#ක්‍රීඩා

පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම

  • වර්නන් ගුණසේකර

නික්ම යන පරම්පරාවකගේ මූලිකත්වයෙන් මීට දස වසරකට පෙර සිදුවූ විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රාහී මෙහෙයුමෙන් පසුව ශ්‍රී ලංකාවේ ඊළඟ ක්‍රිකට් ක්‍රීඩක අස්වැන්නට රටට තවත් කුසලානයක් ගෙන එමින් ඔවුන්ගේ නාමය ඉතිහාසයේ ලියවීමට අවස්ථාවක් උදා වූයේ මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙනි. එහෙත් එම අවස්ථාව ගිළිහී යියේ අවාසනාවන්ත අයුරිනි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුරාවෘත්ත වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා ලසිත් මාලිංග ජනප්‍රිය ඉන්දියා කණ්ඩායමට එරෙහි ව බංග්ලාදේශයේ පැවති විස්සයි20 ලෝක කුසලාන අවසාන තරගය උඩුයටිකුරු කළේ 2014 වසරේදී ය. 2024 වසරේ ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ වනිඳු හසරංග ප්‍රමූඛ ශ්‍රී ලංකා කණ්ඩායම මීට දස වසරකට පෙර සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තරම් ශක්තිමත් නොවූව ද ඔවුන් සැලකිය යුතු තරමේ දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් තරගාවලියේ බොහෝදුරක් ඉදිරියට යනු ඇතැයි ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීහු විශ්වාස කළහ. පසුගිය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙහි දිස්වූ ශ්‍රී ලංකාවේ දුර්වල ක්‍රීඩාව පසෙක තැබූ ඔවුහු මෙවර තරගාවලියේදී සටන්කාමී ක්‍රීඩාවක් ඔවුන්ගේ ආදරණීය කණ්ඩායමෙන් අපේක්ෂා කළහ.

ශ්‍රී ලංකාව කලක් විස්සයි20 ලෝක කුසලාන තරග බිමේ බලකණුවක් බවට පත් ව සිටියේ ය. ඒ, ඔවුන් 2014 වසරේදී කුසලානය දිනා ගැනීමට පෙර 2009 තරගාවලියේ අවසාන තරගයට, 2010 වසරේදී අවසන් පූර්ව වටයට සහ 2012 වසරේදී අවසාන තරගයට ද පිවිසීම නිසා ය.

එහෙත් 2014 වසරේ අප්‍රේල් මාසයේදී ඉන්දියාව අභිභවා ලබා ගත් ඒ කඩුලු‍ හයක ‌ඓතිහාසික ජයග්‍රහණයෙන් පසුව මේ තරගාවලියේ පිළිමලුන් පිටු දැකීමේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව මෙතෙක් අසමත් ව තිබේ. දස වසරක ඒ ඉඩෝරය මේ වසරේදී අවසන් වනු ඇතැයි බොහෝ දෙනාගේ පැතුම වී තිබිණි.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ ඇතුළත් ව සිටියේ දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නේපාලය හා නෙදර්ලන්තය ඇතුළු කොටසට ය. නායක වනිඳු හසරංගට අවශ්‍ය පරිදි ලැබුණු කණ්ඩායම පන්දු ප්‍රහාරයේ ශක්තිමත් වූව ද එය ක්‍රීඩාවේ අනෙකුත් අංශ සියල්ල ආවරණය වූ සංචිතයක් ද විය. 2014 කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකු ව සිටි ඉතාමත් පළපුරුදු ඇන්ජලෝ මැතිව්ස්ගේ සහභාගිත්වය ද වනිඳුට ලැබී තිබිණි.

මෙවර විස්සයි20 තරගාවලියේ සාර්ථකත්වයක් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාවට අවශ්‍ය ව තිබුණේ වේග ශක්තිය පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සාර්ථක ආරම්භයක් ලබාගෙන ඒ ගැම්මෙන් ම ඉදිරියට ගියා නම් ඔවුන්ට ජයකණුව පෙනෙන තෙක් මානයට යාමට හොඳට ම අවස්ථාව තිබිණි. එහෙත් සිදුවූයේ කුමක් ද? කණ්ඩායමේ පිතිකරණය කඩා වැටී මූලික වටයෙන් ම තරගාවලියෙන් ඉවතට විසිවීම ය.

නිව්යෝක් නුවර පැවති ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 77ක වාර්තාගත අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය ශ්‍රී ලංකාව ඩලස් නගරයේ පැවති දෙවැනි තරගයේදී බංග්ලාදේශයට එරෙහි ව අසරණ වෙමින් කඩුලු‍ 9කට 124ක මුළු ලකුණු සංඛ්‍යාවකට සීමා විය. ඔවුන් නෙදර්ලන්තයට එරෙහි ව පැවති අවසාන තරගය ලකුණු 83කින් ජයග්‍රහණය කළ ද ශ්‍රී ලංකාවට ඒ වන විට තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ දොරටු වැසී තිබුණේ ඊට කලින් නේපාලය සමග තරගය වර්ෂාවට සේදී යාම හේතුවෙනි.

මෙවැනි ලෝක වේදිකාවක ලකුණු 77ක් හා ලකුණු 124ක් පමණක් ලබා ගත් පිතිහරඹයේ අසාර්ථක කණ්ඩායමකට තරගාවලියේ සුපිරි කණ්ඩායම් අටෙන් එකක් වීමට අයිතියක් හෝ සුදුසුකමක් කොහෙත් ම නැත. මෙවර විස්සයි20 ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඇමරිකාවට පා තැබුවේ ඔවුන්ගේ පළමු තරගයට දින දහයකට පමණ පෙර ය. තරගාවලියට පෙර නෙදර්ලන්තය හා අයර්ලන්තය සමග පෙරහුරු තරග දෙකක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඊට පෙර උතුරු කැරලයිනා ප්‍රදේශයේ පුහුණු කඳවුරකට ද සහභාගි වූයේ තරගාවලියට හොඳ සූදානමක් ලබා ගනිමිනි.
එහෙත් අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට උද්‍යෝග පාඨ කියා කෑගසමින් විනෝද වීමට තරම් ලෝක කුසලාන තරගාවලියක් ඉතිරි වූයේ නැත. මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලාංකික ආරම්භය ලජ්ජාවට පත් වූවක් විය. විස්සයි20 ලෝක කුසලානයේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩාව දැක ගැනීම පිණිස මැදියම් රාත්‍රිය වන තුරු අවදි ව සිටිමින් සහ අලුයම නැගිටිමින් නිදිමැරූ ක්‍රීඩා ලෝලීන්ට අන්තිමට ඉතිරි වූයේ දැඩි කලකිරීමක් පමණකි.
ශ්‍රී ලංකා පිතිකරුවන් තුළ උද්‍යෝගිමත් ක්‍රියාකාරී බලයක් තිබුණේ නැත. ඔවුන්ගේ පිතිකරණය නවීන විස්සයි20 ක්‍රිකට් මට්ටමට පැමිණ තිබුණු බවක් දිස් නොවිණි. ලකුණු 77ක් හා 124ක් වැනි කුඩා මුළු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම ඊට සාක්ෂි දෙයි.

2014 වසරේ විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව මතකයේ තබා ගැනීමට අපහසු තරමේ නායකයෝ හා පුහුණුකරුවෝ ගණනාවක් ම ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටියහ. සෑම පරාජිත තරගාවලියක ට ම පසුව දක්නට ලැබුණේ රෝද පුටු තරගයක් මෙන් නායකයන් හා පුහුණුකරුවන් මෙන් ම තේරීම් නිලධාරීන් ද දොස් අසමින් මාරු වී යාම ය. එහි උග්‍රතම අවස්ථාව වී තිබෙන්නේ ජාතික ක්‍රීඩකයන් රූපවාහිනිය ඉදිරියේ ජාතියෙන් සමාව අයැද සිටීම ය. ඊළඟ වතාවේ මීට වඩා හොඳින් ක්‍රීඩා කරන බවට දිවුරන ඔවුන් නැවත කරන්නේ ද ඒ වැරදි ම ය. ඉක්බිති නැවත ඔවුහු ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටිති. තරගවලි පරාජය වී සමාව ඉල්ලීමේ චක්‍රය දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මෝස්තරයක් බවට පත් ව තිබෙන සෙයකි.

ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක ක්‍රිකට් ක්‍රීඩාවකින් පසුව සමාව අයදිනවාට වඩා කළ යුතු ව තිබුණේ පෙර වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාම ය. සටන්කාමී ක්‍රීඩාවකින් පසුව ලබන තියුණු පරාජයක් පිළිබඳ සමාව ඉල්ලීමක් අවශ්‍ය වන්නේ නැත. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ අඩු ම මුළු ලකුණු සංඛ්‍යාවට දකුණු අප්‍රිකාව වෙතින් දැවී යාමෙන් පසුවත් පිතිකරුවන් පාඩමක් ඉගෙන ගෙන තිබුණේ නැත. ක්ෂණික ක්‍රිකට් ක්‍රීඩාවේ දැනුවත් වීමේ අඩුවක් පිතිකරුවන්ගෙන් ප්‍රදර්ශනය විය.
ක්‍රිකට් තරග කෙරෙහි ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ තිබෙන කොන්දේසි විරහිත ආදරය නිසා කොතරම් තරග පැරදුණ ද ඔවුහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඊළඟ තරගය නැරඹීමට ද රොද බැඳගෙන පැමිණෙති. එහෙත් පසුගිය වසර දහයක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ සෑම පරාජයකින් ම පසුව ක්‍රීඩා ලෝලීන්ගේ දෝස්මුරය ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වෙත යොමු වීම නොවැළැක්විය හැකි කරුණක් බවට පත් ව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා හිටපු ක්‍රීඩා ඇමතිවරයා අතර මෑතකදී ඇතිවූ බල අරගලය ‘ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්’ වී තිබේ.

මේ දේශපාලන ඇඟිලිගැසීම් හේතුවෙන් ශ්‍රී ලංකාව පසුගියදා ජගත් ක්‍රිකට් කවුන්සලයේ තහනමකට ලක්වූවා පමණක් නොව මේ වසර මුල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ව තිබූ වටිනා තරගාවලියක් වන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ද ශ්‍රී ලංකාවෙන් උදුරාගෙන එය දකුණු අප්‍රිකාවට පිරිනැමිණි.

සෑම ප්‍රධාන තරගාවලියකින් ම පසුව නායකයන් හා පුහුණුකරුවන්ට දොස් පවරමින් ඔවුන් මාරු කරන රටාවෙන් කෙනකුට තේරුම් යන්නේ ප්‍රශ්න තිබෙන්නේ පිටියේ හෝ නායකත්වයේ නොවන බව ය. ලෝක කුසලාන තරගාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යවන කණ්ඩායම් දිගින් දිගට ම දුර්වල වීමේ වගකීම ක්‍රිකට් බලධාරීන් මත පැටවෙන්නේ නිරායාසයෙනි.
මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට විඳින්නට සිදුවූ අපහසුතා හා ඇමරිකානු තණතීරුවල ඇති නුසුදුසු බව පිළිබඳ ද වාර්තා වී තිබිණි. එහෙත් මේවා තරගාවලියේ ප්‍රතිවාදී කණ්ඩායම්වලට ද පොදු කාරණාවක් වන බැවින් ඊට අනුගත වීම හැර ඒවා පරාජයට හේතු ලෙස හුවා දැක්වීමට වෘත්තීය ක්‍රීඩකයන්ට හැකියාවක් නැත.

කෙසේ වෙතත් පෙර සඳහන් කළ පරිදි ක්‍රිකට් ක්‍රීඩාවට කොන්දේසි විරහිත ව ආදරය කරන ක්‍රිකට් උන්මාදයෙන් පෙළෙන ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගෙන් හෙට දවසේත් ක්‍රීඩාංගණ පිරී ඉතිරී යනු ඇත. කෝඩුකාර කණ්ඩායමක් පරදවා හෝ ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබන ජයග්‍රහණයක් වෙනුවෙන් ඔවුන් ක්‍රීඩාංගණය පුරා දෝංකාර දෙන ඝෝෂාවකින් ‘චියර්’ කරනු ඇත. අපේ ක්‍රිකට් ලෝකය කැරකෙන්නේ ඒ විලසිනි.