#අධ්‍යාපන

නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්

  • නිරෝෂි දොඹගහගේ

උගත්, බුද්ධිමත් මානව සම්පතක් යනු රටක සංවර්ධන ක්‍රියාවලියෙහි තීරණාත්මක සාධකයකි. මානව ප්‍රාග්ධන දර්ශකය ඉහළ නැංවීමේදී රටක පුරවැසියන්ගේ සෞඛ්‍ය සම්පන්නභාවය ඉතා වැදගත් වේ. ඒ අනුව නොබෝදා (මාර්තු 25) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේදී සමාරම්භය සනිටුහන් වූ ‘නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්’ තේමාව යටතේ වන ‘පාසල් ළමයින් සඳහා ආහාර ලබාදීමේ රජයේ පෝෂණ වැඩසටහන-2024’ සැලකිය හැක්කේ මෙරට මානව සම්පතෙහි ගුණාත්මකභාවය ඉහළ නැංවීමට කරන අනාගත ආයෝජනයක් ලෙස ය. මෙවර ‘දෙසතිය‘ කවරයේ කතාවෙන් සිදු වන්නේ අර්බුදයක් පසු කරමින් සිටින පසුබිමක වුවත් මෙවැනි ජාතික වැඩසටහනක් ක්‍රියාවට නැංවීමෙන් රජය අපේක්ෂා කරන අරමුණු සාධනයෙහිලා පවතින වැදගත්කම විමසුමට ලක් කිරීමයි.

ගෝලීය ළමා පෝෂණ පදනම (Global Child Nutrition Foundation-GCNF) විසින් එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ද මූල්‍ය සහය ඇති ව 2021 වර්ෂයේදී ලෝක පාසල් ආහාර වැඩසටහන් පිළිබඳ සිදුකරන ලද සමීක්ෂණයකට අනුව හෙළි වී ඇත්තේ අඩු ආදායම්ලාභී, මධ්‍ය ආදායම්ලාභී සහ ඉහළ ආදායම්ලාභී වර්ගීකරණ සියල්ල නියෝජනය වන පරිදි රටවල් 125ක පාසල් පෝෂණ ප්‍රතිපත්තියක් තිබෙන බවයි. ඒ අනුව රටක ආදායම සහ පාසල් පෝෂණ ප්‍රතිපත්තිය අතර සම්බන්ධයක් නොමැති බව පෙනී යයි. ලෝක පාසල් ආහාර වැඩසටහන් අතරින් 93%ක් ම මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අරමුණක් ලෙස වාර්තා කර තිබුණේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා හා සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම ය. තරබාරුකම වැළැක්වීම හෝ අවම කිරීම හෝ ඉලක්කයක් ලෙස වාර්තා කර ඇත්තේ වැඩසටහන්වලින් 35%කි.
බොහෝ රටවල පාසල් ආහාර වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ දිළිඳුකම පදනම් ව දරුවන්ට ආහාර වේලක් ලබා ගැනීමට ඇති නොහැකියාව නිසා ම නොවේ. ලෝක ආහාර වැඩපිළිවෙළේ (World Food Programme) ශ්‍රී ලංකා කාර්යාලයේ පෝෂණය සහ පාසල් පාදක වැඩසටහන් ප්‍රධානී වෛද්‍ය කලන පීරිස් පවසන්නේ විශේෂයෙන් ඇමරිකාව, එංගලන්තය, ජපානය වැනි රටවල් පවා තම රටේ පාසල් යන වයසේ දරුවන්ට ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

වෛද්‍ය කලන පීරිස්; “කැනඩාව මෑතකදී පාසල් දරුවන්ට ආහාර වේලක් ලබා දී්මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කළා. පාසල් ආහාර වේලක් වෙනුවෙන් ඩොලරයක් ආයෝජනය කිරීමෙන් එරට දළ ජාතික නිෂ්පාදනයට ඩොලර් 16ක ප්‍රතිලාභයක් නැවත ලැබෙන බව ගණන් බලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආහාර වේලක් සඳහා රුපියලක් වැය කළහොත් රුපියල් 16ක් දළ ජාතික නිෂ්පාදනයට නැවත එක්වනවා. මේ පාසල් ආහාර වැඩසටහන සඳහා ආයෝජනය කරන රුපියල් බිලියන 6න් වසර 5-6ක් ඇතුළත අපට ලැබෙන්නේ බිලියන 96ක ප්‍රතිලාභයක්.”

රජයේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩසටහනක් මුලින් ම ආරම්භ වී ඇත්තේ 1931 වර්ෂයේදී ය. එතැන් සිට කලින් කලට ක්‍රියාත්මක ක්‍රමවේදය විවිධ වෙනස් වෙනස්කම්වලට ලක් වෙමින් එය ක්‍රියාත්මක වී ඇත. එහිදී ප්‍රධාන අභියෝග ලෙස හඳුනාගත හැකි වන්නේ සම්පත් හිඟ බව හා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් හඳුනාගැනීමට අපහසු වීමයි. මුල් යුගයේදී විදේශ ආධාර ලෙස ලැබුණු බිස්කට් වර්ග, සුප් යනාදී විවිධ ආහාර වර්ග කලින් කලට පාසල් දරුවන්ට ලබා දී තිබේ.

පෝෂණ ගැටලු‍ව අවම කිරීම, දේශීය ආහාර ප්‍රවර්ධනය හා යහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් 2002 වර්ෂයේදී යම් යම් නිර්ණායක මත පදනම් ව තෝරාගත් රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන්ට ආහාර ලබා දීමට පියවර ගැනිණි. පාසල් ළමයින් සඳහා ආහාර ලබාදීමේ රජයේ වැඩසටහන, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සහ ලෝක ආහාර වැඩපිළිවෙළේ සහය ඇති ව ක්‍රියාත්මක වූ ‘අධ්‍යාපනය සඳහා ආහාර වැඩසටහන” සහ පෝෂණ අතිරේකයක් ලෙස නැවුම් කිරී වීදුරුවක්/කිරි පැකට් ලබාදීමේ වැඩසටහන ලෙසින් එම වැඩසටහන අංශ 03ක් යටතේ වර්ධනය වී ඇත. එම වැඩසටහන්වලින් එක් වැඩසටහනක් පමණක් තෝරාගත් පාසල්වල ක්‍රියාත්මක වී ඇත.

2015 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශය වාර්ෂික කාර්යසාධන වාර්තාව අනුව පාසල් 7,948ක සිසුන් 1,098,802ක් වෙනුවෙන් ආහාර ලබා දී ඇති අතර පාසල් 352ක සිසුන් 84,843ක් සඳහා කිරි ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. 2017 වර්ෂයේ දත්ත අනුව පාසල් 7,871ක සිසුන් 1,105,605ක් සඳහා ආහාර ලබා දී තිබෙන අතර පාසල් 414ක සිසුන් 112,088ක් සඳහා කිරි ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක විය. 2019 වර්ෂයේ කාර්යසාධන වාර්තාව දක්වන පරිදි පාසල් සිසුන් 1,067,465ක් සඳහා දිවා ආහාරය ලබා දී ඇති අතර සිසුන් 406,257ක් සඳහා කිරි වීදුරුවක් ලබා දී තිබේ. 2021 වර්ෂයේදී පාසල් සෞඛ්‍ය හා පෝෂණ වැඩසටහන යටතේ පාසල් 7,926ක සිසුන් 1,081,927ක් සඳහා ලබා දී ඇත්තේ පෝෂණීය ආහාර වේලකි.

පෝෂණ අවශ්‍යතාව

2023 ජූලි මස ක්‍රියාත්මක කෙරුණු ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශය එළිදැක්වූ සංක්ෂිප්ත වාර්තාවට අනුව මෙරට වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ අඩු බර 17.1%කි. එය 2022 වර්ෂයේදී 15.3%කි. 2023 වසරේ ඉහළ ම අඩු බර 26.4%ක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. 2022 වර්ෂයට සාපේක්ෂ ව නාගරික, වතු හා ග්‍රාමීය යන සියලු‍ අංශවල දරුවන්ගේ බර අඩුවීමේ වැඩිවීමක් පෙන්නුම් කිරීම නොසලකා හැරිය නොහැකි ය.
වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ උසට අදාළ බර අඩුවීම හෙවත් කෘෂ බව 2023 වර්ෂයේදී 10%ක් ලෙස වාර්තා වී ඇත. 2022 වර්ෂයේ එය 10.1%කි. කෘෂ බව ඉහළ ම අගයක් (12.6%) වාර්තා වී ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වන අතර පිළිවෙළින් අනුරාධපුර (12.1%) හා මාතලේ (11.8%) දිස්ත්‍රික්කවල මේ තත්ත්වය වැඩි වශයෙන් වාර්තා වී ඇත. මේ වයස් කාණ්ඩයට අයත් දරුවන් අතර 2023 වර්ෂයේ ජුනි මාසයේදී වාර්තා වී ඇති උග්‍ර කෘෂ බවෙන් හෙවත් උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සංඛ්‍යාව 15,763ක් හෙවත් 1.2%කි. 2022 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී මේ අගය වාර්තා වී ඇත්තේ 18,420ක් (1.4%) ලෙසිනි. 2022 වර්ෂය හා සසඳන කල කළුතර දිස්ත්‍රික්කයේ ජාතික සෞඛ්‍ය විද්‍යායතන ප්‍රදේශය (NIHS) පමණක් උග්‍ර තීව්‍ර මන්දපෝෂණයේ වැඩිවීමක් (2022-0.87%, 2023- 0.98%) වාර්තා කර ඇත.

මේ වාර්තාවෙහි දිවයිනේ සියලු‍ දිස්ත්‍රික්කවල වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ වයසට සරිලන උස නොමැතිකම හෙවත් මිටි බව 2022 වර්ෂය හා සසඳන කල ඉහළ ගොස් ඇත. මීට අදාළ වැඩි ම ප්‍රතිශතය වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි. ඒ, 2022 වර්ෂයේ 22.8%ක්, 2023 වර්ෂයේ 25.2%ක් වශයෙනි. සමස්තයක් ලෙස ගත් විට නාගරික, වතු හා ග්‍රාමීය යන සියලු‍ අංශවල දරුවන්ගේ මිටි බව 2022 වර්ෂයට සාපේක්ෂ ව ඉහළ ගොස් තිබේ. 2022 වර්ෂයේදී මේ සමීක්ෂණයට ලක් වූ දරුවන් 2023, 2024 වර්ෂවලදීත් අනෙක් කණ්ඩායම් ඉදිරි වර්ෂවලදීත් පාසල් පෝෂණ වැඩසටහනෙහි ප්‍රතිලාභීහු ලෙස පාසල්වලට ඇතුළත් වෙති.

මෙරට පාසල් දරුවන්ගේ කෘෂ බව 2022 වර්ෂයට සාපේක්ෂ ව 2023 වර්ෂයේදී 19.5% සිට 21% දක්වා වර්ධනය වී ඇති බව පෙනී යන්නකි. මේ දත්ත ඉදිරිපත් කර ඇත්තේ සියලු‍ දිස්ත්‍රික්කවල 1,4,7,10 ශ්‍රේණිවල පාසල් දරුවන් සම්බන්ධයෙනි. 2022 වර්ෂයේදී ඉහත ශ්‍රේණිවල දරුවන් 245,281ක් සහ 2023 වර්ෂයේදී දරුවන් 163,002ක් මේ සමීක්ෂණයට භාජනය කර ඇති අතර එම සමීක්ෂණ වාර්තාවට අනුව පාසල් දරුවන්ගේ ස්ථූලතාව ද 1.4% සිට 2.7% දක්වා වර්ධනය වී ඇත. ඔවුන්ගේ අධි බර තත්ත්වය 2022 වර්ෂයට සාපේක්ෂ ව වැඩිවීමක් පෙන්නුම් නොකරන අතර එම අගයෙහි ම (6.1%) පවතී.
පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරන්නේ පසුගිය වකවානුවේ උද්ගත වූ ආහාර උද්ධමනය හේතුවෙන් දීර්ඝකාලීන ව සමබල ආහාර වේලක් නොලැබීම මෙසේ දරුවන් අතර සෞඛ්‍ය ගැටලු‍ මතුවීමට හේතු වන්නට ඇති බවයි. මේ ගැටලු‍ අවම කර ගැනීමට දරුවන්ගේ දෛනික ආහාරයේ පෝෂණ විවිධත්වය වැඩි කිරීම සඳහා පියවර ගැනීම, එම ප්‍රදේශවල සුලබ සහ අඩු වියදම් ආහාර වර්ග ප්‍රචලිත කිරීම සඳහා වැඩසටහන් දියත් කිරීම, ආහාර සහනාධාරවලට පෝෂණ විවිධත්වයෙන් යුතු ආහාර ද්‍රව්‍ය ඇතුළත් කිරීම සහ ආහාර සහනාධාර සඳහා පෝෂණ අවදානමක් ඇති කණ්ඩායම් ඉලක්ක කිරීම යනාදී ක්‍රියාමාර්ග පවුල් සෞඛ්‍ය කාර්යාංශය නිර්දේශ කර ඇත. පාසල් දිවා ආහාර වැඩසටහන තවදුරටත් පවත්වාගෙන යාමේ වැදගත්කම සලකමින් ඒ සඳහා අඛණ්ඩ මූල්‍ය ප්‍රතිපාදන ලබාදිය යුතු බවට ද එම වාර්තාව නිර්දේශ කරයි. ඒ අනුව පාසල් ළමයින් සඳහා ආහාර ලබාදීමේ රජයේ පෝෂණ වැඩසටහන 01-05 ශ්‍රේණිවල සියලු‍ පාසල් දරුවන්ට උදැසන ආහාර වේලක් ලබාදෙමින් මෙරට ක්‍රියාත්මක වේ.


නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්

වත්මන් රජය ක්‍රියාත්මක කරන ‘නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්’ තේමාව යටතේ වන ‘පාසල් ළමයින් සඳහා ආහාර ලබාදීමේ රජයේ පෝෂණ වැඩසටහන-2024’හි විශේෂත්වය වන්නේ දීප ව්‍යාප්ත සියලු‍ රජයේ පාසල්වල ප්‍රාථමික අංශයේ 1-5 ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට උදැසන ආහාර වේලක් ලෙස මේ ආහාර වේල ලබාදීමයි. රජයේ පාසල් 9,134ක ප්‍රාථමික ශ්‍රේණිවල සිසුහු මිලියන 1.6ක් මෙහි ප්‍රතිලාභීහු වෙති. මේ සඳහා රජය විසින් රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජු ව ම පළාත් සභා වෙත වෙන් කරනු ලැබ ඇත.

ලෝක ආහාර වැඩසටහන (WFP), එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) සේව් ද චිල්රන් (Save the Children) ආදී පාර්ශ්ව මේ වැඩසටහනට දායකත්වය දක්වයි. එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 32.5ක වටිනාකමක් සහිත සබලකරණය කරන ලද සහල් (යකඩ සහ ෆෝලික් අම්ලය මිශ්‍ර කර සකස් කළ සහල්-(Fortified Rice), වටානා පරිප්පු හා රෝස සැමන් ඇතුළත් වියළි ආහාර ප්‍රදානය කර තිබේ. එම ආයතනය සමග ඉදිරි වසර 05ක කාලයකට පාසල් පෝෂණ වැඩසටහන සඳහා සහය ලබාගන්නා සය (06) පාර්ශ්වීය අවබෝධතා ගිවිසුමකට ද එළඹී ඇත. සේව් ද චිල්රන් අධ්‍යක්ෂ (අධ්‍යාපන) රුෂිකා ඩයස් පවසන්නේ මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සවිබල ගැන්විය යුතු ප්‍රධාන පාර්ශ්වයක් වන ආහාර සැපයුම්කරුවන්ගේ ධාරිතා වර්ධනය කෙරෙහි ඔවුන්ගේ විශේෂ අවධානය යොමුවන බවයි. අදහස් දක්වන ඇය; ”‍ආහාර වේලක වැදගත්කම, ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය සම්පන්න ව ගබඩා කිරීම හා පෝෂක කොටස් සුරැකෙන අයුරින් ආහාර වේල පිළියෙල කිරීම, ආරක්ෂිත ව ප්‍රවාහනය කිරීම යනාදී කරුණු සම්බන්ධයෙන් දැනුම සැපයුම්කරුවන් වෙත ලබා දීම අපේ කාර්යයක්. 1200ක් පමණ වන සැපයුම්කරුවන් අප සමග එක් ව සිටිනවා. ප්‍රාදේශීය වශයෙන් මේ වැඩසටහනේ ගුණාත්මකභාවය අධීක්ෂණය කරන්නේ සේව් ද චිල්රන්හි නියෝජිතයන්.”
පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැඟීම යන අභිමතාර්ථ මේ වැඩසටහන ඔස්සේ මුදුන් පමුණුවා ගැනීමට අපේක්ෂිත ය. මෙවැනි තත්ත්වයක මෙරට පාසල් දරුවන් අතර පවතින පෝෂණ ගැටලු‍ හඳුනා ගැනීම මෙන් ම ගැටලු‍ පැන නැගීමට හේතු පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.
පාසල් දරුවන්ට සමබල ආහාරයක් ලැබීමේ වැදගත්කම පිළිබඳ පැහැදිලි කරන ලෝක ආහාර වැඩපිළිවෙළේ පාසල් පාදක ප්‍රතිපත්ති වැඩසටහන් නිලධාරී අධ්‍යාපනඥ රේනුකා පීරිස්; “ළමයකුට තිබෙනවා සංයුක්ත චින්තනාවධියයි, වියුක්ත චින්තනාවධියයි ලෙස අවධි දෙකක්. අවුරුදු 10ට පෙර කාලය සංයුක්ත චින්තනාවධිය ලෙස හඳුන්වනවා. මේ කාලයේදී දරුවන් තුළ චර්යාත්මක වෙනසක් ඇති කළහොත් එය දිගුකාලීන ව පවත්වාගෙන යන්නට පුළුවන්. විශේෂයෙන් ප්‍රාථමික අංශයේ දරුවන්ට ආහාර ලබාදීමට මේ තත්ත්වයත් එක් සාධකයක්. පාසලේ සහයෝගයෙන් ආහාර වේල ලබා ගැනීමෙන් දරුවාගේ සාධන මට්ටම, මතක ශක්තිය වර්ධනය වීම සිදු වනවා. මේ නිසා දරුවන් කුඩා කල සිට ම නිවැරැදි ආහාර රටාවකට හුරු පුරුදු කිරීමෙන් දිගුකාලීන ප්‍රතිලාභ ලබා ගන්නට පුළුවන්.”


පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සලකමින් පෙරවරු 7.30-8.30 අතර කාලයේ මේ ආහාර වේල ලබා දීමට සැලසුම් කර ඇත. ආහාර වේල පෝෂ්‍ය පදාර්ථවලින් හා සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ මට්ටමක පවත්වාගෙන යෑමට අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2023.05.19 දිනැති ව නිකුත් කර ඇති අංක 24/2023 හා ‘පාසල් ළමයින් සඳහා ආහාර ලබාදීමේ රජයේ පෝෂණ වැඩසටහන’ මැයෙන් වන චක්‍රලේඛයෙන් වැඩසටහන පාසල්වල පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇත. පළාත් සභා යටතේ ක්‍රියාත්මක වන පාසල් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මුදල් කොමිෂන් සභාව නිකුත් කර ඇති 2022.12.21 දිනැති FC/PDP01/01/2023 මාර්ගෝපදේශයට අනුගත ව ක්‍රියා කළ යුතු වේ.

පළාත් සහ කලාප මට්ටමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කර නියාමනය කිරීමේ වගකීම පාසල් සංවර්ධන සමිතිය වෙත පවරා ඇත. පාසල් සංවර්ධන සමිතියෙහි අනු කමිටුවක් ලෙස ‘පාසල් ආහාර කමිටුව” පත් කර ගත යුතු අතර කමිටු ප්‍රධානී වන්නේ විදුහල්පතිවරයා ය. ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන භාර ගුරුවරයා සහ පාසල් සංවර්ධන සමිති නියෝජිතයකු මෙන් ම අවම සාමාජිකයන් 06ක් වන ලෙසින් උපදෙස් ලබා දී ඇති පරිදි ආහාර කමිටුව සමන්විත විය යුතු ය. එක් දරුවකුගේ ආහාර වේලක් සඳහා මෙතෙක් ලබා දුන් රුපියල් 85ක මුදල මේ වසරේ සිට රුපියල් 110 දක්වා වැඩි කර තිබේ.

ආහාර වේල සම්පාදනයේදී ආහාර වට්ටෝරු සකස් කර ඇත්තේ පාසල් දරුවන්ගේ දෛනික කැලරි හා පෝෂණ අවශ්‍යතා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින්, අවම වශයෙන් එම අවශ්‍යතාවෙන් 1/3ක්වත් සපිරෙන පරිදි වීම විශේෂත්වයකි.
සෞඛ්‍යයට අහිතකර අධික ලෙස තෙල්, ලු‍ණු, සීනි දැමූ ආහාර හා කෘත්‍රීම රසකාරක සහිත ආහාර ප්‍රවර්ධනය නොවන අයුරින් ආහාර පිළියෙල කර ලබා දිය යුතු ය. සතියේ දින පහ සඳහා ආහාර වට්ටෝරු 05ක් නිර්මාංශ සහ නිර්මාංශ නොවන පාසල් ලෙස ඉදිරිපත් කර ඇති අතර ලබා දිය හැකි විකල්ප ආහාර වට්ටෝරු ද ඉදිරිපත් කර තිබීම නිසා පාසල්වලට ආහාර වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය විධිමත් මාර්ගෝපදේශය ලැබී තිබෙන බව නිරීක්ෂණය කළ හැකි ය.
වැඩසටහනේ තිරසර පැවැත්ම උදෙසා ‘ගෙවත්තෙන් පන්තියට’ වැඩසටහන ක්‍රියාවට නංවා ඇත. ලෝක ආහාර වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක කිහිපයක එවැනි වගා සඳහා අනුග්‍රහය ලබාදීමෙන් අනතුරු ව එම ඵලදාව පෝෂණ වැඩසටහන සඳහා ලබාගැනීමට ක්‍රියා කෙරේ. මේ වැඩසටහනට දේශීය ආහාර සැපයුම්කරුවන්ගෙන් ආහාර මිල දී ගන්නා බැවින් සෘජු හා වක්‍ර නව රැකියා උත්පාදනයක් සිදුවීම හා නිෂ්පාදන ආර්ථිකයකට සවියක් ලැබීම විශේෂත්වයකි.
මෙහි අදාළ මූල්‍ය පාලනය විනිවිදභාවයකින් යුක්ත ව පත්වාගෙන යෑමේ අඛණ්ඩ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. ඊට අදාළ ප්‍රතිපත්ති සම්පාදනයේ සිට මෙහෙයවීම හා අධීක්ෂණය අධ්‍යාපන අමාත්‍යාංශයීය සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව සිදු කරයි.
අභියෝගය

මෙරට දරුවන්ගේ පෝෂණ ගැටලු‍ මතුවීමට හේතුව දිළිඳුකම පමණක් නොවන බව ප්‍රත්‍යක්ෂ කරුණකි. දරුවන්ගේ පෝෂණය පිළිබඳ වැඩිහිටියන්ගේ පවත්නා දුර්මත, නොසැලකිලිමත්කම සහ නොදැනුවත්කම ද ඇතැම්විට සංස්කෘතිය ද ඊට හේතු වෙයි. දරුවන්ගේ නිරෝගී බව ඔවුන්ගේ කායික, මානසික යහ පැවැත්ම කෙරෙහි ඍජු ව ම බලපෑමක් ඇති කරයි. එය දරුවන්ගේ අධ්‍යාපන සාධන මට්ටම කෙරෙහි ද බලපායි. මේ සියල්ල රඳා පවතින්නේ දරුවන් ගන්නා ආහාර මත බව වැඩිහිටියන් අවබෝධ කර ගැනීම වැදගත් ය.

වර්ෂ 2030 වන විට මිලියන 4.1ක් වන මෙරට සියලු‍ පාසල් දරුවන් සඳහා ආහාර වේලක් ලබාදීම රජයේ අපේක්ෂාවයි. එහිදී දිගුකාලීන ව්‍යාපෘතියක් ලෙස සියලු‍ ම ශ්‍රේණිවල පාසල් දරුවන් ආවරණය වන අයුරින් අඛණ්ඩ ව මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න මුහුණදෙන අභියෝගයකි. එහිදී වැඩසටහනෙහි තිරසරභාවය කෙරෙහි ජනතාව තුළ මේ සම්බන්ධයෙන් ගොඩනැගෙන විශ්වසනීයත්වය ද හේතු වනු ඇත.

මෙය දෛනික ව ක්‍රියාත්මක වන වැඩසටහනක් බැවින් දිගුකාලීන ව වැඩසටහනෙහි ගුණාත්මකභාවය පවත්වාගෙන යාම සඳහා එය නිරන්තර අධීක්ෂණයකට ලක්කිරීම ඉතා වැදගත් ය. ඒ සඳහා දැනට සකස් කර ඇති නියාමන යාන්ත්‍රණය විධිමත් ව පවත්වාගෙන යාමත් වැඩසටහන පිළිබඳ පසු විපරම් කිරීමත් වැඩසටහනෙහි සාර්ථකත්වය කෙරෙහි ඉවහල් වනු ඇත
සෛද්ධාන්තික දැනුම ලබා දීමෙන් ඔබ්බට ගිය ප්‍රායෝගික සුහුරු ක්‍රියාකාරකම් ඔස්සේ වෘත්තීය පාදක අධ්‍යාපන වැඩපිළිවෙළක අවශ්‍යතාව කැපී පෙනෙන මෙවැනි යුගයක ඊට රටේ දරු පරපුර කායික හා මානසික සෞඛ්‍යයෙන් සන්නද්ධ කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එහිදී මානව ප්‍රාග්ධන දර්ශකය ඉහළ නැංවීමට පාසල් ආහාර වැඩසටහන ඔස්සේ ලබා දිය හැකි දායකත්වය දිගුකාලීන ආයෝජනයක් ලෙස සුරක්ෂිත කිරීම බලධාරීන් සතු වගකීමකි.

නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්

ඔපන්හයිමර්