#ආර්ථික #සංවර්ධන

පාරිසරික සංවර්ධනය ප්‍රමුඛ ඉලක්කයක්

මහාචාර්ය
කේ. පී. එල්. නිශාන්ත පටබැඳි
සභාපති, රාජ්‍ය දැව සංස්ථාව

පාරිසරික කාරණා නොසලකා හරිමින් සංවර්ධන ඉලක්ක සපුරා ගන්නා විට බරපතළ ගැටලු‍වලට මුහුණදීමට සිදු වනවා. ඇමරිකාව මුහුණදෙන ලැව්ගිනි, මැදපෙරදිගට මුහුණදීමට සිදු ව ඇති ගංවතුර තත්ත්ව, නේපාලයේ භූමි කම්පා ඒවායේ ප්‍රතිඵල. දියුණු ලෙස හඳුන්වන රටවල් ඒ තත්ත්වයට ළඟා වී ඇත්තේ පාරිසරික බලපෑම් බරපතළ ලෙස නොසලකා හැරීම නිසා. ඔවුන්ගේ සංවර්ධන ව්‍යාපෘතිවලට සම්පත් ලබා ගන්නේ නොදියුණු රටවලින්. එහිදී සිදුවන පාරිසරික බලපැම් ගැන ඔවුන්ට තැකීමක් නැහැ. නමුත් ඒ නිසා ඇතිවන ගෝලීය වෙනස්කම්වලට මුහුණදෙන්න සිදු වන්නේ ගෝලීය ජනතාවට ම. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම, සාගර ජල මට්ටම ඉහළ යෑම, අයිස් කඳු දියවීම, වර්ෂාපතනයේ අක්‍රමිකතා ඇතිවීම, උෂ්ණත්වයේ අක්‍රමිකතා ඇතිවීම, සාගර උෂ්ණත්වයේ අසාමාන්‍ය තත්ත්ව, කාන්තාර ප්‍රදේශවල අසාමාන්‍ය වැසි තත්ත්ව ඇතිවීම, සත්ත්ව විවිධත්වයේ අසාමාන්‍ය වෙනස්වීම් ඇතිවීම, පෙර නෑසූ විරූ වසංගත තත්ත්ව ඇතිවීම ඒ අතර වනවා.

ඇමරිකාවේ මේ දිනවල දක්නට ලැබෙන ලැව්ගිනි තත්ත්ව ඇතිවීමට හේතුවත් පාරිසරික සාධක නොසලකා හරිමින් සිදු කර ඇති සංවර්ධනය. නාගරික ලැව්ගිනි මින් පෙර අප අසා නැහැ. වනාන්තර වැනි කොන්ක්‍රීට් වනාන්තර හැදූ විට ගින්නක් ඇති වුවහොත් එය පැතිරී යනවා. කිසි ලෙසකින් නැවැත්විය නොහැකි සුළඟින් ඒ තත්ත්වය වඩාත් තීව්‍ර කරනවා. ලැව්ගිනිවලට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම. කැලිෆෝනියා වැනි අතිශය වියළි ප්‍රදේශවලට මේ තත්ත්වය දැඩි ව බලපානවා. මැදපෙරදිගට මුහුණදීමට සිදු ව ඇති ගංවතුර තත්ත්ව, නේපාලයේ භූමි කම්පා තත්ත්ව ඇතිවීමටත් බලපා ඇති ප්‍රධාන හේතුව පාරිසරික බලපෑම් නොසලකා හරිමින් සිදුකර ඇති සංවර්ධනයෙන් පරිසර තත්ත්ව අසමතුලිත වීම.


රටක් දියුණු රාජ්‍යයක් ලෙස හඳුනා ගැනීමේදී මුලින් ම දර්ශනය වන්නේ පරිසරයේ පිරිසිදුකම, අලංකාරය සහ විධිමත්කම. ඒ බව දියුණු රටකට ගිය විට මනාව දක්නට පුළුවන්. සංවර්ධනයේදී ජල ගෝලයේ පිරිසිදුකම, ශිලා ගෝලයේ පිරිසිදුකම සහ වායුගෝලයේ පිරිසිදුකම ගැන අවධානය යොමු කෙරෙනවා. මේ ක්ෂේත්‍ර තුන ම දූෂණය අවම වන ආකාරයෙන් මානව ක්‍රියාකාරකම් පවත්වාගෙන යමින් ආර්ථික ඉලක්ක ළඟා කරගැනීමයි පාරිසරික සංවර්ධනය යන්නෙන් අදහස් කෙරෙන්නේ. මේ වන විට බොහෝ රටවල් සිය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පරිසරය ගැන සැලකිලිමත් වනවා. මෑතකාලීන ව ඒ තත්ත්වය වඩාත් වැඩි වශයෙන් දැකිය හැකියි. ජපානයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන ආකාරය මෙහිදී සැලකිල්ලට ගන්න පුළුවන්. විවිධ නිෂ්පාදන සිදු කිරීමේදීත් මේ අවධානය දක්නට පුළුවන්. රථ වාහන නිෂ්පාදනයේදී ෆොසිල ඉන්ධන භාවිතයෙන් තොර වාහන නිෂ්පාදනය හෝ ෆොසිල ඉන්ධන භාවිතය අවම වාහන නිෂ්පාදනය කිරීම, ක්ලෝරෝෆ්ලූරෝ කාබන් වැනි වායු පරිසරයට මුදා හැරෙන නිෂ්පාදන අවම කිරීම, පරිසර දූෂණය අවම කෘෂි රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම ඊට උදාහරණ.


කිසියම් රටක් සංවර්ධනය කරා ගමන් කිරීමේදී පාරිසරික සංවර්ධනය උදෙසා වෙනත් රටවල ව්‍යාපෘති ආදර්ශයට ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක්. එහිදී යුරෝපීය රටවලින් සහ මෑතකාලීන ව සංවර්ධන ඉලක්ක කරා ශීඝ්‍රයෙන් ළඟා වෙමින් සිටින ඉතියෝපියාව සහ රුවන්ඩාව වැනි රටවලින් ආදර්ශ ලබා ගැනීම වඩාත් කාලීන වනවා.


රටක් සිය ආර්ථික ඉලක්ක ළඟා කර ගන්නවා සේ ම ඒවා තිරසර ලෙස පවත්වා ගැනීමත් වැදගත්. රටක් ශීඝ්‍ර දියුණුවක් ලබා ගැනීමේදී ඒ තත්ත්වය පරිසරයට දැඩි ව බලපෑම් සහගත වනවා. එය මනාව කළමනාකරණය කර නොගතහොත් ජල ගෝලයේ, ශිලා ගෝලයේ සහ වායුගෝලයේ පිරිසිදුකම සහ මනා පැවැත්මට තර්ජනයක්. ඒ තත්ත්වය මානව පැවැත්මට මෙන් ම ජෛව ගෝලයේ මනා පැවැත්මටත් අහිතකර ලෙස බලපානවා. එමගින් ජෛව විවිධත්වය අසමතුලිත වී ඇති කරන්නේ අහිතකර පාරිසරික තත්ත්ව. එය මිනිසාගේ නිරෝගී පැවැත්මට මෙන් ම කෘෂි නිෂ්පාදනය කෙරෙහි බලපාන්නේ අහිතකර ලෙස. පාරිසරික සංවර්ධනය Сකැ්බ ීරස ඛ්බන් වැඩසටහනේ එක් ප්‍රධාන ස්ථම්භයක් වශයෙන් වැඩි වටිනාකමක් ලබා දීමට එයයි හේතුව.


පාරිසරික සංවර්ධනය සම්බන්ධයන් ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යොමු කිරීමේදී සාගරයෙන් වටවූ දූපතක් නිසා සාගර දූෂණය ගැනත් අවධානය යොමු කළ යුතු වනවා. වනාන්තර ප්‍රතිශතය වැඩිකර ගැනීමට වන හායනය අවම කර ගැනීමත් අභ්‍යන්තර ජල දූෂණය සහ භූගත ජල දූෂණය අවම කර ගැනීමත් අවශ්‍යයි. බාහිර පරිසර අලංකරණය. සිත්ගන්නා සුළු ආකාරයෙන් බාහිර පරිසරය පවත්වා ගැනීමත් විශේෂ අවධානයකට යොමු කර යුතු ක්ෂේත්‍ර. ජනතාවට ලස්සන ජීවිතයක් ලබා දීමේදී මෙන් ම සංචාරක ආකර්ෂණය ලබා ගැනීමේදීත් එය ඉතාමත් වැදගත්.


පාරිසරික සංවර්ධනයේ ද සමාජීය සහ ආචාරධාර්මික වශයෙන් ඇගයීමට ලක්විය යුතු කාරණා පැවතීම වැදගත් වනවා. රටකට ආර්ථික සමෘද්ධිය අත්කරදීමේදී විවිධ ක්ෂේත්‍රවල ප්‍රසාරණයක් සිදු වන්නට පුළුවන්. එහිදී යහපත් මෙන් ම අයහපත් ක්ෂේත්‍රවල ද ආයෝජන සිදු වෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය, මත්පැන් නිෂ්පාදනය සහ භාවිතය වැඩි වෙන්න පුළුවන්. සංචාරක ව්‍යාපාරය පුළුල්වීමත් සමග ලිංගික ශ්‍රම වෙළෙඳපොළ පුළුල් වීමක් ද සිදුවිය හැකියි. ජනතාවගේ විවිධ ස්ථරවලට රැකියා අවස්ථා තහවුරු කිරීමෙන් මේ තත්ත්වය වළක්වා ගන්න පුළුවන්. ඒ සමග ම අනවසර වෙළෙඳාම්, අනවසර ජාවාරම් පුළුල් වීම සිදුවිය හැකි නිසා නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීමටත් මධ්‍යම පරිසර අධිකාරියේ ක්‍රියාකාරිත්වය පුළුල් විය යුතුයි.
පොහොසත් රටක් නිර්මාණය කර ලස්සන ජීවිතයක් ජනතාවට ලබා දීමේ අරමුණ කරා යන විට තිරසර සංවර්ධන ඉලක්ක ගැන අවධානය යොමු කිරීමත් ඉතා වැදගත්. තිරසර සංවර්‍ධනය යනු පාරිසරික, සමාජයීය හා ආර්ථික යන ත්‍රිත්ව මාන සුසංයෝජනය වූ දිගුකාලීන, තිරසර සමෘද්ධියක් ලබා ගැනීම සඳහා වූ ඒකාබද්ධ ප්‍රවේශයක්.

2030 තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයේ තිරසර සංවර්ධන ඉලක්ක 17ක් තිබෙනවා. ජාත්‍යන්තර සහයෝගිතාවේ වර්තමාන ප්‍රමුඛ ගෝලීය රාමුවේ පදනම වන්නේ තිරසරභාවය. එහි ‘2030 න්‍යාය පත්‍රයෙහි’ මූලික කරුණු වනුයේ තිරසර සංවර්ධන ඉලක්ක 17 (ීෘඨි). එමඟින් අපට අවශ්‍ය ලෝකය ඉතා පැහැදිලි ව නිර්වචනය කර තිබෙනවා. කිසිවකු මග නොහැරෙන ලෙස, සියලු‍ ම ජාතීන්ට මෙය අදාළයි. දරිද්‍රතාවෙහි සියලු‍ ම මාන තුරන් කිරීම සහ සාගින්න තුරන් කිරීම, සියලු‍ දෙනා ම අන්තර්ගත වූ සියලු‍ මිනිසුන්ට හිතකර පරිසරයක ගෞරවයෙන්, සමානාත්මතාවෙන් යුතු ව තම හැකියා සපුරාලිය හැකි අයුරින් ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරිම තිරසර සංවර්ධන ඉලක්කවල අරමුණුවලින් තහවුරු කෙරෙනවා. මේ අරමුණු සපුරා ගැනීමට දායකත්වයයි ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනින් සැපයෙන්නේ.

එහිදී නිෂ්පාදන ආර්ථිකයක් තහවුරු කිරීමෙන් මේ අරමුණු ජය ගැනීම අපේක්ෂා කෙරෙනවා. තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය, ස්වාභාවික සම්පත් තිරසර ව කළමනාකරණය සහ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් හදිසි පියවර ගැනීමෙන් වර්තමාන හා අනාගත පරපුරේ අවශ්‍යතාවලට සහාය වීමත් එහිදී සිදු වන්නක්. එසේ ම සියලු‍ ජනතාවට සමෘද්ධිමත් හා තෘප්තිමත් ජීවිත භුක්ති විඳිය හැකි බව සහ ආර්ථික, සමාජීය හා තාක්‍ෂණික ප්‍රගතිය ස්වභාවධර්මයට අනුකූල ව සිදු වන බව සහතික කිරීම තවත් කරුණක්.

මේ සියල්ල සඳහා තිරසර සංවර්ධන ඉලක්ක අරමුණු කෙරෙහි අවධානය යොමු කෙරෙනවා. භීතියෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී, යුක්තිසහගත සහ සියලු‍දෙනා අන්තර්ගත වූ සමාජයක් බිහි කිරීම සඳහාත් අවධානය යොමු වන බව එම අරමුණුවල සඳහන්. ඒ සඳහා නීතිය සැමට සමාන ලෙස ක්‍රියාත්මක වනවා. දරිද්‍රතාවෙන් සහ වඩාත් අවදානමට ලක් වූ පුද්ගලයන්ගේ අවශ්‍යතා කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ශක්තිමත් ගෝලීය සහයෝගිතාවක්‌ මත පදනම් වූ හවුල්කාරිත්වයක් ද සෑම රටක ම සියලු‍ පාර්ශවකරුවන්ගේ සහ සියලු‍ ජනතාවගේ සහභාගිත්වය ද එහි අන්තර්ගත වන්නක්.