#අධ්‍යාපන

පාසලට ආ සිව් වැනි ආණ්ඩුව

  • නුවන් කුමාර කටුගම්පල

පාසල් මාධ්‍ය සමාජ (School Media Clubs) යනු පාසල් පද්ධතියේ බහු ව්‍යාප්තිය සහිත විෂය සමගාමී ක්‍රියාකාරකමකි. මෙය ජාතික අධ්‍යාපන ආයතනයේ ව්‍යාපෘතියක් වශයෙන් අරඹන ලද්දේ වර්ෂ 2000දී ය. ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී අංශය සමග ඒකාබද්ධ ව ය. ආරම්භයේදී ජනමාධ්‍ය සමාජය වශයෙන් හැඳින් වූ මේ ශිෂ්‍ය සංගමය පසුව මාධ්‍ය සමාජය ලෙස නම් කරන ලද්දේ 2006 අධ්‍යයන වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය පාසල් විෂයමාලාවට සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හඳුන්වා දීමත් සමග ය. ඉන්පසු පාසල් මාධ්‍ය සමාජ ක්‍රියාකාරිත්වය පුළුල් විය. පංති කාමරයේ උගන්වන සන්නිවේදන විෂය ප්‍රායෝගික ව භාවිත කිරීමට ශිෂ්‍ය උත්තේජනකාරකය වන්නේ පාසල් මාධ්‍ය සමාජයයි.

අද්‍යතන ශ්‍රී ලාංකේය පාසල් පද්ධතියට ජනසන්නිවේදන විෂය පමණක් නොව පාසල් ජනමාධ්‍ය සමාජ හඳුන්වා දීමත් එහි ගුණාත්මකභාවය පිළිබඳ අවශ්‍යතාව ගොනු වීමත් සිදු වූයේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය, පාසල් පද්ධතික කලාපවල සංවර්ධනය, ඒවායේ පුළුල් වීම සහ ඒවා අතර තිබෙන අන්තර් සම්බන්ධය සමාජ සංවර්ධනයට ප්‍රබල ලෙස බලපාන නිසා යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන් පවසයි. එබැවින් මෙරට පාසල් සියල්ලේ ම ජනසන්නිවේදනය ඉගැන්වීම සහ මාධ්‍ය සමාජ පිහිටුවීම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කරයි. ඊට හේතුව දරුවන් පාසල් වියේ පටන් ම මාධ්‍ය ක්ෂේත්‍රයටත් සන්නිවේදන කාර්යයටත් විවෘත වීම වර්තමාන ගෝලීය ප්‍රවණතා අනුව අනිවාර්ය සාධකයක් වන බැවිණි.

මහාචාර්ය ශ්‍රී රංජන්ට අනුව, ‘මාධ්‍ය ක්ෂේත්‍රය ප්‍රබල ව වර්ධනය වන අද්‍යතන සමාජයේ නූතන මාධ්‍ය ප්‍රවාහ අතික්‍රමණය කොට නව මාධ්‍ය දිශානති වෙත සමාජය වේගයෙන් ගමන් කරනවා. ඒ අනුව අපට හමුවන්නේ ඊට අනුගත පරම්පරාවක්. ඒ පරම්පරාව සරල සමාජ කාරණාවලට අන්තර්ග්‍රහණය වන කණ්ඩායමක් නොවෙයි. ඔවුන්ගේ චර්යාත්මක ගතික සහ ස්වරූප ඉතිහාසයේ ස්වාභාවික නියමය හා සබැඳුණු ආකාරයට මානව නියමය මත ගොඩ නොනැගී මානුෂිකත්වය සහ චර්යාත්මක ගති ලක්ෂණ කෘත්‍රීම සන්දර්භයන්ට හැඩගැසෙනවා. අනාගතයේ එවැනි සන්දර්භයන්ට ව්‍යුහගත වන මිනිසුන් නිර්මාණය වන නිසා සන්නිවේදන ක්ෂේත්‍ර සහ එහි පණිවිඩකරණයත් තොරතුරුකරණයත් ඉහළ සාක්ෂරතා ප්‍රවේශයකින් ජන සමාජ විඥානගතවීම අත්‍යවශ්‍යයි. ඒ ඔස්සේ ඉතා ප්‍රබල සහ පුළුල් කාර්යභාරයක් පාසල් මාධ්‍ය සමාජ වැඩසටහනට කේන්ද්‍රගත වනවා.’

පාසල් ජනමාධ්‍ය සමාජ ව්‍යාපාරයේ සමාරම්භක අතීතය පිළිබඳ සැඟවුණු සාක්ෂ්‍ය සහිත සැබෑ ඉතිහාස කතාවක් තිබේ. 1988 ජුලි මස 12 දින ඇරඹි මෙරට ප්‍රථම පාසල් ජනමාධ්‍ය සමාජය වන කොළඹ ආනන්ද විද්‍යාලයීය ‘ජනමාධ්‍ය කවය’ (Mass Media Circle) ඇසුරේ මා ලද අත්දැකීම්වල මතක සටහන් ඊට අදාළ ය. වර්තමාන පාසල් මාධ්‍ය සමාජ ක්‍රියාත්මක වන්නේ සාකල්‍යයෙන් ම ඊට සමාන ආකෘතියකිනි.

මාධ්‍ය සමාජ ක්‍රියාවලිය පාසල් පද්ධතියේ ස්ථාපිත වූවා සේ සඳහන් වන 2000 වර්ෂය වන විට එම සංකල්පය පාසලට හඳුන්වා දී, ප්‍රායෝගික ව ක්‍රියාත්මක කර, සහෝදර පාසල් 40ක පමණ ශාඛා ව්‍යාප්ත කර ජාතික මට්ටමින් තරග සහ ජනමාධ්‍ය උළෙල පවත්වා වසර 12ක තරම් දිගු කාලයක් ගත වී තිබුණි. එබඳු ජාතික වැදගත්කමක් සහිත ඉතිහාස කරුණක් සැඟ ව යාමට ඉඩ හැරීම යුක්තියුක්ත නොවන නිසා ඒ බව වගකිවයුතු තැනක සටහන් කොට ඉදිරි පරපුරට දැන ගැනීමට සැලැස්වීම අදාළ නිලබල දරන්නන්ගේ යුතුකමකැයි යෝජනා කරමු.

පාසල් ජනමාධ්‍ය කව සංකල්පයේ නිර්මාතෘ, ජ්‍යේෂ්ඨ අධ්‍යාපනඥ ආචාර්ය බන්දුල පී. දයාරත්න පවසන්නේ ජනසන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය පාසල් විෂයමාලාවට ඇතුළත් කළ යුතු බවට ඔහු ‌‌මුල්සටහන තබා ඇත්තේ 1990 වර්ෂයේ පැවැත්වූ මෙරට ප්‍රථම සමස්ත ලංකා පාසල් ජනමාධ්‍ය උළෙලේ සමරු කලඹෙහි බව ය. ඒ ගැන අදහස් දක්වන ඔහු: ‘වාර්ෂික ව පාසල් මාධ්‍ය දිනයක් ප්‍රකාශයට පත්කිරීම සහ සමස්ත ලංකා මට්ටමින් පාසල් ජනමාධ්‍ය උළෙලක් පැවැත්වීම, පාසල් විෂයමාලාවට ජනමාධ්‍ය අධ්‍යාපනය ඇතුළත් කර ජනසන්නිවේදන මූලධර්ම හා ජනමාධ්‍ය පිළිබඳ අධ්‍යාපන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, ජනමාධ්‍ය විෂය සඳහා ගුරුවරුන් පුහුණු කිරීම, පාසල් ජනමාධ්‍ය කව දීපව්‍යාප්ත කරවීමට ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගැනීම යනාදී යෝජනා මා ඉදිරිපත් කර තිබුණත් 1999 අගභාගය වනතුරු ම ඒවා පිළිගැනීමට වගකිවයුත්තන් උත්සුක වූයේ නැහැ. ආනන්දයෙන් ගුරු වෘත්තියට සමු දී මා ජාතික අධ්‍යාපන ආයතනයට සම්බන්ධ වුණේ ඒ ජාතික කාර්යය කෙසේ හෝ ඉටු කළ යුතු නිසා. එතැන් සිට දැරූ උත්සාහයේ ඵලය ලෙස ‘පාසල් ජනමාධ්‍ය කවය’ නමින් නොව ‘පාසල් මාධ්‍ය සමාජය’ යන නමින් 2000 වර්ෂයේ සිට එම වැඩසටහන පාසල්වල ක්‍රියාත්මක කෙරුණා. පළාත්, කලාප, කොට්ඨාස කාර්යාල සහ අදාළ පාසල්වල සහයෝගය ද ඇති ව එම වසරේදී ම පාසල් රැසක මාධ්‍ය උළෙල පවත්වන්නටත් අපට හැකි වුණා. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ Plan Sri Lanka ආයතනය මේ සඳහා දැක්වූ සහයෝගය ඉමහත්.’

පාසල් මාධ්‍ය සමාජ ඔස්සේ ප්‍රායෝගික ව ක්‍රියාත්මක වූ ජනමාධ්‍ය විෂය න්‍යායාත්මක ව හැදෑරීමට අවස්ථාව ලබා දීම උදෙසා ක්‍රියාකාරී වූ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය විසින් 1999 වසරේ සිට මාධ්‍ය සමාජවලට සම්බන්ධ ගුරුවරුන්ට පුහුණුව ලබා දෙන ලදී. 2007 වර්ෂයේදී අ.පො.ස. (සා/පෙ) විභාගයට සන්නිවේදනය විෂයයෙන් ප්‍රථම වරට දරුවන් ඉදිරිපත් වූයේ එහි ඵලයක් ලෙස ය. ඒ අනුව 2010 වසරේදී උසස් පෙළ සිසුහු ජනසන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය විෂයයෙන් ප්‍රථම වරට විභාගයට පෙනී සිටියහ.

ආචාර්ය බන්දුල පී. දයාරත්න පවසන්නේ පාසල් මාධ්‍ය සමාජ, පාසල් සංස්කෘතියේ ඉතා ශක්තිමත් අංගයක් බවට පත් වී ඇති බව ය. එතෙක් මෙතෙක් සිදු වූ බිඳවැටීම් අතරතුර මන්දගාමී ගමනක යෙදුණු පාසල් ජනමාධ්‍ය සමාජ ව්‍යාපෘතියට ජනමාධ්‍ය අමාත්‍යාංශයේත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේත් ඍජු අත හිත ලැබීමත් සමග නව පණක් ලද බවත් ඔහු ප්‍රකාශ කරයි.
දරුවන් ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල යෙදවීම, ඔවුන්ගේ මාධ්‍ය දැනුම යාවත්කාලීන කරවීම, ගුරුවරුන් පුහුණු කිරීම, මාධ්‍ය සමාජවලට අත්‍යවශ්‍ය භෞතික සම්පත් සපයා දීම, නිර්මාණ තරග සංවිධාන කිරීම, මාධ්‍ය සමාජ අතර සම්බන්ධීකරණය ගොඩනැංවීම, ගුරුවරුන්ට මාධ්‍ය ගුරු හැඳුනුම්පත් ලබා දීම, යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්. රඝුරාම්ගේ උපදේශකත්වයෙන් උතුරු නැගෙනහිර දෙමළ මාධ්‍ය ද ඇතුළත් ව දිවයින ම ආවරණය වන පරිදි අ.පො.ස. (සා/පෙළ) සහ අ.පො.ස. (උ/පෙළ) විෂය නිර්දේශ පාදක සම්මන්ත්‍රණ පැවැත්වීම වැනි ක්‍රියාකාරකම් සමග අධ්‍යාපන අමාත්‍යාංශයට විශේෂ ශක්තියක් වූයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ය. විජය ළමා පුවත්පතේ අනුග්‍රහය ඇති ව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය පර්යේෂණ අංශයේ පාසල් මාධ්‍ය සමාජ ඒකකයෙන් ප්‍රකාශයට පත්කරන ‘පාසල් මාධ්‍ය පුවත්’ නම් ඊ-පුවත්පතින් පාසල් මාධ්‍ය ක්‍රියාකාරිත්වය සම්බන්ධ තොරතුරු ලබා ගත හැකි ය.

පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන වැඩසටහනට සමගාමී ව ‘ගුණාත්මක ජනමාධ්‍ය සංස්කෘතියකින් සහ ඉහළ මාධ්‍ය සාක්ෂරතාවකින් යුත් ප්‍රබුද්ධ ජන සමාජයක් බිහි කිරීම උදෙසා වන අවබෝධතා ගිවිසුම’ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයත් ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් අතර අත්සන් කර දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ හර්ෂ බී. අබේකෝන් පවසන්නේ පාසල් මාධ්‍ය සමාජයේ හරය, අන්තර්ගතය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ විෂයයික වගකීම ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයටත් ජාතික අධ්‍යාපන ආයතනයටත් වඩා ජනමාධ්‍ය අමාත්‍යාංශයට සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට බව ය. අදහස් දක්වන ඔහු: ‘රාජ්‍ය ප්‍රතිපත්තිවලට අදාළ ව ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැවරී ඇති වගකීම වන්නේ පුරවැසියාගේ මාධ්‍ය සාක්ෂරතාව දියුණු කරමින් ගුණාත්මක ජනමාධ්‍ය සංස්කෘතියක් රටේ නිර්මාණය කිරීමයි. සබුද්ධිකභාවයෙන් යුත් දියුණු සිවිල් සමාජයක් සඳහා එය ඉවහල් වනවා. ජනමාධ්‍යවේදය, ජාතික සංවර්ධනය, සංස්කෘතිය සහ පාසල් මාධ්‍ය සමාජ යන පාර්ශ්ව අතර සහසම්බන්ධය ගොඩනැංවීමේ වගකීම පැවරී ඇත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට. පාසල් මාධ්‍ය සමාජ සාමාජිකයන් වෘත්තීය ජනමාධ්‍යවේදීන් ලෙස සමාජගත කිරීම සහ ඔවුන්ගේ දායකත්වයෙන් උසස් මාධ්‍ය සාක්ෂරතාවක් සහිත සමාජයක් නිර්මාණය කිරීම යන වගකීම්සහගත ගමනක අප ගමන් කරන්නේ පාසල් මාධ්‍ය සමාජ වැඩසටහන නියමු ව්‍යාපෘතියකින් එහා ගිය පුළුල් ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරමින්.’

ශ`්‍රී ලංකාවේ මාධ්‍ය අධ්‍යාපනයට වැඩි නැඹුරුවක් දැක්වීම අතිශයින් වැදගත් වන්නේ අද ලෝක තත්ත්වයට ගැළපෙන සමස්ත පරිවර්තනයක් මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී නොමැති නිසාත් ගෝලීය මාධ්‍ය ප්‍රවණතාවල අන්තර්ගතය සහ තාක්ෂණික උත්කර්ෂය අපේ ජනවිඥානය සමග ගැටෙන නිසාත් ය. එවිට සිදුවන්නේ ජනමාධ්‍ය අයාලේ යන කර්මාන්තයක් බවට පත් වීම ය.

අධ්‍යාපන අමාත්‍යාංශයේත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේත් සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා යුනෙස්කෝ ලේකම් කාර්යාලය ජාත්‍යන්තර සම්මුති පදනම් කරගෙන මෙරට පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹීම සඳහා ද අවසන් අදියරේ සාකච්ඡා පැවැත්වෙන බවත් නුදුරේදී ම ඊට අනුමැතිය ලැබෙනු ඇති බවත් සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හර්ෂ බී. අබේකෝන් පවසයි. එවැන්නක අවසන් ප්‍රතිලාභ ලැබෙන්නේ මෙරට පාසල් ශිෂ්‍ය ප්‍රජාවට ය. සෑම දරුවකු ම මාධ්‍ය අවබෝධය ලබා ගැනීම අත්‍යවශ්‍ය වුවත් මාධ්‍ය විෂය උසස් පෙළට හැදෑරීමට හැකියාව ඇත්තේ කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන දරුවන්ට පමණි.

එම නිසා අනෙකුත් විෂය ධාරා හදාරන දරුවන්ට මාධ්‍ය සාක්ෂරතාව ලබාගැනීමේ අවස්ථාව අහිමි වන බව පෙන්වා දෙන්නේ කොළඹ යශෝධරා බාලිකා විද්‍යාලයේ ජනසන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය භාර සහ මාධ්‍ය සමාජය භාර ආචාරිණී සුගන්ධි හෙට්ටිආරච්චි ය. අදහස් දක්වන ඇය: ‘විද්‍යා, ගණිත සහ වානිජ විෂයධාරා හදාරන්නන් අපොස (සා/පෙ) දක්වා මාධ්‍ය සමාජයේ ක්‍රියාකාරී වෙමින් සහ මේ විෂය හදාරමින් දක්ෂතා කුසලතා පෙන්වනවා. නමුත් ඔවුන් ජනසන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය හැදෑරීමට කලා විෂය ධාරාවෙන් අධ්‍යාපනය ලැබීම රිසි වුවත් දෙමව්පියන්ගේ සහ ගුරුභවතුන්ගේ බලපෑමට යටත් ව එම විෂය ධාරා තෝරාගෙන ඔවුන්ගේ අකැමැත්තෙන් මාධ්‍යයෙන් බැහැර වීම අභාග්‍යයක්.’


ආචාරිණී සුගන්ධි හෙට්ටිආරච්චි: ‘සෑම පාසලක ම උත්සව අවස්ථාවල සහ වැඩසටහන්වල සන්නිවේදන, තාක්ෂණික සහ ප්‍රචාරණ ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන්නේ පාසල් මාධ්‍ය සමාජයේ දරුවන් විසින්. රසවින්දනයට, තොරතුරු ගවේෂණයට, විෂය ප්‍රායෝගික ව ප්‍රගුණ කිරීමට, විභාග මානසිකත්වයෙන් මිදීමට සහ සමාජානුයෝජනයට ඔවුන් හුරු වීම සඳහා මාධ්‍ය ක්‍රියාකාරකම් ප්‍රබල දායකත්වයක් සපයනවා. පත පොත කියවීම, ප්‍රවෘත්ති සහ විශේෂාංග රචනය, නිර්මාණාත්මක සාහිත්‍යය, ඡායාරූපකරණය, වීඩියෝකරණය, චිත්‍රපටකරණය, නිවේදනය, උත්සව සංවිධානය, නිර්මාණ විචාරය වැනි වෘත්තීයමය අංශ වෙත ද අප දරුවන් යොමු කරනවා.’ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය හිඟ වීම, මාධ්‍යකරණයෙහි ලා වැඩිහිටි සමාජයේ පවතින ඍණ ආකල්ප, සිසුන්ට ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමට මාධ්‍ය ආයතනවලින් ලැබෙන සහයෝගය අවම වීම, මූල්‍ය දුෂ්කරතා වැනි ගැටලු පෙන්වා දෙන ඇය ඒවා අවමකිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මැදිහත්වීම තමන් ධෛර්යමත් කරවන බවත් සඳහන් කරයි.

මහාචාර්ය ශ්‍රී රංජන් පෙන්වා දෙන්නේ පාසල් පද්ධතියේ පරිපාලන ක්ෂේත්‍ර, ගුරුවරු සහ ශිෂ්‍යයන්, ඔවුන් වටා කේන්ද්‍රගත වන ජන ප්‍රජා කණ්ඩායම්, පාසල් සංවර්ධන අංශ යනාදී ආයතනික ව්‍යුහයන්ගේ වගකීම් සහ කාර්යභාරවල දායකත්වය වඩාත් වැදගත් වන බවයි. ඔහුට අනුව සාම්ප්‍රදායික, නූතන සහ නව මාධ්‍ය සියල්ලේ ම නිවැරදි ක්‍රියාකාරිත්වය ඔස්සේ මාධ්‍ය ක්‍රියාවලියේ සමස්තය ම සාක්ෂරතා ප්‍රමුඛ ව නිවැරදි ව සමාජයේ සක්‍රීය වීමට ඉඩ සැලසීමෙන් පාසල් මාධ්‍ය සමාජ ක්ෂේත්‍රයට ප්‍රබල ගමනක් නිර්මාණය කර ගත හැකි ය.

මාධ්‍ය විෂයයේ තිබෙන ගැඹුරු සංකල්පීය ප්‍රවණතා පහසුවෙන් අධ්‍යයනය කිරීමට සහ ඒ සම්බන්ධයෙන් දේශීය ව සහ ජාත්‍යන්තර ව පවතින රැකියා වෙළෙඳපොළ පිළිබඳ පාසල් අවධියේදී ම අවබෝධයක් ලබා ගැනීමට හැකි වීමෙන් දරුවන්ට අනාගත වෘත්තීය ඉලක්ක හඳුනාගැනීමට ද පාසල් මාධ්‍ය සමාජයෙන් පහසුව සැලසේ. රටේ මානව සංවර්ධනය මෙන් ම භෞතික සංවර්ධනය ගැන යථාවබෝධයෙනුත් නිසි සමාජාවබෝධයෙනුත් යුත් පරපුරක් බිහිවීමට මනා සහයෝගයක් පාසල් මාධ්‍ය සමාජවලින් ලැබේ. එබැවින් ඒවා බලාත්මක කිරීම පාසල් පද්ධතියේත් රජයේත් පෞද්ගලික අංශයේත් ඒකාබද්ධතාවෙන් සිදුවිය යුතු වටිනා අනාගත ආයෝජනයකි.

ජාතික සංවර්ධනය, පුද්ගල සංවර්ධනය සහ සමාජ සංවර්ධනය ගත්විට සෑම සංවර්ධනාත්මක නියමයකට ම කේන්ද්‍රගත වන ප්‍රබල ම ව්‍යුහය වන්නේ සන්නිවේදනයයි. ඒ අනුව සැලකූ විට ද පාසල් මාධ්‍ය සමාජ සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය කාරණාවකි. කෘත්‍රීම බුද්ධිය භාවිතයෙන් සන්නිවේදනය (Artificial Intelligence-AI Journalism) දක්වා විහිදුණු, කිසිවකුට ඍජු ව පාලනය කළ නොහැකි මාධ්‍ය අවකාශයක ලෝකය ක්‍රියාකාරී වෙද්දී පුළුල් සහ ප්‍රශස්ත මාධ්‍ය සාක්ෂරතාවක් සහිත ව සවිබල ගැන්වුණු ශ්‍රී ලාංකේය ප්‍රජාවක් බිහි කර ගැනීමට පාසල් මාධ්‍ය සමාජවලින් දැක්විය හැකි දායකත්වය ඉතා ප්‍රබල ය. මෙහි බැරෑරුම්කම තේරුම් ගැනීමට රටක් ලෙස කල් පසු කර ඇතත් ඉදිරියට මීට වඩා සක්‍රීය සහ ශක්තිමත් දායකත්වයක් සහිත ව ඒ සදහා ක්‍රියාත්මක විය යුතු බව අදාළ පාර්ශ්ව අවධාරණයට ගත යුතු ය.