පුටින් පුනරාගමනය
- නිහාල් පීරිස්
නොබෝදා (මාර්තු 15 සිට 17 දක්වා) පැවැති රුසියානු ජනාධිපතිවරණයෙන් ජය ගනිමින් ව්ලැදිමීර් ව්ලැදිමිරෝවිච් පුටින් 05 වැනි වතාවටත් එරට ජනාධිපති පදවියට පත් විය. මේ අනුව ඔහුට තවත් වසර 06ක කාලයක් එරට නායකත්වය දැරීමට අවස්ථාව හිමි වෙයි. එම ධුර කාලය අවසන් වනතෙක් ඔහු ධුරය දැරුවහොත් කැතරින් මහා අධිරාජිනියගෙන් පසු වැඩි ම කාලයක් සේවය කළ නායකයා බවට ද පුටින් පත් වනු ඇත. මෑත ඉතිහාසයේ වැඩි ම කාලයක් සේවය කළ නායකයා ලෙස වාර්තාවක් පිහිටුවා සිටින ජෝසෆ් ස්ටාලින්ගේ එම වාර්තාව බිඳ හෙළන්නට ද එවිට පුටින් සමත් වෙයි.
කැතරින් මහා අධිරාජිනිය රුසියානු අධිරාජ්‍යය පාලනය කළේ 1762 සිට 1796 දක්වා ය. ඒ අනුව ඇයගේ පාලන කාලය වසර 34කි. ජෝසෆ් ස්ටාලින් වසර 29ක් රට පාලනය කළේ ය. ඒ 1923 සිට 1952 දක්වායි.
පුටින් එරට නායකත්වයට පත් වූයේ 1999 වසරේයි. ඒ අනුව ඔහු මේ වනවිට වසර 25ක් ජනාධිපති සහ අගමැති ධුරවල කටයුතු කර ඇත. දැන් නැවතත් ජනාධිපති ධුරයට පත් ව සිටින ඔහුට 2030 දක්වා එහි රැඳී සිටීමට හැකියාව තිබේ. එම ධුර කාලය අවසන් වනවිට ඔහුගේ සමස්ත සේවා කාලය වසර 31ක් වනු ඇත. 2030 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ද පුටින්ට හැකියාව තිබේ. මේ වන විට 71 වැනි වියෙහි පසුවන ඔහු ඊට ද ඉදිරිපත් වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකි ය. එම ජනාධිපතිවරණයෙන් ද පුටින් ජය ගතහොත් 2036 දක්වා තවත් වසර 6ක් සේවය කිරීමට ඔහුට ඉඩ ලැබෙනු ඇති අතර එසේ වුවහොත් කැතරින් මහා අධිරාජිනියගේ වාර්තාව ද බිඳ හෙළනු ඇත.
මෙවර ජනාධිපතිවරණය ද නිදහස් සහ සාධාරණ වූවක් නොවන බවට ඔහුගේ ප්‍රතිවාදීහු චෝදනා නගති. පුටින් සියයට 87ක අතිවිශාල ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපතිවරණයෙන් ජය ගත්තේ ය. සෝවියට් යුගයෙන් පසු ජනාධිපති අපේක්‍ෂකයකු ලැබූ ඉහළ ම ඡන්ද ප්‍රතිශතය මෙය බව සඳහන් වේ.
ඔහු හැරුණුකොට තවත් අපේක්‍ෂකයෝ තිදෙනෙක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූහ. ඒ, නිකොලායි කරිතනෝව්, ව්ලදිස්ලාව් දවන්කෝව් සහ ලියොනිඩ් ස්ලට්ස්කි යන තිදෙනායි. ජනාධිපතිවරණයෙන් දෙවැනි තැනට පත් කරිතනෝව්ට හිමි ව තිබුණේ සියයට 4ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
මිලියන 114කට ආසන්න සංඛ්‍යාවක් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කිරිමට සුදුසුකම් ලබා සිටියහ. එයින් සියයට 77ක් ඡන්දය දී තිබූ බව වාර්තා විය. මෙයින් පෙනෙන්නේ 2018 ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් මෙවර ඡන්දය භාවිත කර ඇති බවයි. 2018දී ඡන්දය භාවිත කර තිබුණේ සියයට 67ක් පමණි. මේ සංඛ්‍යාලේඛනවලින් පෙනෙන්නේ මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා රුසියානු ජනතාව තුළ ඉහළ උනන්දුවක් තිබී ඇති බව යි.
ඇතැම් පාර්ශ්ව, විශේෂයෙන් පුටින්ගේ ප්‍රතිවාදී බටහිර පාර්ශ්ව ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රතික්‍ෂේප කළත් ඇතැම් පිළිගත් සමීක්‍ෂණ ආයතන විසින් කරන ලද ජනමත සමීක්‍ෂණවලින් පවා හෙළි වී තිබුණේ තවමත් පුටින් රටේ විශාල ජනප්‍රියත්වයක් දිනා සිටින බවයි. බටහිරෙන් රුසියාවට එල්ල වන තර්ජනවලට නොබිය ව මුහුණදෙන එඩිතර නායකයකු ලෙස ඔහු ප්‍රතිරූපයක් ගොඩ නගාගෙන සිටීම පුටින්ගේ ජනප්‍රියත්වයට ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ.
යුක්රේන යුද්ධයේදී ද මේ වන විට රුසියාව ඉදිරියෙන් සිටින බව විශ්වාස කෙරේ. ඒ අතර බටහිර කඳවුරෙන් විවිධ සම්බාධක ආදිය පැනවුණත් රුසියානු ආර්ථිකය ද සතුටුදායක මට්ටමින් පවත්වාගෙන යාමට පුටින්ට හැකි වී ඇත. ඔහුගේ නායකත්වය පිළිබඳ ව ජනතාව තුළ විශ්වාසයක් ගොඩ නැගීමට මෙවැනි කාරණා හේතු වී ඇති බව බොහෝ නිරීක්‍ෂකයන්ගේ අදහසයි.
පුටින්ගේ නායකත්වය ගැන මෙන් ම ජනාධිපතිවරණය ගැන ද විවේචන එල්ල කරන පාර්ශ්ව පෙන්වා දෙන ප්‍රධාන ම කාරණයක් වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවීම යන කාරණයයි. පුටින් ඔහුට සහ ඔහුගේ පාලනයට එරෙහි ව මතු වන සියලු විවේචන සහ විවේචකයන් මර්දනය කිරීමට පියවර ගන්නා බව නිතර නැගෙන චෝදනාවක් බව නොරහසකි. ජනාධිපතිවරණ පැවැත්වෙන්නේ ඔහුට තරගයක් දිය හැකි සියලු ප්‍රතිවාදීන් මර්දනය කිරීමෙන් පසුව බව විවේචකයෝ සඳහන් කරති. පුටින්ගේ ප්‍රධාන ප්‍රතිවාදීන් මේ වන විට සිටින්නේ බන්ධනාගාරවල නැතිනම් රටින් පිටුවහල් කර බව ඔවුහු පෙන්වා දෙති. මෙවර ජනාධිපතිවරණයට තවත් අපේක්‍ෂකයන් තිදෙනකු ඉදිරිපත් වුවත් ඔවුන් ද මූලික වශයෙන් පුටින්ගේ ප්‍රතිපත්ති පිළිගන්නා අය ලෙස සැලකේ.
පුටින්ගේ, රුසියාවේ සිටි දැඩි විවේචකයා ලෙස සැලකුණේ නොබෝදා මිය ගිය ඇලෙක්සි නවාල්නි ය. විවිධ චෝදනා යටතේ ඔහු බන්ධනාගාරගත කර සිටි අතර පෙබරවාරි 16 දින ඔහු හදිසියේ ම බන්ධනාගාරය තුළදී ම මරණයට පත් විය. මේ සම්බන්ධයෙන් ද බොහෝ දෙනාගේ ඇඟිල්ල දිගු වූයේ පුටින් දෙසටයි. නවාල්නිගේ මරණයට පුටින් සෘජු ව හෝ වක්‍ර ව හෝ දායක වූ බව විවේචකයන්ගේ අදහස විය.
2018 වසරේ පැවැති ජනාධිපතිවරණයට නවාල්නි ද ඉදිරිපත් වීමට සූදානම් වුවත් ඔහුට ඒ සඳහා අවස්ථාවක් නොලැබුණේ ඒ වන විට ඔහුට වසර 05ක අත්හිටු වූ සිරදඬුවමක් නියම කර තිබූ බැවිනි. මේ නිසා නවාල්නි ජනාධිපතිවරණයට තරග කිරීමට නුසුදුස්සකු ලෙස සැලකිණි.
පුටින්ගේ ජනප්‍රියත්වය ගොඩ නැගී ඇත්තේ ඔහුට විරුද්ධ අදහස්, විවේචන, මති මතාන්තර දැඩි ලෙස යටපත් කර ඇති පරිසරයක බව නිතර මතු කෙරෙන තර්කයකි. පුටින් මෙවර ද ජනාධිපතිවරණයෙන් ජය ගත්තත් ඉදිරි ධුර කාලයේ ද විවිධ අභියෝගවලට ඔහුට මුහුණදීමට සිදුවනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. යුක්රේන යුද්ධය නිසා මතුවන අභියෝග ඒ අතරින් ප්‍රධානත්වයක් ගනු ඇත. රුසියානු ආර්ථිකයට ද දැඩි බලපෑමක් කරමින් සිටින මේ යුද්ධය දිගින් දිගට ම පවත්වාගෙන යාම පහසු කටයුත්තක් නොවේ. මෙහි අවසානයක් ළඟා කර ගැනීම සඳහා කටයුතු කිරීමට ඔහුට ඉදිරි ධුර කාලයේ සිදුවනු ඇත. එහෙත් පුටින්ට අවශ්‍ය ව ඇත්තේ රුසියාවට වාසි සහගත කොන්දේසි යටතේ යුද්ධය අවසන් කිරීමටයි. එහෙත් යුක්රේනය සහ බටහිර රටවල් ඊට සූදානම් නැත.
බටහිර ආරක්‍ෂක සංවිධානයක් වන නේටෝ සංවිධානය කෙමෙන් ප්‍රසාරණය වෙමින් තිබීමත් රුසියාව ආසන්නයේ ඇති ඇතැම් රටවල් ඉදිරියේදීත් එයට එක් වීමට කැමැත්තෙන් සිටීමත් රුසියාවට ඇති තවත් අභියෝගයකි. කලකට පෙර සෝවියට් සංගමය යටතේ පැවැති රටවල් රුසියානු හිතවාදී තත්ත්වයක පවත්වා ගැනීම පුටින්ගේ අභිප්‍රායයි. එහෙත් එම ඇතැම් රටවල් බටහිර කඳවුර දෙසට ඇදී යමින් සිටීම ද ඉදිරි කාලයේ පුටින්ට කළමනාකරණය කර ගැනීමට සිදුවන අභියෝගයක් වනු ඇත.
ආර්ථිකයේ ද ජය ගත යුතු බොහෝ අභියෝග තිබේ. යුද වියදම් වැඩි වීම නිසා රටේ වෙනත් ක්‍ෂේත්‍ර සඳහා කෙරෙන වියදම් අඩු වී ඇති අතර අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි ක්‍ෂේත්‍රවල ප්‍රගතිය සඳහා කෙරෙන වියදම් අඩු වීම ගැටලුවක් බවට පත් ව ඇත. ඉදිරියේදී පුටින්ට ජය ගැනීමට සිදුවන අභියෝග අතර මෙවැනි අභියෝග ද ප්‍රධාන තැනක් ගනියි.