් පවා එදවස දෙසතියේ පිටුවකට දෙකකට හිමිකම් පෑ අය.

රාජ්‍ය සඟරාවක රජයේ සංවර්ධන පුවත් හා ක්‍රියාකාරකම් පළ කිරීම සාමාන්‍ය දෙයක්. එම විෂයට අදාළ සංවාද පළ කිරීමේදී විකල්ප අදහස් එහි ම පළ කිරීමේ ‘දෙසතිය සාම්ප්‍රදාය’ සියලු සංස්කාරකවරුන් රැකගත්තේ ප්‍රශස්ත අන්දමින්. විමසුම් සහගත ව ඉටු කළ ඒ ක්‍රියාකාරකම නිසා දේශපාලන අධිකාරියේ අනවශ්‍ය ඇඟිලිගැසීම් නිශේධනය කිරීමට තරම් ශක්තියක් දෙසතියට තිබුණා.

බොහෝ රටවල බහුතරයකගේ අතැඟිලි අතරට අද සිර වී ඇත්තේ සුහුරු දුරකතන. මේ ප්‍රවණතාව වර්ධනය වුණේ දශක දෙක තුනක පටන්. නැවතත් බටහිර ජනයා මේ ව්‍යසනයෙන් ක්‍රමික ව මිදෙමින් පවතින බව වාර්තා වෙනවා. පොතක්, පත්තරයක් අතට ගෙන එහි නැවුම් සුවඳ විඳ ගනිමින් ආස්වාදනය කරන දිගුකාලීන හුරුවයි නැවතත් මතුවෙමින් පවතින්නේ. වසරකට ප්‍රකාශයට පත්වෙන සහ විකිණෙන අතිදැවැන්ත පොත් සංඛ්‍යාවෙන් කියැවෙන්නේ මුද්‍රණ අනාගතය අසුබ නොවන බව. සඟරාව තැපෑලෙන් ගෙන්වා ගැනීමට අදටත් ලැබෙන අයැදුම්පත් ගණනින් හැඟවෙන්නේ එවැනි අලුත් පාඨක සංඛ්‍යාවක් තවමත් දෙසතිය කෙරෙහි තබා ඇති විශ්වාසයේ තරම. ඩිජිටල් මාධ්‍යයට දෙසතිය යොමු වී තිබුණත් තවමත් දෙසතිය මුද්‍රණයෙන් එළිදැක්වීම අඛණ්ඩ ව සිදුවන්නේ ඒ නිසා.

කියවීම යම් පමණකට සමාජයෙන් බැහැර වීම සහ පොදුවේ සියලු කර්මාන්තවලට සිදු වූ අවගමනය දෙසතියටත් පොදු වුණා. කොවිඩ් 19 වසංගතයට හා වෙනත් රජයේ ආර්ථික අර්බුදවලට ගොදුරු වීම හමුවේ නොවැළැක්විය හැකි ලෙසින් සඟරාව ද යම් පසුබෑමකට ලක්වුණා. එහෙත් සිය අනන්‍යතාව රැක ගනිමින් දෙසතිය ඉදිරියට ඇදුණේ පැමිණි අභියෝග ජය ගනිමින්.

රජය යටතේ පවතින සඟරාවක් මෙතරම් දුරක් පැමිණීම සාඩම්බරයට කරුණක්. පැවති සියලු ආණ්ඩු දෙසතිය රැකගත්තේ එහි වටිනාකම අත්දුටු බැවින්. අද දෙසතිය 48 වැනි විය පසු කරන්නේ යම් අභිමානයකින් යුතු ව. නමුත් දෙසතිය ද මරණ මංචකයට ආසන්න වූ අවස්ථා නැතුවා නොවෙයි. ඒවාට මුහුණ දී සඟරාව නොනැවතී පවත්වාගෙන යාමට ඇප කැප වූ අධ්‍යක්ෂවරුන් අතර ආරිය රූබසිංහගේ සහ මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ නම් අමතක කරන්නට බැහැ. එලෙසින් ම වසන්තප්‍රිය රාමනායක, සුමිත් මායාදුන්නේ යන සංස්කාරකවරුන්ගෙන් ඉටු වූ ප්‍රශස්ත කැපවීම නොවන්නට අද අපට කතා කරන්නට දෙසතියක් ඉතුරුවන්නේ නැහැ.

කාලයක් තිස්සේ දෙසතිය වටා පරිවාර සඟරා කොතෙක් තිබුණ ද අද වන විට ඒ සියල්ල අතීතයට එක් වී අවසන්. පැමිණි සියලු අභියෝග බිඳ දමමින් දැනටමත් දීර්ඝකාලීන පුවත් සඟරා වාර්තාවට හිමිකම් කියන දෙසතිය නුදුරේදී ම සිය අඩ සියවස සපුරනු ඇති. එය මෙලක පුවත් සඟරා ඉතිහාසයේ රන් සලකුණක් ලෙස සටහන් වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි වනු ඇති.