පලස්තීන සිනමාව

- කථිකාචාර්ය – මනීෂ දුක්ගන්නාරාළ
හනි ජව්හාරියේෂ්, සලෆා මෙර්සල්, මුස්තාපා අබු අලි ඇතුළු නිර්මාණකරුවන් පිරිසකගේ ප්‍රයත්නයක් මත පාඨා ව්‍යාපාරය (නිල පලස්තීන ජාතික විමුක්ති ව්‍යාපාරය, පලස්තීන ජාතිකවාදී සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය) පලස්තීන චිත්‍රපට ඒකකය පිහිටුවීමත් සමඟ විප්ලවීය පලස්තීන චිත්‍රපට නිෂ්පාදනය ආරම්භ වී තිබෙනවා. 1973දී තනි චිත්‍රපටයක් නිෂ්පාදනය කළ පලස්තින විමුක්ති සංවිධානයේ (PLO) පර්යේෂණ මධ්‍යස්ථානයට සම්බන්ධ වූ පලස්තීන චිත්‍රපට සමූහය පිහිටුවීමට මේ ඒකකය උපකාරි වුණා.
එම නිර්මාණය ගාසා තීරයේ වෙඩි තබා ගැනීමේ දර්ශන, ගාසා තීරයේ නගර, ගම් සහ කඳවුරුවල කටුක යථාර්ථ පිළිබඳ පලස්තීන චිත්‍රපට අධ්‍යක්ෂ මුස්තාපා අබු අලි විසින් කරනු ලැබූ වාර්තා චිත්‍රපටයක්. 1971 ගිම්හානයේදී පලස්තීන හමුදා ජෝර්දානයෙන් පිට ව ගිය පසු මුස්තාපා අබු අලි ‘ආත්මය සහ රුධිරය සමඟ’ නැමැති චිත්‍රපටය නිෂ්පාදනය කළේ 1970 සැප්තැම්බර් මාසයේ ලේ වැගිරුණු සිදුවීම් සජීවී වාර්තාමය දර්ශන ඔස්සේ සහ ඇතැම් දර්ශන නිර්මාණාත්මක ව රූගත කරමින්.
පලස්තීන චිත්‍රපට සමූහය විසින් පසුව එහි නම පලස්තීන චිත්‍රපටය ලෙස වෙනස් කරනු ලැබුවා. පලස්තීන සිනමා ආයතනය PLOහි ඒකාබද්ධ තොරතුරු කාර්යාලයේ කොටසක් ලෙස එයට දායක වූ සිනමාකරුවන් අතර මුස්තාපා අබු අලි, සමීර් නිමේර්, කසීම් හවාල් සහ රශ්මි අබු අලි සුවිශේෂ වුණා. අනෙකුත් සිනමා කණ්ඩායම් මතු වුණේ පලස්තීන විමුක්තිය සඳහා වූ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ තොරතුරු දෙපාර්තමේන්තුවේ කලා කමිටුවේ කොටසක් ලෙස. ඒ සඳහා රෆීක් හජ්ජර් විසින් 1973දී දෙපාර්තමේන්තුවේ පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. පලස්තීන විමුක්තිය සඳහා වූ ජනප්‍රිය පෙරමුණේ කලාත්මක කමිටුව: කාසිංහවාල් එහි පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ 1972දී. අධ්‍යක්ෂ ජිබි්‍රල් අවාඩ් ද ඒ සඳහා දායක වුණා. 1972දී PLOහි සංස්කෘතික හා තොරතුරු දෙපාර්තමේන්තුවේ කුයිස් අල් සුබාහිඩ් චිත්‍රපටයක් නිර්මාණය කරමින් දේශපාලනික දෘෂ්ටිවාදය ඉදිරියට ගෙන ගියා. 1980දී ‘කටුකම්බි ඉඩම’ 1984දී පලස්තීනය: මිනිසුන්ගේ වාර්තාව වැනි චිත්‍රපට නිර්මාණය කර තිබෙනවා.
1970 ගණන්වල පලස්තීන චිත්‍රපට නිෂ්පාදන අංශය ගොඩනැගීමේ පළමු අදියරේදී විවිධ පලස්තීන ප්‍රතිරෝධ කණ්ඩායම් සහ PLOහි සංස්කෘතික හා තොරතුරු දෙපාර්තමේන්තුව අතර ඇතිවූ මත ගැටුම් හේතුවෙන් චිත්‍රපට නිෂ්පාදනය ඛණ්ඩනය වුණා. එම දශකයේ නිෂ්පාදනය කරන ලද මුළු චිත්‍රපට සංඛ්‍යාව විවිධ මාතෘකා යටතේ බිහි වූ වාර්තා චිත්‍රපට 50කින් පමණ සමන්විත වුණා. ගාසාන් කණෆානි (Ghassan Kanafani) විසින් රචිත නවකතාවක් පදනම් කරගෙන කසීම් හවාල් (Qasim Hawal) විසින් නිර්මාණය කරන ලද ‘හයිෆා වෙත නැවත යන්න’ (Return to Haifa) නැමැති එක ම වෘත්තාන්ත චිත්‍රපටය නිර්මාණය කළේ 1982දී. එසේ ම පලස්තීන සිනමා සඟරාවේ කලාප කිහිපයක් ද පළ වුණා. මේ ඛණ්ඩනය නිසා චිත්‍රපට සඳහා යෙද වූ පිරිවැය සොච්චම් වූ අතර නිර්මාණාත්මක ගුණය උසස් තත්ත්වයේ පැවතියේ නැහැ. එසේ වුවත් මේ චිත්‍රපටවලින් සමහරකට ලයිප්සිග් උලෙළ සහ මොස්කව් සිනමා උලෙළ වැනි ජාත්‍යන්තර උත්සව නියෝජනය කිරීමට හැකි වුණා.
නිෂ්පාදන උත්සාහය ඒකාබද්ධ කිරීම සඳහා PLOහි සංස්කෘතික හා තොරතුරු දෙපාර්තමේන්තුව සිනමා ඇකඩමියක ස්වරූපය ගන්නා පලස්තීන චිත්‍රපට නිෂ්පාදනය සඳහා පොදු ආයතනයක් පිහිටුවීමට යෝජනා කළා. ඉන් බලාපොරොත්තු වූයේ PLOහි සියලු ම පලස්තීන කණ්ඩායම්වල දෙපාර්තමේන්තු න්‍යෂ්ටියකට කේන්ද්‍රගත කිරීමත් ස්වාධීන නීතිමය හැකියාවක් සහිත ව සහ යම් නිශ්චිත පිරිවැයක් සිනමා කර්මාන්තයට යෙදවීමෙන් දෘෂ්ටිවාදාත්මක ව ඔවුන්ගේ පරිකල්පනීය ලෝකය අත්පත් කර ගැනීමට උත්සාහ කිරීමත්. සංස්කෘතික හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අබ්දුල්ලා හුරාණි එම යෝජනාව ඉතා උද්‍යෝගයෙන් සම්මත කළ අතර ආයතනයට අතුරු ව්‍යවස්ථා සැකසීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කෙරුණා. PLOහි විධායක කමිටුව වෙත මේ යෝජනාව ඉදිරිපත් කෙරුණේ එහි අතුරු ව්‍යවස්ථා සහ අයවැය අනුමත කිරීම සඳහා. එහෙත් විධායක කමිටුව ඊශ්‍රායලය විසින් ලෙබනනය ආක්‍රමණය කරනු ලැබීම තෙක් යෝජනාව පිළිබඳ සාකච්ඡාව කල් දැමුවා. එහි ප්‍රතිඵලයක් ලෙස PLO සහ පලස්තීන කණ්ඩායම් ලෙබනනයෙන් ඉවත් වුණා.
චිත්‍රපට නිෂ්පාදනයේ දෙවැනි අදියරේදී නිෂ්පාදනය කරන ලද බොහෝ පලස්තීන වෘතාන්ත චිත්‍රපට සිනමා උලෙළහි සාර්ථක වූ අතර බොහෝ රටවල වාණිජ සිනමාහල්වල ද ප්‍රදර්ශනය වුණා. පළමු අදියරේදී මෙන් නොව බොහෝ ආයතන චිත්‍රපට නිෂ්පාදනය කිරීම ධනාත්මක සාධකයක් වූයේ එය පලස්තීන කතානාද චිත්‍රපට බිහිවීමට සහ ඒවායේ සාර්ථකත්වයට දායක වූ බැවින්. එම චිත්‍රපටවලින් පලස්තීන අනන්‍යතාව පිළිබඳ ගැටලුව ලෝකයට ගෙන යාමට අධ්‍යක්ෂවරුන් ක්‍රියා කිරීම මුල්වරට සිදු වුණා. ඒ අතර ප්‍රධාන වුණේ මයිකල් ක්ලේයිෆි, එලියා සුලෙමන්, රහිඩ් මෂාරවි සහ හනි අබු අසාද්.
මයිකල් ක්ලේයිෆි නසාරදෙහි ජීවත් වූ, බෙල්ජියමේ අධ්‍යාපනය ලැබූ පලස්තීන ජාතිකයෙක්. ඔහු බෙල්ජියම් අධ්‍යක්ෂවරයකු වූ අන්ද්‍රේ දාටෙවෙල්ලෙ සමග එක් ව බෙල්ජියම් රූපවාහිනිය විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපට හතරක් අධ්‍යක්ෂණය කිරීමෙන් ඔහුගේ කලා ජීවිතය ආරම්භ කළා. 1987දී ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ගලිලියේ විවාහ මංගල්‍යය’ (Wedding in Galilee) නම් චිත්‍රපටය ඊශ්‍රායල හමුදා ආණ්ඩුකාරවරයා සහ ඔහුගේ නිලධාරින් සහභාගි වූ පලස්තීන ගම් ප්‍රධානියකුගේ පුතකුගේ විවාහ මංගල්ල උත්සවය පිළිබඳ වූ කතාවක්. පලස්තීන, බෙල්ජියම්, ජර්මානු, ප්‍රංශ, බි්‍රතාන්‍ය, ඒකාබද්ධ නිෂ්පාදනයක් වූ මේ චිත්‍රපටය ත්‍යාග කිහිපයක් දිනා ගත් අතර ඒවායින් වඩාත් වැදගත් වන්නේ 1987 – කෑන්ස් උලෙළේ දිනාගත් ජාත්‍යන්තර විචාරක සම්මානය. එම චිත්‍රපටය එම වසරේ ම සෙබස්තියෙන් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ ගෝල්ඩන් ෂෙල් සම්මානයත් 1988 – කා තේජ් චිත්‍රපට උලෙළේ ටැනිට් ඩියෝ සම්මානයක් දිනා ගත්තා.
එලියා සුලෙයිමාන් ඇමරිකානු ජාතිකත්වයක් සහිත පලස්තීනයේ නාසරත්හි ජීවත් වන පලස්තිනයකු වන අතර ඔහු සිය චිත්‍රපට දිවිය ආරම්භ කළේ ජූසි සැලෝම් විසින් සම අධ්‍යක්ෂණය කරන ලද ‘Introduction to the End of an Argument’ නම් කෙටි චිත්‍රපටයෙන්. ඔහුගේ කථානාද චිත්‍රපටය වූ ‘අතුරුදහන්වීමේ වංශකථාව’ වස්තු විෂය කර ගත්තේ ඊශ්‍රායල පුරවැසියන් වන පලස්තීන අරාබිවරුන්ගේ අනන්‍යතා ගැටලු ආමන්ත්‍රණය කිරීමට. එම චිත්‍රපටය වැනීසියේ චිත්‍රපට උලෙළේදී හොඳ ම පළමු චිත්‍රපටයට හිමි ත්‍යාගය ඇතුළු සම්මාන කිහිපයක් දිනාගත්තා. 2002 වසරේදී ඔහු ‘දිව්‍යමය මැදිහත්වීම’ නම් චිත්‍රපටය නිර්මාණය කරමින් කෑන්ස් චිත්‍රපට උලෙළේදී ජූරියේ විශේෂ සම්මානය දිනාගත්තා. එසේ ම ඔහුගේ තුන් වැනි නිර්මාණය වූයේ 2009 වසරේදී නිෂ්පාදනය කළ The Time that Remains නැමැති චිත්‍රපටය. විචාරකයන් අතර ඇති එකඟතාවනම් මේ චිත්‍රපට තුන ඔස්සේ සුලෙයිමාන් අරාබි චිත්‍රපට නිෂ්පාදනයේ ආඛ්‍යාන තාක්ෂණය සහ සිනමා ශෛලියේ මෙන් ම සිනමා භාෂාවේ ගුණාත්මක පිම්මක් පැන ඇති බව. එයින් පලස්තීන අනන්‍යතාව පිළිබඳ විස්තර හෙළි කර එහි ගමන් මග අනුගමනය කිරීමට ලෝකයට ම මං හෙළි කර ඇති බව ද සඳහන්. එසේ ම ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ 1970 ගණන්වල පලස්තීන සිනමාකරුවන් විසින් තමන්ගේ නිර්මාණවල යොදා ගන්නා ලද විප්ලවවාදී වාචාල කතාවලට වඩා පොහොසත් සිනමා භාෂාවක් එළියා සුලෙයිමාන් නිර්මාණය කළ බව.